වැලිවේරිය ජල ප්‍රශ්නයට විසඳුම් - කම්හල වෙනත් තැනකට ගෙන යයි
ආන්දෝලනයට තුඩුදුන් වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙනයා යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.
එසේම මහා පරිමාණ නව කම්හල් මින් ඉදිරියට ඉදිකරන්නේනම් ඒවා ආයෝජන කලාප තුළ පමණක් ඉදිකළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ අංශ වලට උපදෙස් ලබා දී ඇත.
අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ දී රතුපස්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ අදාළ ආයතනවල නිලධාරීන් හමු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වැලිවේරියේ පානීය ජල ප්රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණ ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.
ජනාධිපතිතුමා ප්‍රදේශවාසීන්ගේ, කම්හල් නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ සවිස්තර තොරතුරුවලට සහ පැහැදිලි කිරීම්වලට සවන් දීමෙන් පසු ප්රශ්නය සමථයට පත්කරනු පිණිස පහත සඳහන් විසඳුම් ඉදිරිපත් කළේය.
01. ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂා සහිත පානීය ජලය සම්පාදනය කිරීම අදාළ නිලධාරීන්ගේ ප්‍රමුඛතම වගකීම විය යුතුය.
02. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ජලය පරීක්ෂා කොට වාර්තාවක් නිකුත් කරනු ඇත.
03. කම්හල වැරදි ලෙස ක්‍රියාකර ඇති බව වාර්තාවෙන් සනාථ වුවහොත් එය වහාම වසා දමනු ලැබේ.
04. කම්හල නියමිත රෙගුලාසි අනුව ක්‍රියාකර ඇති බව වාර්තාවෙන් හෙළි වුවහොත් එය ආයෝජන මණ්ඩල කලාපය තුළ ප්‍රතිෂ්ඨාපනය සඳහා සාධාරණ කාලයක් ලබා දෙනු ලැබේ.
මේ නිශ්චිත විසඳුම්වලට අමතරව යළිත් වරක් මෙවැනි ගැටළු වැළැක්වීම පිණිස ශ්‍රී ලංකාවේ අලූතින් ස්ථාපනය කෙරෙන ඕනෑම කම්හලක් ආයෝජන මණ්ඩල කලාපය තුළ ඉදිකළ යුතු බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.
කම්හලේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප්‍රයෝජනයට ගැනීමට කම්හලට ඉඩදීමටත්, වාර්තාව ප්‍රසිද්ධ කරනතුරු ආයතනය පවත්වා ගෙන යෑමට කම්හල් පරිපාලනයට ඉඩදීමටත්, ප්‍රදේශවාසීහු සහ කම්හල් නියෝජිතයෝ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එකඟ වූහ.
සාකච්ඡාවේදී එළඹගත් විසඳුම් පිළිබඳ සතුට පළකළ ප්‍රදේශවාසීහු ප්රශ්නය සමථයකට පත් කිරීම සඳහා නිලධාරීන් සමඟ එක්ව වැඩ කිරීමට කැමැත්ත පළ කළහ.
අනාගතයේ දී ප්‍රශ්නයක් ඇති වූ විට නීතිය සියතට ගැනීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගැටළු සාකච්ඡා මඟින් විසඳීමට උපරිම උත්සාහය ගන්නැයි සියලූ පාර්ශවයනට දැනුම් දුන්නේ ය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු සහ රජයේ සෙසු ඉහළ පෙළේ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.
adaderana