මිනිසුන් මරා දැමුවේ භූමිකම්පාව නොව ගොඩනැඟිලියි
* ඉන්දියාව හිමාලය දෙසට තල්ලුවෙයි
* නේපාලයේදී මුදාහැරියේ හයිඩ්රජන් බෝම්බ 20ක් පිපිරීමේ බලයක්
* 1615දී භූමිකම්පාවකින් ලංකාවේ දෙදහසක් මැරිලා
"එය පොඩි මිනිහාගේ නපුරු සිහිනයක් විය. මෙම මිනිසුන් මරා දමා ඇත්තේ භූමිකම්පාව නොව ගොඩනැඟිලිය."
කේම්බ්ඡ් විශ්වවිද්‍යාලයේ භූ කම්පන විද්‍යාඥ ඡේම්ස් ජැක්සන්
ඉකුත් සෙනසුරාදා නේපාලයේ බිහිසුණු භූමිකම්පාව සිදුවීමට හරියට සතියකට පෙර ආසියාවේ භූ කම්පන විපත්වලින් සිදුවන හානිය අවම කරගැනීම වෙනුවෙන් රටවල් 50 ක භූ කම්පන සමාජ විද්‍යාඥයන්ගේ හමුවක් කත්මණ්ඩු නගරයේදී පැවැත්විණි. මෙම හමුවට බලපෑ ප්‍රධාන කරුණ නම් 1934 වර්ෂයේදී දොළොස්දහසකට පමණ මරු කැඳවමින් සිදු වූ නේපාල - බිහාර භූමිකම්පාවට වසර 81 ක් ගතවීමය. 1934 ජනවාරි 15 වැනිදා සිදු වූ මෙම භූමිකම්පාව ගත වූ වසර දෙසීයක කාලය තුළ ලෝකයේ සිදු වූ දරුණුතම භූමිකම්පාවලින් එකක් බව භූ විද්‍යාඥයෝ පවසති.
නේපාල - බිහාර භූමිකම්පාවේ කම්පනය අවුරුදු 81 ක් පුරා නේපාල වැසියන් තැති ගැන්මට පත් කර තිබුණි. මේ කම්පනය නිසා පසුගිය දශක කීපය පුරාම භූ විද්‍යාඥයන්ගේ අවධානය නේපාලය වෙත යොමු වී තිබිණි. ප්‍රංශ පුවත් සේවයේ විද්‍යා ලිපි රචක සෙත් බියෝරෙස්ටියන් පවසන්නේ "ඔවුන් ඔර්ලෝසුව කැරකෙන බව දැන සිටියද සතුරා (භූමිකම්පාව) පහර දෙන වෙලාව දැන නොසිටි බවයි."
පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් මියගිය ගණන දසදහස ඉක්මවිය හැකි බව නේපාල අගමැති සුෂිල් කොයිරාල පවසයි. නේපාලයේ භූමිකම්පන තාක්ෂණ ජාතික සංගමයේ වාර්තා පවසන්නේ සෑම වසර 75 කට වරක් ඉන්දියන් සහ යුරේසියන් භූ තල ගැටී දරුණු භූමිකම්පා හට ගන්නා බවයි. නේපාලයේ අවාසනාවට මෙම භූ තල සලකුණු වැටී ඇත්තේ කත්මණ්ඩු නගරය හරහාය. මේ භූ තලයන්හි සලකුණු, වර්ග කිලෝමීටර 14000 ක් පුරා විහිදී ගොස් තිබේ. පසුගිය අවුරුදු මිලියන 50 සිට මේ මොහොත දක්වා ඉන්දියානු හා යුරේසියානු භූ තල නිරන්තර එකිනෙකට ගැටෙමින් පවතින අතර එහි ප්රතිඵලයන් දෑස් ඉදිරිපිටම දැකගත හැක්කේ සුන්දර හිමාලය කදුවැටිය දෙස බැලීමෙනි.
භූමිකම්පාවක් ඇතිවන්නේ කෙසේද ?
පෘථිවි ගෝලය සැදී ඇත්තේ ප්‍රධාන භූ තල දෙකකිනි. එම තල දෙක නම් සාගර තලය (oceanic plates) සහ මහද්වීපික (continental) තලයයි. මෙම මහද්වීපික තලය විශාල භූ තල අටකින් සහ කුඩා භූ තල නමයකින් සමන්විතය. එම භූ තල අස්ථායි ලෙස නිතර එහා මෙහා ගමන් කරමින් තිබේ. සමහර භූ තල ඉතා වේගයෙන් ගමන් කරන අතර ඇතැම් තල ඉතා සෙමින් ගමන් කරනු ලබයි. මෙසේ ගමන් කිරීමේදී මේ භූ තල මායිම්වල නිරන්තර ගැටීම් සිදුවේ. සමාන බල ඇති තල දෙකක් එකට ගැටීමෙන් මහද්වීපික තලය (මහ පොළව) ඉහළට එසවෙන අතර අසමාන බල ඇති තල ගැටීමෙන් ගිලාබැසීම් සිදුවිය හැක. සමහර භූ තල ඉතා සක්‍රීය වන අතර ඇතැම් තල අක්‍රීය තත්ත්වයේ පවතී. සක්‍රීය භූ තල ගැටීමෙන් භූමිකම්පා සහ ගිනි කදු උපත ලබයි. සුමාත්‍රා භූ තල මායිම ඉතා සක්‍රීය වන අතර මේ හේතුවෙන් සුමාත්‍රා භූ තලයේ සතියකට භූමිකම්පා කීපයක් සිදු වේ. මෙමගින් බිහිවන ඉතා ප්රචණ්ඩ සාගර රළ තරංග, සුනාමි (ඕමබ්පස) ලෙස හඳුන්වයි. මේවා පැයට කිලෝමීටර 400 ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20 - 30 අතර උසකට මුහුදු රළ නිර්මාණය කරයි. මෙවැනි ප්රචණ්ඩ රළ ජපානය, හවායි, පිලිපීනය, චීලි, ආදී පෙදෙස්වල නිරන්තරයෙන් ඇති වේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ලංකාවට බලපෑ සුනාමි තත්ත්වය මීට කදිම නිදසුනකි.
පෘථිවි පෘෂ්ඨයේ ඇති ප්‍රධානතම භූ තල දෙකක් වන්නේ ඉන්දියානු සහ යුරේසියානු භූ තල දෙකය. නේපාලයේ භූමිකම්පාව සිදු වූයේ මෙම භූ තල එකට ගැටීමෙනි. ඉන්දියානු භූ තලය පෘථිවි ගෝලයේ ඊසාන සහ උතුරු දෙසට ගමන් කරමින් යුරේසියානු භූ තලයේ ගැටීම තීව්ර කරමින් සිටී. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව, නේපාලය, චීනය, රටවල දරුණු භූමිකම්පා සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් තිබේ. නිරන්තර සිදුවන මෙම භූ තල දෙකේ ගැටීමෙන් ඉන්දියාව වසරකට සෙන්ටිමීටර 5 ක් උතුරු ආසියාව දෙසට තල්ලු වී යන අතර හිමාලය කඳු වැටියේ උස වසරකට සෙන්ටිමීටරයකින් ඉහළ යන බව හොංකොං විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ආචාර්ය ලුන්ග් චෑන් පවසයි. ඉන්දියානු සහ යුරේසියානු භූ තල ගැටීමෙන් මුදාහරින ශක්තිය තාප න්‍යෂ්ඨික (හයිඩ්රජන්) බෝම්බයක් පුපුරා යාමට සමානය.
සාමාන්‍යයෙන් සෑම මොහොතකම ගැඹුරු භූ තලයේ නිරන්තර ගැටීම් සිදුවන අතර පොළව මතුපිටදී සිදුවන එම ගැටීමකදී සිදුවන අවදානම බෙහෙවින් ඉහළය. නේපාලයේ සිදුවූ භූ තල ගැටීම සිදු වූයේ පොළොව ආසන්නයේය. මෙම ගැටීමෙන් එම භූ තල මීටර් 2 ක් ඉදිරියට පැන තිබේ. එමඟින් තාප න්‍යෂ්ඨ§ක (හයිඩ්රජන්) බෝම්බ 20 ක් පුපුරා ගිය තරම් දැවැන්ත බලයක් උත්පාදනය වූ බව ආචාර්ය ලුන්ග් චෑන් පවසයි.
ආසියාව අවදානම්
නේපාලයේ භූමිකම්පාව සම්බන්ධයෙන් මත ඉදිරිපත් කරන ගෝලීය භූ විද්‍යාඥයන් පවසන්නේ ආසියාවේ අවදානම් කලාපවල සිදුවන නාගරීකරණය භූමිකම්පා අනතුරු උග්‍ර කිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. මෙවැනි නාගරික ප්‍රදේශවල සිදුවූ භූමිකම්පා අනතුරුවලින් කැලිෙµdaනියාවේ මිලියනයක ජනතාවගෙන් 10 සිට 30 අතර ප්‍රමාණයක් මියගොස් ඇති අතර නේපාලයේ සහ ආසියාවේ එය දස දහස ඉක්මවා තිබේ.
වසරක සියයට 1.14 ක වේගයෙන් සිදුවන ලෝක ජනගහණ වර්ධන අනුපාතය මෙම පාරිසරික අර්බුදය තව තවත් උග්‍ර අතට හරවමින් තිබේ.
ආසියාවේ අවදානම් පාරිසරික කලාපවල සිදුවන නාගරීකරණයෙන් සිදුවූ ප්‍රතිවිපාකවලට කත්මණ්ඩු නගරය කදිම උදාහරණයකි.
ලක්ෂ 15 ක් පමණ ජීවත් වන කත්මණ්ඩු නගරයේ නාගරික සංවර්ධන නීති නොතකා ඉදිකරන ගොඩනැඟිලි හේතුවෙන් ඉන්දියානු යුරේසියානු භූ තලය මත දැවැන්ත තෙරපීමක් ඇතිකර තිබෙන බව භූ විද්‍යාඥයන්ගේ මතයයි. ප්‍රවේණික උරුමය බෙදීයැමේදී භූමිය පර්චස් 2-3 කොටස්වලට බෙදී ගොස් ඇති අතර එම පර්චස් ප්‍රමාණයට ඔරොත්තු නොදෙන ගොඩනැඟිලි රැසක් දිනෙන් දින කත්මණ්ඩු භූමිය මත දැවැන්ත පීඩනයක් ඇති කරමින් නැඟී සිටී. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කත්මණ්ඩු නගරය මැදින් වැටී ඇති ඉන්දියානු - යුරේසියානු භූ තල දෙකේ ගැටීමේ අවදානම තව තවත් වැඩිකරලීම බව භූ විද්‍යාඥයන්ගේ මතයයි.
ඒ වගේම නේපාලය දරිද්‍රතාවයේ පතුලේ මෙන්ම දූෂණයේ ඉහළින් සිටින රටකි. මේ හේතුවෙන් නාගරික අර්බුද තවත් උග්‍ර වී තිබේ. එබැවින් කත්මණ්ඩු නාගරිකයන්ට භූමිකම්පා අවදානම ගැන සිතන්න කාලයක් නොමැත. රාත්‍රියට නිදාගන්නා පැය කිහිපය හැරුණු විට දවසේ වැඩි කාලයක් ඔවුහු වායු දූෂණය, ජල දූෂණය, ජනගහණය, මාර්ග තදබදය, දුප්පත්කම ආදී නාගරික අර්බුද ජය ගැනීමට අරගලයක නිරත වී සිටිති. ඔවුන්ගේ මේ අරගලය භූමිකම්පා අනතුරු ඉහළ යැමට හේතුවක් වී තිබීම දෛවෝපගත සිදුවීමකි.
මෙවැනි භූමිකම්පාවකින් බොලිවියාවේ මියගියේ පස්දෙනයි.
භූමිකම්පාවක් කෙතරම් දරුණු දැයි දැනගත හැක්කේ එහි ප්‍රබලතාවය මැනීමෙනි. 1930 ගණන්වලදී චාල්ස් රිකටර් විසින් භූමිකම්පාවල ප්‍රබලතාව මැණීම සඳහා පරිමාණයක් නිර්මාණය කළේය. මෙම පරිමාණයන් අද භූමිකම්පා ප්‍රබලතාව මැනීමට 'රික්ටර් මාපක' යනුවෙන් යොදාගනු ලබයි.
මෙම පරිමාණවලින් භූ කම්පනයේ සිදුවූ හානිය සෑමවිටම හෙළි නොකරයි. ඊට හොඳම උදාහරණය නම් 1994 ජුනි මසදී උතුරු බොලිවියාවේ රික්ටර් මාපක 8.2 ක ප්‍රබලතාවකින් සිදුවූ භූ කම්පනයෙන් මියගියේ පස්දෙනකු පමණක් බව වාර්තාවල සඳහන්ය. එහෙත් 1976 දී රික්ටර් මාපක 8 ක ප්‍රබලතාවකින් චීනයේ ටංෂාන්හි සිදුවූ භූ කම්පනයෙන් සිය දහස් ගණනක් මියගොස් තිබේ.
මින් ඉතා පැහැදිලි වන්නේ ජනතාව පදිංචි භූමිය මත ඉදිකරන අසීමිත ගොඩනැඟිලි ඔවුන්ගේම මිනී වළ කපාගන්නා තැනට පත් වී ඇති බවයි. සාමාන්‍යයෙන් භූමිකම්පාවකින් මිනිසාට ඇති වන හානිය ඉතා අවමය. ඉන් බලවත් හානි සිදුවන්නේ ගොඩනැඟිලිවලටය. ගොඩනැඟිලිවලට යට වී මිනිසුන් මිය යැම ගැන භූමිකම්පාවට දොස් කියා ඵලක් නැත.
භූමිකම්පාවකින් ශ්‍රී ලංකාවේ දෙදහසක් මැරිලා
1615 අප්‍රේල් මස 14 වැනි දින කොළඹ නගරයේ නිවාස දෙසීයක් පමණ බිමට සමතලා කරමින් දෙදහසකට පමණ මරු කැඳවමින් සිදුවූ භූමිකම්පාවක් පිළිබඳ විස්තරයක් 1616 ලිස්බන් නගරයේදී මුද්‍රණය වූ පිටු හතරක කුඩා පොතක පල වී තිබූ බව ඓතිහාසික වාර්තා හෙළිකරයි. ජෝර්- රොඩ්ගුස් නමැත්තකු විසින් මුද්‍රණය කර ඇති මෙම කෘතියේ පිටපත් ඉතා කඩිනමින් විකිණී ඇති බව එම වාර්තා පවසයි. ඒ වගේම 1814 ජුනි 14 වැනිදා මඩකලපුවේ දැවැන්ත භූ කම්පනයක් සිදුවී ඇති අතර එම භූ කම්පනයෙන් මුහුදු රළ ඉතා දරුණු වූ බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. 1976 තංගල්ලේ ද 1979 බදුල්ල, පස්සර ප්‍රදේශවල ද 2012 වසරේ අම්පාර ප්‍රදේශයේ ද භූ කම්පන සිදු වී ඇති බව භූ විද්‍යා වාර්තා පෙන්වා දෙයි.
අද අප කත්මණ්ඩු දෙස බලමින් සුසුම් හෙළමින් සිටිය ද එවැනි ෙ€දවාචකයක් ශ්‍රී ලංකාවේ සිදු නොවේ යෑයි අපට කිව නොහැක.
කොළොම්බියා විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයන් පවසන පරිදි ඉන්දියානු - ඔස්ටේ්රලියානු භූ තලය මැදින් ඉරිතලා ගොස් අලුත් භූ තල මායිමක් නිර්මාණය වෙමින් තිබේ. මෙය වසර මිලියන විස්සක් තිස්සේ සිදුවෙමින් පවතින අතර එම භූ තල මායිම ශ්‍රී ලංකාව දකුණු දෙසින් වෙරළේ සිට කිලෝමීටර් 500 ක පමණ දුරින් පිහිටා තිබීම ශ්‍රී ලංකාවේ භූමිකම්පා අවදානම ඉහළ යැමට හේතුවක් වී ඇති බව මෙරට මෙන්ම ගෝලීය භූ විද්‍යාඥයෝ පවසති.
ජනතාවට පෙර භූමිය
භූමිකම්පා අනතුරු අවම කර ගැනීමට කළ හැකි පහසුම සහ සරලම ක්‍රමවේදය අවදානම් කලාපවලින් ජනතාව ඉවත් කරලීමය. නමුත් එය ප්‍රායෝගික නොවන බව නේපාලයේදී ඔප්පු වී තිබේ.
ආසියානු කලාපයේ දේශපාලන අධිකාරිය සෑම විටම තීන්දු ගත යුත්තේ ජනතාව ගැන සිතා නොව භූමිය ගැන සිතාය. එවිට ජනතාවගේ ආරක්ෂාව නිතැතින්ම සහතික වනු ඇත. ජනතාවගේ අවශ්‍යතාව මත භූමිය තෝරා ගැනීම හේතුවෙන් පාරිසරික ව්‍යසනයන්ට මැදිව දහස් ගණනක් ජනතාව මියගොස් තිබේ. නමුත් ආසියානු කලාපයේ භූමිය ගැන සිතා ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීම මේ දක්වා සිදු වී නොමැත.
නාගරික සංවර්ධනයේදී පොළොව මත තෙරපීම අඩු කෙරෙන ඉදිකිරීම් පිළිබඳ අද ලෝකයේම අවධානය යොමු වී තිබේ. ජපානය ඔවුන්ගේ ගෘහ නිර්මාණ කලාව රැඩිකල්වාදී ලෙස වෙනස් කිරීමෙන් භූමිකම්පාවලින් සිදුවන අනතුරු රැසක් අඩුකරගෙන තිබේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉපැරැණි ගඩොල් ගොඩනැඟිලි ගලවා ඉවත් කර ඒ වෙනුවට යකඩ කණු අතර ගඩොල් පේලි රඳවා නව ගොඩනැඟිලි ඉදිකර තිබේ. භූමිකම්පාවකදී මෙවැනි ගොඩනැඟිලිවල බිත්ති කඩාවැටෙන්නේ පැත්තකට නොව සිරස්ව පහළට බැවින් සිදුවන අනතුරු අවම මට්ටමක පවතී.
ආසියාවේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ කලාව ද, නිවර්තන නූතනවාදී (ඔරදචසජ්ක ඵදාeරබසිප) ගෘහ නිර්මාණ කලාවද අභියෝගයට ලක්වෙමින් තිබේ. මේ ගෘහ නිර්මාණ සංකල්ප වෙනුවට භූ කම්පන ආපදා අවම කර ගැනීමේ ගෘහ නිර්මාණ කලාවක් වෙත ගමන් කිරීම දැනටමත් ප්‍රමාද වී තිබේ. 1615 යේ පෘතුගීසි යුගයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ භූමිකම්පාව ගැන කියවීමේදී දැන් කොළඹ නගරය දෙස බලා, මහ පොළොවට තුන්වරක් වැඳ අපට කළ හැකි එකම ඉල්ලීම වන්නේ "ලංකාවේ භූමිකම්පාවක් ඇති නොවේවා· යන්න ප්‍රාර්ථනා කිරීම පමණි.
රසී වීරසිංහ