මේ ඒ අමා සදහම් විල යි..!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඒ අමා සදහම් විල යි..!

    ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීලතිත්ථො
    අනාවිලෝ සබ්‌භි සතං පසත්‌ථෝ;
    යත්‌ථ හවේ වේදගුනෝ සිනාතා,
    අනල්‌ලගත්‌තාව තරන්‌ති පාරං…
    මේ ධර්මය, සීලය නැමති තොටුපළ තිබෙන නො කැළඹුනු විලක් වගෙයි. සත්පුරුෂයන් වහන්සේලා ඒ සදහම් විලට ප්‍රශංසා කරලයි තිබෙන්නේ. මේ සදහම් විලෙන් ස්නානය කරපු, ආර්ය ඤාණයේ පරතෙරට වැඩි උතුමන් වහන්සේලා තෙත් නොවූ සිරුරු ඇතිව ඒකාන්තයෙන් ම නිවන් පරතෙර වඩිනවා..!!!
    මේ සුන්දර ගාථා ධර්මය ඇතුළත් වෙලා තිබෙන්නේ, සංයුත්ත නිකායේ සගාථ වර්ගයට යි. ඉතින් මේ අසිරිමත් ගාථාව ගැන දහම් කරුණු ටිකක් ඔබත් සමඟ බෙදා ගන්නට සිතුනා..!


    අපේ කය අපිරිසිදු වුණා ම අපි කවුරුත් වතුර භාවිතා කරල කය පිරිසිදු කර ගන්නවා. කය නිතර අපිරිසිදු වෙනවා වගේ ම අපේ සිත කියන්නෙත් ඉතා ම දීර්ඝ කාලයක් තිස්සේ අතිශයින් අපිරිසිදු භාවයට පත් වෙලා තිබෙන දෙයක්..

    කෙලෙස් කසටවලින්, කෙලෙස් දූවිලිවලින්, කෙලෙස් මලවලින්, කාම මඩවලින්, ද්වේශය කියන පිළීවලින් අපේ සිත ඉතා ම අපිරිසිදු වෙලා නිතර ම දුගඳ හම හමා තමයි තිබෙන්නේ. ඉතින් ඒ විදියට ජරා වුණ සිත් පිරිසිදු කර ගන්නටත් ජලය අවශ්‍ය යි.
    සාමාන්‍ය වතුරෙන් කය පිරිසිදු වුණත් සිත පිරිසිදු කරගන්නට නම් ඒ වතුරෙන් බැහැ. ඒ සඳහා තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමති නිර්මල ජලය අවශ්‍ය වෙන්නේ.
    ඒ නිමල සුනිමල සිසිල් ජලය පිරී පවතින්නේ සද්ධර්මය නැමති ඉතා අසිරිමත් ගම්භීර විල තුළ යි.. යම් කෙනෙක් ඒ විලට බැස ගත්තොත්, තමන් ගේ සිතෙහි පවති සියලු කෙලෙස් මල සෝදා පිරිසිදු කර ගන්නට ඒ කෙනා භාග්‍යවන්ත වෙනවා.
    ඒ අමා සදහම් විල සත්පුරුෂයන් වහන්සේලා විසින් අප්‍රමාණ ලෙස වර්ණනා කළ එකක්. ඒ වගේ ම කිසිම විදියකින් නො කැළඹුන, නොකැළඹෙන එකක්. ඒ විලට බසින්නට තිබෙන්නේ සීලය නැමති සුන්දර තොටු පලින්.
    ඉතින් යම් කෙනෙක් සීලයට පැමිණ නැත්නම් ඒ කියන්නේ එයා සදහම් විලේ තොටුපළටවත් පා තබල නැහැ කියන එක තමයි.
    සීලය නැමති තොටු පලින් සදහම් විලට බසින භාග්‍යවන්තයින් ආර්ය මාර්ගය කියන ජලයෙන් තමන්ගේ කෙලෙස් සෝදා ගන්නවා. එවිට ඒ කෙනා ආර්ය සත්‍ය පිළිබඳ ඤාණයෙහි පරතෙරට යන්නට පටන් ගන්නවා.
    යම් මොහොතක ආර්ය සත්‍ය ඤාණයෙහි පරතෙරට ම ගොස් තමන් ගේ සිතෙහි ඇති සියලු කෙලෙස් මල සෝදා පිරිසිදු කරගත් විට, ඒ මොහොතේ ම ඒ උත්තමයන් වහන්සේ පරම පවිත්‍ර සිතකින් යුතුව මේ කෙලෙස් දුහුවිල්ලෙන් වැසී ගත් මෙතෙරට යළි කිසිදා නො එන ලෙසින් ම නිවන් පරතෙර වඩිනවා. සදහම් විලට බැසගත් කෙනා, නිවන් පරතෙර කරා යන එක ඒකාන්තයෙන් ම සිදු වන දෙයක්.. එය කිසිදා සිදු නොවී තිබෙන්නේ නම් නැහැ.
    ඒ වගේ ම තමයි මේ සදහම් විල තුළ සිදු කරන ස්නානයේ එක්තරා සුවිශේෂත්වයක් තිබෙනවා.. සාමාන්‍ය ස්නානයක දී නම් කය තෙත් වීම සිදුවෙනවා. නමුත් මේ ස්නානයෙන් එසේ වන්නේ නැහැ.
    ඒ උතුමන් වහන්සේ කෙළෙස් කසට බිඳුවක් වත් ඉතිරි නොවන තෙක්, ඒ සදහම් විලේ කිමිදි කිමිදී ස්නානය කළ පසු ඒ ධර්මයට පවා ඇති ඇල්ම ඒ සිතින් දුරු වී යනවා. නෙලුම් කොලයක දිය නොතැවරනෙවා වගේ, ලෝකයේ කිසිවක ඒ උතුමන් වහන්සේ ගේ නිකෙලෙස් සිත තැවරෙන්නේ නැහැ. ලැගෙන්නේ නැහැ. ගැලෙන්නේ නැහැ. සියල්ලෙන් නිදහස් වී යනවා.
    ඉතින් ඒ නිසා ඒ පරම පාරිශුද්ධිය අත්කර ගත හැකි උතුම් සදහම් විලට අපිත් හනි හනිකට බැස ගන්නට බලමු. අඩුම තරමින් මේ වෙසඟේ යමෙකුට ආපසු හැරී නොයන පරිදි සීල තොටුපල දක්වා වත් එන්නට පුලුවන් වුණොත්, පරම නිර්මල අමා සදහම් විලේ කිමිදෙමින් ස්නානය කිරීමේ වාසනාව ඔහුට යම් කලෙක දී අනිවාර්යයෙන් ම උදාවේවි. ඒ සඳහා සියලු දෙනාට ම භාග්‍ය උදාවේවා.! එය එසේ ම වේවා..!!!
    තෙරුවන් සරණයි..!!!
    සාදු සාදු සාදු..!!!


    උපුටා ගැනීම # අමාදම් ගඟුල <[email protected]> විසින් මා වෙත ලැබුණු විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් ....