නිදහසින් පසු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිදු කල තුච්ඡතම සහ ම්ලේච්ඡතම ඝාතනය විජය කුමාරතුංග ඝාතනය යි..
විජය කුමාරතුංග ඝාතනය කලේ 1988 අද වැනි දිනකදි විජයගේ පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට දීය. ඝාතකයින් පැමිණෙන විට විජය තමා සමීපයේ සිටින ආදරණීය දියණිය යශෝධරාව ගේ ඇතුලට තල්ලු කරන්නට සමත් විය. විජයගේ ඝාතනය සියැසින්ම දුටු කම්පනයට යශෝධරාට බොහෝ කාලයක් කතා කිරීමට පවා නොහැකි විය.
විජය ඝාතනයට ආසන්නතම හේතුව වූයේ ජවිපෙ සන්නද්ධ අංශය විසින් ඝාතනය කල ගුරුවරයෙක් වූ පොලොන්නරුව ගාමිණී මැදගෙදරගේ අවමඟුල් උත්සවයේ දී විජය කරපු සැර කතාවක්ය.
විජය ඝාතනයට පැමිණියේ ජවිපෙ සන්නද්ධ අංශයේ ටාසන් වීරසිංහ සහ ලයනල් වීරසිංහ වන අතර වෙඩි වැදී බිම වැටුණු ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ ලස්සනම පුද්ගලයා වූ විජය අසලට ගිය ඝාතකයන් ඒ සුන්දර මුහුණ පෙනේරයක් වන තුරුම වෙඩි තැබුවෝය. ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ ඝාතකයන් විජයගේ මුහුණට 14 වතාවක් වෙඩි තබා තිබුණි.
සුන්දර මිනිසුන්, ලස්සනට ජීවත් වන මිනිසුන් එදා මෙන්ම අදත් ජවිපෙට පේන්න බැරිය. විජයගේ මුහුණ විකෘති කරන ලෙස දැනුම් දී තිබුණේ පක්ෂයේ ඉහලින්මය.
1945 ඔක්තෝබර් 09 වෙනිදා උපත ලැබූ විජය ඝාතනයට කරන විට 43 වෙනි වියේ පසුවිය. කඳාන ද මැසනඞ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජය 1969 දී සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් සිනමාවට පිවිසි අතර මිය යන විටත් චිත්‍රපට සිය ගණනක රඟ පෑ අතර බොහෝ චිත්‍රපටවල රඟ පෑ තිබුණේ නොමිලයේය. සිංහල සිනමා වංශකථාවෙ හිත හොඳම මිනිසා වූ විජය සිය ඇඳිවත පවා දුගී දුප්පත් ජනතාවට දානය කළ කාරුණික හදවත් ඇත්තෙකි.
සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් පමණ ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය.
1977 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට තරඟකර පරාජය වූ විජය 1978 පෙබරවාරි 20 වෙනි දින දේශපාලන පවුලක් වූ බණ්ඩාරනායක පවුලෙ කණිටු දියණිය වූ චන්ද්‍රිකාවන විවාහ කර ගත්තේය.
1982 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ සක්‍රීයම චරිතය වූ විජය ව ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් නැක්සලයිට් චෝදනා මත සිරගත කළ අතර එහිදි විජයව දරුණු වධහිංසාවලට ලක් කළේය.
1983 දී මහර අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ විජය එහි දී පරාජයට පත් වූයේ චන්ද 45 ක් වැනි සුළු ගණනකිනි. මහර මැතිවරණය ශ්‍රී ලංකාවේ පැවැති දරුණුතම, දූෂිතම මැතිවරණයයි. 1984 දී මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට අතර එහි දී ද පරාජයට පත් විය.
ඝාතනය කරන විට ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී කෙනෙකු නොවූ විජයගෙ අවමඟුල් උත්සවයට සහභාගී වූ තරම් ජනතාවක් එදා මෙදා තුර කිසිම දේශපාලන නායකයකුගෙ අවමඟුලකට සහභාගී වූයේ නැත. අවමඟුල් දා පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියේ අධික කම්පනය නිසාය.
සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය සහ නව සම සමාජ පක්ෂය එකතු වී එක්සත් සමාජවාදී පක්ෂය විජයගේ නායකත්වයෙන් බිහි වූ අතර එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඒ විජයව ඝාතනය කර දවස් 05 කට පසුව වීම විශේෂත්වයකි.
විජයව ඝාතනය කළ ටාසන් වීරසිංහ සහ ලයනල් වීරසිංහ ජවිපෙ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරී සාමාජිකයින් වූ අතර ඔවුන් අතින් පුද්ගලයන් 43 දෙනෙකු ඝාතනය වී තිබුණි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ද ඉන් එක් අයෙකි.
විජයව ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණ සමඟ චන්ද්‍රිකා බණ්ඩාරනායක පසු කලකදී සභාග රජයක් ද පිහිට වූ අතර චන්ද්‍රිකාටද ජවිපෙය ද කිසිදු දේශපාලන හිරිකිතයක් තිබුණේ නැත.
විජයගේ ඝාතනනයෙන් ටික කාලයකට පසුව ලයනල් සහ ටාසන් වීරසිංහ අත්අඩංගුවට පත් වූ අතර ආණ්ඩුවෙ සන්නද්ධ අංශ විසින් ඔවුන්වද ඝාතනය කළේය.
මීට වසර 34 කට පෙර විජය කුමාරතුංග නම් වූ ඒ අහිංසක කලාකරුවා සහ දේශපාලඥයා ඝාතනය නොවුණානම් ශ්‍රී ලාංකික දේශපාලන වංශකථාව මීට වඩා බොහෝ අයුරින් වෙනස් වන්නට ඉඩ තිබිණි. විජය කුමාරතුංගව ඝාතනය කල සාපයෙන් ජවිපෙට කිසිදාක ගැලවිය නොහැකි වනු ඇත.
නිලන්ත සත්සර ගමගේ
