~ මොසාඩ් ලිපි අංක 1 ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ මොසාඩ් ලිපි අංක 1 ~

    මොසාඩ් ලිපි අංක 1

    Khaled Mashal ඝාතනය කිරීමට දියත් වූ Mossad මෙහෙයුම

    1997 වසරේ ජුලි මස 30 වෙනිදා ඊශ්‍රයාලයේ ජෙරුසලම් නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනවා. පොදුවෙළද සංකීර්ණයකදි ත්‍රස්ත්‍රවාදීන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රයාල වැසියන් 16 දෙනෙකු මියගොස් තවත් 169 දෙනෙක් තුවාලකරුවන් බවට පත්වෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම පැවරෙන්නෙ හමාස් සංවිධානයට. හදිසි ප්‍රහාරයෙන් අනතුරුව සිය කැබිනෙට්ටුව කැඳවන ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නොතෙන්යාහු විසින් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස කෙසේ හෝ ප්‍රබල හමාස් නායකයෙකු මරා දැමීමට තීරණයකරනු ලබන අතර එම වගකීම මොසාඩ් සංවිධානය වෙත පැවරෙනවා. ඉලක්කය කවුරුන් විය යුතුද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට දින කිහිපයක් මොසාඩ් සංවිධානය ඉල්ලා සිටින්නේ ඔවුන් සතුව හමාස් සංවිධානයේ නායක මණ්ඩලය පිළිබඳ පැහැදිලි තොරතුරක් ඒ වන විට නොපැවති බැවිනි. හමාස් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වූ Mousa mohommed abu marzook ඉලක්කයක් ලෙස සලකා බැලීමට මොසාඩ් සංවිධානය පසුබට වුනේ ඔහු ඇමරිකානු ගමන් බලපත්‍රයක් හිමි තැනෙත්තෙකු වීම හේතුවෙනි. ඇමරිකාව සමග කිසියම් ආකාරයකින් හෝ ගැටුමක් ඇතිකර ගැනීමට මොසාඩ් සංවිධානය පැකිලුණා. ඒ අනුව ඉලක්කය ලෙස තෝරාගත්තේ හමාස් දේශපාලනික අංශයේ නායක Khaled Mashal ය.
    හතළිස් එක් හැවිරිදි පරිගණක ඉංජිනේරුවරයෙකු වූ කාලිඩ් හමාස් සංවිධානයේ නැගී එන තරුව ලෙස හැඳින්වුනා. නමුත් කාලිඩ්ව ඝාතනය කිරීමට තිබුනු ලොකුම බාධාව වුනේ ඔහු සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබුවේ ජෝර්දානයේ අම්මාන් නුවර සිට වීමයි. ඒ වන විට 1994 සාම ගිවිසුම හේතුවෙන් ජෝර්දානය තුල සියලුම මොසාඩ් මෙහෙයුම් නවතා දැමීමට එවක අගමැති යීට්ෂැක් රාබින් ක්‍රියාකර තිබුනා. නමුත් එම තහනම නොසලකා හැරීමට තීරණය කරන ලෙස නෙතන්යාහු විසින් මොසාඩ් සංවිධානයට අවස්ථාවේදී උපදෙස් ලැබුනා. ජෝර්දානය සමග ගැටුමක් ඇති නොවන ලෙස නිහඬ මෙහෙයුමක් සිදු කරන ලෙස ඔහු නියෝග ලබා දුනි. මේ හේතුවෙන් කිසිදු ගිනි අවියක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබෙනවා මෙන්ම යම් ප්‍රහාරයක් සිදුවූවාද යන්න කිසි අයෙකුටවත් නොදැනෙන ලෙස මෙහෙයුම කල යුතුව තිබුනා. සියලුම උපක්‍රම සලකා බලා අවසානයේ මොසාඩ් පර්යේෂණ අංශය විසින් නිශ්පාදනය කරන ලද උග්‍ර විෂ සහිත දියරයක් යොදාගනිමින් කාලිඩ් මරා දැමීමට තීරණය කරනු ලැබනවා. මෙම විෂ වර්ගයේ විශේෂත්වය නම් මරණ පරීක්ෂණයකදී වුවත් මරණය සිදුවූයේ විෂවීමකින් බව හඳුනා ගැනීමට නොහැකි වීමයි.

    දින කිහිපයකට පසු ඊශ්‍රයාලයේ ටෙල් අවිව් නුවර ජනාකීර්ණ වීදියක තරුණයන් දෙදෙනෙකු කොකා කෝලා කෑන් දෙකක් අතේ තබාගනිමින් සොලවමින් සිටියා. එක් තරුණයෙකු සොලවමින් සිටි කෑන් එක විවෘත කෙරුන අවස්ථාවේ පාරෙ සිටි අනෙක් මිනිසුන්ගේ අවධානය ඒ දෙස යොමුවුනේ එයින් ඇතිවූ ශබ්ධයට සහ උතුරායන කෑන් එක නිසායි. නමුත් කිසිවකු නොදැන සිටි දෙයනම් ඔවුන් දෙදෙනා මොසාඩ් ඒජන්තවරුන් දෙදෙනෙක් බව මෙන්ම ඔවුන් සිදුකරමින් සිටියේ හමාස් නායකයා මරා දැමීමේ මෙහෙයුමේ අත්හදා බැලීමක් යන්නයි. එක් අයෙක් කාලිඩ්ගේ අවධානය ලබාගනිමින් කෝලා බඳුන විවෘත කරන අතරතුරේ අනෙකා විසින් කාලිඩ්ගේ බෙල්ල පිටුපසට විෂ දියරයෙන් බිංදු කිහිපයක් දැමීම ඔවුන්ගේ මෙහෙයුමේ ඉලක්කය වුනා.

    මෙහෙයුමට සති හයකට පෙර පළමු මොසාඩ් නියෝජිතවරු කිහිප දෙනා ජෝර්දානයට පැමිණියේ ව්‍යාජ විදෙස් ගමන් බලපත් යොදාගෙනයි. ඔවුන්ගේ කාර්ය වුනේ කාලිඩ්ගේ දිනපතා කාර්යන් නිරීක්ෂණය කරමින් තොරතුරු රැස්කිරීමයි. ඔහු නිවසින් පිටවන වේලාව, ඔහු සමග කාරයේ ගමන් කරනා අය, ඔහු ගමන් කරනා මාර්ගය, පාරේ මාර්ග තදබදය, ඔහුගේ කාර්යාලයට පැමිණෙන වෙලාව. නිවසේ සිට කාර්යාලයට ලඟාවීමට ගතවන වේලාව මේ සියල්ල ඔවුන් නිරීක්ෂනය කරමින් සති කිහිපයක් ගතකලා. ඔවුන්ට අනුව කාලිඩ් නිවසින් පිටවන්නේ කිසිදු ආරක්ෂකයෙක් නොමැතිව ඔහුගේ රථය පදවන සහායකයා සමගයි. කාර්යාල සංකීර්ණය වෙත ලඟාවන රථය ඔහු ගොඩනැගිල්ල ඉදිරිපිට බස්වා රියදුරු රථය රැගෙන නැවත පිටවනවා. ඉන් පසු කාලිඩ් ස්වල්ප දුරක් ඇවිදිමින් ගොඩනැගිල්ලට ඇතුලුවනවා. මේ අවට ප්‍රදේශය තුල කිසිදු පොලිස් නිළධාරියෙක්, හමුදා නිළධාරියෙක් හෝ කාලිඩ්ගේ මිතුරන්වත් කිසි දිනයක දකින්නට නොමැතිවීම විශේෂ ලක්ෂණයක් වුනා.
    මේ තොරතුරු අනුව මොසාඩ් මූලස්ථානයේ විශේ‍ෂ නිළධාරින් විසින් කාලිඩ් රථයෙන් බසින අවස්ථාවේ සිට ගොඩනැගිල්ලට ඇතුළුවන අවස්ථාව දක්වා කාලය මෙහෙයුමට සුදුසුම අවස්ථාව බව තීරණය කරනවා. මේ අතරතුර ඊශ්‍රයාලයට තවත් හමාස් ප්‍රහාරයක් එල්ලවනවා. මේ හේතුවෙන් තවදුරටත් මෙහෙයුම කල් දැමීම නොකල යුතු බව තීරණය කරන මොසාඩ් නිළධාරීන් වහා අනෙක් සාමාජිකයන්ද ජෝර්හානය බලා පිටත් කිරීමට කටයුතු කරනවා.

    1997 සැප්තැම්බර් 24 , මෙහෙයුමට එක් දිනකට පෙර අම්මාන් නුවර සුපිරි හෝටලයක සංචාරක යුවලක් නවාතැන් ගන්නවා. මේ එක් අයෙක් සෙමින් ඇවිදින රෝගී ලක්ෂණ පෙන්නුම කරනා අයෙක් වුනා. ඔහු හොටෙල් සේවකයන්ට පැවසුවේ හෘද රෝගයකින් පීඩා විදින බවත් තරුණිය ඔහුගේ වෛද්‍යවරිය ලෙසත්ය. දවසම වාගේ පිහුණුම් තටාකය අසල ආසනයක වැතිර සිටි මේ හෘද රෝගියා Mishka ben-david නම් විය. ඔහුගේ කාර්යවූයේ මොසාඩ් මූලස්ථානය හා ප්‍රහාරක ඒජන්තවරු අතර මෙහෙයුමේ තොරතුරු සන්නිවේදනය කිරීමයි. විශේෂිත කරුණ නම් තරුණිය සැබවින්ම වෛද්‍යවරියක් වීමයි. ඇයගේ කාර්යභාරය නම් යම් හෙයකින් මෙහෙයුම තුල අත් වැරදීමකින් විෂ දියරය මොසාඩ් නිලධාරියෙකුගේ සමට වැටුනහොත් එය විෂවීමෙන් වලකා ගැනීමයි. මේ සඳහා ප්‍රතිදේහී එන්නතක් ඇය සතුවුනා. ප්‍රහාරකයන් දෙපල ලෙස Shawn සහ Barry ලෙස නම් කරන ලද නියෝජිතයන් දෙපල කැනේඩියානු ගමන් බලපත්‍ර දෙකකින් මේ වන විට ජෝර්දානයට පැමිණ සිටියා.
    මෙහෙයුමේ අණදෙන නිළධාරියා ඉදිරිපස වීදියේ රැඳිසිට හදිසි අවස්ථාවකදි හිස් වැසුම ගලවා සන් කරමින් මෙහෙයුම නවතන ලෙස දැනුම් නොදුනහොත් පමණක් අත්හදා බැලූ ආකාරයටම Shawn කෝක් කෑනය සොලවමින් එය අත් වැරදීමක් ලෙස කාලිඩ් ගේ දිශාවට විවෘත කරන අතරේ Barry විසින් විෂ අඩංගු දියරයෙන් බිඳු කිහිපයක් ඔහුගේ බෙල්ල පිටුපස සමට දැමිය යුතුවුනා. මේ අතරතුර සංචාරක යුවල ගොඩනැගිල්ලේ ලොබියේ රැදීසිටින්නේ නියෝජිත දෙපලට අවශ්‍යවුවහොත් ප්‍රතිජීවකය ලබාදීමටයි. ඔවුන්ගේ අනෙක් කාර්ය වුනේ කාලිඩ් ඉතා ඉක්මණින් ඇවිද යමින් පැමිණියහොත් නියෝජිතයා ප්‍රහාරය එල්ලකරන තුරු ඔහුගේ ගමන්මගට බාධා කිරීමයි. ඉන් අනතුරුව ප්‍රහාරකයන් දෙපල ඔවුන් රැගෙන යාමට ගොඩනැගිල්ල පිටුපස ඇති මෝටර්රථයට ගමන් කල යුතුයි. ප්‍රහාරය සාර්ථකවූ පසු කාලිඩ් හෘදයාබාධයකින් මිය යනු ඇත්තේ කිසිවකු නොදන්නා ලෙසටයි.

    සියලුම නිළධාරීන් ස්ථානගතව කල්මරමින් සිටියා. බලාපොරොත්තුවූ පරිදිම කාලිඩ් මෝටර් රථයෙන් බැස පඩිපෙල නගිමින් එන්නට වුනා. සෙමෙන් සෙමෙන් පියවරෙන් පියවර ප්‍රහාරකයන් දෙපල කාලිඩ් දෙස ලංවන්නට වුනා. නමුත් එක් වරම "Baba!, baba ! ලෙස කෑගැසීමක් කාලිඩ්ගේ මෝටර් රථය දෙසින් ඇසෙන්නට වුනා. දෛවෝපගත ලෙස එදින කාලිඩ්ගේ දරුවන් දෙපලද ඔහුගේ රථයෙන් පාසල් යාමට පැමිණ තිබුනා. කිසිදු ඔත්තුබලන්නෙක් මෙය දැක නොතිබීම පුදුමසහගත දෙයක්වුනා. මෝටර් රථයෙන් බැස එක් දියණියක් ඔහු දෙසට දුව එන අතරේ රියදුරා ඇය අල්වා ගැනීමට පැමිණෙමින් තිබුනා. මෙහෙයුමේ අණ දෙන්නා මෙය දුටු විගස හිස් වැසුම ගලවමින් මෙහෙයුම නවතන ලෙස සන් කලත් ප්‍රහාරකයන් දෙපල ඒ ක්ෂණයේම සිටියේ ගොඩනැගිල්ලේ කණුවක් පසුකරමින් නිසා ඔවුන්ට ඔහුව නොපෙනී ගියා. තත්වය තවත් දරුණුවුනේ ඔවුන් දෙදෙනාම දියණිය හෝ රියදුරා නොදැකීමයි. ඔවුන් දෙදෙනා කාලිඩ් වෙත පැමිණෙමින් සිටියා. Shawn කෑනය සොලවමින් විවෘත කිරීමට උත්සාහකරා, කිසිදු පෙර පුහුණුවක නොවුනු ලෙස කෑනය විවෘත වීම අපහසු වුනා. මෙය නොදත් Barry පිටුපසින් පැමිණ විෂ දියරය එල්ල කිරීමට අත එසවූවා. මෙය දුටු රියදුරා තේරුම් ගත්තේ එය කාලිඩ්ට ප්‍රහාරයක් එල්ල කරනා ලෙසටයි. එක් වරම කෑගැසූ ඔහු අත තිබු පුවත්පතකින් බැරීට දමා ගැසුවා. එකෙණෙහිම එල්ල වුනු විෂ ප්‍රහාරයෙන් කාලිඩ්ගේ කණ තුලට කුඩා බිඳිති කිහිපයක් ඇතුල් වුනා. කලබල වූ කාලිඩ් දිව යන්නට වුනා. ප්‍රහාරකයන් දෙපලද වහ වහා පලායමට මෝටර් රථය කරා දිව යන්නට පටන් ගත්තා. නමුත් මේ අවස්ථාවේ කාලිඩ්ගේ සහයකයෙක් වුනු මුජහදීන් සෙබළෙක්ව සිටි Abu seif ඔවුන් පසු පස දිව යමින් මෝටර් රථය ලුහු බඳින්නට වුනා. මේ අවස්තාවේ මොසාඩ් නියෝජිත දෙපල මෙහෙයුමේ බරපතලම අත්වැරැද්ද සිදුකරමින් Abu seif තම මෝටර් රථයේ අංකය පොලිසියට ලබා දෙනු ඇත යන උපකල්පනයෙන් මෝටර් රථයෙන් බැස පලා ගියා. නමුත් ඔවුන් නොදැනුවත්ව Abu seif ඔවුන්ව ලුහුබඳිමින් Barry ගේ කමිසයෙන් ඇද අල්වාගත්තා. ඔවුන් අතර පොර බැදීමේදී රැස්වූනු අවට සිටි මිනිසුන් Abu seif ට උදව් කරමින් Barry සහ Shawn අල්වාගෙන පොලිසියට බාරදෙන්නට කටයුතු කරා. මේ අතර අනෙක් මොසාඩ් නියෝජිතයන් පිරිස මොසාඩ් මූලස්ථානයේ උපදෙස් පරිදි ජෝර්දානයෙන් පිට නොවී ඊශ්‍රයාලයේ තානපති කාර්යාලයට ඇතුල්වුනා. වෛද්‍යවරිය පමණක් හෝටලය තුල රැදීසිටියා. මේ අතරතුර රෝගාතුරව ඇද වැටුණු කාලිඩ් රෝහල් ගතකර තිබුනා. Shawn සහ Barry ගේ පාස්පෝර්ට් පරික්ෂා කල පොලිසිය කැනේඩියානු තානාපති කාර්යලය හරහ ඒවා ව්‍යාජ බලපත්‍ර බවට හඳුනාගෙන තිබුනා.

    මෙහෙයුමේ ව්‍යාකූලත්වය ගැන දැනුවත්වූ නෙතන්යාහු අගමැතිවරයා රාජතාන්ත්‍රික අර්බුධයක් ඇතිවීමේ ඉඩකඩ ගැන බියට පත්වුනා. සැනෙකින් ජෝර්දානයේ හුසේන් රජු අමතමින් වැදගත් සාකච්ඡාවක් උදෙසා මොසාඩ් ප්‍රධානීයා ජෝර්දානයට එවන බව සැල කර සිටියා. මොසාඩ් ප්‍රධානියා සමග හමුවෙන් පසු ජෝර්දාන භූමිය තුල සිදුවූ මොසාඩ් මෙහෙයුම ගැන දැනගත් හුසේන් රජු දැඩිලෙස කෝපයට පත්ව කාලිඩ්ව රාජකීය රෝහල වෙත මාරු කර ප්‍රතිකාර ලබා දෙන ලෙස දන්වා සිටියා. මොසාඩ් ප්‍රධානියාට ප්‍රතිජීවකය ලබා දීමට හුසේන් රජුට එකඟවීමට සිදුවීම හැර විකල්පයක් නොතිබුනි. වහා ප්‍රතිජීවකය වෛද්‍යවරිය සමග රෝහල වෙත රැගෙන ආවත් ජෝර්දානුවන් ඊශ්‍රයාල වෛද්‍යවරිය ගැන සැක පහළ කරමින් ඇයව ප්‍රතික්ශේප කරන්නට වුනා. රාජකීය වෛද්‍යවරයාද ප්‍රතිජීවකයේ රසායනික සංයුතිය නොදැන එය එන්නත් කිරීම ප්‍රතික්ශේප කරා. මේ හේතුවෙන් අලුත්ම අර්බුධයක් හටගනිත්දී කාලිඩ්ගේ තත්වය දරුණුවන්නට පටන් ගත්තා. දැඩි ලෙස කිපුණු හුසේන් රජු ඊශ්‍රයාල තානාපති කාර්යාලය වට කර අනෙක් මොසාඩ් ඒජන්තවරුන්ද අල්වා ගන්නා බවට තර්ජනය කරන්න වුනා. කාලිඩ් මාෂාල් මියගියහොත් මොසාඩ් ඒජන්තවරුන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස තර්ජනය කල හුසේන් රජු ඇමරිකානි ජනාධිපති බිල් ක්ලින්ටන්ට තත්වය පිලිබද දැනුම් දෙනු ලැබුවා. දැඩි ඇමරිකානු බලපෑම් නෙතන්යාහුවෙත එල්ල වීමට පටන් ගත්තේ ඉන් පසුවයි. පාර්ශව කිහිපයකින් එල්ලවන බලපෑම් හමුවේ අවසාන වශයෙන් එන්නතේ රසායන සංයුතිය ලබා දීමට ඊශ්‍රයාලයට සිදුවුනා. රාජකීය වෛද්‍යවරයාගේ එන්නත් කිරීමෙන් පසු කාලිඩ් ගේ තත්වය සුව අතට හැරෙන්නට වුයේ රාජ්‍යන් දෙක අතර හටගත් අර්බුධයට යම් සහනයක් ලබා දෙමින්. මේ අතර කැනේඩියානු රජයද මෙහෙයුම වෙනුවෙන් තම රාජ්‍යයේ ගමන් බලපත්‍ර යොදාගැනීම පිළිබද ඊශ්‍රයාලයට අප්‍රසාදය පල කරනු ලැබුවා.

    ජෝර්දානය තුල සිරවූ තම නිළධාරීන් ගෙන්වා ගැනීමට ඊශ්‍රයාලයට විශාල හමාස් සහ ජෝර්දාන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට සිදුවුනා. මෙහෙයුමේ අසාර්ථකත්වය හේතුවෙන් මොසාඩ් ඉහළ නිළධාරීන් කිහිපයක්ද එකිනෙකාට චෝදනා කරගනිමින් සංවිධානය තුලද අර්බුධ පැනනැගුණා. මේ ආකාරයට මොසාඩ් ඉතිහාසයේ අසාර්ථකම මෙහෙයුමක් ලෙස කාලිඩ් මාශල් ඝාතන තැත සඳහන් වෙනවා. කාලිඩ් තවමත් ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලෙමින් හමාස් සංවිධානයේ වර්ථමාන නායකයා ලෙස කටයුතු කරනවා.


    Mossad : The Greatest Missions of the Israeli Secret Service කෘතිය ඇසුරෙනි.

    NBVVC7K.jpg



    yU0H9CA.jpg



    I5GqyZQ.jpg

     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    Mossad : The Greatest Missions of the Israeli Secret Service

    මේ පොත මගේ පොත් එකතුවේ තියෙන හොදම පොතක්. උන්ගෙ මෙහෙයුම් ගැන කියවපුවාම පුදුම හිතෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම කියවගෙන යන්න පුලුවන් නියම පොතක්.

    ගන්න කැමති අය ඉන්නවනම් Expographic bookstore එකේ තියෙනවා නැත්තම MC එකේ Cargills book city එකේ තිබ්බා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mossad : The Greatest Missions of the Israeli Secret Service

    මේ පොත මගේ පොත් එකතුවේ තියෙන හොදම පොතක්. උන්ගෙ මෙහෙයුම් ගැන කියවපුවාම පුදුම හිතෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම කියවගෙන යන්න පුලුවන් නියම පොතක්.

    ගන්න කැමති අය ඉන්නවනම් Expographic bookstore එකේ තියෙනවා නැත්තම MC එකේ Cargills book city එකේ තිබ්බා.

    කවුද කතුවරයා.......
     
    • Like
    Reactions: dhanuka kumara

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    කවුද කතුවරයා.......

    මම ගත්තෙ ඉංග්‍රීසි පොත. සරල ඉංග්‍රීසි වලින් ලියල තියෙන්නේ.භාශාව දියුණු වෙන්න ඉංග්‍රීසි පොත කියවන්න