(පසුබිම)
යාපනයේ දේශපාලන ඉතිහාසය
1215 දි කාලිංග ජාතික මාඝ කුමාරයා ලංකාව ආක්රමනය කරල පොළොන්නරුව සහ අනුරාධපුරය විනාශ කලාට පස්සෙ, සිංහල රජවරු දඹදෙණියට පසු බැහැල එතන අගනුවර පිහිටුවා ගන්නවා. ඒ 1220 දි තුන්වෙනි විජයබාහු රජතුමා යටතේ.
කාලිංග මාඝ තමාගේ අගනුවර ලෙස තෝර ගන්නෙ යාපනය. ඔහු යාපනයේ ඉඳන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය කරනවා.
1255 දි වර්තමාන මැලේසියාවේ තිබුණ රාජධාණියක් වන "තාම්රලිංග" රටේ රජතුමා වන "චන් ද්‍රභානු" ලංකාව ආක්රමනය කරනවා. ඔහු මැලේ ජාතිකයෙක් සහ බෞද්ධයෙක්. නමුත් මේ කාලයේ අග්නිදිග ආසියා කලාපයේ සියළුම ජනවර්ග සිංහලයන් විසින් හැඳින්වුයේ "ජාවක" නමින්. ඒ නිසා අපේ වංශකතාවල චන් ද්‍රභානු හැඳින්වෙන්නෙ ජාවක රජෙක් විදිහට.
චන් ද්‍රභානු ගෙ හමුදාව ලංකාවේ දකුණ ආක්රමනය කළත්, ඒ වෙනකොට දඹදෙණියේ රජු වුන දෙවන පරාක්‍රමබාහු රජතුමා ඔවුන්ව පසු බස්සවන්න සමත් වෙනවා. එතකොට චන් ද්‍රභානු උතුරට ගොඩ බැහැලා කාලිංග මාඝව මරලා යාපනය යටත් කරනවා. ඔහුගේ හමුදාව විෂ ඊතල භාවිතා කළ බව ඉතිහාසයේ කියැවෙනවා.
එතැන් සිට ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය වෙන්නෙ තාම්රලිංග රාජධානියේ කොටසක් විදිහට. චන් ද්‍රභානු ගෙ බලකොටුව පිහිටි ප්‍රදේශය එදා හැඳින්වුනේ "ජා බලකොටුව" කියන අරුත දෙන "ජාවකකෝට්ටේ" නමින්. අද එය දෙමළ ඌරුවට "චාවාකච්චේරි" කියල හැඳින්වෙනවා.
මේ කාලයේ කලාපයේ බලවත්ම රාජධාණිය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යය. චන් ද්‍රභානු නැවත වතාවක් දඹදෙණිය ආක්රමනය කරන්න සූදානම් වුනාම දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය අධිරාජ්‍යයා ගෙන් උදව් ඉල්ලනවා. ඒ අනුව 1263 දි පාඬ්‍යය සේනාවක් යාපනයට ගොඩ බැහැල තාම්රලිංග හමුදාවන් පරාජය කරනවා. සටනෙන් චන් ද්‍රභානු මිය යනවා.
පාඬ්‍යය වරු චන් ද්‍රභානු ගෙ පුතා වන "සවකන්මයින්ඩන්" කුමාරයා යාපනයේ පාලකයා කරනවා. නමුත් පාඬ්‍යය අධිරාජ්‍යයට කප්පම් ගෙවන කොන්දේසිය මත.
ප්‍රකට දේශ සංචාරකයෙක් වන මාර්කෝ පෝලෝ ලංකාවට එන්නෙ මේ කාලයේදී. ඔහු ත්‍රිකුණාමලයෙන් ගොඩ බැහැල එන්නෙ යාපනය ප්‍රදේශයට. ඔහුගේ විස්තරයේ වැඩිපුර සඳහන් වෙන්නෙ යාපනය ප්‍රදේශය සහ එහි වැසියන් ගැන. ලංකාවෙ රජු ලෙස ඔහු විස්තර කරන්නෙ සවකන්මයින්ඩන් ව. ඔහුගේ විස්තරයේ ලංකාවේ රජු ගෙ නම ලෙස සඳහන් වෙන්නෙ "සෙන්ඩෙමයින්".
1277 දි සවකන්මයින්ඩන් දඹදෙණිය ආක්‍රමය කරන්න තැත් කරනවා. නමුත් ආයෙත් පාඬ්‍යය අධිරාජ්‍යය සිංහල රජුගෙ උදව්වට හමුදාවක් යාපනයට එවනවා. ඔවුන් සවකන්මයින්ඩන් මරා දමල යාපනයේ පාලකයා වශයෙන් පාඬ්‍යය රජුගේ අමාත්‍යයෙක් වන "කුලසේකර සින්කෛයාරියම්" පත් කරනවා. ඔහු තමයි "ආර්ය චක්‍රවර්තී" කියල ලංකා ඉතිහාසයේ සඳහන් වන යාපනයේ දෙමළ පාලකයන් ගෙ ආරම්භකයා.
http://paadadaasapuva.blogspot.com/2017/05/1.html
එතැනින් යාපනයේ ජාවක පාලනය අවසන් වෙනවා. එතැන ඉඳල යාපනය පාලනය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. නමුත් පසු කාලීනව පාඬ්‍යය අධිරාජ්‍යයේ බලය හීන වෙනකොට ආර්ය චක්‍රවර්තීන් ස්වාධීන වෙනවා.
දඹදෙණිය යුගය
දඹදෙණි යුගයේ පළවෙනි රජතුමා වෙන්නෙ තුන්වෙනි විජයබාහු. ඒ 1220 දි. ඔහුගෙන් පස්සෙ 1234 දි දෙවෙනි පරාක්‍රමබාහු (පණ්ඩිත පරාක්‍රමබාහු) සහ 1269 දි හතරවන විජයබාහු රජවෙනවා.
ඉන් පසුව 1271 දි රජවෙන පළවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්නෙ යාපහුවෙ ඉඳලා. 1283 දි පාඬ්‍යය හමුදාවක් යාපහුවට පහර දීලා රජු මරලා දළදා වහන්සේ පාඬි රටට පැහැරගෙන යනවා. ඊට පස්සෙ අවුරුදු 10 ක අරාජික සමයක් පවතිනවා.
1302 දි තුන්වෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය රජු ගෙන් නැවත දළදා වහන්සේ ලබාගෙන රජකමට පත්වෙනවා. ඔහු රාජ්‍යය කරන්නෙ පොළොන්නරුවෙ ඉඳල.
ඔහු ගෙන් පස්සෙ 1310 දි රජවෙන දෙවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්න තෝරගන්නෙ කුරුණෑගල. ඊට පස්සෙ 1325 දි හතරවන පරාක්‍රමබාහු රජකමට පත් වෙනවා. ඒ අවුරුද්දෙම තුන්වෙනි භුවනෙකබාහු (වන්නි භුවනෙකබාහු) ඔහුගෙන් රාජ්‍යය පැහැර ගන්නවා. නමුත් නැවතත් ඒ අවුරුද්දෙම පස් වෙනි විජයබාහු (සවුළු විජයබාහු) රාජ්‍යය පැහැර ගන්න සමත් වෙනවා. සවුළු විජයබාහු රජතුමා 1345 වෙනකං කුරුණෑගල ඉඳලා රාජ්‍යය කරනවා.
මේ කාලයේදී ආර්ය චක්‍රවර්තීන් ඉතා බලවත් තත්වයකට පත්වෙලා ඉන්නෙ. ඔවුන් ගේ බලය නැගෙනහිර වෙරළෙන් ත්‍රිකුණාමලය දක්වාත්, බටහිර වෙරළෙන් කොළඹ දක්වාත් පැතිරුනා. ඒ ප්‍රදේශවල බදු රැස් කිරීමට පවා ඔවුන්ට බලය තිබ්බා. මේ කාලයේදී තමයි (1344) ප්‍රකට දේශ සංචාරකයෙක් වන ඉබන් බතූතා ලංකාවට එන්නෙ. ඔහුගේ විස්තරයේ පැහැදිලිවම සඳහන් වෙනවා කුරුණෑගල රජු සහ ආර්ය චක්‍රවර්තීන් දිවයිනේ කොටස් වෙන වෙනම පාලනය කළ බව.
අලගක්කෝණාර පරපුර
පොළොන්නරු යුගයේ දි දකුණු ඉන්දියාවේ කාංචිපුරම් නගරයේ ඉඳලා "අලගක්කෝන්" කියල හැඳින්වුන පවුලක් ලංකාවට සංක්‍රමනය වෙනවා.
කාංචිපුරම් නගරය දකුණු ඉන්දියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් වගේම කාලයක් ථෙරවාද බෞද්ධ ආගම තදින් පැතිරී තිබුණ ප්‍රදේශයක්.
කාංචිපුරම් නගරයේ ඉඳල අලගක්කෝන් වරු ලංකාවට එන්නෙ සිංහල රජතුමාගෙ හමුදාවේ නිලධාරීන් විදිහට සේවය කරන්න. පසුව මොවුන් සිංහලයන් බවට පත්වෙලා ලංකාවේ පදිංචි වෙනවා. ඔවුන් ලංකාවෙදි හැඳින්වෙන්නෙ "අලගක්කෝනාර" හෙවත් "අලකේෂ්වර" නමින්. සිංහල රජුගේ රාජ්‍ය සභාවේ ප්‍රභල තැනක් ලබාගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.
අලගක්කෝනාර පවුලේ වැඩි දෙනෙක් පදිංචි වෙන්නෙ ලංකාවෙ බටහිර වෙරළ ප්‍රදේශයේ. මේ කාලයේදී ලංකාවෙ ප්‍රධාන වෙළඳ වරාය වෙන්නෙ බේරුවල. ඒ නිසා බටහිර වෙරළ ආශ්‍රිතව පදිංචි වෙන අලගක්කෝණාර වරුන්ට ලංකාවෙ විදේශ වෙළඳාමට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ඔවුන් සැලකිය යුතු ධනයක් රැස් කර ගන්නවා.
අලගක්කෝණාර පරපුරේ ප්‍රභලයෙක් වන නිශ්ශංක අලගක්කෝණාර බටහිර ප්‍රදේශයේ ආර්ය චක්‍රවර්තීන් ගේ බලය බිඳීමට කටයුතු කරනවා. ඔහු කොළඹ, වත්තල, මීගමුව සහ හලාවත (මේ සියල්ලම වෙළඳ තොටවල්) ආදී ප්‍රදේශ වල රඳවා තිබූ ආර්ය චක්‍රවර්තීන් ගේ බදු එකතු කරන්නන් සහ ඔවුන් ගේ සේනා පලවා හැරලා බටහිර ලංකාවේ සිංහල රජතුමාගෙ බලය නැවතත් තහවුරු කරනවා.
ඊට පස්සෙ ආර්ය චක්‍රවර්තීන් ගෙන් එල්ල වෙන්න පුළුවන් ආක්රමනයකට මුහුණ දෙන්න කොළඹට නුදුරෙන් විශාල සහ ශක්තිමත් බලකොටුවක් ඉඳි කරනවා. එතැන හැඳින්වෙන්නෙ "බලකොටුව" යන අරුත ඇති "කෝට්ටේ" නමින්.
මේ සිද්ධිය සිදු වන වර්ෂය හරියටම පැහැදිලි නැතත්, 1344 දි නිශ්ශංක අලකක්කෝණාර විසින් පිහිටවූ සෙල්ලිපියක් කැළණියේ කිත්සිරිමෙවන් විහාරයේ තියෙන නිසා ඒ ආසන්න කාලයකදි සිදු වූ දෙයක් බව හිතන්න පුළුවන්.
අලගක්කෝණාර වරු තමාගේ වාසයට තෝර ගන්නෙ රයිගම නගරය. රයිගම නගරය පිහිටල තිබ්බෙ අද පානදුර නගරයට නුදුරෙන් තියෙන ගැලනිගම ප්‍රදේශයේ. එතැන අද පිහිටුවලා තියෙන පුෂ්කරාරාමය නම් විහාරය තිබ්බ තැන තමයි අලගක්කෝණාර වරුන් ගෙ නිවාසය පිහිටුවල තිබ්බෙ. ඒ වටා ඉඳි කරල තිබ්බ කොටු පවුරේ නටබුන් අදත් දකින්න පුළුවන්.
------ Post added on Oct 29, 2021 at 10:25 PM