meka thawa pinpoint karanna puluwanda? ashwadahaya awul kiyala hitha hitha innada oni? nettam mokakda.. mama ahanne practically.
ආශ්වාදයෙ අවුල දන්නවා කියන්නෙම කෙනෙක්ගෙ ජීවිතේ නෙවෙයි, මුලු සසරම කණපිට හැරෙනවා.
ආශ්වාදය දන්න කෙනා එහි ආදීනව වටහාගන්නවා, නිශ්ශරණය හෙවත් නිවන් මගත් ඔහුට අවබෝධ වෙනවා.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 1. උපය වර්ගය
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය දනියි, රූප සමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනියි, රූපයාගේ ආස්වාදය දනියි, රූපයාගේ ආදීනව දනියි, රූපයාගේ නිශ්ශරණය දනී.
අස්සාද සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 3. ඛජ්ජනීය වර්ගය
මහණෙනි,
අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ ආශ්වාද ද,ආදීනව ද, නිස්සරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාද ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
++++++++++++++++++++++++++++++
පිටකය පුරාම සදහන් වෙනවා මේ ආශ්වාදය, එහි ආදීනව සහ ඉන් මිදීම හෙවත් නිස්සරණය ගැන.
මහාපුණ්ණම සූත්‍රය
මහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ.
එහි දේසනාහාර කවරෙ යත්: ‘අස්සාදාදීනවතා’ යන ගාථා යි. මේ දෙසනාහාර යැ. කුමක් දේශනා කෙරෙති යත්: ආස්වාදය ආදීනවය නිස්සරණය ඵලය උපායය ආණ්ත්තිය යන මේ දෙසෙති. “මහණෙනි, තොපට ආදිකලණ වූ මැදකලණ වූ අවසනැ කලණ වූ අර්ථසම්පත්තියෙන් සාර්ථ වූ ව්‍යඤ්ජනසම්පත්තියෙන් සව්‍යඤ්ජන වූ එළැවියැයුතු නැතියෙන් ඒකාන්තපරිපූර්ණ වූ හළයුතු නැතියෙන් පරිශුද්ධ වූ දහමක් දෙසමි. සසුන්බඹසර පවසමි” යි.
එහි ආස්වාද කවරෙ යැ:
1. මනාපිය රූපාදි ත්‍රෛභූමක වස්තුකාමය කැමැතිවන ඒ සත්වහට ඉදින් ඒ කාමවස්තුව සමෘද්ධ වේ නම් (ලැබේ නම්) ඒ සත්ත්ව රිසිවූ කාමය ලැබ ඒකාන්තයෙන් තුටු සිත්ඇතියේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කතාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාද යි.
එහි ආදීනව කවරෙ යැ:
2. වස්තුකාමයන් කැමතිවන උපන් තෘෂ්ණා ඇති ඒ සත්ත්වයාගේ ඒ වස්තුකාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ අයෝමයාදි ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පෙළේ යයි. විපරිණාමාන්‍යථායෙන් පෙළෙනුයේ මේ ආදීනව යි.
එහි නිස්සරණ කවරෙ යැ:
3. යම් මහණෙක් (ජීවත්වනු කැමැති පුරුෂයෙක්) තමාගේ පාදය කෙරෙන් සර්පයකුගේ හිස සෙයින් වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ) දුරුකෙරේ ද ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත්ව ඉක්මවාලයි. මේ නිවන් අරමුණු කොට ඇති මාර්ගඥානයෙන් තෘෂ්ණාව දුරැලීම නිස්සරණ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්දරාගය දුරුකිරීමෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.
++++++++++++++++++++++++++++++
නමුත් අවුල තමයි කොච්චර මේ ගැන කොච්චර පොතේ තිබුනත්, පොත කියවපු පමණින් ආශ්වාද, ආදීනව, නිස්සරණය අවබෝධ නොවීම.
සමහර සූත්‍ර වල තියෙනවා මේක ‘අහලා‘ දැනගන්න ඕන කියලා.
කීටාගිරි සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 2. භික්ඛු වර්ගය
කිසෙයින් මහණෙනි, අනුපූර්‍වශික්ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්හත්ත්වයෙහි පිහිටීම වෙයි යත්: මහණෙනි, මෙලොව්හි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි, ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙයි, (සමීපයෙහි හිඳීයි.) උපාසන කරනුයේ
ඇසීමට කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇත්තේ දහම් අසයි, අසා දහම් ප්‍රගුණ කොට ධරයි, ධැරූ ධර්මයන් ගේ අර්ථය නුවණින් විමසයි, අරුත් විමසන්නාහට ධර්මයෝ වටහත්, ධර්මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තුකම්යකුසලච්ඡන්ද උපදී, උපන් කුසලච්ඡන්ද ඇත්තේ වැර වඩයි, වැර වඩා (අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැ යි) තුලනය කෙරෙයි, (තීරණප්‍රඥායෙන්) තුලනය කරනුයේ ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නාමකයිනුදු පරමසත්‍ය ප්රත්යක්ෂ කෙරෙයි, (නාමකායසම්ප්‍රයුක්ත වූ) මාර්ගප්රඥායෙනුදු එ නිවන ප්‍රතිවෙධ කොට දකී.
++++++++++++++++
පිටකයේ දහම අවබෝධ කරපු බව සදහන් හුගක් තැන් වල ‘බණ අසා‘ සෝවාන් ආදී මාර්ගපල ලබපු බව සදහන් වෙන්නෙ..
ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ මේ දම්දෙසුන්
අසා මා විසින් දහම් අවබොධ කරණ ලද්දේ යයි.
26. සූර්ය්යබන්ධු වූ බුදුරජාණන් වහන්සේගේ සුභාෂිතය
අසා (දක්ෂ දුනුවායකු) වලග හීයෙන් විදුනාක් මෙන් සියුම් වූ නිරොධසත්‍යය අවබොධ කෙළෙමි.
179. (මා විසින් ශාරීපුත්‍රාදි) සත්පුරුෂයෝ සෙවුනාලදහ. එක්වන් (නිතර) දහම් අසනලද යැ, අසා නිර්වාණය පිහිට කොට ඇති මඟට පිළිපන්මි.
137. ඔබගේ දහම් අසා සසුන්හි පැවිදි වුමු. බුද්ධ වචනයෙහි (භාවනානුයොග වශයෙන්) යෙදෙමින් නිර්වාණ පදය පසක් කළමු.
+++++++++++++++
ඒ වගේම බුද්ධශාසනයට අයිති කෙනෙක් හැර වෙන කෙනෙක්ට මේක කියාදෙන්න තේරෙන්නෙ නැහැ කියලත් තියෙනවා
මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 2. සීහනාද වර්ගය
5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්:
එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.
+++++++++++++++++
මේ දහම වැටහෙන පුද්ගලයො කවුද කියලා ධර්මයේ සදහන් වෙනවා.
දේසනාහාරවිභඞ්ගය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග
එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
+++++++++++++++++++
අහපු ප්‍රශ්ණෙට සරල උත්තරේ...
මෙනෙහි කරන්න ඕන මොකක්ද කියලා මනසිකාර සූත්‍රයෙ තියෙනවා. ඒ කියන්නෙ නිවනේ ශාන්තිය. ලෝකයේ අසාර බව....
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි.
ඔය කරුණු “මට අවබෝධ විදියට“ තමයි ලිව්වෙ..
ආශ්වාදය ගැන මම දන්න දේ ඕන නම් ටයිප් කරලා දාන්නම්...... හැබැයි හොදම දේ තමයි ආශ්වාද ආදීනව නිස්සරණය දන්න ස්වාමින්වහන්සේ නමකගෙන් හෝ සත්පුරුෂයෙකුගෙන් අහලම දැනගන්න එක....