ලෝකයේ 2013 වසරේ මිනිසා..
2013 වසරෙහි ලෝකයේ බලගතු ම රාජ්‍යය සමග තනි ව සටන් කළ තරුණයකු සිටියේ ය. ඔහු සටන් කළේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් නොවේ. සිය දේශයෙහි පමණක් නොව සමස්ත ලෝක පුරවැසි ප්‍රජාවෙහි ම මූලික අයිතිවාසිකමක් ආරක්ෂා කිරීම වෙනුවෙනි. එමෙන්ම මෙම සටන නිසා තමන් ආදරය කරන සියලූ දෙනාගෙන් වෙන් වීමට සිදු වන බවත් යළි සිය දේශයට පා තැබීමට නො හැකි වන බවත් ඔහු දැන සිටියේ ය. එසේ සියලූ තත්ත්ව යටතේ ඔහු සතු එක් විශ්වාසයක් විය . එනම් සිය අරගලය මගින් ලොව බලගතු ම රාජ්‍යයේ මානව විරෝධී අවකල් ක්‍රියාදාමයක් හෙළිදරව් වනු ඇති බවත් එමගින් ලොව ජනයාට නිදහසේ තොරතුරු හුවමාරු කර ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සාකච්ඡාවට ගැනෙනු ඇති බවත් ය. ඒ මිනිසා අන් කවරකු වත් නොව ඇමෙරිකානු රාජ්‍යයට තනි මිනිසකු විසින් එල්ල කරන ලද දැවැන්තතම ප්රජාතන්ත්රවාදී අභියෝගය එල්ල කළ 28 හැවිරිදි 'එඩ්වඩ් ජෝශප් ස්නෝඩන්' නම් තරුණ ඇමෙරිකානුවා ය. 2012 වසරෙහි මිනිසා ලෙස නම් කෙරුණේ ද තරුණ ඇමෙරිකානුවෙකි. ඇමෙරිකානු යුද අපරාධ පිළිබඳ ලිපි ලේඛන සහ වීඩියෝ විකි ලීක්ස් වෙත ලබා දුන් 23 හැවිරිදි ඇමෙරිකානු සොල්දාදුවකු වූ 'බ්රැඩ්ලි මීනිං' අද 35 වසරක ද~ුවමක් විදිමින් සිරගත ව සිටී. ස්නෝඩන් සිය හෙළිදරව්ව කරනු ලද්දේ එවැනි ද~ුවමක ඉරණම ද උරුම විය හැකි ව තිබිය දී ය. එඩ්වඩ් ස්නෝඩන් ඇමෙරිකානු රාජ්‍යයේ ව්‍යාජ ප්රජාතන්ත්රවාදී සළු පිළි එලෙස එක පහරින් ඇද බිමට දැමුවේ එහි රහස් ඔත්තු සේවා මගින් ඇමරිකාවේ මෙන් ම ලොව පුරාම මහා ජනයාගේ ද දේශපාලන නායක නායිකාවන්ගේ ද නිල මෙන් ම නිල නොවන කතා බහට හොරෙන් සවන් දෙන බවටත් එම තොරතුරු රහසේ ම ගබඩා කර ගන්නා බවටත් සාක්ෂි සහිත ව හෙළි දරව් කිරීම මගිනි. ඔහු විසින් කරන ලද කන පැළෙන හෙළි දරව් කිරීම් කිසිවක් ඇමෙරිකානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර නැත. ඇමෙරිකානු රාජ්‍යයේ රහස් ඔත්තු සේවා විසින් යුරෝ කලාපයේ ප්‍රධානතම රට වන ජර්මනියේ ජනාධිපතිනිය ඇන්ජෙලා මැකරල්, දකුණු ඇමෙරිකාවේ ප්‍රධානතම රටවල් දෙක වන බ්‍රසීලයේ ජනාධිපතිනිය දිල්මා රුසෙප්, මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පෙනා, යන රාජ්‍ය නායිකාවන්ගේ දුර කථන කතා බහට සවන් දෙමින් සහ විද්‍යුත් ලිපි කියවූ බවට ස්නෝඩන් විසින් හෙළිදරව් කරන ලද කරුණු අතර විය. පුද්ගලික සන්නිවේදනයට ඇති අයිතිය නූතන රාජ්‍ය විසින් තුට්ටුවකට නො සලකන බව ස්නෝඩන් විසින් කරන ලද හෙළිදරව්වේ හරය විය. "මා මේ හෙළිදරව් කිරීම කෙළේ මහා ජනයාගේ නාමයෙන් ආණ්ඩුව කරනු ලබන්නේ මොනවා ද යන්නත් මහා ජනයාට ම විරුද්ධව කරනු ලබන්නේ මොනවා ද යන්නත් පිළිබඳ ව අවබෝධයක් ඇති කිරීමට ය" කියා ස්නෝඩන් කියා සිටියේ ය. ඇමෙරිකානු රජය එහි පරිවාර ගැති රජයන් ද හවුල් කොට ගෙන කරගෙන යනු ලබන සන්නිවේදන තොරතුරු රැස් කිරීමේ මහා පරිමාණ රහසිගත ක්‍රියාදාමය ස්නෝඩන් විසින් හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලය කොතරම් ප්‍රබල සහ ගැඹුරු වී ද යත් පසුගිය දෙසැම්බර් 10 දා යෙදුණු ලෝක මානව හිමිකම් දිනය දා ලොව ඉහළ ම පිළිගැනීමක් සහිත ලේඛකයින් 500 දෙනෙකු විද්‍යුත් සන්නිවේදන යුගයේ ප්රජාතන්ත්රවාදී අයිතිය යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කීහ. "සන්නිවේදන තොරතුරු රහසිගතව රැස් කිරීම පුද්ගලික පරිමණ්ඩලය උල්ලංඝනය කිරීමකි, සිතීමේ සහ අදහස් දැරීමේ අයිතිය යටපත් කිරීමකි." "මහා පරිමාණයෙන් සන්නිවේදන තොරතුරු රහසිගතව රැස් කිරීම මගින් සෑම පුරවැසියකු ම සැකකරුවකු ලෙස සැලකේ. නිර්දෝෂී යැයි සැලකිය යුතු බවට අප දිනා ගෙන ඇති ඓතිහාසික ජයග්‍රහණය ආපසු හරවයි." පොදු අරමුණක් වෙනුවෙන් මෙතරම් පුළුල් ලේඛක එකමුතුවක් මෙයට පෙර ඇති වී නැත. ඔවුන් කියා සිටියේ මෙම හොරකම වහාම නතර කළ යුතු බවයි. එමෙන්ම විද්‍යුත් සන්නිවේදන යුගයේ ප්රජාතන්ත්රවාදී අයිතිය සුරකින ප්රඥප්තියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටැවිය යුතු යැයි ද ඔවුහු එක හෙළා කියා සිටියෝ ය. ස්නෝඩන්ගේ හෙළිදරව්ව විසින් මුදා හළ ප්රගතිගාමී මානව බලවේගයේ ජවය පෙන්නුම් කරන අපූරු සංකේතයකි එම ප්‍රකාශන ය. වසරේ මිනිසා කවරෙක් දැයි යූරෝ නිව්ස් පැවැත් වූ ජනමත විචාරණයට ඒ සඳහා ස්නෝඩන් තෝරා ගත යුතු යැයි අදහස් දැක්වූ අයකු මෙසේ ලියුවේ ය. " ඔහු සිය අනාගතය ප්රජාතන්ත්රවාදී වටිනාකම්, පාරදෘශ්‍ය බව සහ නිදහස වෙනුවෙන් කැප කළා. අන් මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් වන ව්‍යායාමයේ දී ස්වකීය ජීවිතය අමතක කළ හැකි ඔහු වැනි දිරිමත් මිනිසුන් තමයි අද අවශ්‍ය. අප ඇත්ත පිළිගමු. ඔහුගේ ජීවිතය අවසාන යි. ඔහු යළි ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණිය ද ඔහුට සිදු වනු ඇත්තේ දශක ගණනාවක් සිර ගත වීමට. ඔහු විසින් කළ පුද්ගලික කැප කිරීම අති විශාල යි." තවත් අයකු මෙසේ ලියුවේ ය. "මා ඔහුට කැමැත්ත දෙන්නේ ඔහුගේ අති විශේෂ සහ ආදර්ශමත් ධෛර්ය නිසා ය. ඔහුගේ එම දිරිමත් ක්‍රියාවෙහි ඓතිහාසික වටිනාකම නිසා ය. ඔහු ශ්‍රේෂ්ඨ ඇමෙරිකානුවෙකි. ජාත්‍යන්තර ප්‍රේමියෙකි. " ලේඛකයකු මෙසේ ලියුවේ ය. " මෙතරම් කෙටි කාලයක් තුළ දී නිදහසේ ඉතා ම මූලික ප්රශ්නය වෙත, එනම් එය කුමක් ද?, එය රැක ගන්නේ කෙසේ ද? සහ එය නැති වූ කළ දැන ගන්නේ කෙසේ ද? යන ප්‍රශ්න වෙත මානව චින්තනය ආපසු කැඳවීමට මේසා කාර්ය භාරයක් කර ඇත්තේ කවරෙක් ද? " මේ ඇමෙරිකානුවා, 2013 වසරෙහි මිනිසා ලෙස බි්රතාන්යයේ මහත් පිළිගැනීමක් සහිත ද ගාර්ඩියන් පුවත් පත විසින් ද යුරෝපා සංගමයේ රූපවාහිනී නාලිකාව වන යුරෝ නිව්ස් විසින් ද අභිෂේක කරන ලදී. ඇමෙරිකානු ටයිම් සඟරාව වසරේ මිනිසා ලෙස ස්නෝඩන් වෙනුවට ප්‍රැන්සිස් පාප් වහන්සේ නම් කරන ලද්දේ උප්පරවැට්ටියක් මගිනි. එය ස්නෝඩන්ට දෙවැනි තැන පිරි නැමුවේ ය. තවද ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ ( සී.අයි.ඒ.) හිටපු නිලධාරීන් කණ්ඩායමක් විසින් පවත්වා ගෙන යන අවංක සහ බුද්ධිමත් බව වෙනුවෙන් පිරිනැමෙන සෑම් ඇඩම්ස් ත්‍යාගයෙන් ද ඔහු පිදුම් ලද්දේ ය. සෑම් ඇඩම්ස් යනු ඇමෙරිකාව වියට්නාමයට එරෙහිව ගෙන ගිය කුරිරු යුද සමයෙහි යුද අපරාධ රහස් හෙළි කළ සී.අයි.ඒ. නිලධාරියෙකි. ඇමෙරිකාවෙහි පවත් වන ලද ජනමත විචාරණයන් මගින් ස්නෝඩන් විසින් කරන ලද හෙළිදරව් කිරීම් මගින් සිදු වූයේ යහපතක් යැයි බහුතරයක විශ්වාසය බව සනාථ විය. මාස හය හතකට ඉහත දී එඩ්වඩ් ස්නෝඩන් නම් කෙනෙකු ගැන ලොව දැන සිටියේ නැත. එහෙත් අද ඔහු පිළිබඳ ව නො දන්නා රාජ්‍ය නායකයකු හෝ දේශපාලනික ලෝක පුරවැසියකු හෝ සිටිය නො හැකි ය. ඔහුගේ පින්තූරයක් සහ ලිපියක් හෝ පුවතක් පළ නො කළ ජන මාධ්‍යයක් ලොව නැති තරම් ය. එන්.එස්.ඒ. නම් ඇමෙරිකානු 'ජාතික ආරක්ෂක ඒජන්සිය' නම් ප්‍රධානතම ඔත්තු සේවය මගින් රහසේ සහ නීති විරෝධී ව එක් කරන ලද සන්නිවේදන තොරතුරු ලිපි ලේඛන දෙ ලක්ෂයක් ස්නෝඩන් විසින් ප්‍රථම වටයේ දී නිකුත් කරන ලදී. ඔහු විසින් එවැනි ලේඛන දශ ලක්ෂයක් එක් කර ගන්නා ලදැයි කියනු ලැබේ. සය මසක් වැනි කෙටි කාලයක දී ලෝක දාම් ලෑල්ලේ රජුන් කපා දැමූ ස්නෝඩන් වැනි ඉත්තකු සිට නැත. ඔහු යෝධයන් සමග සටන් වැදුණු ලිලි පුට්ටෙකි. අද ඇමෙරිකානු රාජ්‍යය නම් ඒ යෝධයා හිර වී සිටින්නේ මේ ස්නෝඩන් නම් ලිලි පුට්ටා දැමූ හෙළිදරව් ගැටය නිසා ය. එසේ නමුත් එම සටනට අවතීර්ණ වීම මගින් ස්නෝඩන් සිය ජීවිතය ද ආපසු හැරවිය නො හැකි තැනකට තල්ලූ කර ගත්තේ ය. ඔහු ආපසු ඇමෙරිකාවට ගියහොත් රාජද්‍රෝහී චෝදනා යටතේ ජීවිත කාලය ම ගත කිරීමට සිදුවනු ඇත්තේ සිර ගෙදර ය. අපේ කාලයේ වීරයකු වන එඩ්වඩ් ස්නෝඩන් 2013 වසරේ මිනිසා වන්නේ ඔහුගේ හෙළිදරව් කිරීම් විසින් ඇති කරන ලද ප්රජාතන්ත්රවාදී ගතිකත්වය සහ ලෝක සාකච්ඡාව නිසා පමණක් නොවේ. එම හෙළිදරව් කිරීම උදෙසා ඔහු විසින් දක්වන ලද අසාමාන්‍ය පුද්ගලික කැප කිරීම ද නිසා ය. විප්ලවයක් කිරීමට නම් අධිරාජයා අසු පිටින් බිමට ඇද දැමිය හැකි දිරිමත් බවක් අවශ්‍ය යැයි චීන ප්රස්ථා පිරුළකින් කියවෙයි. එඩ්වඩ් ජෝශප් ස්නෝඩන් නම් 29 හැවිරිදි තරුණ ඇමෙරිකානුවා නිසැක ව ම අයත් වන්නේ ඒ වීරයින්ගේ පරපුරට ය.



