මොන්ටිසෝරි
පාට දෙකේ නිල ඇදුමක් අන්දලා, ඒ ඇඳුමටම තියලා ලේංසුවක් තුංහුලස්වට නමලා කට්ටක් ගහලා, මොන බාසාවකටවත් අයිති නැති නමක් සිංහලෙං ලියපු කාඩ්බෝට් මලක් සාක්කුවෙ හයිකරපු අවුරුදු තුන හතරක් වයස ඇති ළමයිංව පාර දිගේ අඩවමින් අරගෙන යනවා ඔබ දැක ඇතැයි සිතමි. ඒ ගෙනියන්නේ නර්සරියටයි. එව්වාට ඩේ කෙයාර් කියාද කියති. මටත් හැමදාම උදේට නර්සරිවලට ඇදං යන ළමයි හමුවේ. එක ළමයෙක්ව ගෙනියන්නේ ඩීසල් ත්‍රීවිලර් එකකය. ඒකේ බීම බෝතල් ටිකක් ඇහිරුවා වගේ පොඩි ලමයි විස්සක් ඉතර අහුරාගෙන යන හැටි අපූරුය. අපේ ගෙවල් ලඟින් ඒ රථයට පටෝන ළමයාට ඩීසල් තීවිලර් එකේ සද්දයද පරද්දන තරං සද්දෙකිං ඇඬීමේ හැකියාව ඇත. තව ළමයෙක්ව අරං එන්නේ පැන්ට බෝතලයක් අනෙක්පැත්ත හැරෙව්වා වගේ අම්මෙකි. ළමයාව හරියට පාරෙ ගෙනියාම කෙසේ වෙතත් ළමයව අල්ලාගෙන යාමෙන් ඒ අම්මාව නං අඩි එකහමාරක් උස හයිහීල් කුට්ටමෙන් නොවැටී බේරේ. මං පොඩි කාලේ මේ කියන ජාතියෙ 'ඩේ කෙයාර්' හෝ 'නර්සරි' නොතිබුණත් අපේ ගමේ පන්සලේ මේ වගේ ළමයි ගාල් කරන තැනක් තිබුණි. ඒ පුස්ප නැන්දගේ මොන්ටිසෝරියයි. හරිම වචනය මොන්ටිසෝරිය වුවත් එයට 'මොට්ටසෝරිය', 'මොන්ටසෝරිය' ආදී උපහාස නම්ද පටබැඳී තිබිණි.
උදේ පාන්දරට බලෙං ඇහැරවා, බලෙං දත් මද්දවා, බලෙම්ම මූනෙත් කකුල් අතපයෙත් සබන් ගා ඒවා වතුරෙන් හෝදවා, මොනවා හෝ දෙයක් බලෙං ගිල්ලවා, මොකක් හෝ ඇඳුමක් අන්දවා මගේ ඇඬුම තඹේකට ගනන් නොගනිමින් “යම.... යම තෝ නැත්තං තොට දෙනව දෙකක් වැරනිය කෝට්ටක් කඩාගෙන පු* පැලෙන්න දැනගං.“ ආදී වශයෙන් තර්ජනය කරමින් මාව ඇදගෙන ගොස් පන්සලේ මොන්ටිසෝරියට දමා පුස්ප නැංදා මාව අල්ලා ගත් සැනිං පිස්සු බල්ලන් දුසිමක් විසින් ලුහුබඳිනු ලබන්නියක් මෙන් ආපසු දිවීමෙං අපේ අම්මාගේ “කොලුව මොන්ටිසෝරියට දැමීම“ අවසන් වෙයි. එවිට මමත් ඇති වීරියෙං දෙතුන් පාරක් කෑ ගසා පුස්ප නැංදාගේ අතත් විකා දැං ඉතිං අඬලා වැඩක් නැති බව දැනගෙන නිහඬ වෙමි. වරිං වර පැමිණෙන අම්මලා විසින් ‘ජෑකොඩියා‘, ‘වස්සලා‘, ‘හංසනී‘, ‘දසුනි‘, ‘දිනුකෙයා‘, ‘දිනුසා‘, ආදීන්වත් පුස්ප නැන්දගේ අත් අඩංගුවට පත්කර අපේ අම්මාට කිසිසේත් දෙවෙනි නොවන ආකාරයකින් දුවති. මොන්ටිසෝරි යන්න පටං ගෙන දවසක් දෙකක් ගතවෙත්ම වතුර බෝතලේ පොලවෙ ගසමින්, උඩ පැන පැන මහපාරේ බිම ඉඳගනිමින්, “වච ඉංඤ ජීපාාාාං“ කියා කෑ ගසමින් අම්මාගේ අතෙන් ගැලවීමට දඟලමින් බිරුසන් දෙන මා දකින කවුරුත් අපේ අම්මගෙන් අහන්නේ එකම පැනයයි.
“ළමය මොන්ටිසෝරි ඇරං යනවද?“
“ඔව් මේ මොන්ටිසෝරි යන ගමං“
අපේ අම්මාත් මගිං කඩාගත් වැරනිය කෝට්ටකිං මගෙ කකුල් කෙටි දෙකට පාරක් දෙමින් මගේ එක අතකිං අල්ලාගෙන මගේ මොන අවයව කොටස පාරේ ඇතිල්ලුනත් නොසැලී ඇදගෙන යමින් උත්තර දෙන්නීය. මමත් අම්මාගේ ඇදගෙන යාම අමාරු කිරීමට බිම ඉඳගනිමින් පාර අයිනේ ඇති ගස් ගල් පටලවාගෙන හැකි සෑම උත්සාහයක්ම දරමි. වැහි දවසක නං මඩවලකට පැන ඇඳුමේ මඩ ගාගැනීමෙන් සහ තෙමා ගැනීමෙන් හොඳ වැරණියා කෝටු පාරවල් හත අටක් ලැබ ගෙදර නවතින්නට පුළුවන. එදාට පිටේ වැවිලි මතුවෙන්නටම පාර ලැබේ. කෙසේහෝ මොන්ටිසෝරි පටං ගෙන මාසයක් විතර යත්දී මේ දිනපතා ඇඬීමේ සහ දිවීමේ චාරිත්‍රය දෙපාර්ශවයටම එපාවී අත්හැරෙනු ලැබෙයි.
පුස්ප නැන්දාගේ මොන්ටිසෝරියේ මුලින්ම කෙරෙන්නේ බුදුං වැඳීමය. මේකට අවශ්‍ය මල් ළමයින්ගේ අම්මලා ගෙදරින් ගෙනැත්දිය යුතුය. මගේ මල්වට්ටියට මල් කැඩෙන්නේ මොන්ටිසෝරියට යන ගමන් පාර දෙපැත්තේ ඇති ගස්වලිනි. බොහෝ වෙලාවට අතුලගෙ කඩේ ගාවදී මං මගේ මල් වට්ටිය පොලවෙ ගහන්නේ එතැනිං මං ඉල්ලන කඩචෝරුව අරන් නොදුන්නොත් පමණි. නැත්තං වටපිට බලබලා ගොස් මල් වට්ටිය ඇලකරගෙනද ඒවා බිම හලාගන්න පුළුවන. ඉතිං එහෙම අතුරු ආන්තරාවකට ලක් නොවී ගෙනා මලක් පුදා පුස්ප නැන්දා කියන පන්සිල් සහ ගාථා කියා අපි බුදුන් වඳිමු. සමහර වෙලාවට “මහ අසප්පුරුස ළමයි“ වසයෙං අපේ අාච්චම්මා ආදීන් විසින් හංවඩු ගැසූ ළමයි පුස්ප නැංදා 'බුද්දං සරණං ගච්චාමී' කියූ විට 'බැයිනං පලෙයං මල් හාමී' වැනි වෙනිං පද කියති.
බුදුන් වැන්ද පසු අපි පුස්ප නැංදාට එක පොදියට දනගසා වඳින්නෙමු. ඒ වඳින ගමං කකුල් පටලවා අනික් එවුං වට්ටන්නෙමු. අපි බුදුගෙයිං එලියට එනවිට දෙතුං දෙනෙක් එසේ කකුල් පටලැවී වැටී හොස්ස තලාගෙන හොරනෑ පිඹිමින් එති. ඉං පස්සේ තියෙන්නේ 'වියායාම කිරීමයි'. පුස්ප නැංදා කියන විදිහට අපි කළ යුත්තෙමු.
“නැගිටින්න“
අපි නැගිටිමු. බංකුවක් බිම පෙරලේ
“අත් ඔසවන්න“
අපි අත් දෙකම ඉහලට ඔසවමු.
“පාතහෙලන්න“
අපි “ද්‍රස්“ ගා ඇඳුමේ වදින ලෙස අත් පාත දමමු.
“ඉඳගන්න“
අපි ඉඳගනිමු. පෙරලිච්ච බංකුවේ කීප දෙනෙක් බංකුව නැගිට්ටවන්න යද්දි බංකුව වැටුන බව අමතක වුන කීප දෙනෙක් ඉඳගන්න ගොස් බිම ඇද වැටෙති. පුස්ප නැංදා හනික ඇවිත් වැටුන අයගේ අතපය තුවාලදැයි බලද්දී වැටුන අය ‘බිරුසන්‘ දෙති.
ඉං පසුව තියෙන්නේ “දත් - නියපොතු“ බැලීමය. අපි අත් මුනිං අතට හරවා ඉස්සරහට දික්කරගෙන “ඊ“ කියාගෙන ඉන්නෙමු. පුස්ප නැංදා ඇවිත් හැමෝගෙම අත් සහ දත් බලා “හොඳයි“ කියන්නීය. සමහරුංගේ දත් මැදලා නැතිනම්, නියපොතු කපා නැත්නං
“හෙටේනකොට දත් මැදං එන්න“
“හෙටේනකොට නියපොතු කප්පෝගෙන එන්න“
කියයි. එවිට අදාල ලමයා
“හා“
කියයි. සමහර ළමයින්ගේ දවස් කීපයක් බලා පුස්ප නැංදාම නියපොතු කපයි.
මෙයින් පස්සේ මොන්ටිසෝරියේ දවසේ වැඩ ආරම්භ කෙරේ. සමහර දවස්වලට තියෙන්නේ පුස්ප නැංදා බිස්ටල් බෝඩ් කෑල්ලක ඇඳලා දෙන පිංතූරෙ පුංචි කෑලිවලට ඉරාගත් පාට කඩදාසි වලිං ඇලවීමය. සමහර දවස්වලට පාට කරපු පොල්කුඩු, තේ කොල, පරිප්පු ඇට ආදියෙංද ඒ පින්තූරෙ අලවන්නට ලැබේ. අපි මුලින්ම කරන්නේ පින්තූරේ පොඟන තරමට එහි හැමතැනම ගම් උලාගැනීමය. අපට ගම් බෝතලයක් අල්ලන්න හම්බුවෙන්නේ එහෙමත් දවසකය. ඒ හංදා අහුවුන දවසේ පුලුවන් තරං ‘ගං‘ ඉවර නොකලොත් අලුත් ‘ගං‘ කුප්පියක් හම්බුවෙන්නේ නැත. අතේ ඇඟිලි පහෙන්ම ගං ගාන බැවින් පින්තූරයත් අතත් දෙකම ගංවලින් ස්වයංපෝෂිතය. ඉන් පස්සේ ගෙදරින් ගෙනා පරිප්පු ඇට මුල ලිහා අලවන්න පටං ගනිමු. පරිප්පු ඇටයක් බොහෝ වැර වෑයමෙන් අල්ලා පින්තූරේ වාටියේ අලවා ඇඟිල්ල ගන්නා විට පරිප්පු ඇටයද ආපහු ඇගිල්ලේ ඇලේ. ඉතිං අනෙක් අතින් ඒ පරිප්පු ඇටය ගලවා ආපහු පින්තූරයේ අලවමු. එවිට කලිං පරිප්පු ඇටේ ගැවුනු ගම්වල පමණක් නොව ඒ අතේ තිබෙන ගම්වලද ආනුභාව බලෙන් ආයිමත් පරිප්පු ඇටය ඒ අතෙත් ඇලේ. මොන හේතුවටදැයි නොදනිතත් පරිප්පු ඇට පමණක් නොව පොල්කුඩු, තේ කොල, කඩදාසි ආදී අපි අලවන්නට ගන්නා හැම ජාතියක්ම කැමති කඩදාසියේ නොව අපේ අතේ පයේ ඇලෙන්නමය. ඉතිං කුකුල් කේන්තිකාරයන් වන අපි මේ ‘ඇලෙන ජාති‘ ඇලවීමට අදාල තැංවල අලවන්නට අපොහොසත්ව ඒවා අතපයේ, ඩෙස් බංකු, ඇඳුං ආදියේ අලවාගෙන ඌරු ජුවල් නැග පින්තූර පොලවේ ගහන්නෙමු. උන්ඩි කරන්නෙමු. දෙකට ඉරා දමන්නෙමු. සමහරු ඒවාට “උඹ, තෝ, ගෑනි, බල්ලා“ ආදී කුණුහරුප කියා බනිති. සමහරු මයිසූර් පරිප්පු පොඩි වැඩි නිසා අතට අහුවෙන්නේ නැතැයිද එනිසා අලවන්නට බැරියැයිද කියා සාප කරද්දී තවත් සමහරු ගෙනා ඒ වගේ කීප ගුණයක් විසාල වටානා පරිප්පු ඇට අලවාගෙන තබාගන්න අසමත් වන ගම් බෝතල් බිම දමා පාගා ඒවාට දඬුවම් දෙන්නෝය. අවසානයේදී පුස්ප නැංදාට බොහෝවිට මෙයින් අඩකට වැඩි සංඛ්‍යාවක් ආපහු ඇලවීමට සිදුවන්නේය.
තවත් දවස්වලට පොතේ අකුරු ලියන්නට ලැබේ. පුස්ප නැංදා තිත් ඉරි වලින් දෙකේ කාසියක් තරමට ලොකුවට ලියාදෙන අකුර උඩ අපි පැන්සලෙන් බොහෝ වාරයක් ලිවිය යුත්තෙමු. අපි කැමති ‘බිංදුව‘ ‘රයන්න‘ සහ ‘ටයන්න‘ යන අකුරුවලට පමණි. අනෙක් අකුරු ලියන්නට දුන්විට අපි අකමැත්තෙමු. ඒත් දෙන අකුර ලියන්නට ඕනෑය. ‘අ‘යන්න ලියන්න දුන්නොත් එය පටං ගන්නා ගැටය සහ අවසන් වන ගැටය අපේ අතිං දෙතුන් පාරට වඩා ලියවෙන්නේ නැත. ‘ක‘ යන්න, ‘ත‘යන්න, ‘න‘යන්න ආදී මොන අකුර දුන්නත් ඒ සියල්ල දහ ගමනක් එක උඩ ලියන විට එකම අකුර වගේ වන්නේය. තව දහ ගමනක් ලියන විට අකුරුවල තටු කෑලිද අකුරේ බඩටම යාවේ. දැන් එතන ඇත්තේ කට කැඩිච්චි කලයක් වැනි එකකි. අන්තිමට අකුර අඳුරාගන්නට නොව අකුර මොන හෝඩියට අයත්දැයි කියන්නට පන්සලේ හාමුදුරුවන්ටවත් බැරිය. සමහර විට විසි වතාවක් විතර ලියන විට අකුර හිල්කරගෙන යන පැන්සල පිටුව ඉරා දමයි.
මේ අතර පැන්සල්, මක්ක වලට වලිද ඇතිවේ. සමහරුන්ගේ අතින් වැරදීමෙන් අපේ පොත්වල ඇඳෙන පැන්සල් ඉරි මකා නොදුන්නහොත් අපි ඒ වෙනුවෙන් දිවි හිමියෙන් අනෙකාගෙ කෙස් උගුල්ලමු. ටොකු ඇනගමු. කොනිත්තමු. විකමු. වඩාත් දරුණු අවස්ථාවලදී පැන්සලෙන්ද අනින්නෙමු. පැරදුන කෙනා
“වුස්වලැල්ලේ...... ලිලූගෙය වට වැස්සලෙග් අැල්ලා......“
කියාගෙන නඩුව කියන්නට යයි. පුස්ප නැන්දාද හීං කුකුලුවැල් කෑල්ලක් අරගෙන ඇවිත් වැරදිකාරයාට එකක් තලන්නීය. එවිට පැමිණිලිකාරයාට හිත හොඳවන අතර වැරදිකාරයා නලවාගන්නටද පුස්ප නැංදාට සිදුවේ.
චිත්‍ර අඳින්නට නම් අපි කොහොමත් කැමතිය. අපි අඳින 'අපේ පවුලේ අය' ඉන්නා චිත්‍ර බලන අය හිතන්නේ මොන්ටිසෝරියේ ඉන්න අපි සියළු දෙනාම ලේ නෑයෝ කියාය. ඒ හැමෝම අතේ ඇඟිලි පහද කකුලේ ඇඟිලි පහද විහිදාගෙන අත් දෙක දෙපැත්තට දික්කරගෙන සිටිනා කෝටු අතපය සහිත මිනිස්සුය. ඔවුන්ට පෙට්ටි වගේ ඇඳුංද අන්දා ඇත්තෙමු. මේ විදිහෙ පෙට්ටි ඇඳි උස කෝටු මිනිස්සු අම්මා සහ තාත්තාද, මිටි කෝටුකිතයි ළමයින්ද වේ. මේ අය අත් දෙපැත්තට විහිදාගෙන 'ගිනි ගිනි බෝලේ' කරන්නට මෙන් එක පෙලට සිටින අතර ඔවුන්ට පිටිපස්සෙන් උල් හැඩැති කඳුවලින් මැද කන්දෙන් ඉදිච්ච රඹුටං ගෙඩ්ඩක් මෙන් කෙඳි විහිදා 'ඉර මාමා' පායන අතර කලු පාට තුනේ ඉලක්කං රෑනක් ඊට උඩිං පියාඹා යන්නේ කෑම හොයාගෙනය. සමහර විටක මෙම චිත්‍රවල එක ජනේලයක් සහ දොරක් සහිත මාරිපෙට්ටියක් වැනි ගෙවල්ද තිබේ. මේවා පාට කිරීමේදී දම්පාට, රතුපාට, තැඹිලි පාට මිනිස්සුන්ද, නොයෙක් පාට ගෙවල්ද ඇතිවීම නොවැලැක්විය හැක. පියාඹන තුනේ ඉලක්කම් ටික හැර අනෙක් කිසිවක කලුපාට නොගෑමට අපි පරිස්සම් වෙමු. පරිස්සම් කරගත නොහැක්කේ පාට පෙට්ටිය පමණි. අපි දෑත බදා පාට උලනු ඔරොත්තු දී ගත නොහැකිව පාට කෑලි දෙකට තුනට කැඩී චිත්‍රයද ඉරා දමයි.
දවල් දවසට ලැබෙන වැදගත්ම වැඩය නම් සෙල්ලං කිරීමට ලැබීමය. පන්සල් මිදුලේ ඇති තරං වැලි ඇති බැවින් අපි ඒවා ගොඩවල් සාදා ඒවා “කෝම්පිට්ටු“ යැයි නම් කරමු. හරි හමං කෝම්පිට්ටුවක් හදන්න පොල්කට්ටක් පන්සලේ හොයාගන්නට නැත. කවුරු හෝ එලෙස නම් කරන “කෝම්පිට්ටුවක්“ පාගා එය හිමිකරුගෙන් බේරීමට දිවීම එක සෙල්ලමකි. දුවන්නට කම්මැලි “කෝම්පිට්ටු හිමියෝ“ අඬාගෙන පුස්ප නැන්දා ළඟට දුවති. නැත්තං වැලිවලින්ම දමා ගසති. මේ රණ්ඩු බේරන්නට බැරිවිට පුස්ප නැංදා වේවැල ලෙලවා
"ආයි දග කලොත් දෙනව සේට්ටම"
කියා බොරුවට සැර කර පැමිණිලිකරු සනසාලයි. දවල්ට කෑමට අපි ගෙදරින් ගෙනා දෙයක් කන්නෙමු. මට නම් මොන්ටිසෝරි යනවාට කප්පම් ලෙස එක එක පාටින් යුතු කේක් කෑල්ලක් හැමදාම 'කරුනෙ මාමගෙ' කඩෙන් අරන්දෙනු ලැබේ. මම ඒක බත් පෙට්ටියේ දාගෙන පියනෙනුත් වහගෙන කන්නේ අනෙක් අය ඉල්ලනු ඇතැයි බයටය. තව සමහරු ඒ වැනි කෑම ජාති ගෙනත්
"හූ...හූ....මේ දැක්කද මං ගෙනාවෙ ජෑං පාස්"
කියා බත්, කඩල, මුංඇට ආදිය ගෙනා අයට තමුංගේ ජෑංපාස් එක පෙන්නා ඉන්පසු එයිං කෑල්ලක් කඩාගෙන කා
"පුරාම රහයි. පැණීම පැණි රහයි"
කියා තවත් උජෝවඩති. පහුවදාට කඩල, මුංඇට, බත්, කිරිබත්, කවුපිකාරයෝද බත් පෙට්ටි පොලවෙ ගසා දෙමව්පියන්ගේ ඉහ නිකට හිඳ හෝ අනුන්ට පෙන්න පෙන්නා කන්නට පැණි රහ කෑමක් අරන් එති. ටික දවසකින් මේ ගෝරි බේරන්නට බැරි තැන පුස්ප නැන්දා අපූරු වැඩක් කලාය. එක දවසකට මොන්ටිසෝරියේ ළමයින්ට කෑම දෙන්නේ එක ළමයෙකුගේ ගෙදරකිනි. ඉතින් අපේ ගෙදරින් දෙන දවසට නූල්ඩස් එක්ක පොල් සම්බෝලය. 'දිනූෂාගේ' අම්මා හදන්නේ කඩලය. දසුනිලාගේ ගෙදරින් කෑම දෙන දවසට හොඳය. එදාට කෑම ජාති ගොඩාරියක්ද කිරිතේද ලැබේ. දසුනිගේ අම්මා අපේ ළඟට ඇවිත් 'කිරිවලට තේ දාන්නද?' කියාත් අසන්නීය. ඒ ගොල්ලන්ගෙ ගෙදර අය ගොඩාක් පෝසත් අය හින්දා එහෙම දෙන බව අපි දනිමු.
පුස්ප නැන්දා අපිට කටන්දරද කියා දෙයි. අපි කීප දෙනෙක් කටන්දර අහන්නට ආසාය. නමුත් අනෙක් අය කැමති රණ්ඩුකරගෙන දුව පැන නටන්නටය. පුස්ප නැන්දා කටන්දර කියන්නේ අපූරු ක්‍රමයකටය.
"ඔන්න එකමත්තෙක රටක හිටිය කුමාරයෙක්. කවුද.......?"
"කුමාරයෙක්"
අපි උත්තර දෙමු.
"ඉතිං ඔන්න දවසක්කේ කුමාරය කැලේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ගියා. කොහෙද.........?"
"කැලේට"
"ඔන්න ඉතිං කුමාරයට ගොඩාාාාක් බඩ්ඩග්ගිනිවුනා. මොකද්ද උනේ........?"
"බඩ්ඩග්ගිනි උනා..."
"අන්නහරි බඩගිනි උනා"
මේ අතරේ කොනිත්තාගැනිලි. ඇඟිල්ලෙං ඇනගැනිලි නිසා ඇතිවන පුංචි පුංචි වලිද සංසිඳවන්නට පුස්ප නැංදා වේවැල ඔසවාලයි.
අවුරුද්දේ අංතිම වන විට අපිට කියාදෙන්නේ නැටුංම විතරය. පුස්ප නැන්දා සීනි පිට්ටු කටු දෙකක් වගේ පිත්තල පාට දෙකක් නූලක අමුනාගෙන ඇවිත් ඒ පියං දෙක "ටිංං ටික්" කියා හප්පමින් අපිට සිංදු කියා දෙමින් නටවයි. ඇය සිංදුවේ පදයක් රතුපාටින් කියූවිට අපිද ඒ පදයම නිල් පාටින් කිය යුත්තෙමු.
"අත දිලෙනා පය දිලෙනා වර වර ගානේ"
"අත දිලනා පයදිලනා ජරබරගානේ"
අපි වැරැද්දූ විට පුස්ප නැංදා තාලය පැත්තක දමා අපිට සැර කරයි.
"ජරබර ගානේ නෙමෙයි වර වර ගානේ"
අපිට මැවී පේන්නේ අතත් පයත් ගෝල්ලිප් පැකැට්කොල වගේ දිලිසෙන කෙනෙක් අත වනලා අපිට "වර වර" කියා අඬගසන හැටිය. අපේ ගෙදර අයත් මට අඬගසන්නේ "වර' කියලාය.
නැටිල්ල එහෙම පිිටිම්ම නරිනාටකයකි. නැටුමකදී කුරුල්ලෝ පියාඹන ආකාරය කරන විට සමහර අය ඇත්තටම කුරුල්ලෝ පිහාටු ගහනවා වගේම අත්දෙක උඩ පහල යවන හැටියට ඔවුන්ව ඇත්තටම උඩ නොයන එක ලෝක පුදුමයකි. අපි සමහරවිට නැටිල්ල අමතකව ඒ දිහා බලා සිටිමු. සමහරු අතපය ඉහල යවන්නේ රෙද්දක් හුළඟට වැනෙනවා වගේය. තවත් සමහරු බත්කූරෙක් පියාඹනවා වගේ පුළුවං තරං වේගෙං අත් ඉහළ පහල යවන්නේ ඇත්තටම උඩ යන්න වගේය. අපි වගේ සෝමාරියෝ අත්දෙක යංතං උඩ පහල යවන්නේ හුළඟට වැනෙන හබරල කොළ වගේය. මොන්ටිසෝරි යන ළමයි හෝ ඉස්කෝලේ එක දෙක වසරේ ළමයි සිංදු කියා නැටීමෙන් සන්තෝෂවන්නේ යැයි කවුරුන් හෝ කියත් නම් ඒ අමුම අමු බේගලයකි. නැටුං නැටීම හා සින්දු කීම පොඩි ළමයින්ට වදයකි. පනයන වැඩකි. මේ මොන්ටිසෝරි නැටුං කරුමයක් වන්නේ ගෙදර අය සහ පවුලේ අය දැනගත්විටය. දවාලට මොන්ටිසෝරියෙං ළමයි ගෙනියන්නට එන අම්මලා මේ නැටුං පුහුණු දැක ගෙදර පවුලේ, අහල පහල අය සමගත්
"මුංට දැං නැටුං උගන්නනවා"
කියා කිවීමෙන් වැඩේ අනති. එවිට පවුලේ අය හෝ එවිට රැස්වී සිටින පිරිස.
"හා එහෙනං අද කියාදුන්න නැටුම නටල පෙන්නන්න"
කියති. එවිට ලැජ්ජාවෙන් ඇඹරුනොත් අම්මාගෙන් රැවුං ගෙරවුං ලැබේ.
"හෙට උඹට අතුලගෙ කඩෙං කිසිම කඩචෝරුවක් ඇරං දෙන්නෑ. නටහං නැත්තං අරං දෙන්නෑ"
"හූ... හූ... මෙයාට බෑ.. මෙයාට බෑ"
නරඹන්න බලා ඉන්නා අය කරන කෝචොක් එකෙන් අම්මා තවත් ඇවිස්සේ. ඉතිං අම්මාගේ නම්බුවත් මගේ කඩචෝරුවත් බේරාගැනීමට මතක විදිහට කතාවක් කියන්නා වගේ සිංදුව කියමින් ඒ අතරට තාලෙට කිසිසේත් නොගැලපෙන අතපය එහෙමෙහෙ වැනීමකින් සහ දනිස් නමා උඩ පාත යමින් රවුමක් කැරකීමකින් නැටුමක් වැනි විකාරයක් මවාපෑමට මට සිදුවේ.