ලැප්ටොප් එක දිගහැර ගන්න පුළුවන් කොතැනත් &#3512

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ලැප්ටොප් එක දිගහැර ගන්න පුළුවන් කොතැනත් &#3512

    SL-1-1.jpg



    ව්‍යාපාරිකයෙක් කියන හැඳින්වීමට අමතරව ඔබව හැඳින්විය හැකි තවත් විධි තිබෙනවද...

    මං දෘෂ්ඨි සහ ශ්‍රවණ විශේෂඥයෙක්. මේ ක්ෂේත්‍ර දෙකේදිම මං බිස්නස්වලට එහා ගිය සතුටක් ලබනවා. මොකද මං නව තාක්ෂණය එක්ක නිතර update වෙනවා. ඒ තාක්ෂණය ඔස්සේ මිනිසුන් පීඩා විඳින අන්ධ සහ බිහිරි බව නැතිකරන්න වැඩකරන එකයි, මගේ සතුට.

    මේ පවුලේ ව්‍යාපාරයක් ද...

    නැහැ. මගේ තනි ව්‍යාපාරයක්. පරම්පරාව ගෙනියන්න බිස්නස් කළ යුතුයි කියන ‍තැන මම නැහැ. මගේ දූලා දෙන්නා Business Management කරනවා. නමුත් ඒ අය මේකට එනවා නම් ඔවුනුත් පොඩි තැන ඉඳන් හැමදේම වැඩකරමින් ඉගෙන ගත යුතුයි. මේ ව්‍යාපාරය අනාගතයේ හැමදාටම පවතින මහජන සමාගමක් ලෙස පවතිනවටයි මං කැමැති. දවසක මං ඒ වෙනුවෙන් වැඩ කරාවි.

    මොකක්ද ඔබේ Management Style එක...

    මං සේවකයන්ට උපරිම නිදහස දෙනවා. හැම දේටම ඇඟිලි ගහන්නෑ. හැබැයි මට හිතුණු වෙලාවට මං මැදිහත් වෙනවා. වැඩේට බැහැල හැම දේම හොයනවා.

    ඒත් ඔබට පුළුවන් සීත කාමරේක පුටුවක ඉඳන් වුණත් සියල්ල පාලනය කරන්න...

    මට නැහැ එක office room එකක්. පුටුවක්. මගේ හැම සේවා මධ්‍යස්ථානයකට ම මං යනවා. මං ඉඳගන්නෙ - ලැප්ටොප් එක දිග හැරගන්නෙ කොතැනද එතැන තමයි මගේ ඔෆිස් එක. මං web solutions තාක්ෂණය භාවිතා කරන්න ගත්තෙ මීට අවුරුදු පහළොවකට උඩදි. එදා ඉඳන් හැම සාප්පුවක් එක්ක ම මට එකතැනෙක ඉඳන් එකවර සම්බන්ධ වෙන්න පුළුවන්.

    තරගකාරි පාරම්පරික ඇස් කණ්ණාඩි සමාගම් අතරේ ඔබ ඉන්නෙ කොහොම තැනෙකද...

    එහෙම හිතන මානසිකත්වයක් මට නැහැ. මං තරගෙට කැමැතියි. මොනතරම් පාරම්පරික ආයතන තිබුණත් අලුතින් තව තව බිහිවුණත් මට ඒ තරගෙ ප්‍රශ්නයක් නෙවෙයි. මගේ අලුත් තාක්ෂණය කොපි කළත් ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම වෙන්න ඕනෙ. මොකද දැනුම රට පුරා බෙදෙන්නෙ ඕනෙ. ඒ ප්‍රතිලාභය මිනිසුන්ට යන්න ඕනේ. තාක්ෂණය සහ දැනුම කියන්නෙ එක්කෙනෙක් ළඟ විතරක් රහසේ තබාගත යුතු දෙයක් නෙවෙයි.

    ඔය කියන දේ හදවතට එකඟයි ද...

    මං positive thinking මනුස්සයෙක්. මං කරන දේ තව කවුරුහරි කරනවා කියන එක මට ලොකු ආඩම්බරයක්. ඒ කියන්නෙ මං කර තිබෙන්නේ නිවැරැදි හා හොඳම දෙයක්. මාව තව අය අනුගමනය කරනවා. ඔවුන් මාව පිළිගන්නවා. ඉතින් මං තවත් අලුත් දේ කළ යුතුයි. මගේ හිතට ජවයක් එනවා. ඒකම සතුටක් නෙවෙයි ද...

    මොකක්ද ඔබේ Business Style එක...

    මං Maintain කරන්නෙ කොලිටිය. ඒ වගේම Performance සහ Reliability කියන කාරණා. අවංක නැති බිස්නස්කාරයෙක් කවදාවත් ඉහළට යන්නෑ. මට අංක එකත් දෙකත් තුනත් අවංක බව.

    අවංකව බිස්නස් කරන මිනිස්සුන්ට කවදාවත් උඩට යන්න බැහැ... මෙහෙම ‍කතාවකුත් තියෙනවනේ...

    ඒක මං විශ්වාස කරන්නෑ. පාරිභෝගිකයා රැවටුවොත් ඒ මුදල් සාධාරණ නැහැ. මං පව් පින්වලට බය කෙනෙක් නෙවෙයි. නමුත් රෑට හොඳට නින්ද යන්නෙ හිත සැහැල්ලු නම් විතරයි. ඒ සැහැල්ලුව ලැබෙන්නෙ සොබා දහමට සහ හිතට විරුද්ධ නොවුණොත් විතරයි.

    මේ ක්ෂේත්‍රයේ ඔබේ Boss හෝ Leader කවුද....

    මගේ Boss මමමයි. මං හැමදාම වැඩ කළේ මට. ලෝකයේ හැම නව තාක්ෂණයක් ම ශිල්පීය ක්‍රමයක් ම හොයාගෙන ඇවිත් ම‍ං මගේ රටට හඳුන්වා දුන්නා මිස මං කාගෙන්වත් ඉගෙන ගත්තෙ නැහැ. කොපි කළෙත් නැහැ. කවුරුත් නොකරන දේවල් කරන්නයි මං කැමැති. දැනටත් මං හිතන්නෑ මං මේ කරන්නෙ රස්සාවක් කියලා.

    ලෝකෙ මිල අධිකම ඇස් කණ්ණාඩි වර්ග මොනවද...

    ජෝර්ජ් අරමානි... ප්‍රාඩා වගේ Brands මං මුලින් ම ලංකාවට ගෙනාවා තමයි. නමුත් අතේ ඇති මුදලට ගන්න පුළුවන් හොඳ කොලිටි දේත් තිබෙනවා. බ්‍රෑන්ඩ් එක පස්සෙ යනවට වඩා හිතන්න ඕනෙ එහි තිබෙන තාක්ෂණයයි. යොදා ගන්නා ඒ උසස් තාක්ෂණයයි Brand එක විය යුත්තේ. ‘වික්ටෝරියා සීක්‍රට්’ කියන ලොව මිල අධික ම Brand එක නිෂ්පාදනය කරන්නෙ ලංකාවේ. ඒ වුණාට පරිහරණය කරන්නෙ ලොව ධනවතුන්. ඒ නිසා නම පස්සෙ දුවලා වැඩක් නැහැ. ඒකයි ඇත්ත.

    ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඔබ ගන්නා, ඔබටම ආවේණික තීන්දු තීරණ තිබෙනවාද...

    ඔව්. මං කණ්ණාඩියක ලෙන්ස් එකේ Technology එක ගන්නකොට ශ්‍රවණාධාරකයක Technology එක ගන්නකොට ලොව උසස් ම ජ’මන් තාක්ෂණය පමණයි යොදා ගන්නේ. මං Brand එක තේරුවෙ හැම වෙලාවෙ ම Industrial නැතිනම් Technology නමට. ඒ නිසා පටන්ගැන්මේ සිට අද දක්වා මගේ බිස්නස් එකේ වැටීම් නැහැ. නමුත් මිනිස්සු අද Brands තෝරන්න පුරුදුවෙලා ඉන්නෙ කාගෙ හරි නමකට. ලස්සනකට. කණ්ණාඩි විතරක් නෙවෙයි කොයි දේට වුණත් මේ ක්‍රමය සාර්ථකයි. ඒ නිසා වටිනා දෙයක් ගනිද්දි එහි තාක්ෂණය හොයන්න. බලන්න.

    ඔබට රටපුරා කණ්ණාඩි සාප්පු කොයිතරම් ප්‍රමාණයක් තිබෙනවද...

    මට එහෙම කියන්න බැහැ. මං මගේ තාක්ෂණය රාජ්‍ය අංශයටත් දී තිබෙනවා. ඒ නිසා මේ සියල්ල මට සේවා මධ්‍යස්ථාන. ලස්සනට ‘සන්ග්ලාසස්’ පේන්න තිබුණට මගේ කණ්ණාඩි සාප්පු ඇතුළේ පිටින් පේනවට වඩා හුඟක් වැදගත් වටිනා දේ සිද්ධ වෙනවා.

    මොනවද ඔය කියන වටිනා දේ...

    කථනාබාධ සහ ශ්‍රවණාබාධ ඇති කී දෙනෙක් අපි ළඟට එනවද... ආතර් සී. ක්ලාක්, ජේ.ආර්. ජයවර්ධන, ඩොක්ට ඇන්තනීස්.... රේ වි‍ජයවර්ධන වගේ උගතුන් වියතුන් ප්‍රභූන් පවා ඒ අතර හිටියා. මේ අය ආවේ ඇස් කණ්ණාඩි ගන්න ම නෙවෙයි, කථනයේ හෝ ශ්‍රවණයේ යම් යම් අවශ්‍යතා වෙනුවෙන්. ඔවුන්ට අවශ්‍ය ඒ සුවය සැනසීම අපෙන් ලැබුණා. මං කියන්නෙ බිහිරියි කියන දරුවෙක් කතා කරවන්න පුළුවන් තාක්ෂණය තිබෙනවා නම් ඇයි එය මඟ හරින්නේ.

    කණ්ණාඩි සාප්පුවක් ඇතුළේ ඔය කියන තරම් සාර්ථකව ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් ද...

    මේවා සාම්ප්‍රදායික ක්ලිනික් නෙවෙයි, ලෝකයේ අති නවීන ශ්‍රවණ සහ කථන උපකරණ අපි ළඟ තිබෙනවා. ඒවා බොහොම සියුම්. කුඩායි. ඒ උපකරණවලින් කණ ඇතුළේ රෝගි තත්වයන් ඉතාම නිවැරැදිව හඳුනා ගන්න පුවවන්. අපි කරන්නෙ ඒ අවශ්‍ය නිවැරැදි වාර්තා ලබා දීම. මේ සේවාවන් පවත්වාගෙන යන්න අවශ්‍ය මූල්‍යමය පසුබිම ශක්තිය දෙන්නෙ අපේ කණ්ණාඩි ව්‍යාපාරයයි.

    ඔය කටයුතුවලට අවශ්‍ය ශ්‍රවණ විද්‍යාඥයින් ඇති තරමට ඉන්නවද...

    ඔව්. ඊට අමතරව මෙඩිකල් කවුන්සිලයෙන් අනුමත වෙචචි ප්‍රමිතියෙන් යුතු ‘Audiology’ පාඨමාලාවක් දැනටමත් අපි පවත්වාගෙන යනවා. එයින් ලෝකෙට ම යා හැකි ශ්‍රවණ විද්‍යාඥයින් බිහිවෙනවා. මේ වන විටත් අපෙන් බිහිවූ එවැනි ශ්‍රවණ විද්‍යාඥයින් විස්සක් පමණ ඕස්ට්‍රේලියාවේ වැඩ කරනවා. රටට විදෙස් විනිමය ගේන පිරිසක් ඔවුන්. ‍

    ඔබ වඩා සතුටු වෙන්නෙ මූණ හැඩ වෙන ඇස් කණ්ණාඩි විකුණලද... නැතිනම් ශ්‍රවණ හා කථන උපකරණ විකුණලද...

    මං ‘බෝරින්’ විදියට සල්ලි හම්බකරන කෙනෙක් නෙවෙයි. සන්ග්ලාස්වලින් කෙනෙක්ගෙ මූණ හැඩ වෙනවා. කෙනෙක් කථන හැකියාව ලැබිලා සතුටු වෙනවා. තව කෙනෙක් පෙනීම ලබනවා. තවත් කෙනෙක් ඇසීම ලබනවා. මනුෂ්‍ය‍යකුගේ පංචේන්ද්‍රියම සතුටු කරවන දේවල් වලිනුයි මං ව්‍යාපාර කරන්නෙ. මුදල් වගේ ම එතැන මට විශාල සතුටක් තිබෙනවා.

    මේ උපකරණ සියල්ල සමානයි මුදල් වලට. මේ උපකරණ එක්ක ඔබට තිබෙන්නෙ බැඳීමක් ද ගනුදෙනුවක් ද...

    බැඳීමක්. ගනුදෙනුවක් කරගත හැකි ලේසි ක්‍රම ඕනෙ තරම් මේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒත් ලෝකෙ ඇහෙන්නෙ නැතිව හිටි කෙනෙක් ලෝකය අහද්දි... පෙනුණෙ නැති කෙනෙක් දෙනෙතින් ලොව දකිද්දි ඒ දැනෙන සතුටට හැඟීමට මිලක් කියන්න පුළුවන්ද... ඒ හැකියාව උදාකර දෙන්නෙ නවීන මෙවලමක් උපකරණයක් වුණත් ඒ සියල්ල මට හැඟීමක් වෙන්නෙ ඒ නිසා.

    ජීවිතයේ කඩා වැටීම්වලට මුහුණ දෙන්න ඔබ පුරුදු වෙලා ඉන්නෙ කොහොමද...

    ඊයේ දේවල් මං අද හිතන්නෙ නැහැ. හැම දවසක් ම මට අලුත් සහ නැවුම්. මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ ආතර් සී. ක්ලාක් මහත්තයාගේ ජීවිතයෙන්. ඒ නිසා මගේ ජීවිතයේ කඩා වැටීම් කියලා දෙයක් මං සලකන්නෑ.

    මොකක්ද ඔබේ ජීවිතයේ Turning point එක...

    අවුරුදු දහසයේ ඉඳන් බිස්නස් කරපු මං ඉස්කෝලෙන් අස්වෙලත් බිස්නස් කළා. මේ රටේ ආනයනයට ඉඩක් නැති 1976 තමයි මං ග්‍රීන් ලේස් බැංකුවත් එක්ක සම්බන්ධවෙලා ශ්‍රවණාධාර උපකරණ ගෙන්වන්න පටන් ගත්තෙ. මට ‍තේරුණා Audiology කරනවා නම් මං ඒ ගැන හදාරන්න ඕනෙ කියලා. ඊළඟට, බිස්නස් කරන ගමන් මං Southampton විශ්ව විද්‍යාලයේ අවුරුදු තුනක් Audiology ඉගෙන ගත්තා. ඒ හැරෙන්න, වැටීම් - නැඟීම් ගැන මං ඕනෑවට වඩා හිතන්නෙ නැහැ.

    ඔබේ වෘත්තීය ජීවිතයේ සතුටු විය හැකි හොඳම යුගය කුමක් ද...

    කර්ණශංක බද්ධය සඳහා නවීන උපකරණ අපේ රටට හඳුන්වා දුන් මේ යුගය. එදා පටන් බිහිරි බවින් පීඩා විඳි මේ රටේ සියයට දෙකක වැඩිහිටි - ළමා පිරිසට මං යළි ඇසීම අරන් දුන්නා.

    එය කොයි තරම් මුදලක් වැයවන සැත්කමක් ද...

    පිටරටවල නම් මිලියන අටක් පමණ වැයවනවා. නමුත් අපේ රටේ මිලියන එකහමාරත් තුනත් අතර මුදලකින් එය කර ගත හැකියි. ඇත්තට ම අපේ රටේ මිනිස්සු කාරුණිකයි. නැති බැරි අයට උදව් කරන දානපතියො ඉන්නවා. සමහර රජයේ රෝහල්වල මේ පහසුකම තිබෙනවා. සැත්කමට අවශ්‍ය සියලු පරීක්ෂණ සිදුකිරීමයි අප ආයතනයෙන් වන්නේ.

    ව්‍යාපාරයට අමතරව අලුත් තාක්ෂණය හොයන උණ අදත් ඔබට තිබෙනවද...

    අනිවාර්යයෙන්. මං කොම්පියුටරයක් අතපත ගාන්න ගත්තෙ අපේ රටේ හුඟ දෙනෙක් ඒ තාක්ෂණය අහලවත් නැති යුගයක. ඒක සෙන්ට් ක්ලෙයාර් කොම්පියුටරයක්. අලුත් තාක්ෂණය හොයන එක මට ඇ‍ඟෙන් එන උණක් වගේ. ඒ උණටම මං අපේ රටට අලුත් ම වෛද්‍ය උපකරණ රැසක් හඳුන්වලා දුන්නා. ජ’මන් මයික්‍රෙස්කෝප් සහ ඩයතමි මැෂින් ඉන් විශේෂයි. ආශා, නවලෝක, ඇපලෝ වගේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් මගේ උපකරණ අරගත්තා. හැබැයි මං ඒ වැඩේ දිගට කෙරුවෙ නැහැ.

    ‘හොඳ වැඩිහිටියෙක් බිහිවන්නේ පුංචි කාලෙ වැටෙන පදනමින්....’ මේ කතාව ඔබේ ජීවිතයටත් අදාළ ද...

    මට අවුරුදු අටේදි මගේ අම්මා පිළිකාවකින් මිය ගියා. ඒත් ඉන්නකල් ඇය මට තෑග්ගක් දුන්නත්, ගෙනැත් දුන්නෙ Maccano Sets. පුංචි කාලෙ පටන් ඈ මං ආසා දේ ඔස්සේ වැඩෙන්න දුන්නා. මං ලොකු වෙලා නානාප්‍රකාර නව නිපැයුම් කළේ ඒ මැකෑනෝ සෙට්ස් හදලා, දියුණු කරගත් ඥානයෙන්. ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ට උදව් කිරීමේ ගුණය මං ඉගෙන ගත්තෙත් ඇයගෙන්. අදත් මං අම්මා වෙනුවෙන් නිහඬව පිළිකා රෝගීන්ට උදව් කරනවා. වෘත්තීය වශයෙනුත් මනුස්සකම් වශයෙනුත් අද මං ළඟ රැකිලා තිබෙන හැම හොඳ දෙයක් ම එදා ඇරැඹුණේ අම්මා ඇසුරින්.

    පුංචි කාලෙ ඔබට තිබුණු හීන මොනවද...

    ‘ලොකු වුණාම මං කොම්පැනියක් දානවා....’ ඉස්සර මගේ කටේ ම තිබුණෙ ඔය වාක්‍ය. මං කොළයක් අරන් බිල්ඩින් අඳිනවා. ඒවට බෝඩ් එකකුත් අඳිනවා. වෙන නම් මොකටද, මං බෝඩ් එකට දාන්නෙත් මගේ නම. නොතේරෙන කාලෙ කරපු දේමයි මං අවසානයෙදිත් කරලා තිබෙන්නේ. මං මගේ නමින් ව්‍යපාර ජාලයක් හැදුවා. හැබැයි ඒවා එදා මං ඇන්දා වගේ හිස් බිල්ඩින් නෙවෙයි. ජීවිතයට සුවය හදන තැන්.

    ඔබ ළමයෙක් විදියට වඩා දක්ෂ වුණේ මොනවටද...

    වයර් කෑල්ලක් අහුවුණත් මං ඒකෙන් නව නිපැයුමක් කළා. පුංචි ඉලෙක්ට්‍රොනික් උපකරණ, වෝකි - ටෝකි වගේ සන්නිවේදන මෙවලම් හදලා විකිණුවා. පන්තියේ ළමයි අතර ඒවට හොඳ ඉල්ලුමක් ලැබුණා. අවුරුදු දහසය වෙනකොට කැන්ටිමට ගියත් ඉස්කෝලෙ ට්‍රිප් එකක් ගියත් මගේ ළඟ ඇතිවෙන්න සල්ලි තිබුණා.

    ළමයකුට ඇයි සල්ලි හම්බකරන සිතුවිල්ලක්...

    තාත්තලා ඒ කාලෙ සල්ලි දුන්නෙ ගාණට මිම්මට. ඉතින් මට ඕනෙ වුණා තව සල්ලි ටිකක් හොයන්න. මං මට පුළුවන් දේ කළා. ඒක නැඟලා ගියා. ඒ කාලෙ මං හදපු ඕනෙ දෙයක් පන්තියේ ළමයි අරගත්තා. මොකද වැඩිපුර දේවල් මේ රටේ ළමයින්ට තිබුණු යුගයක් නෙවෙයි ඒ.

    අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...

    මගේ අම්මා ගණිත ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. ළමයි හතර දෙනයි. මගේ අයියා සුනාමියෙන් මිය ගියා. එයා අති දක්ෂ Naval Architect කෙනෙක්. නැව් ඩිසයින් කිරීමට එයා ඉන්දියාවේ ජනප්‍රිය විද්‍යාඥයෙක්. අදටත් මං දන්නෑ ලංකාවෙන් බිහිවූ එවැන්නෙක් ඉන්නවද කියලා. මගේ අක්කලා දෙන්නාගෙන් එක්කෙනෙක් ඉංජිනේරුවරියක්. අම්මා තාත්තාගෙ උවමනාව නිසයි අ‍පි හොඳින් ඉගෙන ගත්තෙ. විශේෂයෙන් මං මට ඕන ක්ෂේත්‍රය ‍තෝරා ගනිද්දි දුන්නු නිදහසයි මට වටින්නේ.

    මේ රටට යමක් කළාය... කියන සතුට ඔබට තිබෙනවද..

    මේ රටේ බිහිරිබවින් පීඩා විඳි සියයට දෙකක් ජනතාවට යළි ඇසීම ලබා දෙන්න මට පුළුවන් වුණා. Audiology, වෘත්තියක් බවට පත් කරන්න මට පුළුවන් වුණා, අද අපේ Audiologyst තනතුර වෙනුවෙන් ලොව විශාල පිළිගැනීමක් තිබෙනවා. අපේ ර‍ෙට් අයට එතරම් නොදැනුණාට මාව හුඟක් දන්නෙ සහ අගය කරන්නෙ ජාත්‍යන්තරය. ඔවුන් මට නිතර සම්මන්ත්‍රණ - සමුළු සඳහා ආරාධනා කරනවා. ඒවා මං මඟහරින්නෑ. ඒ සියල්ලෙදි සැලකිලි ලැබෙන්නෙ මට විතරක් නෙවෙයි, මගේ රටට ම නිසා.

    ඔබ දෙවියන් බුදුන් අදහනවද...

    මං විශ්වාස කරන්නෙ මාව විතරයි. ඊළඟට සොබාදහම විතරයි. මං පිළිම තියාගෙන වන්දනා මාන කරන කෙනෙක් නෙ‍ෙවයි. මං වද වෙන්නෙ සොබා දහමේ නීති ගැන විතරයි.

    ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තිබෙන ආදර්ශය කුමක් ද...

    මං සල්ලි හම්බ කළේ අවුරුදු දහසයේ ඉඳන්. මං යෝජනා කරනවා, මේ රටේ සෑම ළමයෙකුටම අවුරුදු දහසයේ ඉඳන් පාට් - ටයිම් ජොබ්ස් කරන්න ඉඩ දිය යුතුයි කියලා. එහෙම වුණොත් ඔවුන්ගේ තාක්ෂණික දැනුම දියුණු වෙනවා. මුදල්වල වටිනාකම දැනෙනවා. ජීවිතයට අත්දැකීම් සහ පුහුණුව එකතු වෙනවා.

    ඔබ ජීවිතය විඳින්නෙ කොහොමද...

    මං ඇතුළේ හොඳ කලාකරුවෙක් ජීවත් වෙනවා. ඉසිපතනෙ ඉගෙන ගන්න කාලෙ මං හුඟක් ආසා කළේ සංගීතයට - චිත්‍රවලට. අදත් මගේ ව්‍යාපාරවල වෙළෙඳ දැන්වීම්, බෝඩ්ස් සහ ඉන්ටීරියර් - ඩිසයින් කරන්නෙ මමමයි. මං ජීවිතේ හොඳ හැටි විඳින කෙනෙක්. උදේට ව්‍යාපාර එක්ක මහන්සිවෙන මම නෙවෙයි හවසට ඉන්නේ. ම‍ෙග් ජීවිතේ ඉතාම සතුටින්.

    ඔබ සාර්ථක පියෙක් ද...

    ඔව්. මගේ දූලා දෙන්නට මං හොඳ යාළුවෙක්. අපි හැමදේම කතා කරනවා. අවශ්‍ය දේවලදි මං දරුවන්ගෙ Opinion එක ගන්නවා. තීරණය මම ගන්නවා. දරුවන්ගේ කාරණාවලදි මගේ Opinion එක දෙනවා. තීරණය ඒ අයට ගන්න දෙනවා. දෙන්නම ඉන්නෙ පිටරට. නමුත් අපි නිතර තාක්ෂණය ඔස්සේ මුණ ගැසෙනවා. කතා කරනවා. අපි බොහොම ළඟින් ඉන්න තාත්තලා දූලා.

    කණ්ණාඩි වගේ ම ඔබ ෆැෂන් ගැනත් හිතනවද...

    ඔව්. Roberto Cavalli, CK වගේ බ්‍රෑන්ඩ්ස් වලින් මං ඇඳුම් පැලඳුම් තෝරනවා. ප්‍රාඩා, බර්බරි වගේ බ්‍රෑන්ඩ්ස්වලිනුයි මං කණ්ණාඩි පලඳින්නේ. කෙනෙක් හොඳට ඇඳලා පැලඳලා කබල් කණ්ණාඩි කුට්ටමක් දැම්මොත් සේරම ඉවරයි. හැම කෙනාම ලස්සනට මැච් කරලා අඳින්න පලඳින්න ඕනේ. ඒකයි මගේ තියරිය. මේ බ්‍රෑන්ඩ්ස් ම නොවුණාට අපේ ගාණට ගැළපෙන දේ අද ඕනෙ තරම් මේ රටේ තියෙනවා. හැබැයි ඔබ ‍තෝරන්න ඕනේ හොඳ කොලිටිය සහ තාක්ෂණයයි.

     
    • Like
    Reactions: ijay and Gojabisena