උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කර යුද හමුදාව සියයට 50කින් ඉවත් කිරීමට පොදු අපේක්ෂක හා එක්සත් ජාතික පක්ෂය අතර ගිවිසුම්ගත වී ඇතැයි එජාප හිටපු මහලේකම්, සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අනාවරණය කරයි. හමුදා කඳවුරු බිම් නැවත ජනතාවට ලබාදී උතුරට 13A+ ක්‍රියාත්මක කිරීමට ද එකඟවී ඇති බවද ඇමැතිවරයා කීවේය. මේ තත්ත්වය යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල තර්ජනයක් බව ෙපන්වා දුන් අත්තනායක මහතා මීට අමතරව විවිධ අභ්‍යන්තර ගිවිසුම් ගණනාවක්ද තිබෙන බවද කීවේය. එජනිස මාධ්‍ය හමුවට ඊයේ (22) එක්වෙමින් එසේ කී සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව තවත් එකඟතාවන් රැසක් පොදු අපේක්ෂකවරයාට පවතින බවද එයින් රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවද කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ල ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර වශයෙන් එකඟතා ලියවිල්ලකට අස්සන් කර තිබෙන බව සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා පවසයි.
මෙය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මෙරට යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බවට කර තිබෙන නිර්දේශය ක්‍රියාත්මක කිරීමට එකඟවීමක් යැයිද හෙතෙම පෙන්වා දෙයි. එසේම ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවට වචනයක් ද මෙම ගිවිසුමට ඇතුළත් කර තිබෙන බව කී ඒ මහතා, අපේ වීරෝදාර රණවිරුවන් නැවත නැවත යුද අධිකරණයට හෝ කුමන හෝ නිර්දේශ කරන අධිකරණයකට ගෙනගොස් ඔවුන් දංගෙඩියට යවන බවට වන සහතිකයක් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් සිරිසේන මහතා යොදාගෙන තිබෙන බවද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. තිස්ස අත්තනායක මහතා එහිදී මෙසේද පැවසීය. ජාතික වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කරන අතරම අද අපේ රටට එල්ල වන බරපතළම අභියෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම අපේ යුතුකමක් ලෙස මා සළකනවා. ජනාධිපතිවරණ කාලසීමාව ඇතුළත ජාත්‍යන්තර බලවේගවල වුවමනාව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනබව අපට පේනවා.
ඉන්දියාවේ හින්දු පුවත්පතට විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා කර තිබෙන ප්‍රකාශය එයට හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැකියි. යුද අධිකරණයක් ස්ථාපිත කරන බවට එම පුවත්පත සමඟ කර තිබෙන සම්මුඛ සාකච්ඡාවේදී එතුමා සහතිකයක් ලබා දෙනවා. ඒ සහතිකය එතුමා ලබා දෙනවා පමණක් නොව යුද්ධයට සම්බන්ධ වූ රණවිරුවන්ට විරුද්ධව ක්‍රියාකරන්න, මෙම යුද අධිකරණය ක්‍රියාත්මක කරන බවට සහතිකයක් ද ලබා දෙනවා.
සිරිසේන මහතාගේ දින සීයෙන් අලුත් රටක්, මේක මම නම් ඒකට කියන්නේ දින සීයෙන් රට ඉවරයි කියලයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එතුමා නැවත සහතික වෙනවා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ස්ථාපිත කිරීම වෙනුවට එයට ලංකාව අස්සන් කර නැති නිසා දේශිය ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න සූදානම් කියලා. මේක දේශීය කීවත් ජාත්‍යන්තර කීවත් එකක් පැහැදිලියි. ඒක තමයි යුද්ධයට සම්බන්ධ වූ රණවිරුවන්ට දඬුවම් කිරීමට මේ පිළීබඳ විශේෂ අධිකරණයක් මාර්ගයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියා කරනවා කියලා ජාතියට ම ප්‍රකාශ කරනවා.
ඒක දේශීය ද ජාත්‍යන්තර ද කියන එක නොවෙයි ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. යුද්ධයට සම්බන්ධ වුණු ඒ වීරෝදාර රණවිරුවන්ට දඬුවම් කරනවා කියා ප්‍රසිද්ධියේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් ප්‍රතිඥාවක් දී තිබෙනවා. මෙහි තිබෙන නරක තත්ත්වය තමයි මේ සම්බන්ධයෙන් පසුගියදා අල් ජසීරා රූපවාහිනියේ සාකච්ඡාවක් තිබුණා ග්ලෝබල් ටැමිල් ෆෝරම් කියන සංවිධානයේ අධ්‍යක්ෂ සුරේෂ් සුරේන්ද්‍රන් ප්‍රකාශයක් කළා.
මේකට රජීව විජේසිංහ සහ එක්සත් ජාතික පක්ෂයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරුන් සහභාගී වුණා. සුරේන්ද්‍රන් එහිදී පැහැදිලිව හා විශ්වාසයෙන් යුතුව කීවා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව සිරිසේන මහතා ජයග්‍රහණය කළොත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ යුද්ධයට දායක වූ පිරිස යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් හැටියට දඬුවම් කරන්න ක්‍රියා කරනවා කියා. ඒක කිසිසේත් නිවැරදි කළේ නැහැ. හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා, රජීව විජේසිංහ මන්ත්‍රීතුමා ඒ අය කීවේ මේක ප්‍රසිද්ධියේ කියන්න එපා කියලා විතරයි. මේකට විරුද්ධයි කියලා එතුමාලා ප්‍රකාශ කරන්න ගියේ නැහැ. බොහොම පැහැදිලියි එතකොට කොටියා මල්ලෙන් එළියට පැනලා කියලා.
බොහොම පැහැදිලියි මේ සඳහා එකඟතාවක් සිරිසේන මහතා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ විශේෂයෙන් බලවේග සමඟ, දෙමළ ඩයස්පෝරාව සමඟ ඇතිකරගෙන තිබෙනවා කියන කාරණය. මේක කියුවාම සිරිසේන මහතා බොහොම ප්‍රසිද්ධියේ කලබල වෙලා කීවා තමන් ජනාධිපතිතුමාවත්,රණවිරුවන්වත් කිසිසේත් ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙන යන්නේ නැහැ කියා. හැබැයි එහෙම කියලා සතියක් යනවිට ආපහු සුරේන් සුරේන්ද්‍රන් කියනවා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දීලා මේ සියලුදෙනා යුද අධිකරණයට ගෙනයනවා කියලා නැවතත් සහතික වෙනවා කියලා.
මේ සහතිකය දෙන්නේ අභ්‍යන්තර එකඟතාවකට අනුවයි. විශේෂයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙවැනි කරුණක් ඇතුළත් කරන්නේ කවුරුන් සතුටු කරන්නද? ප්‍රතිපත්ති ප්‍රකාශනය සිරිසේන මහත්තයා හදලා දානකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිම සාධාරණ වුවමනාවක් නෑ රණවරුවන්ට දේශීයව හෝ ජාත්‍යන්තරව දඬුවම් කරන බවට සහතිකයක් ඇතුළත් කරන්න. එතුමා ඒක ඇතුළත් කරලා තිබෙනවා. ප්‍රසිද්ධියේ ඇතුළත් කර තිබෙනවා.
මේයින් රණවිරුවන්ට අභියෝගයක් කර තිබෙනවා යුද්ධයට සම්බන්ධ වූ සියලුදෙනාට දඬුවම් කරනවා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා, ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාදාමයක් ගන්නවා කියලා. ඒ විතරක් නොවෙයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමඟම එයින් බැහැරව අභ්‍යන්තර එකඟතා ගණනාවකට අස්සන් කර තිබෙනවා. ඒවායේ සැඟවුණු කරුණු රැසක් ඇතුළත්. මේවා රටේ අනෙක් අයට දැනගන්න ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය, ෆොන්සේකා මහතාගේ පක්ෂය හා තවත් දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ ප්‍රසිද්ධ එකඟතා ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා. රටට පේනන එවැනි ගිවිසුම් අස්සන් කළත් වෙන වෙනම අභ්‍යන්තර ගිවිසුම් ද අස්සන් කර තිබෙනවා.
මගේ අතේ තිබෙනවා එක්සත් ජාතික පක්ෂය සමඟ අස්සන් කළ අභ්‍යන්තර ගිවිසුම. මේ ගිවිසුම ඉතාමත්ම බරපතළයි. ඒවා අභ්‍යන්තර කාරණා. ප්‍රශ්නය තිබෙන්නේ මේ ගිවිසුමේ තිබෙන 2-6, 2-7,7-7.3 කියන වගන්ති වැදගත්. මෙයින් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙයට අස්සන් කර තිබෙනවා. මේ ගිවිසුමේ 2.6.5 කියන කොටසේ තිබෙනවා උතුරු පළාතේ ස්ථානගත කර සිටින හමුදා භටයන් ගණන සියයට පනහ දක්වා අඩු කරනවා කියා.
කාගේ වුවමනාවට ද? මේක දාලා තිබෙන්නේ වෙන කිසිම වුවමනාවකට නොවෙයි ටී.එන්.ඒ. සහයෝගය ලබා ගැනීම සඳහා. මේක හමුදාව අවමානයට ලක් කිරීම සහ ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක් කිරීමට සකස් ඇතුළත් කළ ප්‍රකාශයක්. ඒ විතරක් නොවෙයි 2.7.1 කියනවා සියලු අධි ආරක්ෂක කලාප ඉවත් කර එම ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබා දෙන බව. මේකත් ටී.එන්.ඒ. වුවමනාවට දාපු ප්‍රකාශයක්. 2.7.2 න් කියනවා දෙමළ ජනතාවගේ අභිලාශයන් ඉටුවන අයුරින් දහතුන්වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා.
මේවා ඇතුළත් කරලා තිබෙන්නේ කාගේ වුවමනාවට ද කියන ප්‍රශ්නය තිබෙනවා. ටී.එන්.ඒ. සංවිධානය දිගින් දිගට ම කියනවා ඔවුන්ට 13න් එහාට ගිය බලයක් ඕනෑ කියලා. ජනාධිපතිවරණය ගැන වැඩියෙන් ම උනන්දු වෙන්නේ අමෙරිකාව සහ ඉන්දියාව කියා සඳහන් වෙනවා. එතකොට අමෙරිකාවේත් ඉන්දියාවේත් වුවමනාවට 13න් එහා ගිය බලතල ලබා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේනත්, රනිල් වික්‍රමසිංහත් අභ්‍යන්තරව එකඟ වෙනවා බලතල ඕනෑනම් වැඩියෙන් වුණත් දෙන්න සූදානම් කියලා.
මෙහි තිබෙන නරකම එකඟතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ල ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම. මේක කියලා බැලුවාම තිබෙන්නේ මේක බොහොම පැහැදිලියි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ප්‍රකාශයත් එක්ක බොහොම සමීප සම්බන්ධතාවක් තිබෙනවා.
දැන් මේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය එකඟ වූ නිර්දේශ එනම් යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ කිරීමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එකඟතාවක් පමණක් නොවෙයි ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් ක්‍රියා කරනවා කියා වචනයක් ද දමනවා. ආපහු මේ එන්නේ අපේ වීරෝදාර රණවිරුවෝ නැවත නැවත යුද අධිකරණයට හෝ කුමන හෝ නිර්දේශ කරන අධිකරණයකට ගෙනගොස් ඔවුන් දංගෙඩියට යවනවා කියන සහතිකය මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ කීමයි. මේකයි බරපතළම කාරණාව.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පාළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.