යූටාවේ ක්ෂේම භූමිය - Salt Lake City

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යූටාවේ ක්ෂේම භූමිය - Salt Lake City

    යූටාවේ ක්ෂේම භූමිය - Salt Lake City

    යූටාවේ මහා ලවන තලාව, මෝමන් දහම, ආතර් කොනන් ඩොයිල් සහ ෂර්ලොක් හෝම්ස්.

    csrx9iN.jpg


    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.

    මම මෙහෙම පටන් ගන්නම්.1887 දී බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙක් A Study in Scarlet කියන නවකතාව ලියනවා.
    ඒ වෙනින් කවුරුත් නෙමේ සර් ආතර් කොනන් ඩොයිල්. ඒ තමා ෂර්ලොක් හෝම්ස් කියන මනකල්පිත චරිතය ට පන පොවපු පළමු කෘතිය.
    සිංහලයෙන් ඒ පරිවර්තනය ලෝහිත පරීක්ෂණය. ෂර්ලොක් හෝම්ස් වෘතාන්ත වල දීර්ඝ කතා 4 න් එකක්.

    කොනන් ඩොයිල්ගේ විශේෂත්වයක් තමා සමකාලින ලෝකයේ සිදුවුණු සුවිශේෂී සිද්ධි ඔහුගේ කතා වලට පාදක කර ගැනීම.
    ලෝහිත පරීක්ෂණයත් ඒ වගේ ඇමෙරිකාවේ සමකාලින සිදුවුණු සුවිශේෂී දේශපාලනික සහ ආගමික සිදුවීමක්.

    ඒ ගැන කෙටියෙන් මෙහෙම කතා කරමු.

    - මෝමන් දහම හෙවත් මෑත කාලයේ ශාන්තුවරයන්ගේ ධර්මය.

    - මෑත කාලින ශාන්තුවරයන්ගේ නික්මයාම ( බ්‍රිග් හැම් යං සහ සහචරයෝ )

    - යූටාවේ මහා ලවණ තලාව සහ නව දේශය

    - සෝල්ට් ලේක් නගරය සහ වර්ථමානය

    - කොනන් ඩොයිල් සහ ලෝහිත පරීක්ෂණය


    ...........................//...........................

    මෝමන් දහම හෙවත් මෑත කාලයේ ශාන්තුවරයන්ගේ ධර්මය.

    රෝමානු කතෝලික ආගම කියන්නේ ලෝකයේ වැඩියෙන්ම බෙදීම් වලට ලක්වුණු ආගම.1820 දී ඇමෙරිකාවේ සිදුවුණු ආගමික පුනරුදයකින් පස්සේ ජෝසප් ස්මිත් කියන මනුස්සයා විසින් බිහි කරපු ආගම තමයි මෝමන් දහම.
    පුංචි කාලෙදිම අස්ථි ආබාධයක් නිසා දුක් වින්ද ජෝසප් ස්මිත් අවුරුදු 15 තරම් වයසකදී තමා තමුන්ට දෙවියන් දර්ශනය වුනු බව සහ ඔහුගේ පණිවුඩය ලෝකය පුරා බෙදා හරින්නට තමා තෝරා ගත්තෙක් බව පවසන්නේ.
    මෙසේ 1820 න් පස්සේ කාලයත් එක්ක ඇමෙරිකාවේ නිව්යෝර්ක් වල මුලින්ම මෝමන් දහම ආරම්භ වෙනවා.
    ස්මිත් විසින් දෙවියන් ඔහුට පැවසු ලෙස පැල්මයිරා ( නිව්යෝර්ක් ) කඳු මුදුන් වල සඟවා ඇති නියම ක්‍රිස්තියානි ධර්මය පෙන්වූ බවත්,
    රන්පත් වල පුරාන ඊජිප්තු රුපාක්ෂර වලින් ලියා ඇති ධර්මය පරිවර්තනය කරන ලෙසත් පැවසු බව මෝමන් ලබ්ධිකයන්ගේ විශ්වාසයයි.
    මෙසේ ස්මිත් විසින් මෝමන් දහම අඩංගු Book of Mormon ග්‍රන්ථය 1830 දී පලකරනු ලබනවා. මේ වන විට ස්මිත් වටා විශාල පිරිසක් මෝමන් දහම වැළඳගෙන අවසන්.

    YrptPQa.jpg

    ජෝසප් ස්මිත්

    qY0VwDI.jpg


    ඔවුන් විසින් ක්‍රිස්තියානින්ගේ දෙවියන් ඔවුන්ගේ එකම දෙවියන් ලෙසත්, ජේසුස් ක්‍රිස්තු ඔවුන්ගේ ගැලවුම්කාරයා ලෙසත් සලකනවා. නමුත් යම් යම් කරුණු සහ චාරිත්‍ර වලදී කතෝලික ආගමෙන් පරස්පරතා දක්නට ලැබෙනවා.
    මෝමන් ආගමිකයන් ඔවුන්ව මෑත කාලයේ ශාන්තුවරු ලෙස හඳුන්වා ගන්නවා. ( Latter Day Saint movement - LSD )

    මෙසේ මෝමොන් දහම ක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඔවුන් නිව්යෝර්ක් හි පැල්මයිරා සිට ඔහායෝ සහ මිසුරි ජනපද වෙත සංක්‍රමණය වනවා.

    මෝමන් දහමේ තිබු එක සුවිශේෂී සම්ප්‍රදායක් වුයේ බහු විවාහයයි.එනම් එක් පිරිමියෙකුට තම අභිමතය සහ වත්කම් ප්‍රමාණය අනුව බහු භාර්යා විවාහයට අනුමැතිය හිමිවීමයි.
    කෙසේ වෙතත් බහුතර ක්‍රිස්තියානි ප්‍රජාවන් විසු ඔහායෝ, මිසුරි ජනපද වලදී මෝමන් ලබ්ධිකයන්ට පිළිගැනීමක් නම් හිමි වුයේ නැහැ.
    බහුකාර්ය විවාහා සම්ප්‍රදාය අනුමත නොකළ ක්‍රිස්තියානි කාරයන් සමගින් නිරන්තර ගැටුම් මේ හේතුවෙන් වර්ධනය වුනා.

    මේ ගැටුම් නිසා වැඩි කාලයක් නිදහසේ ජීවත් වීමට ස්මිත් ගේ අනුගාමිකයන්ට හැකියාව ලැබුනේ නැහැ.ඔවුන් මිසුරි ජනපද අතහැර ඉලිනොයි වෙත සංක්‍රමණය වෙනවා.
    ඔව්න් මිසිසිපි ගඟ අසබඩ '' නව්වූ '' ජනපදය පිහිටුවා ගන්නවා.
    නමුත් මිසුරි සහ ඔහායෝ වල අත්දැකීමම තමා ඔවුන්ට ඉලිනොයි වලදීත් අත්විඳින්නට සිදුවුනේ.
    මේ ගැටුම් නිසා 1844 දී ජෝසප් ස්මිත් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට පත් වෙනවා.
    එ වසරේම ජුනි 27 දින කලහකාරී ලෙස හැසිරුණු කැරලිකාරයන්ගේ වෙඩි පහරින් ජෝසප් ස්මිත් සහ ඔහුගේ සොහොයුරා මිය යනවා.
    ඉන්පසු මෑත කාලින ශාන්තුවරුන්ගේ සංඝයට නායකත්වය දෙන්නේ බ්‍රිග්හැම් යං විසිනුයි.

    qmv6H5p.jpg

    '' නව්වූ '' මෝමන් දේවස්ථානය

    වර්තමානය වන විට ලෝකයේ මෝමන් ලබ්ධිකයින් මිලියන 16 අධික සංඛ්‍යාවක් ජීවත් වෙනවා.
    මේ වන විට නව නීති යටතේ බහු විවාහ ක්‍රමය තවදුරටත් මෝමන් ආගමේ දක්නට ලැබෙන්නේ නැහැ.
    මෝමන් ආගමේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේ සෝල්ට් ලේක් නගරයයි.

    fEOalwE.png

    2009 වන විට මෝමන් ලබ්ධිකයන්ගේ ලෝක ව්‍යාප්තිය

    මෑත කාලින ශාන්තුවරයන්ගේ නික්මයාම ( බ්‍රිග් හැම් යං සහ සහචරයෝ )

    බ්‍රිග්හැම් යං නායකත්වයට පත් වන විට මෝමන් දහම සුළු දෙදරීමකට ලක්ව තිබුණි.එය කොටස් කිහිපයකට බෙදී තිබුනෙන් බ්‍රිග්හැම් යං විසින්
    විශාල සහචරයන් පිරිසක් සමගින් නව දේශයක් සොයා සංක්‍රමණය කිරීම ඇරඹිණි.
    මෙය මෝමන් දහමේ මෙන්ම ඒ වකවානුවේ ඇමෙරිකාවේ සිදුවූ සුවිශේෂීම සිද්ධි අතරින් එකකි.

    මෝමන් ලබ්ධිකයන් ඉලිනොයි වලින් පිට වන්නේ ඔවුන්ට වාසයට සුදුසු නව දේශයක් නව භූමියක් සොයා යාමේ තිර අදිටනින්.
    මෙය යම් ආකාරයකට බයිබලයේ සඳහන් වෙන මෝසෙස්ගේ නික්මයාම ක් බඳුයි.
    බ්‍රිග්හැම් යං මෝමන් දහමේ හඳුන්වන්නේ "Mormon Moses" or "Modern Moses" ලෙසයි.

    Z14DaY3.jpg

    බ්‍රිග්හැම් යං

    මේ කාලය වන විට ඇමෙරිකාවේ ජීවත් වුනු සුදු ජාතිකයන් බොහෝ කොට ජනපද වී සිටියේ නැගෙනහිර කොටසේය.
    එනම් වර්ජිනියා, නිව්යෝර්ක්, පෙනිසිල්වේනියා, කැරොලිනා,කෙන්ටකි, ඇලබාමා වැනි ප්‍රාන්ත වලයි.

    ඇමෙරිකාවේ බටහිර කොටස ඔරිගන් සිට ඩැකෝටාවටත් ඩැකෝටා සිට නෙබ්‍රස්කා හරහා ටෙක්සාස් ජනපදය දක්වාත්, මෙක්සිකෝ දේශ සීමාවේ සිට කැලිෆෝර්නියාව දක්වාත් වසා ගත් මහා කාන්තාරයකින් වැසුණු සුවිශාල භූමියක් විය.
    ( මේ සමය වන විට ඇමෙරිකා - මෙක්සිකෝ යුද්ධයෙන් නිව් මෙක්සිකෝ, ටෙක්සාස්, යූටා වැනි ප්‍රදේශ වල අයිතිය ඇමෙරිකාව සතු විය.)

    MT6tYIW.png

    යූටාවේ මහා කාන්තාර

    බ්‍රිග්හැම් යං තම ජනතාව මෙහෙය වන්නේ මේ මහා කාන්තාරය දෙසටයි.
    එය ඇමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂීම සිද්ධියක් මෙන්ම ලෝක ඉතිහාසයේද ජනපදකරණය උදෙසා විශාල ජන කොටසක් සිදු කල අති සාර්ථක දේශ ගවේෂණය සංචාරයක්ද වෙයි.
    සැබවින්ම එය අතිශය අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක ගමනක් ද වෙයි.
    1846 දී ඇරඹෙන මෙම සංචාරයට මෝමන් පවුල් දහස් ගණනක් එක්වූ බව මෝමන් ආගමික ඉතිහාසයේ සඳහන් වෙයි. පසුව කාලයත් සමග 70 000 පමණ ජනතාවක් කලින් කලට එකතු වූ බව සඳහන් වෙනවා.
    ඔවුන් එම වසරේ සීත සෘතුව වෙන විට නෙබ්‍රස්කා වෙත පැමිණි අතර එතැනින් පසු යූටාවේ මහා ලවන තලාව හෙවත් සෝල්ට් ලේක් නුවර තම නිවහන ලෙස තෝරා ගන්න ලදී.
    එම ගමන පුරාවටම ස්වදෙශිකයන්ගෙන් මෙන්ම ක්‍රිස්තියානි සුදු ජාතිකයන්ගෙන් ද නොයෙකුත් තර්ජන,පීඩන මෙන්ම ලෙඩරෝග, දුෂ්කරතා,
    ආහාර පාන හිඟය සහ විශේෂකොටම කාන්තාරයේදී මුහුණ දුන් දුෂ්කරතා යන මේ සියල්ල ජයගෙන අවසානයේදී 1847 ජුලි මස 24 වෙනි දින ඔවුන් සෝල්ට් ලේක් විල අසබඩ නැවතිණි.
    ඉලිනොයි ජනපදයේ නව්වූ සිට මෙය ආසන්න වශයෙන් සැතපුම් 1500 කිට්ටු දුරකි.

    W64Bi1k.jpg

    බ්‍රිග්හැම් යං ගේ සොහොන

    29ZqSQ1.png

    නෙබ්‍රස්කා වල සීත සෘතු නවාතැන.

    eYjtSEb.jpg

    නෙබ්‍රස්කා මෝමන් සිහිවටන ඵලකය

    TfvhQSt.png

    බ්‍රිග්හැම් යං ඇතුළු මෝමන් ආගමිකයන්ගේ මහා සංචාරය


    යූටාවේ මහා ලවණ තලාව සහ නව දේශය

    මෝමන් අනුගාමිකයන් සමගින් බ්‍රිග්හැම් යං පිවිසුණු භුමිය නැගෙනහිර ඇමෙරිකාවේ මෙන් කොළ පාටින් වැසීගත් වගාවන්ට හිතකර සාරවත් පසෙන් පිරුණු සමෘදිමත් දේශයක් නම් නොවීය.
    නැගෙනහිරින් රොකී කඳු වැටියටත් , දකුණින් සහ බටහිරින් යූටාවේ මහා කාන්තාරයටත්, උතුරින් යෙලෝ ස්ටෝන් ගිරි දුර්ගයටත් මායිම්ව පිහිටි නිසරු මුඩු බිමෙන් වැසීගත් භූමියකි.
    එමෙන්ම එය පසෙකින් මහා සමුද්‍රය මෙන් ලවන ජලයෙන් වැසුණු කරදිය විලකි.
    ඒ වන විටත් ශෝශෝන්, යූට්, පයුට් වැනි ස්වදේශික ගෝත්‍ර වල ජනයා තැනින් තැන විසිර මේ භුමියේ ජීවත් වුනා.
    නමුත් ඒ කිසිවක් යං ඇතුළු නව ජනපද වාසීන්ට අධෛර්යමත් වීමට කරුණු නොවීය.ඔවුන් භුමියේ ජලය බැස යන කාණු කපා වාරි පද්ධතියක් නිර්මාණය කොට වගාවන්ට සුදුසු ලෙස භුමිය සැකසීය.
    එමෙන්ම නගරයේ මාර්ග පද්ධතිය නිර්මාණය කෙරිණි. ඔවුන්ට වඩාත් වාසිදායකම තත්වය වුයේ ඔවුන්ගේ නව භුමිය පිහිටියේ ඇමෙරිකාවේ නැගෙනහිරත් බටහිරත් යාකෙරුණු මාර්ගයේ වීමයි.

    bea3BdH.jpg

    The Great salt lake

    නව ජනපදිකයන් නිසා එතෙක් කාන්තාර නිසරු බිමක් ලෙස සැලකුණු යූටාව ක්‍රමයෙන් නාගරීකරණය වීමත් බ්‍රිග්හැම් යං ගේ ශුර පාලනය සහ නායකත්වයේ ගුණාංග නිසාත් ඇමෙරිකාවේ 13 වැනි ජනාධිපති වූ මිලර්ඩ් ෆිල්මෝර් ( Millard Fillmore ) විසින් ජනපදයේ නව ආණ්ඩුකාර සහ ස්වදේශික සම්බන්ධතා පිලිබඳ විශේෂ පදවියක් ද ප්‍රදානය කෙරිණි.
    ( මෙසේ යුටාව පසුව ඇමෙරිකාවේ ජනපදයක් ලෙස නම් කරන විට එහි ප්‍රථම ආණ්ඩුකාර වරයා ලෙස ඉතිහාසයට එක් වුයේ බ්‍රිග්හැම් යං ය.)
    වර්ෂ 1868 දී මේ නව නගරය සෝල්ට් ලේක් නුවර ( Salt Lake City ) ලෙස නම් කෙරිණි. ඊට හේතුව පසෙකින් පිහිටි Great Salt Lake (කරදිය විල ) නිසයි.

    මෝමන් ආගමිකයන් විසින් නිර්මාණය කෙරුණු ආකර්ශනීයම සහ දැවැන්තම නිර්මාණය නම් මෝමන් දෙවස්තානයයි.
    බ්‍රිග්හැම් යං විසින් නව ජනපදයට ආගමනයෙන් පසු ගෙවුණු 4 වැනි දිනයේදී ඒ සඳහා භුමිය වෙන් කෙරිණි.
    පුරා දශක 05 තිස්සේ ඉදිකෙරුණු ඒ මහා දේවස්ථානය වර්ෂ 1893 දී විවෘත කෙරිණි.
    දේවස්ථානයේ නිර්මාණ සැලසුම් ශිල්පියා Truman O. Angell වන අතර මෙය ගොතික් සහ රෝමානු සම්ප්‍රදාය මත ගොඩනැගුනකි.

    TnDzMWa.jpg

    Temple of Salt lake

    ItgJ2Ab.jpg

    Truman O. Angell

    කාලයත් සමග මිසුරි, ඉලිනොයි වැනි ජනපද වල සිට කඩින් කඩ සංක්‍රමණය වුනු මෝමන් ලබ්ධිකයන් විසින් ක්‍රමිකව නව දේශය දියුණු, සෞභාග්‍යමත් ඉසුරින් පිරුණු නගරයක් කරා ගෙන යන ලදී.
    ඊට ප්‍රබල ලෙසම බලපෑ කරුණු නම් මෝමන් ආගමිකයන් අතර විවිධ වෘතිකයන් සිටීම සහ ඔවුන් සැම අයුරින්ම ප්‍රතික්ෂේපයට ලක් වීම නිසා ඇති වුනු පන්නරයයි.

    dRrTV2y.jpg

    Statue of Mormon handcart pioneers


    මෙසේ යුටාව සහ සෝල්ට් ලේක් නුවර නැගෙනහිර සහ බටහිර යාකෙරුණු මහා සංචාරයේ වැදගත් නැවතුම්පොළක් මෙන්ම කාන්තාර භූමියෙක පිහිටි ඉස්තරම්ම ක්ෂේම භූමියක් ම විය.
    සෝල්ට් ලේක් නගරයේ සමෘධිය ඇරඹෙන්නේ කැලිෆෝර්නියාවේ රත්තරන් ඉල්ලම් හමුවීමත් සමගය.

     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෝල්ට් ලේක් නගරය සහ වර්ථමානය

    වර්ෂ 1848 දී ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර සිවිල් යුද්ධය නිම කරමින් Treaty of Guadalupe Hidalgo ගිවිසුම අත්සන් කරනු ලබනවා.
    ඒ කාල වකවානුවට සමගාමිව කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රත්රන් ඉල්ලම් පෑදෙනවා.
    මෙය ඇමෙරිකානු දේශපාලන, ආර්ථික මෙන්ම සමාජීය වශයෙනුත් මහත් බලපෑමක් ඇති කරනු ලැබූ සුවිශේෂී සන්ධිස්ථානයක්.
    මෙය බ්‍රිග්හැම් යං ගේ සෝල්ට් ලේක් නගරයට විශේෂයෙන් බලපෑවා.
    නැගෙනහිර ඇමෙරිකාවේ සිට සංක්‍රමණය වුනු දහස් ගණන් පතල් කරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ගමන් මග වැටි තිබුනේ සෝල්ට් ලේක් හරහා යි.
    මේ නිසා නගරය ශීග්‍රයෙන් වැඩි වෙමින් දියුණු ව කරා ලඟා වුනා.

    S4SXWO8.jpg

    Salt Lake City c. 1880 by Carleton E. Watkins

    hGLHxKN.jpg

    In 1890


    ක්‍රමිකව එය යූටාවේ ප්‍රධානම සහ ජනාකීර්නම නගරය බවට පත් වුවා. එය යූටාවේ අගනගරය ලෙස සැලකෙනවා.
    වර්තමානය වන විට එහි ලක්ෂ 2 ආසන්න ජනතාවක් ජීවත් වෙනවා.
    නගරයේ මධ්‍යයේ පිහිටි මෝමන් දේවස්ථානය මෝමන් ආගමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන අතර මෝමන් ආගම අදහන ලබ්ධිකයන් නගර ජනගහනයෙන් හරි අඩකට වඩා මදක් වැඩියි.

    යූටා විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේද සෝල්ට් ලේක් නගරයේයි. ( University of Utah)
    මෙය මෝමන් ලබ්ධිකයන්ගේ සංකල්පයක් මත නිර්මාණය කෙරුණකි.

    සෝල්ට් ලේක් යනු සේවා මුලික ආර්ථිකයක් සහිත නගරයකි.
    නගරයේ නිරිත දිගට වන්නට පිහිටා ඇති බිංග්හැම් තඹ නිධිය ( Bingham Canyon Mine ) නගරයේ ප්‍රධාන ආර්ථික සාධකයක්ද වනවා.
    මෙය ලෝකයේ විශාලතම විවෘත පතලයි. ( open-pit mining )

    යූටාවේ එදා මෙදා තුර පැවැත්වුණු ලෝක මට්ටමේ උත්සවය නම් 2002 වසරේ සෝල්ට් ලේක් නුවර පැවති සීත සෘතු ඔලිම්පික් උළෙල යි.


    bQpzVdy.png


    mn9elf4.jpg


    ZkWCelT.jpg


    fP95DOI.jpg

    Utah State Capitol

    T1DPY4r.jpg

    The Block U

    NCsMTz1.jpg

    Bingham Canyon Mine - බිංග්හැම් තඹ නිධිය


    කොනන් ඩොයිල් සහ ලෝහිත පරීක්ෂණය

    ලෝහිත පරීක්ෂණය කියවපු පාඨක කොයි කාටත් මෝමන් ලබ්ධිකයන් සහ ආගම ගැන සිතට කා වදින්නේ ප්‍රසන්න චිත්‍රයක් නම් නොවේ.
    කොනන් ඩොයිල් A Study in Scarlet ලෝහිත පරීක්ෂණය කතා පොත පල කරන්නේ 1887 දීය.

    y9LCXvV.jpg

    ආතර් කොනන් ඩොයිල්

    D3Dm88V.jpg

    ලෝහිත පරීක්ෂණය


    ඒ වන විට මෝමන් දහම සහ සෝල්ට් ලේක් නගර ස්ථාපිත වී දශක කිහිපයක් ගෙවී ගොසිනි.
    කතාපොතට අනුව ප්‍රචණ්ඩ, කුරිරු, මිලේච්ඡ මෙන්ම ආගමේ නාමයෙන් අන්තවාදී ක්‍රියා හා ඉන් ඔබ්බට මිනි මැරුම් පවා කරන්නට පසුබට නොවන දැඩි අන්තවාදී ආගමක් ලෙස සිතේ චිත්‍රයක් ඇඳෙනු නොඅනුමානයි.

    සැබවින්ම මෝමන් දහම ආරම්භ වුනු මුල් කාලයේ ඔවුන්ගේ විශ්වාසයන් සහ සිරිත් විරිත් ක්‍රිස්තියානින් හා ගැටීම නිසා නොයෙකුත් හිරිහැර බාධාවන්ට මුහුණ පෑමට මේ ජනතාවට සිදුවුනි.
    ඒ නිසා මෝමන් වරු සහ ක්‍රිස්තියානින් අතර සටන් කිහිපයක්ම සිදුවිය.මෝමන් ආගමිකයන්ගෙන් සැදුම්ලත් '' ඩැනයිට් '' කල්ලිය මේ සටන් වලදී සක්‍රීයව සටන් වල නිරත විය.
    නමුත් ජෝසප් ස්මිත් ගෙන් පසු '' ඩැනයිට් '' කල්ලිය හිංසාකාරී ක්‍රියා වල නිරත වූ බවක් මෝමන් ඉතිහාසයේ සඳහන් නොවේ.
    1857 දී '' ඩැනයිට් '' කල්ලිය විසුරුවා හැරීමට බ්‍රිග්හැම් යං ක්‍රියා කරන ලදී.
    ඒ වගේම මෝමන් ආගමේ යම් යම් නීති රීති සහ ප්‍රතිඥා ආදිය වඩාත් හිංසාකාරී ඒවා ලෙස සැලකිණි.
    උදාහරණ ලෙස ලේ ප්‍රතිඥා, ලේ දඬුවම් ආදිය සැලකිය හැක.
    මෝමන් වරු මුල් කාලීනව සමලිංගික සේවනය මරණීය පාපයක් ලෙස සැලකු අතර බහු භාර්යා විවාහය අනුමත කෙරිණි.


    ඇත්තටම කොනන් ඩොයිල් පැවසු පරිදි මෝමන් ආගමිකයන් අන්තවාදී මිනීමරුවන් ද ?

    මෙය මෝමන් ලබ්ධිකයන් ප්‍රතික්ෂේපයට ලක් කරන කරුණකි.වරක් සෝල්ට් ලේක් පුවත්පතට සාකච්ඡාවක් දෙමින් කොනන් ඩොයිල් පවසා සිටියේ මෙවැන්නක්.

    '' all I said about the Danite Band and the murders is historical so I cannot withdraw that, though it is likely that in a work of fiction it is stated more luridly than in a work of history. It's best to let the matter rest''

    ''මෝමන් දහම සහ ඩැනයිට් කල්ලි ගැන මා කියූ දේ දැන් ඉතිහාසයට එක්වී ඉවරයි.
    සැබෑ ඉතිහාසයට වඩා ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියක එය විකෘති ස්වභාවයෙන් තිබුනත් දැන් ඒවා නැවත හැරවීමට නොහැක.ඒ නිසා එය ඔය තිබෙන විදිහට තියෙන්නට හරින්න.''


    එමෙන්ම ඩොයිල් ගේ දියණිය මෙසේ පවසා තිබුනා.'' පියාගේ පළමු ෂර්ලොක් හෝම්ස් කෘතිය එයයි. එහි මෝමන් දහම පිලිබඳ වැරදි තියෙන්න පුළුවන්, මන්ද ඒ ඔහුගේ පළමු කෘතිය නිසා ''

    කොනන් ඩොයිල් ගේ මරණයෙන් පසු කාලීනව මෝමන් පල්ලියේ ප්‍රකාශකයෙකු වූ Levi E. Young පවසා සිටියේ කොනන් ඩොයිල් පෞද්ගලිකවම සමාව ඉල්ලු බවත්,
    එය සාහිත්‍ය කෘතියක් නිසා ඔහුට එය නැවත වෙනස් කිරීමට නොහැකි නිසා ඒ ගැන කනගාටු වන බවත් නිල වශයෙන් මෝමන් ආගමිකයන්ගෙන් ඉල්ලා සිටි බවයි.

    කොනන් ඩොයිල් 19 වෙනි සියවසේ අන්තිම කාලේදී ක්‍රිස්තියානි ආගම් කාරයෙක් හැටියට එදා යුරෝපය ඇතුළු බටහිර සමාජය මෝමන් ආගම දිහා බලපු ආකාරය අපිට මේ කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා.

    දැන් දැන් ලෝකේ ආගම් කියන සංකල්ප ගැන මිනිස්සු ඉස්සර වගේම මත වල එල්බ ගෙන නැහැ.ආගමික ඉගැන්වීම් වලින් එපිට රාමුවෙන් මිනිස්සු දැන් ලෝකය ගැන බලනවා.ඒක විද්‍යාව, මිනිස් සිතේ දියුණුවත් සමගින් නිරායාසයෙන්ම මිනිස්සු තල්ලු වෙන ප්‍රවණතාවයක්.

    අපි මොහොතකට ආගම පැත්තකින් තිබ්බත්,
    ලෝහිත පරීක්ෂණය කියන්නේ කොනන් ඩොයිල් ගේ අද්විතීය නිර්මාණයක්. ලෝක සාහිත්‍යයේ අමරණීය චරිතයක උපතක් සිද්ධ වුනු තිඹිරි ගෙයක්.
    ඒ වගේම තමයි බ්‍රිග්හැම් යං ගේ නව ජනපදයක් වෙනුවෙන් කල දුෂ්කර සංචාරයත්...
    මේ දෙකම ලෝක ඉතිහාසය ක්ෂේත්‍ර දෙකකින් වෙනස්ම මානයන් දෙසට තල්ලු කරපු ක්‍රියාවන් දෙකක්.

    ඒක නිසා ඒ දෙක ගැනම මගේ හිතේ තියෙන්නේ ගෞරවයක්.
    :yes::yes::yes:


    විස්තර - ලෝහිත පරීක්ෂණය ( ආතර් කොනන් ඩොයිල් ,පරිවර්තනය චන්දන මෙන්ඩිස් ) සහ අන්තර්ජාලයෙන්.
    ඡායාරුප අන්තර්ජාලයෙන්
    සටහන මා විසිනි.

    :):):)

    එහෙනම් එළකිරියේ ඔයාලට ජය වේවා...​
     
    • Like
    Reactions: Tharaka_x

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෝල්ට් ලේක් සිටි එකක පොතක් තිබ්බ නේද නැන්සි කියල කෙනෙක් ගැන තියෙන පොඩි රහස් පරීක්ශක කතාවක්, ඒ පොත කොහෙද මන්ද