මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ පටන්ම තම ඥාතියෙකුගේ හිතවතෙකුගේ සමු ගැනීම මරණයේ දී චාරිත්‍රානුකූලව ඔවුන්ට සමු දෙන්න ජීවත් වන පිරිස කටයුතු කල බවට සාක්ෂි දැක ගන්න පුළුවන්. විවිධ රට වල මල සිරුරු පිළිබඳව අවසන් කටයුතු සිදු වුණෙත් අදටත් සිදු වෙන්නෙත් විවිධ ආකාරයට. ගෞතම බුදු රජාණන් වහන්සේගේ පරිණිර්වාණයෙන් පසු දේහය මල්ල රජ දරුවන්ගෙ අනුග්‍රහයෙන් උපවර්තන සල් උයනෙ දි ආදාහනය කරන්නට යෙදුණු බව බෞද්ධ ඉතිහාසයෙ සඳහන් වෙනවා.
ජේසු තුමාගෙ මරණින් පසු දේහය සොහොන් ගැබක ආරක්ෂිතව තැන්පත් කල වගක් කිතු ඉතිහාසයෙ සඳහන් වෙනවා. අද වන විට ආදාහනය භූමදානය තැන්පත් කිරීම වැනි සාමාන්‍ය ක්‍රම භාවිතා වෙවා මේ අතර ටිබෙට් වැනි රට වල මල සිරුර ගිජු ලිහිණියන්ට කන්නට දැමීමේ ආකාශ භූමදානය වැනි සිරිත් නැතුවාම නෙවෙයි.
සාමාන්‍ය අවස්ථාවල සිදු නොවුණත් උමං තුල සෑදූ කුටි වල මල සිරුරු තැන්පත් කිරීම ලෝකයේ බොහෝ රටවල දැක ගන්න පුලුවන් දෙයක්. ඕස්ට්‍රේලියාවෙ ඊජිප්තුවෙ පීරු රාජ්‍යයයෙ වගේම යුරෝපාකරයෙත් මෙවැනි ස්ථාන දැකගන්න පුළුවන්. එහෙත් ඔබ මෙතෙක් දැන සිටියාද එවැන්නක් අපි ජීවත් වන මේ පුංචි රටේ ඇති කියල. ගාල්ල නගරය පසු කරන් යන කවරෙකුගෙ උනත් අවධානය මොහොතකව හෝ යොමු වන තැනක් ගාලු කොටුව.
බොහෝ දෙනෙක් කිහිප වරක් වුවත් එහි ගොස් ඇති. නමුත් අප නොදත් උමං සුසානයක් ඒ යෝධ කොටු පවුර තුල සැගවිලා තියෙනවා.
මේ උමං මාර්ගය දකින්න ලැබෙන්නෙ ගාලු කොටුව අභ්‍යන්තරයේ වූ කුරුස පල්ලිය නමින් හැඳින්වෙන ස්ථානයෙ. ලන්දේසීන්ට මෙරට වෙරළ බඩ ප්‍රදේශ යටත්ව පැවති අවධියේ කැස්පර්ස් ජෝන් නැමැත්තෙකු එහි අණදෙන නිලධාරියා ලෙස පත්ව ඇවිත් තියෙනවා.
ඔහු ඕලන්ද ජාතික තරුණියක් සමග ඉන්දියාවේ සේවය කල අවධියේ විවාහ පත් වුවත් කලක් යන තෙක්ම දරු සුරතල් බැලීමේ වාසනාව හිමිවෙලා නෑ. එවකට ගාලු කොටුවේ වූ උස් බිම් කඩක පෘතුගීසි තාපසාරාමයක් පැවතිල තියෙනවා. මේ යුවල එහි පැමිණ භාර වී ඇත්තේ තමන්ට දරුවෙකු ලැබුණහොත් එහි දෙවියන්වහන්සේට කරන ස්තූත් පූජාවක් විදිහට පල්ලියක් සාදනවා කියල.
අවසානයේ මේ යුවලගේ බලාපොරොත්තු ඉටු වෙමින් දියණියක් මේ පවුලට එකතු වෙනවා. අනතුරුව දෙවියන් වහන්සේට වූ භාරය ඉටු කරනනට මේ යුවල කටයුතු කරනවා. ක්‍රි.ව 1752 ජූලි 4 වෙනිදා දේවස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වක්නේ ඒබ්‍රහම් අන්තෝනිස් නැමති නිලධාරියාගේ සැලසුම් වලට අනුව. ඒ සඳහා සියලු වියදම් දරණ ලද්දේ අණ දෙන නිලධාරී කැස්පර්ස්. දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ක්‍රි.ව 1754 පමණ වන විට අවසන්ව ඇති අතර ක්‍රි.ව 1775 අගෝස්තු මස 24 වන දා මේ යුවලගේ දියණිය මෙම දේවස්ථානයේදී භෞතීස්ම කරල තියෙනව. ඒ බව සිහි ගන්වමින් පරිත්‍යාග කල කැස්පර්ස් දියණියගේ ඇදුමක් අදටත් දේවස්ථානය භාරයේ පවතිනවා.
මෙම රෙපරමාදු දේවස්ථාය අද වන විට ලංකාවේ ඇති පැණිතම ප්‍රොතෙස්තන්ත සභාව ලෙස සලකනු ලබනවා. කුරුසයක් ආකාරයෙන් සකස් කල බිම් සැලැස්ම මෙය කුරුස පල්ලිය ලෙස හැඳින්වීමට හේතු වෙලා තියෙනවා.
කතෝලික බැතිමතුන්ගේ දේහයන් බොහෝ විට තැන්පත් කරනු ලබන්නේ දේවස්ථාන අසල වූ සුසානයන් වල. කුරුස පල්ලියෙ සතුව ද එවැනි සුසානයක් දකින්න ලැබෙනවා. එහි දේවස්ථානයේ ඇතුලත මෙන්ම පිටතද සුසාන ඵලක දැක ගැනීමට පුළුවන්. දේවස්ථානයට ගොඩ වදිත්ම අපට දැක ගත හැකි වන්නේ මේ සුවිශේෂී දේවස්ථානය වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කල ඒබ්‍රහම් අන්තෝනිස් සාමාදානයේ සැතපෙන සොහොන් ගැබ. දේවස්ථානයේ සමාදානයේ සැතපෙන්නට ඉඩ වෙන් වී ඇත්තේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ නිලධාරීන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට පමණයි. ඒ සඳහා ඔවුන්ගෙන් යම් මුදලක්ද එකල අය කරගෙන තියෙනවා.
දේවස්ථානයේ දකුණු දොරටුවට මදක් ඔබ්බෙන් වූ විවරය මලවුන්ගේ ලෝකය වෙතට දිවෙන උමං මාර්ගයක ආරම්භයක්. එහි එක් උමං මාර්ගයක් කැස්පර්ස් ගේ නිල නිවස වෙතටද අනෙක මුහුද දෙසට ද යොමු වූ බව කියනවා. වර්තමානයේ මෙම උමං මාර්ගය වෙත පිවිසෙන දොරටුව පුරාවිද්‍යා බලධාරීන් විසින් ඉබි යතුරු ලා වසා දමා තියෙනවා. මේ විවරය ගාලු කොටුව අභ්‍යන්තරයේ සතර දිසාවට දිවෙන උමං මාර්ග පද්ධතියක එක් කෙලවරක් පමණක් බවට ද මතයක් පවතිනවා. මෙවැනි උමං මාර්ග ලංකාවේ බලකොටු කිහිපයකම නිරීක්ෂණය කරන්න පුළුවන්. ආරකෂාව උදෙසා මේවා ඉදි කරන්නට ඇති බව සිතන්න පුළුවන්.
මෙහි දේවස්ථාන අන්තය සුසානයක් වෙනුවෙන් වෙන් කරන්නට හේතු කිහිපයක් බලපාන්නට ඇති. උමං මාර්ගයේ වූ කුටීර වල තැන්පත් කර ඇතැයි තහවුරු කර ඇති මල සිරුරු ප්‍රමාණය 59 ක්. ලන්දේසි පාලන සමය තුල පැතිර ගිය කොලරාව අතීසාරය වැනි රෝගී තත්වයන් නිසා විශාල පිරිසක් මරණයට පත් වීමත්, ඒ අතර වූ වංශ වතුන් දේවස්ථාන භූමියේම තැන්පත් කල යුතු යැයි සිතූ නිසාත් අභ්‍යන්තර උමං මාර්ගය සුසානයක් බවට පත් කර ගන්නට බලපාන්නට ඇති.
පෙර සඳහන් කල පරිදි මෙවන් උමං සුසානයන් සුලභ නැතත් රටවල් කිහිපයක දීම දැක ගන්නට පුළුවන්. ප්‍රංශයේ පැරිස් නගරය අභ්‍යන්තරයේ වූ උමං සුසානය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ලංකාවේ උමං සුසානය සේම ප්‍රංශයේ උමං සුසානය ද පිහිටා ඇත්තේ නොදත් කිසිවෙකුත් නොසිතන තැනකය. ඒ ප්‍රංශයේ ජනාකීර්ණ පැරිස් අග නගරයට යටින්. මිලියන 6 කගේ මානව අවශේෂයන් ආලෝකමත් පැරිස් නගරය යට වූ අන්ධකාර උමං මාර්ගයන් තුල තැන්පත්ව තියෙනවා.
දහ අට වන සිය වසේ මැද භාගයේ පමණ වන විට සීඝ්‍ර ජන ගහන වර්ධන වේගයත් පැතිර ගිය වසංගත තත්වයනුත් නිසාවෙන් එකතු වූ මල සිරුරු බැහැර කිරීමට එරට සුසාන භූමි ප්‍රමාණවත් නොවෙනවා. මේ නිසාවෙන් දැඩි සෞක්‍ය ගැටළු මතු වන්නට පටන් ගන්නවා. පැරිස් නගරයට යටින් වූයේ හුණු ගල් ගුහා සහිත උමං මාර්ග පද්ධතියක්. බලධාරීන් විසින් සියවස් ගණනාවක් සුසානයන් හි ඒක රාශී වූ අස්ථි කොටස් ක්‍රමවත්ව මේ උමං මාර්ග තුල තැන්පත් කරන්නට යෙදුණ.
සැතපුම් ගණනක් දිග මේ උමං මාර්ග පද්ධතියෙ මිනිස් අස්ථීන්ගෙන් විවිධ නිර්මාණ සිදු කොට තියෙනවා. අද වන විට එය ප්‍රබල සංචාරක ආකර්ෂණයක්. උමං මාර්ගයේ සීමිත කොටසක් සංචාරකයන් වෙනුවෙන් විවෘත කොට තියෙනවා. එය වාර්ෂිකව යුරෝ මිලියන ගණනක් ප්‍රංශයට උරුම කර දෙද්දී අප රටේ ප්‍රකට සංචාරක පාරාදීසයක පිහිටි උමං සුසානය ඉබි යතුරුලා වසා දැමීම දෙවරක් කල්පනා කල යුතු ප්‍රශ්නයක්.
