ලංකාවෙ ඇතුන් ගැන

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ලංකාවෙ ඇතුන් ගැන

    හරියටම ගිය අවුරුද්දෙ (2016) දෙසැම්බර් පලවෙනිදා ලියලා සයිබරයට අතැරපු මේ පෝස්ට් එක මේ දෙසැම්බර් පලවෙනිදත් ආපුහු රීපෝස්ට් කරන්නෙ ඇස් වල කඳුළු එක්ක....ඒ මේකේ ලිස්ට් එකට මගේ ජීවිත කාලය තුල දැක්ක, ආදරය කරපු ගල්ගමුව පූට්ටුවත් දැන් ඇතුලත් නිසා.කැලේකට නොගිය, අලි ගැන නොදන්න මිනිස්සු ඒකට හිනා වුනාට කාරි නැත.....
    දළයන්ගේත් හැඩකාර පූට්ටුවන් සහ යාල පොඩි පූට්ටුවා
    ===================================

    ලංකාවෙ ඇතුන් ගැන කතා කරද්දි නැවත නැවතත් අප කාලාන්තරයක් තිස්සෙ මතක් කරන දෙයක් තමයි ලංකාවේ ඇත් ජානයේ දුලබතාව. ලංකාවේ ජීවත්වන සමස්ථ හස්ථි ගහණයෙන් 5% -6% අතර ප්‍රමාණයකට තමයි මේ දළ ජානය පිහිටන්නෙ. එතරම්ම දුර්ලබ ලංකාවේ ඇත් ගහණය තුලත් ජීවත් වෙනවා තවත් අපූරු අති දුර්ලභ හාදයෝ ටිකක්. මේ අයට කියන්නේ දළ පූට්ටුවෝ කියලා. අර 5-6% අතර ඇති දළ ජානය‍ෙන් ඉතාමත් සීමිත පිරිසකට තමයි මේ දළ පූට්ටු ජානය පිහිටන්නෙ. දළ පූට්ටුවන් නමින් අපි නම් කරන්නෙ එකිනෙක හරහා පිහිටන දළ යුගලක පිහිටන දළකාරයන්ව. වෙන් වෙන්ව දෙපසට විහිද යන දළ යුවල වෙනුවට මේ අයට පිහිටන්නෙ එකක් මතින් එකක් කතිරයක් ආකාරයෙන් පිහිටන දළ යුවලක්. ඔබ කෙදිනක හෝ දළ පූට්ටුවකු වනය තුලදි දකින්න වාසනා කර ඇත්නම් එය කිසි දිනක අමතක නොවන දසුනක් වනු ඇත. දළ පූට්ටුවන් යනු එතරම්ම දැකුම්කළු හස්ථින් කොටසක්. මේ දළ පූට්ටු ජානය‍ෙ ඇති විශේෂත්වය තමයි දළ පූට්ටුවන් දැකිය හැකි ලංකාවේ එකම ප්‍රදේශය රුහුණු ජාතික වනෝද්‍යානය සහ ඒ අවට පෙදෙස වීම.

    ඉතිහාසය පුරාවටම තේජවන්ත දළ පූට්ටුවන් වැඩි වශයෙන් වාර්තා වුනේ මේ යාල වනෝද්‍යානය‍ෙන්. යාල දළ පූට්ටුවන් පරම්පරාවෙ නම ගිය දළයන් තමයි වලස්කෙම පූට්ටුවා, අසුව දශකයෙ සිටි මහ දළ පූට්ටුවා, පොඩි පූට්ටුවා, පානම්පත්තුවෙ පූට්ටුවා,මෑතකදි ඝාතනයට ලක්වුන කුමන පූට්ටුවා.. මේ අතරිනුත් එදා මෙදා තුර ප්‍රසිද්ධම දළ පූට්ටුවා තමයි යාල පොඩි පූට්ටුවා.. දැනට දශක තුනකට පමණ එපිටින් රුහුණු ජාතික උද්‍යානයේ සක්මන් කල වචනයේ පරිසමාප්තියෙන්ම සද්ධන්තයෙක් වුවද භාවනායෝගියකු මෙන් ශාන්ත හැසිරීමක් පෙන්වු මේ හස්ථි රාජයා රුහුණු උද්‍යානයට එක්කල සුන්දරත්වය එකල රුහුණු උද්‍යානයට ගිය සංචාරකයන් විසින් තැබු සටහන් වලින් පැහැදිලිවේ. උද්‍යාන සේවකයින්ට මෙන්ම සංචාරකයන්ට දැඩි හීලෑ බවක් මෙන්ම ලෙංගතු බවක් දැක්වු යාල පොඩි පූට්ටුවා දැක ගැනීම එකල සංචාරකයන් පවා ඉතාමත් ප්‍රිය කල සිද්ධියක්. කිසිදිනක මිනිසුන්ට හිරිහැරයක් කරදරයක් නොකල පොඩි පූට්ටුවා සැබැවින්ම යාල තුල කල දවස ගත කල තාපසයකු මෙන් වීය.

    කොතරම් මිනිස් ඇසුරට ලොල් වූවත් පොඩි පූට්‍ටුවාගෙ ඉරණම ඛේදජනක ලෙස නිමා කරන ලද්දේද මිනිසකු විසිනි. 1986 වර්ශයේදි පොඩි පූට්ටුවා හිටි අඩියේම දැකගත නොහැකි වෙයි. යාල සක්මන් කරන පොඩි පූට්ටුවා සුලබ දසුනක් වන බැවින් උද්‍යාන සේවකයන් පොඩි පූට්ටුවා සොයා යාල වනය පීරයි. අවසන යාල පලටුපාන වැවට නුදුරින් දෙමසකට මත්තෙන් ඝාතනය කර තිබු පොඩි පූට්ටුවාගෙ දිරායන සිරුර සේවකයන්ට හමුවේ.

    එකල පොලිස් පරීක්ෂණ කාර්යේ යෙදුනු නිළධාරීන් ඉතාමත් කඩිනමින් පොඩි පූට්ටුවාගේ ඝාතකයින් සොයාගනී. අවසානයේදි හෙලිවන කරුණු අනුව පොඩි පූට්ටුවාගෙ දළවලට ලොල් වූ දඩයක්කරු වැහිබර දිනෙක හස්ථියාට වෙඩි තැබීමට සැරසෙන විටත් තමන්ට නපුරක් කිරීමට සැරසෙන බවක් නොදත් මේ හස්ථියා දඩයක්කරු දෙසට පැමිණෙන්නෙ තමන් ඇසුරට ප්‍රිය වූ තවත් මිනිසෙකු වෙත පියනගන ආකාරයෙනි... මිනිසුන් ගැන විශ්වාසය තැබු යාල පොඩි පූට්ටුවා අවසන් ගමන් යන්නේ එලෙසිනි.

    පොඩි පූට්ටුවාගෙ මරණය එකල විශාල කතාබහක් ඇතිකල සිද්ධියක් බවට විවිධ වාර්තා වලින් පෙන්නුම් කරයි. දශක තුනකට එපිටින් යාල සුන්දර කල පොඩි පූට්ටුවා ඔබත් දැක ඇතුවාට සැක නැත...වන ජීවි දෙපාර්තුමේන්තු නිළ ලාංඡනය තෙදවත් කරන හැඩකාර හස්ථියා අන් කවරෙක්වත් නොව එදා මිනිසුන් ගැන විශ්වාසය තැබු යාල තාපසයායි. පොඩි පුට්ටුවා ගැන මෙලෙස සටහනක් තැබීමට සිත් වුනේ වන ජීවී දෙපාර්තමේන්තු ලාංඡනය දුටුවත් ඔබ නොහඳුනනා මේ හස්ථියා ගැන නැවත මතකය ආවර්ජනය කිරීමට මෙන්ම යාල දළ පූට්ටුවන් ජානය පිළිබඳ සරල අවබෝධයක් ලබා දෙනු සඳහායි.

    Don ©
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවසානයේදි හෙලිවන කරුණු අනුව පොඩි පූට්ටුවාගෙ දළවලට ලොල් වූ දඩයක්කරු වැහිබර දිනෙක හස්ථියාට වෙඩි තැබීමට සැරසෙන විටත් තමන්ට නපුරක් කිරීමට සැරසෙන බවක් නොදත් මේ හස්ථියා දඩයක්කරු දෙසට පැමිණෙන්නෙ තමන් ඇසුරට ප්‍රිය වූ තවත් මිනිසෙකු වෙත පියනගන ආකාරයෙනි... මිනිසුන් ගැන විශ්වාසය තැබු යාල පොඩි පූට්ටුවා අවසන් ගමන් යන්නේ එලෙසිනි.
    :(