මේවත් බලාපල්ලා...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේවත් බලාපල්ලා...

    මේ අමිල ඉන්ද්‍රජිත්...මම මේ ටික දැම්මේ මෙයාගේ හඬට ඇත්තටම කැමති නිසා..මගේ පෞද්ගලික මතය නම් මෙයා සංගීතය තුල තව ඉස්සරහට එන්න ඉඩ දෙන්න ඕනි දක්ශයෙක්..


    එස්‌.එම්.එස්‌. නොලැබුණාට කමක්‌ නෑ පුතේ....

    "අපේ අමිල සර් ලස්‌සනට සිංදු කිව්වා. අපි හැමෝම සර්ට එස්‌.එම්.එස්‌ ගැහුවා.මම හිතුවේ නැහැ අමිල ස්‌ර්ව අවුට්‌වෙයි කියලා. එදා ස්‌ර්ව අවුට්‌වෙච්චි වෙලාවෙ මට හරි දුකයි. මට ඇඬුනා"

    අමිල සර්ගේ රුව කිසිදා නොදුටු ෂදීප් මා ඉදිරියේ මේ කියන්නේ අවනඩුවකි.

    ඔහු අමිලව නොදුටුවද, අමිලගේ හඬ ඔහු හොඳින් "දකියි." අමිලගේ කරුණාව ඔහු මැනවින් විඳියි.

    ෂදීප් යනු රත්මලාන අන්ධ විදුහලේ 6 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.

    ඉලක්‌කම් 6 ක අංකයක්‌ දැක්‌වෙන බෝඩ් ලෑල්ලක්‌ පපුවේ ගසා ගනිමින් "රෑ අහසේ තරුකැට පායා දිලූනා" යන "ලෙහෙසි පුතෙකුට" අල්ලාගත නොහැකි ආත්මා ලියනගේගේ ඒ උච්ච ස්‌වර එලෙසින්ම මුදාහරිමින් ශිල්ප දක්‌වා ඇරඹූ ඒ සැබෑ දක්‍ෂයාගේ ගමන එස්‌.එම්.එස්‌ මනාපයකට ලඝූවීම ගැන ෂදීප් තුළ ඇත්තේ අමානපයකි.

    රසඥතාව එස්‌. එම්. එස්‌ ගොඩකට තීන්දු වන්නට ඉඩහරින නිසා මෙන්ම රියෑලිටි වැඩසටහන් ඉස්‌මුරුත්තාවට ගොස්‌ ඇති නිසාද මා නැවත කිසිවිටකත් නොබලන "ස්‌ටාර්" වැඩසටහනක සිටි අමිල ගැන මට පැවසුවේ මා වැනිම මානසිකත්වයක සිටි මගේ පත්තර හිතවතෙකි.

    "මම කවදාවත් රියෑලිටි ෂෝ එකකට එස්‌.එම්.එස්‌ ගහලා තිබුණේ නෑ. ඒත් අහම්බෙන් මම දැක්‌කා ඒ තරුණයා සින්දු කියපු විදිහ. හරිම තැන්පත්. ඒවට එන අනිත් අයගාව තියෙන කෘත්‍රිම අනුකරණය එයා ළඟ තිබුණේ නැහැ. හරිම ස්‌වභාවික කටහඬක්‌. ස්‌වභාවික ඉදිරිපත් කිරීමත්. මගේ ජීවිතේ පළමු වතාවට රියෑලිටි ෂෝ එකක්‌ වෙනුවෙන් එස්‌.එම්.එස්‌ එකක්‌ ගස්‌සවන්න ඒ තරුණයගේ කටහඬට පුලුවන්වුනා. ඒත් ඒ ළමයා අන්තිම 13 දෙනාගෙන් අවුට්‌ වුනා. ඒ වෙලාවෙත් ඒ ළමයා බොහොම අපූරු විදිහට කථාකරලයි යන්න ගියේ. එතැනදි තමයි දැනගත්තේ. ඒ රත්මලානෙ අන්ධ විදුහලේ සංගීත මාස්‌ටර්ලූ. ඇත්තටම ඒ වගේ අය ගැනයි අපි ලියන්න ඕනෙ"

    අන්ධ දරුවන්ට "රිද්මය දෙන" ඒ ගායකයා සොයා යන්නට මා පෙළඹවූයේ ඔහුගේ වචනයි.

    එහෙත් එයට ප්‍රථම ඔහුගේ තරගවැදීම ගැන අදහසක්‌ ගනු රිසියෙන්, සිතූ පැතූ ඕනෑම දෙයක්‌ ගැන රූපරාමු ඇති, තාක්‍ෂණික අංජනම වන අන්තර් ජාලයේ "යූ ටියුබ්" හී අමිල ඉන්ද්‍රජිත් යන නම සටහන් කර සොයාබැලීමක්‌ කළෙමි.

    සිතූ පරිද්දෙන්ම ඒ සුපිරි තරු වැඩසටහනේ ඔහු කළ ඉදිරිපත් කිරීම් සියල්ලම පාහේ එහි විය.

    එපමණක්‌ නොව. තවත් දර්ශන පෙළක්‌ හෙවත් කාලයා විසින් අර්ථගැන්වූ වචනයට අනුව "ක්‌ලිප්" එකක්‌ එහි විය.

    "සුවඳ මට දී" යන වචන පෙළ (ඉංග්‍රීසියෙන්) දිස්‌වූ එම දර්ශන පෙළ විවෘත කළෙමි.

    එය නම් ආශ්චර්යයකි. චන්දන ලියනාරච්චිගේ එම ගීතයේ පදපේළි චන්දන ලියනාරච්චි,ප්‍රියා සූරියසේන, විශාරද අමරදේව, දීපාල් සිල්වා සහ ජොලිසීයා යන කටහඬවල් මැනවින් අනුකරණය කරමින් ඔහු අපූරු "සභාව පිනවීමක" යෙදෙන අයුරු එහි වෙයි.

    එය හුදෙක්‌ විකට ජවනිකාවක්‌ නොව සැබෑ හැකියාවකි. ඒ සා තාත්විකව ඔහු කටහඬවල් අනුකරණය කරන්නේ කෙසේද යන්න අදහාගත නොහැකිය.

    ඒ ගීතය පමණක්‌ නොව,ඔහු විසින් එලෙස එකම ගීතයක පදවැල් ගායකයන් කිහිප දෙනෙකුගේ කටහඬ අනුකරණය කරමින් ගායනා කරනා තවත් වීඩියෝ දර්ශනද එහි විය.

    අනතුරුව ඔහු අදාළ රියෑලිටි වැඩසටහනට ඉදිරිපත් කළ ගීත එකින් එක ඇසුවෙමි. නැරඹුවෙමි.

    භාතිය - සන්තුෂ්, කසුන් කල්හාර, ආත්මා ලියනගේ, සුනිල් එදිරිසිංහ ආදී ගායකයන්ගේ ගීත එහිදී ඔහු විසින් ගයනු ලබයි. ඒ ගැයුම් සුළුපටු පරාසයක නොවේ.

    ඔහු ගයන සෑම ගීතයක්‌ අවසනම විනිශ්චය මණ්‌ඩලය ඔහුව ඉහළින්ම වර්ණනා කරයි. තරගය මුලදී ඒ විනිශ්චය මණ්‌ඩලයේ පිහිටෙන් ඉදිරි වටවලට සුදුසුකම් ලබන ඔහු පසුව එස්‌.එම්.එස්‌ ඉදිරියේ ඒ විනිශ්චය මණ්‌ඩලය "විචාරකයන්" පමණක්‌ බවට පත්වද්දීද තරගයේ රැඳේ.

    අවසානයේ අමිලගේ අමිල නද අසන (නාමික) විනිසුරු මණ්‌ඩලයේ මහතෙක්‌ ඔහුගේ දස්‌කම, ගායනය ඉදිරිපත්කිරීමේ තැන්පත් ගතිය ආදිය වරණනා කරමින් ඔහුට එස්‌.එම්.එස්‌ කඳු ලැබෙන්නයි අපූරු ප්‍රකාශක්‌ද කරයි.

    එහෙත් අවාසනාවක තරම......

    හඬින් නොව දුරකථනයක අංක පුවරුව මත ඇඟිලි තුඩින් සුපිරි ගායන තරු අභිශේක කරන්නාවූ ක්‍රමවේදය, ඒ සැබෑ දක්‍ෂයාට සරදම් කරමින් ඔහු නුසුදුස්‌සකු කළේය.

    එහෙත් ඔහු නුසුදුස්‌සකුද?

    රත්මලාන අන්ධ විද්‍යාලයේ සංගීත කාමරයේ පෙර - අපරදෙදිග වාදන භාණ්‌ඩ අතර වූ පුටුවක අසුන්ගෙන අමිල මට ඔහුගේ සංගීත පරිචය පවසයි.

    එය සැබැවින්ම ඔහුගේ සහජ උරුමයකි.

    ඔහුගේ සීයලා "ටීටර්" ශිල්පීන්ය. පියා සහ පියාගේ සහෝදරයෝද සංගීත දෝතින් ගෙන ඉපදුනෝය. සර්පිනා, බටනලා, තබ්ලා ආදිය ඔවුන්ගේ පවුලේ හිතවතුන්ය. අමිලගේ සෙල්ලම් බඩු වන්නේද මේවාය. ඉතින් තවත් කියනු කුමට...

    ගීතය - සංගීතය ඔහුගේ පවුල් පරිසරය විය.

    හොකන්දර වෙසෙන දැනට 29 හැවිදිරි අමිල මූලික අධ්‍යාපන හැදෑරුවේ කොට්‌ටාව උතුර ධර්මපාල කනිශ්ඨයෙනි. ලූම්බිණි විද්‍යාලයෙන් සංගීත අංශයෙන් උසස්‌ පෙළ හදාරා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට වරම් ලැබූ ඔහු "උගත් ගායකයෙකි."

    භාත්කණඩයේ සංගීත විශාරද විභාගය සමත්වූ ඔහුගෙන් මම මෙසේ ඇසීමි.

    "ඒ කියන්නේ නිකම්ම නිකම් අමිල ඉන්ද්‍රජිත් නෙමෙයි "විශාරද අමිල ඉන්ද්‍රජිත්?"

    එයට ඔහුගේ ප්‍රතිචාරය නිහතමානී සිනාවක්‌ පමණකි.

    "විශාරදයෙක්‌ගේ හැකියාව එස්‌.එම්.එස්‌ වලින් තීන්දු වීම ගැන මොකද හිතන්නේ"

    මගේ පැනයට ඔහු අපූරු පිළිතුරක්‌ දුන්නේය.

    "වවුලගේ මඟුල් ගෙදර යනවානම් එල්ලිලා ඉන්න වෙනවා. එස්‌.එම්.එස්‌ වලින් තීරණය වන තරගයකට මම ඉදිරිපත්වෙනවා නම් ඒ තීරණය දරාගන්න බලාගෙනයි යන්න ඕනෙ. එච්චරයි"

    එය ඉතා යථාර්ථවාදී පිළිතුරකි.

    "ගායන තරු වැඩසටහන්වල දකින බොහොමයක්‌ අධිතාත්වික සහ අතාත්වික ඉදිරිපත්කිරීම් අතර ඔබ කොහොමද ඒ රැල්ලෙන් මිදිලා ඒ තරම් තැන්පත් ඉදිරිපත්කිරීමක්‌ කළේ" යෑයි මම තවත් පැනයක්‌ අමිලට යොමුකළෙමි.

    "අපි ඒ දවස්‌වල ඉඳලා සින්දු කියනවා වගේම සින්දු රසවින්දා. යාළුවෝ අපි එකතුවුනහම ඒ ගී පදපේලිවල අර්ථය ගැන හරියට කථාකරනවා. ඒ නිසාම ගීතයක ගැබ්වෙලා තියෙන අර්ථය මට දැනෙනව. මගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය ඇතුලෙ තියෙන්නේ මගේ හිතට කාවැදුණු ඒ ගීතයේ අර්ථය වෙන්න ඕනෙ. නැතිනම් මගේ අතින් ඒ ගීතයට විනාශයක්‌ වෙනවා"

    එය පිළිතුරක්‌ පමණක්‌ නොව, ශැගී ලා වන්නට "තටමන" කලාව වෙනුවට මුලාවක වැටුනු නන්නත්තාර ඊනියා සංගීත තාරුණ්‍යයට වටිනා උපදේශයකි. තමන්ගේ ප්‍රථම සහ අවසන් රියෑලිටි තරගය මෙය බව අමිල පවසයි.

    "ඇත්තටම අද කාලෙ සංගීතයෙන් ඉදිරියට යන්න නම් ජනප්‍රිය චරිතයක්‌ වීමත් අවශ්‍යයි. ඒ අවශ්‍යතාව මම මේ වැඩසටහනනෙන් සපුරගත්තා. දැන් ඉතින් මේ ඇතිZ

    දැන් ඔහු සැරසෙන්නේ තමන්ගේම ගීත කිහිපයකින් සංගීත ලොව අනන්‍යතාවක්‌ ගොඩනගාගැනීමටය.

    "කඩුවෙල ශ්‍රීමත්" සංගීත කණ්‌ඩායමේ නියාමක ගායන ශිල්පියා සහ එම සංගීත කණ්‌ඩායමේ එකතුවෙන් බිහිවූ සියලු ගීත වල තනු නිර්මාණයද අමිලගේය. එහෙත් දැන් ඔහු තම ප්‍රසාංගික වපසරිය පුළුල් කරගැනීමට සැරසේ

    "මම ඉස්‌සරහට මගෙම ගීත කිහිපයක්‌ එළිදක්‌වනවා. මිනිස්‌සුන්ට අමිල ඉන්ද්‍රජිත් කියන නම අමතක වෙන්න කළින් ඒක කරන්න ඕනෙ."

    අප සමග කථාකරන අතරතුරු කාලය ඉල්ලාගනිමින් ඔහු සංගීත කාමරයේ සිටින දරුවන්නට ශිල්ප දෙයි.

    ඒ දරුවෝ බ්‍රේල් ක්‍රමයට ඒ ශිල්ප වල සිද්ධාන්ත කොටස්‌ සටහන් කරගනී. රූප නොපෙනෙන ඔවුනට අමිලගේ හඬ සොඳුරු චිත්‍රයකි.

    "මම ඒ වැඩසටහනෙන් අවුට්‌ වුනා කිව්වහම මේ ළමයි තමයි ගොඩක්‌ දුක්‌වෙලා තියෙන්නේ. සමහරක්‌ ළමයි හඬන එක නතර කරගන්න බැරිව දෙමාපියෝ මෙහෙට කථාකරලත් තිබුණා. මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 7 ක්‌ වෙනවා. මේ දරුවො තාලය අල්ලගන්න දක්‍ෂයි. ඒත් සංගීත භාණ්‌ඩ අතට හුරු කරන එක ලෙහෙසි නෑ. මේකත් වෙනම කලාවක්‌. හොඳ සංයමයක්‌ අවශ්‍ය දෙයක්‌."

    අන්ධ දරුවන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විශේෂ පුහුණුවක්‌ ලද අමිල සංගීතය ඉගැන්වීමට අමතරව අන්ධ අය වෙනුවෙන් භාවිතවන ටයිප් රයිටර් අලුත්වැඩියාවද හදාරා තිබේ. ඒ සංගීත කාමරයේ සංගීත භාණ්‌ඩ වලට පරිභාහිර යමක්‌වේ නම් ඒ අලුත්වැඩියාව පිණිස ඇති ටයිප් රයිටර්ය.

    ඔහු හැකි සෑම අයුරකින්ම මේ අන්ධ දරුවන්ට උපකාර වෙයි.

    කාලය ගෙවී ගියේය.

    කාල පරිච්ඡේදය අවසන් බව කියන සීනුව වැදිනි.

    මේ අන්ධ දරුවන් පිරිස අමිලගේ හඬ ඇසෙන දෙසට ලංවිය. සර් සර්....

    අතපතගා අමිලගේ දෙපා සොයාගත් දරුවන් දෙපා නැමැද සමුගැනීමට සැරසේ.

    අපටද සමුගැනීමට කාලය පැමිණ තිබේ.

    එහෙත්... එයට ප්‍රථම අමරසිරි පීරිස්‌ නම්, ඔහුද මාද වඩාත් ප්‍රිය කරන ඒ ගායකයාගේ ගීයක්‌ ගැයීමට මම අමිලට ආරාධනා කෙරුවෙමි.

    "අත් වැල ගිළිහී ලොව තනිවූදා..... දකිනා පෙරමග ලකුණු නැතී..."

    ඔහුගේ ස්‌වර නද මාගේ සවන නොව හදවත ස්‌පර්ශ කරයි.

    ඒ හඬ එතරම්ම ලයාන්විතය.

    අන්ධ දරුවන්ට මේ මොනතරම් නම් සවිමත් අත්වැලක්‌ද...

    එස්‌.එම්.එස්‌ අත්වැල ගිලිහුණිද, ඒ හඬ මෙරට "දැක්‌මක්‌ ඇති" ගායන වේදිකාවේ හිණිපෙත්තට නැගීමට ඔහුට අත්වැලක්‌ වනු නොඅනුමානය.






     
    Last edited: