ටී.එන්.එල්. විකාශනාගාරයට සීල්
ටෙලිශාන් නෙට්වර්ක් පුද්ගලික සමාගම හෙවත් ටී.එන්.එල්. රූපවාහිනී ආයතනයට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය 5දා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා එම ආයතනයට අයත් විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අධිකරණය මගින් ලබා ගත් අවසරයක් මත එම යන්ත්‍ර අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පොල්ගහවෙල සිට සිදුකරන විකාශන කටයුතු සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් වාර්ෂිකව ලබා ගත යුතු බලපත්‍රය මේ වන තෙක් ලබා ගෙන නොමැති නිසාත් එවැනි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිත කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද විදුලි සංදේශ නියාමන කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ හේතුවෙන් ටී.එන්.එල්. රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත් ප්රතිවිකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ලක්බිම කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් 4දා අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන කටයුතු කිරීම සඳහා මෙම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.
මේ වන විට ටී.එන්.එල්. රූපවාහිනියේ සබරගමුව, වයඹ හා බස්නාහිර ප්‍රදේශවල විකාශන කටයුතු ඇන හිට තිබේ.