මෙන්න ගුරුවරවරු...

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,921
    113
    Dubai
    මෙන්න ගුරුවරවරු...

    මෙ කතාව අද දිවයින පත්තරේ තිබුනෙ. දිග උනත් කට්ටිය කියවන්න බලන්න මේ කතාව.

    යුද්දෙටත් කලින් මනම්පිටියේ
    යුද්දෙදිත් මනම්පිටියේ තාමත් මං මනම්පිටියේ
    - මායිම් ගම්මානයක බංකරයක සිටි
    ගුරුවරයෙකුගේ කතාව


    ඒ හමුවීම අහම්බයකි. අහම්බයෙන් හමුවන ඇතැම් දේ රටක්‌ වටිනා බව අසා ඇත්තෙමි. එහෙත් මේ හමුවීම ඒ බව සනාථ කරන කථාවක්‌ වේයෑයි නොදැන සිටියෙමි. ඒ මොහොතේ අප ගමන් කරමින් සිටියේ වැලිකන්ද දෙසටයි. ඒ අතරතුර මනම්පිටිය හන්දියේ සිටි රැවුල වවාගත් පුද්ගලයකු පෙන්වා ප්‍රසන්න කී දේ අදටත් මගේ මතකයේ තිබේ.

    ඔය ඉන්නෙ සුපිරි චරිතයක්‌. සෙවණපිටිය ඉස්‌කෝලේ විදුහල්පති. ගුරු පත්වීම ලැබුණ දා ඉඳලා, කොටි ගහන කාලේ ඉඳන් ඔය සර් ඉන්නේ මේ පළාතෙ. හැබැයි ගම මෙහෙ නොවෙයි. දකුණු පළාතේ. පුළුවන්නම් බැහැල ටිකක්‌ කතා කරල යමු. මේ පළාතත් එක්‌ක ඔය සර්ගෙ අත්දැකීම් හරියට චිත්‍රපටයක්‌ වගේ.
    ඒ සෙවණපිටිය ලොකු ඉස්‌කෝලෙ මහත්තයා අප හමු වූ මුල්ම දවසය. එදා ඔහු සමඟ ගත කළ කෙටි කාලය තුළ ප්ලේන්ටි උගුරක්‌ තොල ගාමින් රණසිංහ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා කී කතාව මට හොඳ හැටි ජීර්ණය විය. මින් හතළිස්‌ වසරකට පෙර දකුණේ සිට මේ දුෂ්කර බිම්පෙවෙතට පැමිණි ඔහු මේ තාක්‌ පැමිණි ජීවිතය සැබෑවට බයිස්‌කෝප් කතාවක්‌ වැන්නකි. දුක්‌ඛ දොaමනස්‌සයන්ගෙන් පිරුණේ වුවද ත්‍රස්‌තවාදී තර්ජිත ගම්මානවල ගෙවූ ඒ කාලය එක්‌ පැත්තකින් මේ රටේ අඳුරු කාලයක පැතිකඩක්‌ අප හමුවේ තබන්නකි. එබැවින් වසරකට පසු වුවද සුචිත රණසිංහ ලොකු ඉස්‌කෝලේ මහත්තයාගෙ ඒ කතාව යළි ආවර්ජනය කරන්නට සිත් වීමි. ඒ සිතිවිල්ලෙන් යළිත් වසරකින් අතීතයට ගොස්‌ මම සෙවණපිටිය ලොකු ඉස්‌කෝලෙ මහත්තයා ළඟ වාඩි ගතිමි. මේ කතා කරන්නෙ ඔහුයි....

    මනම්පිටිය සාම පාලමෙන් එහාට දැන් නම් 'කුරුල්ලෙක්‌ වගේ' නිදහසේ ඉගිලිලා යන්න පුළුවන්. ඒ අද.

    ඒත් එදා. මේක මහ මූකලාන. මම මේ කියන්නෙ කොටි ගහන්නත් ඉස්‌සර කාලේ. පොලොන්නරුවත් එක්‌ක තියෙන මගේ නෑකම මගේ ගුරු ජීවිතයෙන් එහාට යනවා. අපි පොලොන්නරුවට ආවේ 1968 අවුරුද්දෙ. අපේ තාත්තා දකුණෙ මිනිහෙක්‌. ගම අම්බලන්ගොඩ. ඒත් අපි පදිංචිවෙලා හිටියෙ මාතලේ යටවත්ත ගමේ. ඒ අපේ අම්මගෙ ගම. එහෙ ඉන්නකොට තමයි තාත්තට පොලොන්නරුවට ඩිපෝ අධිකාරිවරයෙක්‌ විදියට පත්වීමක්‌ ලැබුණෙ. ඒ ආව ගමන මම අපේ තාත්තට කිව්වා මටත් පොලොන්නරුවෙ නතරවෙන්න ඕන කියල. තාත්තා මාව යටවත්තෙ ඉස්‌කොලෙන් අස්‌කරගෙන ඇවිත් පොලොන්නරුවෙ නගර විද්‍යාලයෙ තුනේ පංතියට ඇතුළු කළා. දැන් මම තාත්තත් එක්‌ක ඉඳන් පොලොන්නරුවේ ඉන්කෝලෙට යනවා. නිවාඩු කාලෙට ගමේ යනවා. ඔහොම තමයි ජීවිතෙ ගෙවුණෙ. ඒත් ටික දවසකින් පොලොන්නරුවෙ අධ්‍යාපන මට්‌ටම මදියි කියල අපේ අම්මා මාව කෑගල්ලෙ දැදිගම ඉස්‌කෝලෙට දැම්මා. පස්‌සෙ එතැනත් හරි නෑ කියල අම්බලන්ගොඩ ධර්මාශෝකයට දැම්මා. ඒත් මේ මොන දීපංකරේ ගියත් මගේ හිත තිබුණේම එදා හද්දා පිටිසර පොලොන්නරුවෙ. ඒ කාලෙ ඔය පොලොන්නරුව ස්‌ටේෂම ළඟටත් සත්තු එනවා. "වෙඩි තැබීම තහනම්" කියල සුද්දගෙ කාලෙ ගහපු බෝඩ් එකක්‌ යස අගේට එතන එල්ලා තිබුණා.

    මොන එහෙකට මගේ හිත මනම්පිටියෙන් එහා ලෝකයට ඇදිල ගියාද කියල මම දන්නෙ නෑ. ඒත් හැත්තෑවේ දශකයේදීත් මනම්පිටිය පාලමෙන් පිට පැරණි වැව් ගම්මාන තිබුණා. ඒ ගම්වල හිටියෙ එක වර්ගයකට අයත් මිනිස්‌සු නොවෙයි. සිංහල, දෙමළ, මුස්‌ලිම් මිනිස්‌සු එකට හරි සමගියෙන් ඒ ගම්වල හිටියා. කොළකන වාඩිය කියන්නෙ ඇත්තටම වැදි මිනිස්‌සු හිටිය ගමක්‌. අපේ තාත්තා මිනිස්‌සුත් එක්‌ක එකතුවෙලා කොළකන වාඩියෙ පුංචි වැවක්‌ හදල ඒ වතුරෙන් කුඹුරු කළා. පස්‌සෙ ඒ ගමේම ගෙයක්‌ හදල ඒ ගෙදර ඉඳන් තමයි තාත්ත පොලොන්නරුවෙ රස්‌සාවට ගියේ. ඒ කාලේ ඔය පෙනෙනතෙක්‌ මානයෙ කැලෑව. ගංවතුර ගැලුවාම අපි රේල් පාර දිගේ කඳුරුවෙල ආවේ ගියේ පයින්. හරහට කොට දාලා පාලම් හදල ජාති භේද නැතිව එකතුවෙලා ඒ පාලම්වලින් අපි මිනිස්‌සු එතෙර කළා. හරිම දුෂ්කරයි තමයි. ඒත් අපිට හිතට නිදහස තිබුණා.

    මහ සුළි සුළඟ ඇවිල්ලා දෙමළ මිනිස්‌සුන්ගෙ ගෙවල් කැඩුනාම අපි එකතුවෙලා ඒවා හදල දුන්නා. බොරවැව කියන ගමේ සිංහල, මුස්‌ලිම් අය එකට ජීවත්වුණෙ. බොරවැව කොළකන වාඩියේම කොටසක්‌. වැදි මිනිස්‌සු වැඩිපුරම හිටියෙ කොළකන වාඩිය කොටසෙ.

    ඔහොම ඉන්නකොට තමයි කඩිනම් මහවැලි සංවර්ධනය ආවෙ. මහවැලි සංවර්ධනෙත් එක්‌කම වගේ යුද්දෙත් ආවා. සංවර්ධනය වේගෙන එනකොට මේ හැමදේම වෙනස්‌ වුණා. දෙමළ මිනිස්‌සු වෙනම පදිංචි කළා. මුස්‌ලිම් මිනිස්‌සු වෙනම පදිංචි වුණා. පිටතින් ආව සිංහල මිනිස්‌සු වෙනම පදිංචි කළා.

    මෙහෙ ජීවත්වුණ සිංහල අයට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. අලුතෙන් ආව දෙමළ, සිංහල මිනිසුන් අතරේ භාෂා ප්‍රශ්නය නිසා ඒ අය අතර දුරස්‌ථභාවය වැඩි වුණා. 1984 තමයි මුලින්ම බොර වැවට කොටි ගැහුවෙ. මහවැලිය ආව අලුත. මිනිස්‌සු 89 දෙනෙක්‌ කපල කොටල මරල තිබුණා. ඒ සිද්ධියෙන් පස්‌සෙ ගමේ ආරක්‍ෂාවට අපිට තුවක්‌කු දුන්නා.

    මේ වෙනකොට මට ගුරු පත්වීම ලැබිල තිබුණෙ. පත්වීම ලැබුණෙ උප ගුරුවරයකු හැටියට සෙවණපිටිය මහා විද්‍යාලයට. ඒ ඉංග්‍රීසි ගුරුවරයකු විදිහට. හැබැයි මම එනකොට සෙවණපිටිය ඉස්‌කෝලෙ පටන්ගෙන අවුරුද්දයි. ඉස්‌කොලෙ හිටිය පළමු විද්‍යා ගුරුවරිය තමයි ලක්‌මාලි බණ්‌ඩාරනායක. පස්‌සෙ කාලෙදී මගේ බිරිඳ වන ඇය මට හමුවෙන්නෙ ඔය ඉස්‌කෝලෙදී.

    එසේ කියූ රණසිංහ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා තම උපැස්‌ යුවළ ගලවා හරිබරි ගැසී යළි වාඩි විය. පසුව පටු නළල් තලයේ රැළි ගැන්වීය. ඒ ඉඟියෙන් කියා පෑවේ ඔහු බැරෑරුම් කතාවට යළි මතකය ගෙන යන බව අපි අවබෝධ කර ගතිමු. ඒ නිසා කිසිත් නොදොඩාම අපි එය අසා සිටියෙමු.

    කොටි කලබලත් එක්‌ක තමයි අපිට ගොඩක්‌ කරදර ආවෙ. ඒ කරදර නම් වචනවලට පෙරළන්න බෑ. අපි හැමෝම ඒ කරදරවලින් අසීමිතව දුක්‌ වින්දා. මං මේ වෙනකොට දරුවො දෙන්නෙක්‌ගෙ පියෙක්‌. අපි ජීවත් වුණේ ගෙවල් ළඟ බංකර් හදාගෙන. ගෙවල් හතරකට එක ගානෙ බංකර් තිබුණා. රෑට මේවයේ අපි මුරට යන්න ඕනෑ. නෝනයි දරුවොයි ගෙදර තනිකරල යන්නත් බයයි. මොනව කරන්නදරෑ රෑට මුරට යන අපි පහුවදා උදේම ඉස්‌කෝලෙ ඇවිත් දරුවන්ට උගන්වනවා. ඔහොම තමයි අවුරුදු ගණනක්‌ ජීවිතේ ගෙවුනෙ.

    මේ කරදර නිසා සෙවණපිටිය දාලා ගමට එන්න කියල නෑදැයො බලකරපු වාර එමටයි. ඒත් අපි ගියා කියල අනිත් මිනිස්‌සුන්ටත් එහෙම කරන්න පුළුවන් කමක්‌ තියනවද කියන මතයෙ මම හිටියෙ. මගේ බිරිඳත් හිටියෙ ඒ අදහසෙ. හැබැයි අපි තාත්තව ගමට පිටත් කළා.

    මගේ රාජකාරි ජීවිතේ කවදාවත් උදේ අට හවස දෙක සේවය තිබිලා නෑ. උදේ හයහමාරට ගෙදරින් ගියාම හවස්‌වරුවෙ ළමයින්ට ක්‍රීඩාත් උගන්නලා ගෙදර එන්නෙ හවස හතරට විතර. හවස්‌ වෙනකොට වෙඩි සද්දෙ තියෙන්නෙ. ඒ වෙනකොට එය අපේ ජීවිතවලට සාමාන්‍ය දෙයක්‌ වෙලා තිබුණෙ.

    සෙවණපිටියෙ බොරවැව ගමට කොටි ගැහුවාම පිට පළාත්වලින් මේ පැත්තට ගුරුවරයෙක්‌ අඩිය තියන්න බය වුණා. ඒක තමයි මුලින්ම ගමක වුණ සමූල ඝාතනය. අපි උදේ පාන්දර බොරවැව ගමට යනකොට මුළු ගමම ලේ විලක්‌. අපේ ඉස්‌කෝලෙ දරුවො විශාල පිරිසක්‌ ඒ ගමේ හිටියා. මගේ පංතියෙ දැකපු දක්‍ෂම දරුවත් ජීවත්වුණේ ඒ ගමේ. ගුරුවරයෙකුට පියෙක්‌ වෙන්න ඒ දරුවා තමන්ගෙම වෙන්න ඕන නෑ. මගේ පංතියෙ හිටිය ඒ ළමයා ගැනත් මට තිබුණේ ඒ හැඟීමක්‌. අපි උදේ ගමට යනකොට මේ දරුවත් කඩු පහරකට ලේ ගලාගෙන වැටිල හිටියා. මම අත්දෙකෙන් ඒ දරුව උස්‌සල ගන්නකොට මගේ සහෝදර ගුරුවරියො කෑගහල ඇඬුවා. මගේ නෝනට මේක දරාගන්න බැරිව සිහි නැතිවුණා. ජීවිතයේ කොච්චර පරිණත මිනිහෙක්‌ වුණත් අදටත් ඒක මට දරාගන්න බැරි කම්පනයක්‌.

    මගෙ දෙවැනි පුතාට පොඩි ආබාධිත බවක්‌ තියෙනවා. පුතා හම්බවෙන්න ඉන්නකොට මේ ළඟ ගමකට කොටි ගැහුවා. සමහර මිනිස්‌සු දිව්වා. මම වෙන දෙයක්‌ වෙච්චදෙන් කියල තුවක්‌කුවත් තියන් ගේ ඇතුළට වෙලා හිටියා. ඒ වෙඩි සද්දෙට ඇතිවුණ කම්පනේ නිසා දරුවට එහෙම වෙන්න ඇති කියල සමහරු කියනවා.

    ගුරුවරයෙක්‌ විදියට ඔහොම ඉන්න මට ගිනිදමන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිකම ලැබෙනවා. එතනින් මොනරතැන්න විදුහලේ සේවය කරල 2003 දී ආපහු සෙවණපිටිය ඉස්‌කෝලෙට මම එන්නෙ විදුහල්පති කෙනෙක්‌ විදියට. එතනදී මොන කරදර ආවත් මගේ ඉලක්‌කය වුණේ ගුරුමණ්‌ඩලය එක්‌ක දරුවන්ගෙ අධ්‍යාපනය නංවන එක. ලොකුම ප්‍රශ්නය වුණේ කලබල නිසා ගුරුවරු එන්නෙ නැති එක. මෙහෙ දරුවන්ව පොලොන්නරුව ප්‍රදේශයේ පාසල් වලට යවන්නත් දෙමාපියන්ට වත්කමක්‌ නෑ. මම මේ පාසල බාරගන්නකොට උසස්‌ පෙළ කලා අංශයෙ හිටියෙ ළමයි තුන්දෙනයි. එහෙම තිබුණ ඉස්‌කෝලෙට විද්‍යා, කලා, වාණිජ යන අංශ තුනම ගේන්න මම වාසනාවන්ත වුණා.

    කොටින්ට ඕන වුණේ අපිව මනම්පිටිය පාලමෙන් එහාට පන්නන්න. මාවත් කොටින්ගෙ ඉලක්‌කයක්‌ වෙන්න ඇත්තෙ ඒ හින්දා. 2008 දෙසැම්බර් 08 වැනිදා කොටි මගේ කාර් එකට ක්‌ලේමෝ එකක්‌ තිබ්බා. මම ඉසෙඩි ඇළ පාරේ කාර් එක පදවාගෙන ආවේ. ඒ වෙලාවෙ වැස්‌ස. එක පාරට දඩාං ගාලා ලොකු පිපිරුමක්‌ ඇහුනා. ඒ එක්‌කම කාර් එක අඩි 3-4 ක්‌ උඩ ගිහින් බිමට වැටුණා. කාර් එකේ පිටිපස්‌සෙ දුම් පිරිලා. මට මතක තිබුණෙ මට මොකුත් වුණේ නෑ කියන එක විතරයි. මම ඉස්‌ටීරියන් වීල් එක තදින් අල්ලගෙන ඉස්‌සරහට පෑගුවා. ඒ එක්‌කම පට පට ගාලා කොටි කාර් එකට වෙඩි තිබ්බා. කාර් එකේ පිටි පස්‌ස ගිනිගනිමින් තිබුණත් ඒක වැස්‌ස නිසා නිවිලා ගියා. මනම්පිටියට ඇවිල්ල නතර කරල බලනකොට කාර් එක සල් අඩයක්‌ වගේ වෙලා. බුලට්‌ දෙකක්‌ මගේ බෙල්ල ළඟින් ගිහින් තිබුණ නිසා බෙල්ල තුවාල වෙලා තිබුණා. ඒක කන ළඟින් ගියා නම් අද මේ කතාව කියන්න වෙන්නෙ නෑ. පස්‌සෙ මම ක්‌ලෙමෝ එක පිපිරුන තැනට ගිහින් බැලුවා. මම බේරිලා තියෙන්නෙ ක්‌ලේමෝ එක හිටවලා තිබුණ පට්‌ටලෙ ලී කොටවලට එතන වතුර පාර අහුවෙලා ක්‌ලේමෝ එකේ ඈන්ගල් එක වෙනස්‌ වුණ නිසා.

    මේ සිද්ධියෙන් පස්‌සෙ රතු කුරුසෙයි විවිධ ප්‍රජා සංවිධානවලින් ඇවිත් මට පිට රටකට යන්න උදව් කරන්නම් කිව්වා. ඕන නම් එදා මගේ මුළු පවුලටම පිටරටකට යන්න අවස්‌ථාව තිබුණා. නමුත් අදටත් මගෙ කැමැත්ත තියෙන්නෙ මේ පොළොවේ. මේවයේ අපි ජීවත්වෙන්න ඕන. අලුත් ගුරුවරු මේ පළාත්වලට ඇවිත් මේ පළාත් හදන්න ඕනැ.

    රණසිංහ ඉස්‌කෝලෙ මහත්තයා එසේ කීවේ නිර්ව්‍යාජවමය. ඔහු මේ දරුවන්ට ආදරේය. මේ පරිසරය ඔහුට ප්‍රියජනකය. ඒ වචන පෙළට පසු අපි රණසිංහ ඉස්‌කෝලෙ මහතාට අයුබෝවන් කීවෙමු. දැන් ඔහු සිටින්නෙ විලහය මැදි විදුහලේ විදුහල්පති ලෙසය.


    guru1.jpg


    guru3.jpg


    guru2.jpg


    Source: Divaina
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ගුරුවරයෙක් නෙමෙයි ගුරු දෙවියෙක්!