ලංකාවට එල්ල වූ චීන ආක්‍රමනය - 1

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    (පසුබිම)​

    1635526412061.png


    යාපනයේ දේශපාලන ඉතිහාසය​


    1215 දි කාලිංග ජාතික මාඝ කුමාරයා ලංකාව ආක්‍රමනය කරල පොළොන්නරුව සහ අනුරාධපුරය විනාශ කලාට පස්සෙ, සිංහල රජවරු දඹදෙණියට පසු බැහැල එතන අගනුවර පිහිටුවා ගන්නවා. ඒ 1220 දි තුන්වෙනි විජයබාහු රජතුමා යටතේ.

    කාලිංග මාඝ තමාගේ අගනුවර ලෙස තෝර ගන්නෙ යාපනය. ඔහු යාපනයේ ඉඳන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය කරනවා.

    1255 දි වර්තමාන මැලේසියාවේ තිබුණ රාජධාණියක් වන "තාම්‍රලිංග" රටේ රජතුමා වන "චන් ද්‍රභානු" ලංකාව ආක්‍රමනය කරනවා. ඔහු මැලේ ජාතිකයෙක් සහ බෞද්ධයෙක්. නමුත් මේ කාලයේ අග්නිදිග ආසියා කලාපයේ සියළුම ජනවර්ග සිංහලයන් විසින් හැඳින්වුයේ "ජාවක" නමින්. ඒ නිසා අපේ වංශකතාවල චන් ද්‍රභානු හැඳින්වෙන්නෙ ජාවක රජෙක් විදිහට.

    චන් ද්‍රභානු ගෙ හමුදාව ලංකාවේ දකුණ ආක්‍රමනය කළත්, ඒ වෙනකොට දඹදෙණියේ රජු වුන දෙවන පරාක්‍රමබාහු රජතුමා ඔවුන්ව පසු බස්සවන්න සමත් වෙනවා. එතකොට චන් ද්‍රභානු උතුරට ගොඩ බැහැලා කාලිංග මාඝව මරලා යාපනය යටත් කරනවා. ඔහුගේ හමුදාව විෂ ඊතල භාවිතා කළ බව ඉතිහාසයේ කියැවෙනවා.

    එතැන් සිට ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය වෙන්නෙ තාම්‍රලිංග රාජධානියේ කොටසක් විදිහට. චන් ද්‍රභානු ගෙ බලකොටුව පිහිටි ප්‍රදේශය එදා හැඳින්වුනේ "ජා බලකොටුව" කියන අරුත දෙන "ජාවකකෝට්ටේ" නමින්. අද එය දෙමළ ඌරුවට "චාවාකච්චේරි" කියල හැඳින්වෙනවා.

    මේ කාලයේ කලාපයේ බලවත්ම රාජධාණිය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යය. චන් ද්‍රභානු නැවත වතාවක් දඹදෙණිය ආක්‍රමනය කරන්න සූදානම් වුනාම දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය අධිරාජ්‍යයා ගෙන් උදව් ඉල්ලනවා. ඒ අනුව 1263 දි පාඬ්‍යය සේනාවක් යාපනයට ගොඩ බැහැල තාම්‍රලිංග හමුදාවන් පරාජය කරනවා. සටනෙන් චන් ද්‍රභානු මිය යනවා.

    පාඬ්‍යය වරු චන් ද්‍රභානු ගෙ පුතා වන "සවකන්මයින්ඩන්" කුමාරයා යාපනයේ පාලකයා කරනවා. නමුත් පාඬ්‍යය අධිරාජ්‍යයට කප්පම් ගෙවන කොන්දේසිය මත.

    ප්‍රකට දේශ සංචාරකයෙක් වන මාර්කෝ පෝලෝ ලංකාවට එන්නෙ මේ කාලයේදී. ඔහු ත්‍රිකුණාමලයෙන් ගොඩ බැහැල එන්නෙ යාපනය ප්‍රදේශයට. ඔහුගේ විස්තරයේ වැඩිපුර සඳහන් වෙන්නෙ යාපනය ප්‍රදේශය සහ එහි වැසියන් ගැන. ලංකාවෙ රජු ලෙස ඔහු විස්තර කරන්නෙ සවකන්මයින්ඩන් ව. ඔහුගේ විස්තරයේ ලංකාවේ රජු ගෙ නම ලෙස සඳහන් වෙන්නෙ "සෙන්ඩෙමයින්".

    1277 දි සවකන්මයින්ඩන් දඹදෙණිය ආක්‍රමය කරන්න තැත් කරනවා. නමුත් ආයෙත් පාඬ්‍යය අධිරාජ්‍යය සිංහල රජුගෙ උදව්වට හමුදාවක් යාපනයට එවනවා. ඔවුන් සවකන්මයින්ඩන් මරා දමල යාපනයේ පාලකයා වශයෙන් පාඬ්‍යය රජුගේ අමාත්‍යයෙක් වන "කුලසේකර සින්කෛයාරියම්" පත් කරනවා. ඔහු තමයි "ආර්‍ය චක්‍රවර්තී" කියල ලංකා ඉතිහාසයේ සඳහන් වන යාපනයේ දෙමළ පාලකයන් ගෙ ආරම්භකයා.
    ලංකාව සහ පාඬ්‍යය අධිරාජ්‍යය
    http://paadadaasapuva.blogspot.com/2017/05/1.html

    එතැනින් යාපනයේ ජාවක පාලනය අවසන් වෙනවා. එතැන ඉඳල යාපනය පාලනය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. නමුත් පසු කාලීනව පාඬ්‍යය අධිරාජ්‍යයේ බලය හීන වෙනකොට ආර්‍ය චක්‍රවර්තීන් ස්වාධීන වෙනවා.

    දඹදෙණිය යුගය​


    දඹදෙණි යුගයේ පළවෙනි රජතුමා වෙන්නෙ තුන්වෙනි විජයබාහු. ඒ 1220 දි. ඔහුගෙන් පස්සෙ 1234 දි දෙවෙනි පරාක්‍රමබාහු (පණ්ඩිත පරාක්‍රමබාහු) සහ 1269 දි හතරවන විජයබාහු රජවෙනවා.


    දඹදෙණියේ දළදා මැදුර ලෙස භාවිතා වුනු විජයසුන්දරාරාමය
    ඉන් පසුව 1271 දි රජවෙන පළවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්නෙ යාපහුවෙ ඉඳලා. 1283 දි පාඬ්‍යය හමුදාවක් යාපහුවට පහර දීලා රජු මරලා දළදා වහන්සේ පාඬි රටට පැහැරගෙන යනවා. ඊට පස්සෙ අවුරුදු 10 ක අරාජික සමයක් පවතිනවා.

    1302 දි තුන්වෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය රජු ගෙන් නැවත දළදා වහන්සේ ලබාගෙන රජකමට පත්වෙනවා. ඔහු රාජ්‍යය කරන්නෙ පොළොන්නරුවෙ ඉඳල.

    ඔහු ගෙන් පස්සෙ 1310 දි රජවෙන දෙවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්න තෝරගන්නෙ කුරුණෑගල. ඊට පස්සෙ 1325 දි හතරවන පරාක්‍රමබාහු රජකමට පත් වෙනවා. ඒ අවුරුද්දෙම තුන්වෙනි භුවනෙකබාහු (වන්නි භුවනෙකබාහු) ඔහුගෙන් රාජ්‍යය පැහැර ගන්නවා. නමුත් නැවතත් ඒ අවුරුද්දෙම පස් වෙනි විජයබාහු (සවුළු විජයබාහු) රාජ්‍යය පැහැර ගන්න සමත් වෙනවා. සවුළු විජයබාහු රජතුමා 1345 වෙනකං කුරුණෑගල ඉඳලා රාජ්‍යය කරනවා.

    මේ කාලයේදී ආර්‍ය චක්‍රවර්තීන් ඉතා බලවත් තත්වයකට පත්වෙලා ඉන්නෙ. ඔවුන් ගේ බලය නැගෙනහිර වෙරළෙන් ත්‍රිකුණාමලය දක්වාත්, බටහිර වෙරළෙන් කොළඹ දක්වාත් පැතිරුනා. ඒ ප්‍රදේශවල බදු රැස් කිරීමට පවා ඔවුන්ට බලය තිබ්බා. මේ කාලයේදී තමයි (1344) ප්‍රකට දේශ සංචාරකයෙක් වන ඉබන් බතූතා ලංකාවට එන්නෙ. ඔහුගේ විස්තරයේ පැහැදිලිවම සඳහන් වෙනවා කුරුණෑගල රජු සහ ආර්‍ය චක්‍රවර්තීන් දිවයිනේ කොටස් වෙන වෙනම පාලනය කළ බව.

    අලගක්කෝණාර පරපුර​


    පොළොන්නරු යුගයේ දි දකුණු ඉන්දියාවේ කාංචිපුරම් නගරයේ ඉඳලා "අලගක්කෝන්" කියල හැඳින්වුන පවුලක් ලංකාවට සංක්‍රමනය වෙනවා.

    කාංචිපුරම් නගරය දකුණු ඉන්දියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් වගේම කාලයක් ථෙරවාද බෞද්ධ ආගම තදින් පැතිරී තිබුණ ප්‍රදේශයක්.

    කාංචිපුරම් නගරයේ ඉඳල අලගක්කෝන් වරු ලංකාවට එන්නෙ සිංහල රජතුමාගෙ හමුදාවේ නිලධාරීන් විදිහට සේවය කරන්න. පසුව මොවුන් සිංහලයන් බවට පත්වෙලා ලංකාවේ පදිංචි වෙනවා. ඔවුන් ලංකාවෙදි හැඳින්වෙන්නෙ "අලගක්කෝනාර" හෙවත් "අලකේෂ්වර" නමින්. සිංහල රජුගේ රාජ්‍ය සභාවේ ප්‍රභල තැනක් ලබාගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.

    අලගක්කෝනාර පවුලේ වැඩි දෙනෙක් පදිංචි වෙන්නෙ ලංකාවෙ බටහිර වෙරළ ප්‍රදේශයේ. මේ කාලයේදී ලංකාවෙ ප්‍රධාන වෙළඳ වරාය වෙන්නෙ බේරුවල. ඒ නිසා බටහිර වෙරළ ආශ්‍රිතව පදිංචි වෙන අලගක්කෝණාර වරුන්ට ලංකාවෙ විදේශ වෙළඳාමට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ඔවුන් සැලකිය යුතු ධනයක් රැස් කර ගන්නවා.

    අලගක්කෝණාර පරපුරේ ප්‍රභලයෙක් වන නිශ්ශංක අලගක්කෝණාර බටහිර ප්‍රදේශයේ ආර්‍ය චක්‍රවර්තීන් ගේ බලය බිඳීමට කටයුතු කරනවා. ඔහු කොළඹ, වත්තල, මීගමුව සහ හලාවත (මේ සියල්ලම වෙළඳ තොටවල්) ආදී ප්‍රදේශ වල රඳවා තිබූ ආර්‍ය චක්‍රවර්තීන් ගේ බදු එකතු කරන්නන් සහ ඔවුන් ගේ සේනා පලවා හැරලා බටහිර ලංකාවේ සිංහල රජතුමාගෙ බලය නැවතත් තහවුරු කරනවා.

    ඊට පස්සෙ ආර්‍ය චක්‍රවර්තීන් ගෙන් එල්ල වෙන්න පුළුවන් ආක්‍රමනයකට මුහුණ දෙන්න කොළඹට නුදුරෙන් විශාල සහ ශක්තිමත් බලකොටුවක් ඉඳි කරනවා. එතැන හැඳින්වෙන්නෙ "බලකොටුව" යන අරුත ඇති "කෝට්ටේ" නමින්.

    මේ සිද්ධිය සිදු වන වර්‍ෂය හරියටම පැහැදිලි නැතත්, 1344 දි නිශ්ශංක අලකක්කෝණාර විසින් පිහිටවූ සෙල්ලිපියක් කැළණියේ කිත්සිරිමෙවන් විහාරයේ තියෙන නිසා ඒ ආසන්න කාලයකදි සිදු වූ දෙයක් බව හිතන්න පුළුවන්.

    අලගක්කෝණාර වරු තමාගේ වාසයට තෝර ගන්නෙ රයිගම නගරය. රයිගම නගරය පිහිටල තිබ්බෙ අද පානදුර නගරයට නුදුරෙන් තියෙන ගැලනිගම ප්‍රදේශයේ. එතැන අද පිහිටුවලා තියෙන පුෂ්කරාරාමය නම් විහාරය තිබ්බ තැන තමයි අලගක්කෝණාර වරුන් ගෙ නිවාසය පිහිටුවල තිබ්බෙ. ඒ වටා ඉඳි කරල තිබ්බ කොටු පවුරේ නටබුන් අදත් දකින්න පුළුවන්.


    කොටු පවුරේ නටබුන්
    ------ Post added on Oct 29, 2021 at 10:25 PM
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රයිගම ඉඳලා ගාල්ලේ ඉඳල මීගමුව දක්වා සියළුම වෙළඳ තොටුපල වලින් කෙරුණු වෙළඳාම පාලනය කරන්න අලගක්කෝණාර වරුන්ට පුළුවන් වුනා. ඒ මගින් ඔවුන් විශාල ධනයක් සහ බලයක් ලබා ගත්තා.

    ගම්පොළ රාජධාණිය​


    සවුළු විජයබාහු රජතුමා ගේ අවසාන කාලයේදී ඔහුගේ අමාත්‍යය වරු ඔහුට විරුද්ධව කුමන්ත්‍රනයක් කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔහු අන්ධ වෙනවා.

    1345 දි සවුළු විජයබාහු රජතුමා මිය යනවා. එතැනදි ඔහුගේ පුතුන් දෙදෙනා අතර රාජ්‍යත්වයට ආරවුලක් ඇති වෙනවා. එක් පුතෙක් හතරවන භුවනෙකබාහු නමින් ගම්පොළ ඉඳගෙනත්, අනෙක් පුතා පස්වන පරාක්‍රමබාහු නමින් දැදිගම ඉඳගෙනත් රාජ්‍යත්වයට උරුමකම් කියනවා.

    නමුත් රාජ්‍යත්වයේ සලකුණ විදිහට සැලකුන දළදා වහන්සේ වැඩ සිටියේ ගම්පොළ නිසා නීත්‍යානුකූල රජු විදිහට සැලකුනේ හතරවන භුවනෙකබාහු. මේ කාලයේ දී දළදා වහන්සේ වැඩ සිටියේ වර්තමාන ගම්පොළ නගරයට නුදුරෙන් පිහිටි නියම්ගම්පාය විහාරයේ. ගම්පොළ රාජමාළිගය පිහිටල තිබ්බෙ වර්තමාන ගම්පොළ නගරයේ බස්නැවතුම් පොළ පිහිටා ඇති ස්ථානයේ.


    නියම්ගම්පාය විහාරය

    1353 දි හතරවන භුවනෙකබාහු රජතුමා මියගිය පසු පස්වන පරාක්‍රමබාහු දැදිගම ඉඳල ගම්පොළට ඇවිල්ල දළදා වහන්සේ සහ රාජ්‍යත්වය භාරගන්නවා.

    නමුත් හතරවන භුවනෙකබාහු රජු ගේ පුතා වන වික්‍රමබාහු කුමාරයා පස්වන පරාක්‍රමබාහු රජතුමා ගෙන් රජකම පැහැරගන්න උත්සහ කරනවා. මේ සඳහා ඔහු ආර්‍ය චක්‍රවර්තීන් ගෙන් සහය ලබාගත්ත බව කියැවෙනවා. 1357-1359 කාලය තුල මේ දෙන්නගෙ බල ආරවුල තියෙනවා. 1359 දි වික්‍රමබාහු කුමාරයා බලය තහවුරු කරගන්න සමත් වෙනවා. ඔහු තුන්වන වික්‍රමබාහු නමින් ගම්පොළ රජවෙනවා.

    ඔහුට ලබා දුන් උදව් වල හිලව්වට ආර්‍ය චක්‍රවර්තීන්ට හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වලින් බදු එකතු කරගැනීමට ඉඩ ලබා දෙනවා. හාරිස්පත්තුව දක්වා බදු එකතු කරන්න පුළුවන් කම තිබ්බ කියන්නෙ ආර්‍ය චක්‍රවර්තීන් මේ වෙද්දි ඉතා බලවත් තත්වයක හිටිය කියන එක.

    ගම්පොළ රාජසභාවෙ මොන තත්වය තිබ්බත් මේ වෙද්දි දකුණේ සැබෑ බලවතුන් වුනේ අලකක්කෝණාර වරු. කඳුකරයෙන් පහල කිසිම බලයක් රජතුමාට තිබ්බෙ නෑ. ඒ සියල්ල පාලනය කලේ රයිගම හිටපු අලගක්කෝණාර වරු (මේ තත්වය ජපානයේ අධිරාජ්‍යයා නාමික තත්වයේ තියලා සැබෑ බලය ෂෝගුන් විසින් හෙබවීමට සමාන කරන්න පුළුවන්).

    මේ කාලයේදී නිශ්ශංක අලකක්කෝණාර වික්‍රමබාහු රජු ගේ සොහොයුරිය විවාහ කර ගන්නවා. වික්‍රමබාහු රජුට පුතුන් නොමැති නිසා එම විවාහයෙන් ලැබෙන පුතා තමයි ඔහුගේ ඇවෑමෙන් 1370 දි ගම්පොළ රජ වෙන්නෙ. ඒ පස්වන භුවනෙකබාහු නමින්.

    මේ කාලය වෙද්දි පස්වන පරාක්‍රමබාහු රජු ගේ පුතා ගම්පොල රාජ සභාවේ ඇමති වරයෙක් වශයෙන් කටයුතු කරල තියෙනවා. ඔහු හැඳින්වුනේ "ජයමහලේන" සිටුවරයා ලෙස. මේ ජයමහලේන සිටුවරයා නියම්ගම්පාය විහාරය ප්‍රතිසංස්කරණය කරවන්න සහ වල්ලහගොඩ විහාරය සහ දේවාලය ඉඳි කරන්න කටයුතු කරල තියෙනවා (1917 සිංහල-මුස්ලිම් කෝලහලයට හේතු වෙන්නෙ මේ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පල්ලියකින් බාධා කිරීම). අද නියම්ගම්පාය විහාරය සහ වල්ලහගොඩ ප්‍රදේශය හැඳින්වෙන්න ජයමහලේන සිටුවරයා ගෙ නමින් "ජයමාලපුර" කියල.

    ඔහුගේ බිරිඳ වෙන්නෙ සුනේත්‍රා. මේ දෙන්නට පුතෙක් ඉන්නවා. ඒ පුතා හැඳින්වෙන්නෙ ජයමහලේන කුමාරයා කියල.

    රයිගමයයි - ගම්පොළයයි​


    පස්වන භුවනෙකබාහු රජතුමා රාජවාංශිකයෙක් නොවුන අලකක්කෝණාර වරයෙක් ගෙ පුතෙක් නිසා ඔහුට ලොකු සහයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසාම ඔහුගේ පාලන කාලය තුල ගම්පොළ රාජ්‍ය බලය ඉතා දුර්වල තත්වයට පත්වෙනවා.

    මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න ආර්‍ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමනය කරනවා. මේ ආක්‍රමනය මුහුදු ආක්‍රමනයක් සහ ගොඩබිම් ආක්‍රමනයක් විදිහට දෙපැත්තකින් සිද්ධ වෙන්නෙ.

    ගොඩබිම් ආක්‍රමනය එල්ල වෙන්නෙ අනුරාධපුරය හරහා. ආර්‍ය චක්‍රවර්තී සේනාව මාතලේ දක්වා ඇවිල්ල මාතලේ කඳවුරු ලා ගන්නවා. එතකොට පස්වන භුවනෙකබාහු රජතුමා කරන්නෙ රයිගමට පලා යාම.

    මේ සිද්ධියෙන් රජුගේ හමුදාව දැඩි ලෙස කලකිරෙනවා. "අපේ සේනාව හැර දමා පලාගිය නිවට රජෙක් ගෙන් කුමන ප්‍රයෝජනයක් දැ" යි කලකිරුණු සේනාව තමා විසින්ම සංවිධානය වෙලා මාතලේ දක්වා ගමන් කරනවා. රාත්‍රියේදී ආර්‍ය චක්‍රවර්තී කඳවුරට එල්ල කරන හදිසි ප්‍රහාරයකින් ඔවුන්ව පළවා හරින්න මේ හමුදාවට පුළුවන් වෙනවා.

    මුහුදෙන් එල්ල වෙන ආක්‍රමනය එන්නෙ කෝට්ටේ ට එරෙහිව. මේ සේනාව පානදුරෙන් ගොඩබැහල ගොරකානෙ (මොරටුව) සහ දෙමටගොඩ කඳවුරු ලා ගන්නවා. අලගක්කෝණාර ගෙ හමුදාව ඔවුන්ට පහර දීල දරුණු සටනකින් පස්සෙ ඔවුන්ව පළවා හරින්න සමත් වෙනවා. මේ නිශ්ශංක අලගක්කෝණාර ද නැත්තම්, ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් ද කියල පැහැදිලි නෑ.

    මේ විදිහට සිංහල රාජ්‍ය බලය ගම්පොළ සහ රයිගම අතර බෙදිලා රට දුර්වල වීම සිංහල ගැමියන් ගෙ කලකිරීමට හේතු වෙනවා. ඒ නිසාම ඔවුන් රයිගමයා සහ ගම්පොළයා කියල ජනකතා චරිත දෙකක් නිර්මානය කරනවා. මේ චරිත දෙකෙන් කියැවෙන්නෙ තමන් කපටියන් කියල හිතාගෙන ඉන්න, එකිනෙකාට එරෙහිව උපායන් යොදලා තමාගෙ වාසිය සලසවා ගන්න උත්සහ කරන, නමුත් ඇත්තෙන්ම හද්ද මෝඩ "යාළුවො" දෙන්නෙක් ගැන.

    ගම්පොළ රජ පවුල

    මේ සිද්ධියෙන් පස්සෙ ගම්පොළ රජතුමාට නාමික බලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ. සම්පූර්න රාජ්‍යබලය හිමිවෙන්නෙ රයිගම ඉන්න අලගක්කෝණාරට. නමුත් දළදා වහන්සෙ වැඩ ඉන්නෙ ගම්පොළ නිසා අලගක්කෝණාර වරුන්ට "රජ" පදවිය ලැබෙන්නෙ නෑ.

    පස්වන භුවනෙකබාහු රජතුමා 1408 දි මිය යාමෙන් පසුව රජවෙන්නෙ පරාක්‍රමබාහු ඈපා. පරාක්‍රමබාහු ඈපා රජවූ පසුත් යුවරජ කියන අරුත දෙන "ඈපා" නමින් ම හැඳින්වීමෙන් ම ඔහුගේ බෙලහීන බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මේ කාලය අරාජික සමයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි.

    රයිගම මේ වෙද්දි බලයේ ඉන්නෙ වීර අලකේෂ්වර නමින් හැඳින්වෙන අලකක්කෝණාර වරයා. ඔහු සහ ඔහුගේ සහෝදරයෙක් වන මෙහණවර වීරබාහු අතර බල අරගලයක් තිබූ බවත් ඉතිහාසයේ සඳහන්. ඊට අමතරව අර්ථනායක සහ දේවමන්ත්‍රී නමින් හැඳින්වුන සොහොයුරන් දෙන්නෙක් ගැනත් සඳහන් වෙනවා.

    1405 වෙද්දි ලංකාවෙ දේශපාලන තත්වය ඔය වගේ.

    (ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ)
    http://paadadaasapuva.blogspot.com/2017/05/1.html
    ------ Post added on Oct 29, 2021 at 10:27 PM
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    මිං රාජ වංශය​


    කුබ්ලායි ඛාන් ප්‍රධාන මොංගෝලියානුවන් 1271 දි චීනයේ බලය අල්ලගෙන යුආන් රාජවංශය පිහිටුවනවා. ඔවුන් අවුරුදු 100 ක් පමණ චීනය පාලනය කරනවා.

    1351 දි "හොංජිං ක්වී" (රතු ජටා කරුවෝ) නමින් හැඳින්වුන කැරලිකාරී සංවිධානයක් යුආන් රජවරුන්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ලට "බයිලින් ජියාඕ" (සුදු නෙළුම) නමින් හැඳින්වුන රහසිගත බෞද්ධ දේශපාලනික සංවිධානයක සහය ලැබෙනවා. මේ කැරැල්ල ඉතා වේගයෙන් චීනය පුරා පැතිරෙනවා.

    1352 දි "ෂූ යුඅන්‍ෂැං" කියල 24 හැවිරිදි තරුණයෙක් කැරලි කරුවන්ට එක් වෙනවා. ඔහු අන්ත දුගී ගොවි පවුලක ඉපදිලා, පසුව බෞද්ධ භික්‍ෂුවක් විදිහට මහණ වුන කෙනෙක්. නමුත් ඔහුගේ පන්සල පවත්වාගෙන යන්න නොහැකි තරම් දුගී තත්වයට පත්වෙන නිසා වහල දානවා. ෂූ අවුරුද්දක කාලයක් හිඟන්නෙක් විදිහට තැන තැන ඇවිදිමින් කල් ගෙවනවා. අවුරුද්දකට පස්සෙ ෂූ නැවතත් පන්සලට එනවා. නමුත් ටික කාලෙකින්ම යුආන් රජවරුන් ගෙ හමුදාවක් කැරැල්ලක් මර්ධනය කිරීමේදී පන්සල සම්පූර්නයෙන්ම විනාශ කරනවා. කරන්න දෙයක් නැති කම නිසා ෂූ කැරලි කාරයන්ට එකතු වෙනවා.

    ඉතා ඉක්මනින් ෂූ කැරලි නායකයෙක් බවට පත් වෙනවා. ඔහු යුධ ශිල්පයේ අති දක්‍ෂයෙක්. අවුරුදු හතරකට පස්සෙ 1356 දි ෂූ කැරලි හමුදාවක් මෙහෙයවලා දකුණු චීනයේ විශාලම නගරය වුන නැන්ජිං නගරය අල්ල ගන්නවා. 1360 වෙද්දි මුළු දකුණු චීනයම කැරලි කාරයො යටතට පත් වෙනවා. 1360-67 කාලයේදී කැරලි කණ්ඩායම් අතර යුද්ධ හටගන්නවා. 1367 වෙනකොට සියළු විරුද්ධවාදී කැරලි කණ්ඩායම් මර්ධනය කරල ෂූ යුඅන්‍ෂැං දකුණු චීනයඒ අසහාය නායකයා බවට පත්වෙනවා.

    හොංවූ අධිරාජ්‍යයා

    1368 දි ෂූ යුඅන්‍ෂැං ගේ රතු ජටා කැරලි හමුදාව උතුරු චීනය ආක්‍රමනය කරලා යුආන් රජවරු සම්පූර්නයෙන්ම පරාජය කරනවා. ෂූ යුඅන්‍ෂැං අධිරාජ්‍යය තනතුරට පත්වෙන්නෙ "හොංවූ" නමින්. චීනයේ මිං රාජවංශය එතැනින් ඇරඹෙනවා.


    මිං අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ

    හොංවූ අධිරාජ්‍යයා ගෙන් පස්සෙ බලයට එන්නෙ ඔහුගේ පුතා වන යොංගල් අධිරාජ්‍යයා. ඔහු චීනයේ වෙළඳ ආධිපත්‍යය ආසියාව පුරා පතුරුවන්න සැලසුම් කරනවා. මේ වෙළඳ අධිරාජ්‍යය පිහිටුවීම සඳහා ඔහු චීන වෙළඳ නැව් ආසියාව පුරා යවනවා. විවිධ රාජධානි සහ පාලකයන් එක්ක වෙළඳ ගිවිසුම් වලට එළඹෙනවා. ඒවට විරුද්ධ වන පාලකයන් හමුදා බලයෙන් මැඩ පවත්වනවා.

    මේ වෙළඳ අධිරාජ්‍යය ගොඩ නැංවීම සඳහා යොංගල් අධිරාජ්‍යයා හදන වෙළඳ-හමුදා නැව් පන්තිය නැව් 300 කින් සමන්විත වුනා. මේ නැව් පන්තියේ විශාලම නැව් සමකාලීන යුරෝපීය නැව් වගේ දෙගුණයක් විශාලයි. මේ නැව් පන්තිය ලෝක ඉතිහාසයේ බිහිවුන බලවත්ම නාවික හමුදාවක් විදිහටයි සැලකෙන්නෙ.

    ඒ නාවුක හමුදාවෙ නායකත්වය ලැබෙන්නෙ අද්මිරාල් "ෂෙං හේ" ට. ෂෙං හේ 1405 ඉඳලා 1433 වෙනකං නාවුක ගමන් හතක යෙදෙනවා.


    ෂෙං හේ ගෙ නාවුක ගමන්


    අද්මිරාල් ෂෙං හේ​


    අද්මිරාල් ෂෙං හේ උපත ලබන්නෙ 1371 දි දකුණු චීනයේ යුනාන් ප්‍රාන්තයේ හුයි ජාතික පවුලක (හුයි ජාතිකයන් කියන්නෙ ඉස්ලාම් ආගම වැළඳ ගත්ත චීන ජාතිකයන්). ෂෙං හේ ගෙ පවුල මොංගෝලියානු යුආන් අධිරාජ්‍යයා ගේ පරිපාලන නිලධාරීන් විදිහට කටයුතු කරපු අය.

    1381 දි යුනාන් ප්‍රාන්තය පාලනය කරන්නෙ මොංගෝලියානු ජාතික කුමාරයෙක්. මිං අධිරාජ්‍යයා ගේ හමුදාව යුනාන් ප්‍රාන්තය ආක්‍රමනය කරාම ෂෙං හේ ගෙ පියා සටනෙන් මිය යනවා. මිං හමුදාව ෂෙං හේ අත් අඩංගුවට ගන්නවා. මේ දස හැවිරිදි කොළු ගැටයා ගේ නිර්භීතකම ගැන පැහැදෙන චීන සෙන්පතියා ඔහුව ෂූ ඩී කුමාරයට භාර දෙනවා. මේ ෂූ ඩී කුමාරයා තමයි පසුව යොංගල් අධිරාජ්‍යයා බවට පත්වෙන්නෙ.

    ෂෙං හේ
    ඒ කාලෙ සිරිත අනුව ෂූ ඩී කුමාරයා ෂෙං හේ ගේ ලිංගච්ඡේදනය කිරීමෙන් ඔහුව නපුංසකයෙක් බවට පත් කරලා ඔහුව රාජ සේවයට බඳව ගන්නවා. ෂෙං හේ යුධ ශිල්පයේ අති දක්‍ෂයෙක් වෙනවා. ඔහුට අඩි හයකට වඩා උස, ඉතාමත් ශක්තිමත් ශරීරයක් තිබ්බ බවටත්, සටන් බිමේ දි ව්‍යාඝ්‍රයෙක් වගේ එහා මෙහා ගිය බවත් චීන ඉතිහාසයේ සඳහන් වෙනවා.

    ෂෙං හේ ක්‍රමයෙන් යොංගල් අධිරාජ්‍යයා ගේ ප්‍රධාන සහ විශ්වාසවන්තම යුධ සෙනවියා වෙනවා. ඒ නිසාම ආසියානු වෙළඳ අධිරාජ්‍යාය ගොඩනංවන මෙහෙයුම ලැබෙන්නෙ ෂෙං හේ ට.

    ෂෙං හේ ගේ ලංකා ගමන​


    1405 දි ඇරඹෙන ෂෙං හේ ගේ පළවෙනි මුහුදු ගමනෙදි ඔහු බේරුවල වරායට එනවා. නමුත් ඉතා උඩඟු සහ අවිනීත පුද්ගලයෙක් වූ එවකට රයිගම පාලකයා වූ වීර අලකේෂ්වර ඔහුට ලංකාවට ගොඩ බැසීම තහනම් කරනවා. ගොඩ බැස්සොත් චීන නැව් වලට පහර දෙන්න විශාල හමුදාවකුත් ඔහු බේරුවලට යවනවා.

    ෂෙං හේ ගෙ පළමු නාවුක ගමන වන මේ ගමනේ ප්‍රධාන අරමුණ වෙන්නෙ ඒ කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානය වන කැලිකට් නගරය සමඟ වෙළඳ සබඳතා ගොඩ නංවා ගැනීම. ඒ නිසා ඔහු වීර අලකේෂ්වර එක්ක යුද්ධ කරන්න යන්නෙ නෑ. නැව් ටික හරවගෙන ඉන්දියාව බලා යාත්‍රා කරනවා.

    1409 දි කරන ඔහුගේ දෙවෙනි මුහුදු ගමනෙදි ෂෙං හේ ලංකාවට එන්නෙ නෑ. ඔහු නැවත ලංකාව ගැන අවධානය යොමු කරන්නෙ 1411 දි සිදු කරන තුන්වෙනි මුහුදු ගමනෙදි.

    1411 දි ෂෙං හේ ප්‍රධාන චීන නාවුක පන්තිය කෙලින්ම යාත්‍රා කරන්නෙ කැලිකට් නගරයට. ඔවුන් ලංකාවට එන්නෙ ආපසු චීනයට යන අතරතුරේ. එහිදී වීර අලකේෂ්වර ඔවුන් ව රට තුළට කැඳවනවා. ෂෙං හේ ප්‍රමුඛ චීන හමුදාවෙ වැඩි පිරිස රට තුලට ආවට පස්සෙ වීර අලකේෂ්වර තමාගෙ හමුදාව බේරුවල වරායට යවනවා චීන නැව් මංකොල්ල කන්න. චීන හමුදාවට ආපසු බේරුවලට යාම වළක්වන්න ඔවුන් ආ මගේ ගස් කපා හෙළලා මාර්ගය අවහිර කරනවා.

    මේ වෙලාවෙ ෂෙං හේ ඉතාමත් අවදානම් සහගත සහ නිර්භීත උපායක් යොදනවා. ඔහු චීන හමුදාවේ වැඩි පිරිසට හැකි ඉක්මනින් බේරුවල බලා ආපසු යන ලෙසත්, අතරමගදී පහරදීමකට ලක් වුනොත් මරණය දක්වා සටන් කරන්නත් අණ දෙනවා.

    දෙදහසක සෙබළු පිරිසක් අරගෙන ෂෙං හේ රයිගම බලා පිටත් වෙනවා. ඔහු හිතන්නෙ සිංහල හමුදාවේ වැඩි පිරිස බේරුවලට ගිය නිසා රයිගම නගරයේ ආරක්‍ෂාවට ඉන්නෙ සුළු පිරිසක් කියල.

    ෂෙං හේ ගෙ උපාය නිවැරදියි. රයිගම නගරයේ ඉන්නෙ සුළු බලඇණිය කිසිසේත්ම චීන ප්‍රහාරයක් අපේක්‍ෂා කරන්නෙ නෑ. ඉතා ඉක්මනින් එල්ල කරන දරුණු ප්‍රහාරයකින් මුළු නගරයම ක්‍ෂනයකින් අල්ල ගන්න චීනුන්ට පුළුවන් වෙනවා. ඒ එක්කම වීර අලකේෂ්වරව ජීව ග්‍රහයෙන් ගන්නත් චීනුන්ට පුළුවන් වෙනවා.

    ඒත් ප්‍රහාරය ගැන ආරංචි වෙන සිංහල හමුදාව බේරුවල ඉඳල ලහි ලහියේ ආපහු ඇවිත් චීනුන් නගරය ඇතුලෙ ඉද්දි රයිගම නගරය වට කරනවා. එතැනදි චීන හමුදාව සහ සිංහල හමුදාව අතර දරුණු සටනක් ඇති වෙනවා. සිංහල හමුදාව චීන හමුදාව වගේ කීප ගුණයක් විශාල වුනත් චීන හමුදාවට වාසි වන ප්‍රධාන කාරනා තුනක් තියෙනවා.

    පළවෙනි එක ඔවුන්ව මෙහෙයවන්නෙ ඉතා දක්‍ෂ සෙන්පතියෙක් වන ෂෙං හේ. දෙවෙනි එක සිංහල සෙබළුන්ට වඩා චීන සෙබළු ක්‍රමවත් පුහුණුවක් ලද වෘත්තීය යුධ සෙබළු වීම. තුන්වෙනි එක චීන සෙබළු ළඟ තිබ්බ තුවක්කු.

    මේ කාලය වෙද්දි චීන හමුදාවන් අත් තුවක්කු වගේම උණ බම්බු වලින් හදපු රොකට් වෙඩි යුධ කටයුතු සඳහා භාවිතා කරල තියෙනවා. මේ ලංකාව ඇතුලෙ යුද්ධයකදි තුවක්කු භාවිතාවුන පළවෙනි අවස්ථාව.
    ------ Post added on Oct 29, 2021 at 10:30 PM
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    චීන තුවක්කු
    මේ ඇතිවන දරුණු සටනෙන් වටලෑම බිඳගෙන ආපසු බේරුවලට යන්න චීන හමුදාවට පුළුවන් වෙනවා. ඔවුන් යන්නෙ වීර අලකේෂ්වර සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුත් සමඟ.

    සටනෙන් වීර අලකේෂ්වර ගේ සොහොයුරන් හතර දෙනෙක් මිය යනවා. ඒ එක්කම චීන වාර්තා වල දැක්වෙනවා 1426 දි ලංකාවෙදි ඇති වුන සටනෙදි අත් අඩංගුවට පත් වුන චීන සෙබළු හතර දෙනෙක් නැවත චීනයට ආ බව. එයින් පැහැදිලි වෙනවා සමහර චීන සෙබළු සිංහල හමුදාව විසින් අල්ලා ගත් බවට. සටනට සහභාගී වුන චීන සෙබළු රැසකට උසස් වීම් සහ වෙනත් පාර්තෝශික ලැබුන බව සඳහන් වන නිසා මේ සටන ඉතා දරුණු සටනක් වුන බව පැහැදිලියි.

    ආක්‍රමනයෙන් පසු​


    අත් අඩංගුවට අරගෙන චීනයට අරගෙන යන වීර අලකේෂ්වර යොංගල් අධිරාජ්‍යයා ගේ රාජ සභාව ඉදිරියට පමුණුවනවා. එහිදී අධිරාජ්‍යයා ගේ ඇමති වරු ඔහුට මරණ දඬුවම දිය යුතු බව යෝජනා කරත්, අධිරාජ්‍යයා ඔහුට සමාව දෙනවා. නමුත් රයිගම බලය වෙනත් අයෙකුට ලබා දිය යුතු බව ඔහු යෝජනා කරනවා. මේ සිද්ධිය චීන වාර්තා වල දැක්වෙනවා. ඒවායේ වීර අලකේෂ්වර ගේ නම සඳහන් වෙන්නෙ "යාලීකුනායිර්" නමින්.

    මේ අතර ලංකාවෙ ඇති වෙන්නෙ අරාජික තත්වයක්. ගම්පොළ රජතුමා බල රහිතයි. රයිගම පාලකයෙක් නෑ.

    මේ අවස්ථාවෙදි රයිගම නගරය අසල තියෙන වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවන් ඉදිරියට පැමිණිලා නව පාලකයෙක් පත් කිරීමේ වගකීම ලබා ගන්නවා.

    උන් වහන්සේ යෝජනා කරන්නෙ කුඩා කල තමාගේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ, ගම්පොළ ජයමහලේනා සිටුවරයාගේ පුතා වන ජයමහලේන කුමාරයාව. මේ වන විට ජයමහලේන කුමාරයා ගේ මව සහ පියා දෙදෙනාම මිය ගිහින්. ඔහු වීදාගම පිරිවෙනේ ආරක්‍ෂාව යටතේ තමයි ජීවත් වුනේ.

    මේ යෝජනාව ගැන සිංහල ප්‍රධානින් යොංගල් අධිරාජ්‍යයාට දන්වනවා. ඔහු ඒ යෝජනාව පිළිගෙන ඒ බව දන්වලා හසුනක් ලංකාවට එවනවා. එහි ජයමහලේනා කුමාරයා ගේ නම සඳහන් වෙන්නෙ "යේබානේනා" විදිහට.

    ඉතාම වැදගත් කරුණක් වෙන්නෙ මේ හසුනේ සඳහන් වන අවසාන වාක්‍යය.

    "යේබානේනා වන ඔබ ඉතා යහපත් සහ ආචාරශීලී පුද්ගලයෙක් බව ඔබගේ රටේ ජනතාව මා හට දැනුම් දී ඇත. එම නිසා මම ඔබව ලංකාවේ රජු ලෙස පත් කරමි"

    මේකෙන් පැහැදිලි වෙනවා ජයමහලේනා කුමාරයා බලයට පත් වෙන්නෙ චීන අධිරාජ්‍යයාගේ පූර්ණ අනුග්‍රහය සහ අනුමැතිය යටතේ බව.

    ෂෙං හේ ගෙ මුහුදු ගමන් දිගටම කෙරෙනවා. ඒ හැම මුහුදු ගමනකම චීන නැව් පන්තිය ලංකාවට එනවා. ඒ අනුව පේනවා ලංකාව සහ චීනය අතර ඉතා කිට්ටු සබඳතාවයක් පැවතුන බව.

    ඒ වගේම වර්තමානයේ බේරුවල නගරයේ "චීන කොටුව" නමින් හඳුන්වන ප්‍රදේශයක් තියෙනවා. ඒ අනුව හිතන්න පුළුවන් චීන බලකොටුවක් බේරුවල තිබුණු බවත්, චීන හමුදා ඛන්ඩයක් එහි රඳවා තිබුණු බවත්. මේ සෙබළු චීන වෙළෙන්දන්ට ආරක්‍ෂාව සපයන්න ඇති. නැතිනම් ජයමහලේනා කුමාරයාට ආරක්‍ෂාව සපයන්න ඇති. නැතිනම් චීන අධිරාජ්‍යයා ගේ බලය ලංකාවෙ පාලකයට නිතර සිහිපත් කරවීමේ උපායක් වෙන්න ඇති.

    ජයමහලේනා​


    ජයමහලේනා කුමාරයා රයිගම බලයට පත් වෙන්නෙ 1412 දි. ඔහු 1414 දි තමාගේ පාලන නගරය කෝට්ටේ වෙත ගෙනියනවා. ඔහු එය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" ලෙස නම් කරනවා.

    1419 වෙද්දි ගම්පොළ හිටපු පරාක්‍රම ඈපා මිය යනවා. ඒත් එක්කම ජයමහලේන කුමාරයා හමුදාවත් එක්ක ගම්පොළට යනවා. පරාක්‍රම ඈපා ගේ බෑණා වන "මෙහෙණවර තුනයා" සටනකින් තොරවම ඔහුට යටත් වෙනවා. දළදා වහන්සේ ජයමහලේන කුමාරයා යටතට පත් වෙනවා.

    දළදා වහන්සේ ගේ හිමිකාරීත්වයත් සමඟම ජයමහලේන කුමාරයාට ලංකාවේ රාජ්‍යත්වයට නිල උරුමය ලැබෙනවා. ඔහු කෝට්ටේ අගනුවර කරගෙන 1419 දි රජ වෙනවා. ඒ හයවන පරාක්‍රමබාහු නමින්. ලංකාවෙ අරාජික සමය එතැනින් නිම වෙනවා.

    පසු කාලීනව හයවන පරාක්‍රමබාහු රජතුමා ආර්‍ය චක්‍රවර්තීන් පරාජය කරලා ලංකාව එක්සේසත් කරනවා. ලංකාව අවසන් වරට එක්සේසත් කළ රජු වෙන්නෙ ඔහු. ඔහු ගේ පාලනය යටතේ ලංකාව ඉතා බලවත් මෙන්ම සමෘධිමත් යුගයකට එළැඹෙනවා.

    මේ සඳහා ඔහුට චීන සහයත් ලැබුනද?

    (ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ)
    http://paadadaasapuva.blogspot.com/2017/05/2.html
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    bump

    උඹගෙ කිරි කෑ මුත්තා මෙහෙම ආපු කැ* චීනෙක්ට දාව උපදින්න ඇති නේද @N A K A M U R A
    ------ Post added on Dec 27, 2021 at 9:50 PM