එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර,
දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය.
සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.
එම සාක්ෂිකරුවන් බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි.
අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය.
එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය.
පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.
මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය.
ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්‍රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්‍රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. ප්‍රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය. එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.
බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය.
ජවිපෙ ප්රචණ්ඩ ක්‍රියා රජයේ සංවිධානවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්‍රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්‍යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි.
මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්‍රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය.
බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නිර්දේශ අතර මෙයද විය. “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.”
බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්‍රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්‍රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක නොකල හුදෙක් නාමමාත්රික සහ නෛතික බලයක් ක්‍රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.