ශ්‍රී ලංකාවේ සිටියදී අපගේ වත්ත සුද්ද කිරීම සඳහා පීටර් නම් මිනිසෙකු විය. තොප්පියක් දමාගත් ඔහු වත්තේ වල් උදුරා ගස් වලට සාත්තු කරයි. අපගේ නියමයෙන් ඔහුට මෙහෙකාරිය තේ එකක් ද පසුව කෑම පිගානක් ද දෙන්නීය. ඉන් පසු වැඩ අවසන් කරන පීටර් රුපියල් සීයක් රැගෙන යයි.
පසු කාලයක මහජන බැංකුවේ හිටපු සභාපති කරුණාජීව මහතා විසින් රෙකමදාරු කල විනී නම් පුද්ගලයාද වතු වැඩට ආවේය. කසිප්පු බීම නිසා විනී වයසට වඩා වයස්ගතව පෙනේ. ඔහු වැඩ කරයි. ඉන්පසු මුදල් රැගෙන කෙලින්ම යන්නේ කසිප්පු බීමටයි. ඔහුගේ මේ පුරුද්ද කෙලෙසින්වත් නවත්වනු නොහැකි විය. පසු කාලයක දිවේ පිළිකාවක් සෑදුනු විනී අකාලයේ මිය ගියේය. ඔහුගේ මරණය ඉක්මන් කලේ කසිප්පු සහ බීඩිය.
කැනඩාවට පැමිනීමෙන් පසු මෙහෙකරුවන් නොමැතිව අපගේ වැඩ කර ගැනීමට සිදු වීම මහත් අභියෝගයක් වූයේය. හිම කාලයට නිවෙස ඉදිරිපිට හිම ශුද්ධ කර ගැනීමටත් ග්‍රීෂ්ම කාලයේ ගෙවත්තේ තණකොල කපා ගැනීමටත් සිදුවීම එක්තරා ආකාරයක අමතර බර වැඩකි. මේ වැඩ සඳහා අපගේ අසල්වැසියන් විසින් මයික් නම් පුද්ගලයෙකු රෙකමදාරු කලේය.
මයික් වයස හැටක පමණ උස සුද්දෙකි. ඔහුද පීටර් සහ විනී මෙන් ඩෝප් දමන්නෙකි. නමුත් පීටර් සහ විනී මෙන් නොව මිතුරන් මෙන් අප සමග හරි හරියට කතා කරන ඔහු තමගේ සේවය ගැන කෙටි හැඳින්වීමක් කොට අය කරන ගනන් හිලව් ද කීවේය.
වත්තේ තණකොල කැපීමට කුඩා තණකොල කපන යන්ත්‍රයක් ගෙන ආ ඔහු කාර්‍ය නිමවා මගෙන් ඩොලර් පණහක් අය කලේය. ඔහුගේ වැඩ ඉතා පිලිවෙලය. කැපූ තණකොල ඔහු විශාල කඩදාසි බෑග වල දැමුවේය. ඔහු ඉතා හොඳින් වත්ත පිරිසිදු කල නිසා මම මුදල් වලට අමතරව මට තෑග්ගක් ලෙස ලැබුණු මිල අධික කියුබන් සුරුට්ටුවක් ද ඔහුට දුන්නෙමි. සුරුට්ටුව අතට ගත් මයික් එහි සුවඳ බලා අනර්ඝයි කීවේය.
මයික් ලා වැනි සුදු හම තිබෙන එහෙත් අධ්‍යාපනය අඩු සුළු සුළු රැකියා කරන මිනිසුන්ට උතුරු ඇමරිකාවේ කියන්නේ රෙඩ් නෙක්ලා කියාය. නමුත් මෙම වචනය නිගර් යන වචනය මෙන් අප්‍රසන්න වචනයකි.
උතුරු ඇමරිකාවේ ලංකාවේ මෙන් විශාල පන්ති භේධයක් නැතත් රෙඩ් නෙක්ලා සහ සුදු කරපටි සුද්දන් අතර විශාල වෙනසක් තිබේ. මා දන්නා සුදු ජාතිකයෙකු වන (සුදු කරපටි) චාල්ස් , මයික්ට වඩා වෙනස් ය. මයික් පරණ ෆෝඩ් රථයක් පදවන අතර චාල්ස් එලවන්නේ අළුත්ම අවුඩි රථයකි. මයික් බොන්නේ බියර් හෝ ලාභ විස්කි වර්ගයකි. නමුත් චාල්ස් මිලෙන් අධික ප්‍රංශ වයින් පානය කරයි. මයික් දිවා ආහාරය ලෙස බර්ගරයක් ගිල දමන විට චාල්ස් ඉතලියානු කෑමක් ඇණවුම් කරයි. මේ දෙදෙනා එකම ඉංග්‍රීසියක් කතා කලද දෙදෙනාගේ කතා විලාසය සහ වචන උච්චාරණයද වෙනස් බව මට පෙනී ගොස් තිබේ.
මේ අනුව පෙනී යන සත්‍ය නම් රෙඩ් නෙක්ලා සහ සුදු කරපටි සුද්දන් අතර සමාජ ආර්ථික හිඩැසක් තිබෙන බවයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
