මිලිඳු රජු-
ස්වාමීනි, පිරිත් කීමෙන් මරණයෙන් මිදිය හැකිද?
නාගසේන මහරහතන් වහන්සේ-
මහරජ, බුදුරජාණන් වහන්සේ රතන, ධජග්ග, ආටානාටිය, අංගුලිමාල ආදී ආරක්ෂක පිරිත් දේශනා කර ඇත්තේ නොගෙවුණාවූ ආයුෂ ඇති, කුසල් සම්පන්න පුද්ගලයන්ටය. ලෙඩ රෝග විපත් ආදියෙහිදී ඔවුන්ට පිරිත බෙහෙතක් සහ ආරක්ෂාවක් වැනිය.
එහෙත් ආයුෂ ගෙවුණු තැනැත්තාට නොනැසී සිටීමට මෙය උපකාරී නොවෙයි. වියළී දිරා ගිය ගසකට පැන් වත් කළත් දළු නොදමන්නාක් මෙනි. ලෝකයෙහි කොපමණ බෙහෙත් වර්ග තිබුණත් ආයුෂ පිරිහුණු තැනැත්තාට ඒවායෙන් ප්රයෝජනයක් නොවන්නාක් මෙනි. එසේම පිරිතෙන් සියලු දෙනාම ආරක්ෂා නොවෙයි. සමහරුන්ට ආරක්ෂාව ලැබෙයි. සමහරුන්ට ආරක්ෂාව නොලැබෙයි. ආහාරය කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරයි. නමුත් ඇතැමෙකුට එය එසේ නොවෙයි.
මෙසේම අකුසල් කරන, කෙලෙස් භරිත, ධර්මය කෙරෙහි විශ්වාසයක් නැති පුද්ගලයන්ට පිරිතෙන් ආරක්ෂාවක් නොලැබෙයි.