අනුරයි රනිලුයි මේ මොනවද කරන්නේ ?
--------------------------------------------------------------
මේ වෙනකොට ජනාධිපතිවරණ වැඩ පට්ටලේ ඉස්සරහින්ම වැඩ කරන්නෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක දෙන්නා.
සජිත් ප්‍රේමදාසත් බැහැල තමයි ඉන්නෙ.
හැබැයි එයා කරන්නෙ රනිල් වික්‍රමසිංහ කරන මෙගා වැඩේම බඩිය. මෙගා අස්සෙ බඩී දැනෙන ප්‍රමාණය අඩු වෙනවා.
රනිලුයි අනුරයි මොකක්ද මේ කර කර ඉන්නෙ ?
දෙන්නම කරන්නෙ එකම වැඩක්.
වැඩේ තමයි, සමාජයේ විවිධ තීරු වලට වෙන වෙනම ආමන්ත්‍රණය කරන එක.
අනුර කාන්තාවන් වෙනම එකතුකරනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනම එකතු කරනවා. පොලිස් විශ්‍රාමිකයින් වෙනම එකතු කරනවා. විශ්‍රාමික සෙසු රජයේ සේවකයින් වෙනම එකතු කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එකතුකරනවා. විද්‍යාඥයින් එකතු කරනවා. ව්‍යාපාරිකයින්, මිනුම්දෝරුවන්, ගණකාධිකාරීන් ආදි ලෙස සමාජයේ විවිධ තීරු වෙන වෙනම එකතු කරමින් වෙන වෙනම කතා කරමින් ඉන්නවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ?
ඔහුත් විවිධ සමාජ තීරු වලට කතා කරමින් ඉන්නවා. ඒ කොහොමද ?
සමාජයේ අන්ත දුප්පත් කියල සැලකෙන තීරුවට හාල් කිලෝ 10 ගානෙ බෙදමින් ඉන්නවා. පවුල් ලක්ෂ 24 කට අස්වැසුම ප්‍රදානය කරමින් ඉන්නවා. රටපුරා ඔප්පු නොතිබුන ඉඩම් හිමියන්ට ඔප්පු ලබාදෙමින් ඉන්නවා. නාගරිකව කුලී සින්නක්කර පදනමින් මහල් නිවාසවල ජීවත්වෙන නිවැසියන්ට නිවාස ඔප්පු ලබා දෙනවා. ඒවට වියදම් වෙන ඔප්පු ගාස්තු, නීතිඥ ගාස්තුත් භාණ්ඩාගාරෙන් ලබා දෙනවා. පාසල් දරුවන්ට ජනාධිපති ශිෂ්‍යත්ව දෙනවා, කෑම දෙනවා, ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා දෙනවා. ආරක්ෂක අංශ සාමාජිකයින්ට ප්‍රමුඛතා ප්‍රකාශයට පත් කරනවා. වෙනද නැති තරම් ආගමික වැඩ බැහැලම කරනවා.
මේ වැඩ හරහා සමාජයේ ඒ ඒ දේට සංවේදී සමාජ තීරුවලට බලපෑමක් කරමින් ඉන්නවා.
මේක රුපියල් බිලියන ගානක් වටිනා ප්‍රචාරක ව්‍යාපෘතියක්.
වැඩේ කියන්නෙ ඒකට ගෙවන්නෙ රනිල් මහත්තයගෙ පුද්ගලික ධනයෙන්වත්, යූඑන්පී පක්ෂ අරමුදලෙන්වත් නෙමෙයි, අපි.
අපිව ඇපේට තියල ගන්න ණය වලින් රනිල් මහත්තය එයාගෙ කැම්පේන් එක කරගෙන යනවා.
රනිල් රාජපක්ෂ පූට්ටු ආණ්ඩුව රට ගොඩදායි කියල හිතන කෙනෙක්ට ඕනනම් මෙතනදි කියන්න පුලුවන් රනිල් මහත්තය මේ කරන්නෙ ජනාධිපති හැටියට එයාගෙ වගකීම කියලා.
ඒත් දේශපාලන සදාචාරය කියන එක ගැන අදහසක් තියන ඕන කෙනෙක් දන්නවා මේ කරන්නෙ ජනාධිපතිකම පාවිච්චි කරල තමන්ගෙ කැම්පේන් එක කරගන්න එක කියලා.
IMF එකෙන් සුබසාධන කපන්න කියල තියෙද්දී මේව කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න චූටි මොලයක් තිබ්බත් ඇති.
තව ක්‍රමයක් තියනවා මේක වංචාවක්, ඡන්ද ප්‍රෝඩාවක් කියල දැනගන්න පුලුවන් වෙන.
ඒ තමයි රනිල් මහත්තයව ජනාධිපති කරවන එක.
එතකොට කාටත් බලාගන්න පුලුවන් මේ දෙන දේවල් ඩබල් එකේ උදුරගන්න විදිය.
රනිල් මහත්තය තාම කියන්නෙ නෑ නේද එයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියල ?
එහෙම කියන්නැත්තෙ තාමත් අපේක්ෂකත්වය තීරණය වෙලා නැති නිසා නෙමෙයි, කිව්වොත් මේ කැම්පේන් එකට බාධා වෙන නිසා.
සජිත් මහත්තය කරන්නෙත් බෙදිලි තමා. ඒත් එයාට රනිල් මහත්තය රාජ්‍ය අනුග්‍රහයෙන් බෙදන බෙදිල්ලත් එක්ක හැරෙන්ඩවත් බෑ.
කොහොම වුණත් බෙදිල්ලේ දේශපලනය දැන් පරණයි.
කොච්චර පරණද කියනවනම් ඒක අපේ පක්ෂ දේශපාලනේටත් වඩා පරණයි.
දුප්පත් ගැමියන් ඉඩකඩම් එක්කම සූරාකාපු රදලයො අවුරුද්දකට සැරයක් සිංහල අවුරුද්දට ලොකු කෑම මේසයක් දාල ගැමියන්ව ගෙන්නල කන්න බොන්න දෙනවා. තෑගි බෝග දෙනවා. හොඳට කතාබහ කරනවා.
ඒ එක දවස ඇති මැසිවිල්ලක් නැතිව මුලු අවුරුද්දම අර මිනිස්සු සූරං කන්න.
ගැමියො බලන් ඉන්නවා ඊළඟ අවුරුද්දෙත් අර දවස උදා වෙනකම්.
(අනේ සර්, අපි මිතුරන් වේදෝ - එදා දවස උදා වේවිදෝ)
පක්ෂ දේශපාලනේ ආරම්භ වුණාට පස්සෙ, සුද්දො එක්ක එකට ඉඳල නිදහස් ලංකාවෙ බලය පවරගත්ත මේ රදල, ප්‍රභූ පැලැන්තිය ආයෙ ආයෙත් කෙරුවෙ මාරුවෙන් මාරුවට සුබසාධන පෙන්නල ජනතාවගෙන් බලය ඩැහැගත්ත එක.
බලය ඩැහැගෙන අර පොරොන්දු අමතක කරපු එක.
හඳෙන් හාල්, ඇට අට පැරණි උදාහරණ.
අස්වැසුම අලුත් එක.
පරණ වුණත් රාජ්‍ය බලය පාවිච්චි කරගෙන කරන මේ වැඩ සෑහෙන්න බලපෑම්සහගතයි.
එතකොට අනුර කරන වැඩේ අලුත්ද ?
නෑ, ඒකත් පරණයි.
අඩුගානෙ ඒකත් ඩොනමෝර් කොමිෂමෙන් සර්වජන ඡන්ද බලය ලැබුන 1931 දක්වාවත් යනවා.
නිදහසේ උණුසුම රටට දැනෙද්දි, දේශපාලන පක්ෂ ක්‍රමය ගැන කතාබහ ආරම්භ වෙද්දි, යටත් විජිත පාලකයොත් එක්ක එකඟතාවලට ඇවිත් රටේ පාලනයට හවුල් වෙමින් සිටි රදලයො රට අතට ගන්න සූදානම් වෙද්දි, විකල්ප මත දරපු බුද්ධිමතුන් උඹලගෙ ඉරණම උඹලගෙ අතට ගනිල්ල කියල රටේ මිනිස්සුන්ට කිව්වා.
වැඩවසම් හුරුපුරුදු එක්ක, රදලයින් විසිකරන දෙයක් අරන් කරබාගෙන ඉන්න පුරුදුවෙලා හිටිය ජනතාවක් පුරවැසියො කරන්න ඒ මිනිස්සු ලොකු උත්සාහයක් ගත්තා.
1947 මහ මැතිවරණයේ ඉඳන් හැම මැතිවරණයේදීම වරප්‍රසාද, වරදාන, බොරු පොරොන්දුවලට සමාන්තරව, රටේ මිනිස්සුන්ට තමන්ගෙ ඉරණම අතට ගන්න කතාකරන නිර්ප්‍රභූ දේශපාලනයකුත් ඉදිරියට ආවා.
හැබැයි ඒක ජනප්‍රිය වුනේ නෑ.
හැමදාම වුණේ ප්‍රභූන් අතට බලය ගිය එක. ප්‍රභූ දේශපාලනයේ බොරු පොරොන්දු, වරදාන විතරක් නෙමෙයි මැර බලයට හැමදාම නිර්ප්‍රභූ දේශපාලනය දෙවනි වුන එක.
1977 න් පස්සෙ මේ කියන ප්‍රභූ දේශපාලනයට නීති විරෝධී ක්‍රම මගින්, සදාචාරවාදී නොවන ක්‍රම මගින් ධනවත් වුන, බල්ලො මරල හරි සල්ලි හොයන්න ඕන කියල කල්පනාකරන පාදඩ සල්ලිකාරයොත් එකතුවෙලා පාදඩ ප්‍රභූ කොත්තුවක් රටේ නිර්මාණය වුනා.
දැං විධායක හා ව්‍යවස්ථාදායක බලය තියෙන්නෙ මේ කොත්තුවට.
නිර්ප්‍රභු පොදු ජනතාව දේශපාලනයට හවුල් වීම කියන පරණ මාතෘකාව මේ ජනාධිපතිවරණය ඇතුළෙත් වැඩ කරනවා.
ඒ ඉතිහාසෙ අන් කවරදාටත් වඩා ජනප්‍රිය ආකාරයට.
ඒක ජනප්‍රිය කෙරුවෙ ජාතික ජන බලවේගය.
අනුර.
ඉතින් රනිල් වික්‍රමසිංහයි, අනුර දිසානායකයි පරණ වැඩ දෙකක් කෙරුවත් දෙන්න කරන්නෙ වැඩ දෙකක්.
රනිල් බෙදනව.
අනුර දෙසනව.
රනිල් බඩට කතාකරනවා.
අනුර ඔලුවට කතාකරනවා.
රනිල් අවශ්‍යතා වලට ආමන්ත්‍රණය කරනවා.
අනුර අවශ්‍යතා ඉටුකරගන්න අවස්ථා නිර්මාණය කරගන්න හැටි කතා කරනවා.
අනුරගෙ වැඩේ අමාරුයි.
හොයල බැලුවොත් තේරෙයි, දියුණු වුණු හැම රටක්ම දියුණු වුණේ අමාරු වැඩ කරලා.