වැඩිහිටියන්ට පමණයි සිංහල නාට්‍යයක් කරන්&

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වැඩිහිටියන්ට පමණයි සිංහල නාට්‍යයක් කරන්&

    ලංකාවේ වේදිකාව තුල නිර්මාණය වුනු නාට්‍ය අතරට වෙනස් මාදිලියේ නාට්‍ය අත්දැකීම් ගණනාවක් එක්කල අසංක සායක්කාර නම් සොඳුරු නාට්‍යකරුවා සහ හිතෛශී කලාකරුවාගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය ජුනි මස 15 සහ 16 දිනවල සවස 3.30 සහ රාත්‍රී 7.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හීදී ප්‍රථමවරට ජනගතකිරීම සිදුවෙනවා. ඉතාම මෑතකදී ඔහු විසින් නිර්මාණය කල ‘සංඝදාසගේ චූටි කලිසම‘ නාට්‍ය බෙහෙවින්ම ජනප්‍රසාදයට ලක්වුනා. අද ඔහු සමග මේ කතාබහ දිගහැරෙන්නේ නාට්‍ය සහ නාට්‍ය කලාවට එහා ගිය බොහෝ දේවල් එක්කයි.

    ඇයි අසංක සායක්කාරට හිතුනේ ‘සංඝදාසගේ චූටි කලිසම‘ ගලවලා මනුස්සයෙක් කෙලින් කරන්න?

    සංඝදාසගේ චූටි කලිසම ගලවලා ඉවරකළේ නැහැ තාම ගලවමින් යනවා අපි ඒ අතරේ තමයි මම කෙලින් මිනිහෙයක් ප්‍රස්තුතය මගේ ඔලුවට එන්නේ ඒක යන අතරවාරෙ .සංඝදාස 2015 තමයි අපි වේදිකා ගත කළේ. 2014 හා 2013 වගේ අපි එකට වැඩ කළා. ඒ වැඩකරගෙන එන අතරෙදි 2015 වේදී වේදිකාගත කරන අතරවාරෙදි තමයි මේ Plot එක මගේ ඔලුවට එන්නේ. ඒ ආවත් මම කලබල වුනේ නැහැ මොකද මේ නාට්‍ය එක මගෙ ඔලුවට ආවම මගේ ඔලුවේ ඇඳිච්ච එක චරිතයක් තිබුණා. ඒ තමයි මගේ ‘ශ්‍රීමත් සුමන‘ නාටයේ රඟපාපු සමිත සුධීශ්වර.

    සමිතයි මායි කාලයක් වැඩ කරපු එකත් එක්ක මට ඕනේ වුනේ සමිතත් එක්ක වැඩ කරන්න සමිත ඒ දවස්වල ලංකාවේ හිටියේ නැහැ. ලන්ඩන්වල හිටියෙ. අධ්‍යාපන කටයුත්තකට ගිහිල්ලා. ඒ මොහොතේ ඉදන් මම සමිතට කිවුවේ උඹ එන්නේ නැද්ද එන්නෙ නැද්ද කියලා මේ වැඩේ කරන්න කියලා. සංඝදාසගේ වැඩේ ඒ අතරේ යනවා. සමිත එනකන් මම ඒ වැඩේ නිවිහැනහිල්ලේ හැදෙන්න දුන්නා. සමිත එනවා 2016 අවුරුද්දේ අග වගේ. පස්සේ අපි සමිතත් එක්ක වැඩේ පටන් ගත්තා. අරක ගලවලා මේකට එනවා නෙවෙයි. ඒක යන අතරවාරේ මේ පැහිච්ච ඔළුවට ආපු කාරණය එළියට දාන්න ඕනේ කියලා හිතුනා. ඒකත් එක්ක ඉතින් මේ වැඩ කරගෙන ආවා. මේ නිශ්චිත මොහොත හොඳයි කියලා හිතුනා මේ වැඩේ එළියට දාන්න.

    එතකොට ලංකාවේ කලාව රසාස්වාදනය පැත්තට යන මිනිස්සු ඉන්න කුලකයක් නම් මේ කුලකය ඇතුලේ නාට්‍ය රසවින්දනය කියන කුලකය ඇතුලේ මිනිස්සු ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. එතකොට ඔබේ කලින් නාට්‍ය සහ මේ නාට්‍ය අතර සම්බන්ධයක් හදලා ඒ පිරිස ආමන්ත්‍රණය කරනවද, නැත්නම් ඉලක්කය අලුත් පිරිසක්ද?

    මෙහෙමයි කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක එන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අපිව හඳුනන අපිව දන්න අපේ වැඩත් එක්ක හිටපු පිරිසක් ඉන්නවා. ඒක Mass Crowd එකක් නෙවෙයි. අපි ජනකාන්ත වේදිකා නාට්‍ය කලාවේ හිටපු පිරිසක් නෙවෙයිනේ. දැන් අවුරුදු 20 ක් තිස්සේ අපිත් නාට්‍ය කරනවා. එතකොට මේ නාට්‍ය බලපු සීමිත පිරිසක් ඉන්නවා. සංඝදාස ඒක මම පිළිගන්නවා. සංඝදාස එකේ අපි පොඩි විවෘත වීමේ ස්වභාවයක් තියෙනවා. සංඝදාස තමයි මගේ වැඩිපුරම දුවපු නාට්‍ය. එතකොට මේකත් එක්ක හිටපු ප්‍රේක්ෂකාගාරයක් හිටියා. එතකොට මේ ප්‍රක්ෂකාගාරය මම විශ්වාස කරනවා ‘කෙලින් මිනිහෙක්‘ සඳහාද අපිත් එක්ක එකතුවෙයි කියලා. ඉතින් ඊට අමතරව කෙලින් මිනිහෙක් එකට අපි අලුත් ප්‍රේක්ෂකාතාරයක් එකතුකරගන්න ඕනේ කියලා. ප්‍රේක්ෂකාගාරය දිනාගන්නවා කියන එක ඇත්තටම වෙනමම publicity වැඩක්. ඉතින් අපි සංඝදාස එක කරනකොට ඒකෙන් ඉගනගත්ත දේවල් එක්ක සහ මුහුණ දීපු දේවල් එක්ක අපි මේකෙදි තීරණය කරා බැරියරෙකක් ඒ කියන්නේ ‘වැඩිහිටියන්ට පමණයි‘ කියන ලේබලය. වැඩිහිටියන්ට පමණයි නාට්‍යයක් ලංකාවේ කරද්දි ඒක දුවන්න අමාරුයි. මොකද කොළඹින් එහාට ඒක අරන් යන්න අමාරුයි මේ නාට්‍ය ලංකාවේ හැදිල තියෙන පිළිවෙලත් එක්ක. ඒක එක පැත්තකින් ජයගන්නත් ඕනේ. අනිත් පැත්තෙන් කොළඹ මේක පෙන්වනකොට අපිට මීට පෙර ආව නැති පිරිස් මේකට ගෙන්වගන්නත් ඕනේ. මම හිතනවා අපිත් එක්ක කාලයක් link වෙලා ආව පිරිසට අමතරව අලුතෙන් මිනිසුත් මේකට එකතුකරගන්නත් ඕනේ. මම හිතනවා එකතුවෙයි කියලා.

    එතකොට දැන් පේරාදෙණියෙ ඇතුලෙත් ඔය කියන ආකාරයේ නාට්‍යවලට ගල්වදින කාලෙක කොහොමද ඔය කියන විදිහහෙ වැඩිහිටියන්ට පමණයි නාට්‍යයකට Crowd එක අකතු කරන්නේ?

    ඒක දුෂ්කර වැඩක්. කොළඹ ඇතුලෙ ක්‍රවුඩ් එක නම් අපිට මේක යම් තරමකට බේරගන්න පුලුවන්. ගමේ නම් මට හිතාගන්න බැහැ කොහොම වෙයිද කියලා. මොකද සංඝදාස පේරාදෙණියෙ පෙන්වන්න ගිහිල්ලත් ඒ හා සමාන අත්දැකීම්වලට අපි මුහුණ දුන්නා. ගල් ගැහුවේ නැහැ ඒත් අපි කියපු සමහර දෙබස්වලට ප්‍රේක්ෂකාගාරය පොඩ්ඩක් කුපිත වෙච්ච් ස්රූපයක් තිබුනා ඒ වෙලාවේ.

    ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

    ඒකට හේතුව අපේ තිබුන අසංස්කෘතිය මේකෙ සංස්කෘතියක් වශයෙන් අපි දියුණු නැහැනේ. නාට්‍ය බලන එක සහ නාට්‍ය විඳින එක කියන්නේ දෙකක්නේ. එතකොට මේක විඳින එක සහ අනෙකාව නුරුස්සන එක, අනෙකාගේ දේ විඳගන්න එක, ඒකට අභ්‍යාසයක් විදිහට අපි හුරු කරලා නැහැ. සංස්කෘතිකත්වයේ තියෙන අවුල තමයි ඒ විදිහට එන්නේ. ඉතින් පිටට යාම කියන එක ඇත්තටම අපි මේ නාට්‍යයේ තේමාව කරගන්නේ අපිම මැදිහත්වෙලා අපි එක් ස්ථානයක හැම මාසෙකටම නාට්‍ය පෙන්වනවා කියන තැන ඉඳලා තමයි පටන් ගන්නේ. අපේ වියදමින් අපිට යා හැකි දුර අපි කරනවා මේ නාට්‍යය. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපි කියන්න හදන දේ සමාජගත කරන්න. දැන් මිනිසුන් සමග ගනුදෙනුවක්නෙ මේ නාට්‍ය හරහා අපි කරන්න හදන්නේ ඒ ගනුදෙනුව කරන්න තියෙන අවකාශය හදාගන්න ඕනේ. දෙවෙනි එක නාට්‍යයක් කියන්නේ හැමෝම දන්නවා සල්ලි බලාගෙන වැඩ කරන පිරිසක් නෙවෙයි. තමන්ගේ වැඩ නවත්තලා විශාල කාලයක් මේකට වැය කරනවා. එතකොට ඒ මිනිස්සු වැයකරපු ශ්‍රමයට යම් සාධාරණයක් තියෙන්න ඕනේ. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ නාට්‍ය පෙන්නලා සල්ලි ගන්න නෙවෙයි නාට්‍යයේ දර්ශනවාර යනකොට නළුවෙක් ලබන තෘප්තිය.

    අපි හිතුවා කොළඹ යම්කිසි රඟහලක හෝ කීපයක අපිම මැදිහත්වෙලා දිගටම කරනවා කියලා. එතකොට කවුරුහරි මැදිහත්වෙලා නාට්‍යය ඉල්ලනවා නම්, සංඝදාස එකට බොහොම අය අපිට කතා කරා තොරතුරු දැනගෙන මේ නාට්‍යය කරන්න කැමතිද කියලා. එතනදී අපට ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපි නාට්‍යය දුන්නා. නමුත් මේ නාට්‍යය එහෙම කරන්නේ නැහැ. අපි කියන්නේ කවුරුහරි සංවිධායකවරයෙකුට මේ නාට්‍යය ගන්න ඕනේ නම් ඇවිල්ලා නාට්‍යය බලන්න. මොකද අපි ගම නැත්නම් කොළඹින් එළියට ගියාට පස්සේ ඒ නාට්‍යය පෙන්නුවාට පස්සේ සිද්ධවෙන දේට අපිට වගකියන්නෙ බැහැ. මොකද එයා තමයි දන්නේ තමන් ගෙනියන ප්‍රේක්ෂකාගාරය කොයි වගේ එකක්ද තමන් ඒක පෙන්වන්නේ කොහොමද කියලා. ඒ වගකීම අපිට ගන්න බැරි නිසා තමයි අපි ඒ සංවිධායකවරුන්ට කියන්නේ ඇවිල්ලා බලන්න බලලා ඔයගොල්ලන්ට පුලුවන් නම් මේක ගෙනියන්න ඒක ප්‍රශ්නයක් නැහැ කියලා.

    විශ්වවිද්‍යාල ප්‍රජාවට අපි කියන්නෙත් ඒ දේම තමයි, මොකද මට විශ්වාසයක් නෑ මේක විශ්වවිද්‍යාල තුලට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සූදානම් නම් මේක පිළිගන්න මම හිතනවා මේක විශ්වවිද්‍යාල තුල නව කතිකාවතක් හදන තැනක් වෙයි කියලා.

    ‘මම කෙලින් මිනිහෙක්‘ කියන්න මම දන්න විදිහට වෙනස් කතාවක්. ඔබේ වචනවලින් මේක තුල තියන දළ අදහස කිව්වොත්.

    මේකේ හරය ගත්තොත් මෙහෙමයි. ලංකාවේ හෝ ලෝකයේ දේශපාලනය ගනිද්දි sex සහ බලය අතර බොහොම තද සම්බන්ධයක් තියනවා. හැබැයි මේක තියෙන්නේ යට ස්ථරයේ, මේක උඩට මතුවෙන්නේ නෑ. මේ ලිංගිකත්වය සහ බලය අතර තියන බැඳීම් එක්ක තමයි බොහොමයක් දේශපාලනික තීරණ ගැනීම සිද්ධවෙන්නේ, හැබැයි ඒවා ලෝකයට පේන්නේ බොහොම දේශප්‍රේමී, ප්‍රගතිශීලී ස්වභාවයෙන්. වරක් ලංකාවේ වමේ දේශපාලනික අරගලයක් ක්‍රියාත්මක වෙද්දි ප්‍රබල වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වමේ කම්කරු නායකයන් ඒක නවත්තනවා ඒ හාම්පුතාගේ දුව එක්ක බුදියගන්න ලැබීම එක්ක. ඒ වර්ජනය කෙරුනනම් සමහර විට අද ලංකාවේ වමේ ආණ්ඩුවක් බිහිවෙන්න තිබුණා. ඒක ඉතිහාසය පුරාම ආපු එකක්, මේක වමේත් තිබුණා, ධනේශ්වර පක්ෂවල විතරක් නෙවෙයි එල්.ටී.ටී.ඊ එකෙත් තිබුණා.

    අපි මේ sex සහ politics අතරේ තියන ප්‍රශ්නය ගේනවා චරිත දෙකක් හරහා, එල්මන් නාගසිංහ කියන වම නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආපු දේශපාලනඥයෙක් සහ තක්ෂිලා කියන තරුණිය අතර ගොඩනැගෙන කතිකාවත තමයි මේ නාට්‍යයට පදනම වෙන්නේ.

    මේ නාට්‍ය හරහා ඔබ සෘජුවම පහරදෙන්නේ වමේ ව්‍යාපාරයේ ප්‍රබලයන්ගේ තිබූ සුප්‍රසිද්ධ ස්ත්‍රී ලෝලීත්වයටද?

    මෙහෙමයි, වම සම්බන්ධයෙන් විවේචන මේ නාට්‍යය හරහා තිබෙනවා. හැබැයි ඒ සැබෑ වමේ ඉන්න චරිත ගැන නෙවෙයි. වම කියලා ඇවිත් දකුණට මාරුවුණු සහ දකුණේ ඉන්න ගමන් වමේ කියලා පෙන්නන පාර්ශව මේ හරහා දැඩිව විවේචනයට ලක්වෙනවා. දශක තුනහමාරකට වැඩි මගේ ජීවිත අත්දැකීම් වගේම ඊට පෙර කාලය ගැන තිබෙන හැදෑරීම් එක්ක තේරුම්ගත්ත දේ තමයි මේ රටට වැඩිම හානිය කලේ දකුණේ ඉන්න පාර්ශව වලටත් වඩා වමෙන් දකුණට මාරුවුණ සහ බොරුවට වමේ ඇඳුම් ඇඳගෙන දකුණේ ඉන්න පාර්ශවයි. ඔවුන් කරපු බරපතලම හානිය තමයි මේ රට තුල වාමවාදී අරගලය සම්බන්ධයෙන් මහපොළව මත හිටපු ජනතාවගේ තිබුණ විශ්වාසය අහිමිකිරීම. ඒ විතරක් නෙවෙයි අරගලය වෙනුවෙන් ජීවිතය පූජාකරපු පරපුරු දෙකක වටිනාකමට කෙළවපු එක. බොහෝදුරට වමේ ඉන්න එකාට තියන ලිංගිකත්ව අවශ්‍යතාවයටත් වඩා අවශ්‍යතාවයක් ඇරියස් එක්කම තියනවා වමේ ඉඳන් දකුණට පනින එකාට. අන්න ඒ ඇරියස් පියවීම ගැනත් මේ හරහා කතාවෙනවා.

    පුනරුදයට වගේම රුසියානු විප්ලවයටත් මූලික වෙන්නේ නාට්‍ය,කතිකාවත් ඇතුලු කලාත්මක ප්‍රවේශයන්. මේ වගේ කාලයක මෙවැනි නාට්‍යයක් හරහා සායක්කාර බලාපොරොත්තුවෙන්නෙත් ඒ වගේ සමාජ විප්ලවයක්ද, මේ වගේ තාක්ෂණික යුගයක එහෙම දෙයක් සිද්ධ වේවිද?

    සමාජ විප්ලවය කියන්නේ අපේ ප්‍රාර්ථනයක්, ඒ වෙනුවෙන් අපි වෙහෙසෙනවා. ඒත් එවැනි විප්ලවයක් වෙනුවෙන් කැපවෙන පිරිසකට රැඳෙන්න කඳවුරක් නෑ. එවැනි කඳවුරක් නිර්මාණය නොවෙන්නේ ඇයිද කියලා තේරෙන්නෙත් නෑ. මේ සමාජය සම්බන්ධයෙන් මගේ තියන විවේචනය, විග්‍රහය සිදුකරන්න ප්‍රාග්ධනය හැමතැනදිම හරස් වෙනවා. ඒත් නාට්‍ය කියන තැනදි එහෙම බාධාවක් එන්නේ නෑ. අන්න ඒ නිසයි මම ඒ ප්‍රවේශය තෝරගන්නේ. ඒ ප්‍රවේශය එක්ක මිනිස්සු අතරේ සංවාදයක් බිහිවේවි කියලා විශ්වාසයක් මට තියනවා.

    එහෙම සංවාදයක් මිනිස්සු අතරේ බිහිවුණා කියමු, ඊට පස්සේ?

    ඒ සංවාදය දිගට යායුතුයි වගේම එය පොළවට ගෙන ආ යුතුයි. මහා පරිමාණයේ සමාජ අරගලයක් සිද්ධවෙන තුරු මේ කුඩා කණ්ඩායම් සහ කල්ලි වශයෙන් මේ සංවාදය යායුතුයි. අර කියන අරගලය බිහිවෙනකල් කියලා බලාගෙන ඉන්න බෑ. හැබැයි කේවල ප්‍රයත්නයන් කියන එක විතරක් මදි, විශාල කණ්ඩායමක, කඳවුරක මැදිහත්වීම මේ සඳහා අවශ්‍යයි.

    ඔබ මේ නාට්‍යයේ අදහස ඔලුවට අරගෙන සමහරවිට ඔබේ බුද්ධිමය සබඳතා එක්ක මේ ගැන අදහස් හුවමාරු කරගන්න ඇති, ඔවුන්ගේ අදහස වුනේ මොකක්ද මේ නාට්‍ය ගැන?

    සාමාන්‍යයෙන් මම එවැනි දේ ගැන එක්තරා විදිහකට හිතුවක්කාරයි, මොකද මගේ ඔලුවේ බිහිවෙන කතාව තියෙන්නේ මගේ ලඟ. ඒ නිසා මට අවශ්‍ය වෙන්නේ ඒ කතාව නිර්මාණයක් විදිහට මැවීමයි. එතනදි මාත් එක්ක වැඩකරන කණ්ඩායමේ අදහස් කියන දේ තේමාවට එක්කරගැනීමක් වෙන්නේ නෑ, හැබැයි වෙනත් තාක්ෂණික හෝ අවබෝධය අඩු ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මේ නිර්මාණයට දායකත්වයක් හෝ අදහසක් අවශ්‍ය වෙලාවට මම ඒ දේ ලබාගන්නවා.

    මට මේ නාට්‍ය ගැන උපකල්පන දෙකක් තියනවා. එකක් තමයි ‘වැඩිහිටියන්ට පමණයි‘ කියන ලේබලය හරහා ඔබේ කුලකය තුල නැති පිරිසක් මෙයට කැඳවාගැනීම, දෙවැන්න තමයි එවැනි පිරිසක් කැඳවාගැනීම හරහා ඔවුන්ගේ ඔලුවට මේ අවශ්‍ය පණිවිඩය එන්නත් කිරීම, මේ දෙකෙන් මොකක්ද නිවැරදි?

    ඇත්තටම ඒ දෙකම නෙවෙයි. මේ කතාව දානකොටම අපි දැනගෙන හිටියා මේකට වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවෙනවා. රැඟුම් පාලක මණ්ඩලයෙන් ලැබෙන්නේත් ඒ නිර්දේශයමයි. ඒ නිසා අපි දැනගෙන හිටියා මේක ළමයි එක්ක කරන්නත් බැහැ සහ ළමයි වගේ ඉන්න වැඩිහිටියන් එක්කත් මේක කරන්න බෑ කියලා. වාණිජමය අරමුණක් එක්ක කලානම් කරන්නේ වැඩිහිටියන්ට පමණක් නාට්‍යයක් නෙවෙයි. මොකද අර මම කලින් කියපු දුෂ්කරතා ටික එන නිසා කොළඹින් එළියට ගෙනියන්න අමාරුවීම එක්ක. අපි කැමතියි මේක වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදීම ගැන, මොකද අර බබාලා වගේ වැඩිහිටියන් එක්ක මේක කරන්න බෑ.

    ඔබ හිතනවද මේ ලේබලය එක්ක ඔබ අපේක්ෂා කරන සැබෑ පිරිස අතරට මේ නාට්‍ය ගෙනියන්න පුළුවන් කියලා?

    කොහොමත් නාට්‍ය ප්‍රේක්ෂකයින් ඉතාම සීමා සහිතයි. එළිමහන් සංගීත ප්‍රසංගයකට එන පිරිස සමානයි හෝ ඊටත් අඩුයි වසරකට නාට්‍ය නරඹන පිරිස. ඒ නිසා කෙහොමත් මේක බබාලා වගේ පිරිසක් අතරට ගෙනියන්න බෑ. එකපාරක් ශ්‍රීමත් සුමන නාට්‍යයේ තියන යට කලිසම පිටින් විතරක් ඉන්න ජවනිකාවක් එද්දි පිරිසක් නැගිටලා ගියා, ඒ විතරක් නෙවෙයි එළියේ අපිට පහර දෙන්නත් හිටියා. ඒ නිසා මේක බලන්න එන අයටත් කියන්නේ මේකේ කිසිම හෙළුවැල්ලක් නෑ, හෙලුවෙන් ඉන්න ජවනිකා බලන්න බලාගෙනනම් මේකට ඇවිත් වැඩක් නෑ. මේකේ තියන විග්‍රහය දැනගන්න කැමති පිරිස විතරක් එන්න.

    පාසල් වේදිකාවෙන් බිහිවුණු අසංක සායක්කාර දශක ගණනාවක් තිස්සේ මේ කලාව එක්ක ඉන්නවා. නිර්මාණ ගණනාවක් කෙරෙනවා, ඒවාට සක්‍රීයව දායක වෙනවා. ඒ අතරේ මේ පවතින කලාවේ ගමන සම්බන්ධයෙන් ඔබට විවේචනයක් තිබෙනවද?

    89-90 න් පස්සේ වේදිකා නාට්‍යයට තියන සක්‍රීය ප්‍රේක්ෂකාගාරය පලායනවා. අද මට පේන විදිහට නාට්‍ය කරන පාර්ශව තුනක් ඉන්නවා. අධ්‍යයන අපේක්ෂාවෙන්, දුවන නාට්‍ය සහ ඇඟේ උණට නාට්‍ය කරන අය ඉන්නවා. මේ තුන මුහුවුණේ නැත්නම් මේක ගොඩගන්න බෑ. අපිට තියෙන්නේ උණට නාට්‍ය කරන එක, එතනට ශාස්ත්‍රීය අධ්‍යන වටපිටාව සහ දුවන නාට්‍ය බිහිකිරීම කියන එක එකතුවුනොත් සාර්ථකයි. ඒ නිසා අද නාට්‍ය බිහිකරන තරුණ නිර්මාණකරුවන්ගේ තියන අවුල තමයි ඔවුන්ට හොඳ නිර්මාණ ආකෘතියක් තිබෙනවා, ඒත් ඔවුන්ගේ නිර්මාණ තුල තියන දේශපාලනය නිරවුල් නෑ, ඔවුන්ට ඒකට අවශ්‍ය සමාජ ඥානය නෑ. හැබැයි මේ තුනම ඔවුන් එක්කර ගත්තොත් ඔවුන් බොහොම සාර්ථක වේවි.

    පවතින විවෘත ආර්ථික රටාව ඇතුලේ ධනය හෝ විවිධ අරමුණු පස්සේ පන්නන පොදු මනුස්සයේකට ඇයි ඔබ කතාකරන්නේ ඇවිත් ‘මම කෙලින් මිනිහෙක්‘ බලන්න කියලා?

    අන්න ඒ පන්නන පැන්නිල්ලම තමයි ඒ මිනිසා තේරුම්ගන්න ඕන. ඔහු තේරුම්ගන්න ඕන තමන්ගේ දේශපාලන තලය තේරුම්ගත යුතුයි. ඔහුට නොදැනෙන දේශපාලන යථාර්ථය තේරුම්ගන්න ඕන. ඒ හරහා පුරවැසියා ශක්තිමත් කරන්න ඕන. මේක 225 කට බයවෙච්චි කෝටි 2 ක් ඉන්න රටක්නේ. ඒත් ඒක නෙවෙයිනේ වෙන්න ඕන. අපි මේ හරහා බලාපොරොත්තුවෙන්නේ අන්න අර පොදු මිනිසාට අවශ්‍ය ඥානය සම්ප්‍රේශණය කරන්න. ඒ හරහා දශමයක් හරි ඔහු හිතන්න සහ සංවාදයකට පොළඹවන්නයි වුවමනාව.

    මේ නාට්‍ය හරහා ඔබ ඔබේ නිර්මාණකරණයට එක්කරපු විශේෂතා මොනවද?

    පුළුවන් තරම් උත්සහ කලේ මේක realistic නාට්‍යයක් විදිහට කරන්න. පැය එකහමාරක කාලයක් ඇතුලේ හෝටල් කාමරයක සිද්ධවෙන දේවල් තමයි මේ හරහා ගෙන්නේ. ඒ වගේ කාලයක් තුල එවැනි තැනක සිද්ධවෙන දේ පුළුවන් තරම් යථාර්ථවත් විදිහට ප්‍රේක්ෂකයා අතරට ගේන්නයි උත්සහ කලේ.

    නාට්‍ය කියන්නේ ඔබේ කලාව ඇතුලේ එක පැතිකඩක් විතරයි. ඔබ සෑහෙන්න ලියන කියවන මනුස්සයෙක්. අද ලංකාවේ සාහිත්‍ය සම්බන්ධයෙන් තියන ඇල්මැරුණු ස්වභාවයට හේතුව ගැන ඔබේ අදහස මොකක්ද?

    ප්‍රධාන වශයෙන් සාහිත්‍ය භුක්ති විඳින්න දන්නේ නැතිකම සහ අපි එය ප්‍රදානය කරන විදිහයි. පරිභෝජනවාදී සමාජයක ගොදුරු වුනු මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයේ මෙවලම් මිලට ගතහැකි අවස්ථාව කපාහරිනවා. හැබැයි පරිභෝජනවාදයේ ගොදුරු නොවීම ඇතුලේ කාගෙන් හරි ඉල්ලාගෙන හරි සංස්කෘතික ජීවිතය භුක්තිවිඳීමට පෙළඹෙන පිරිසක් අවශ්‍යයි. ඒ නිසා ජීවිතේ හදාගන්න ලයිස්තුව මිසක සංස්කෘතික ජීවිතයකට ඉඩකඩ වෙන්කරගන්නවා අඩුයි. අන්න ඒක තමයි පාලකයා ගේම ගහන්න මෙවලමක් කරගෙන තියෙන්නේ. මාක්ස් කියනවා වගේ සංස්කෘතියා ධනපතියා සතුයි, නිර්ධන පන්තිය විප්ලවයකින් සංස්කෘතිය අත්පත්කරගත යුතුයි.

    යම් හෙයකින් අසංක සායක්කාර බලාපොරොත්තුවෙන මුඛ්‍ය අරමුණ මේ නාට්‍ය හරහා ලඟාවීම සිදුවුණොත් ඔබේ ඊළඟ පියවර එහෙම නැතිනම් අනෙත් පැත්තෙන් Plan B එක මොකක් වේවිද?

    මම සාමාන්‍යයෙන් මේ ජීවත්වෙන වෙලාවේ දැනෙන හැඟීමට නිර්මාණ හදනවා, ඊළඟට මොකද වෙන්නෙ කියන එක ගැන හිතන්නේ නෑ. ‘තමන් ජීවත්වෙන සමාජයේ දැනෙන දේවල්වලට නිර්මාණ නොකිරීමෙන් පලක් නෑ‘ කියනවා වගේ මට මේ දැන් දැනෙන දේ වෙනුවෙන් නිර්මාණ කරනවා. ඊළඟට කරන නාට්‍ය ගැන අදහසක් නෑ, ඒත් මේ දක්වා කරපු නාට්‍ය ටික එකතු කරලා පුංචි නාට්‍ය උළෙලක් කිරීමේ බලාපොරොත්තුව තියනවා. මොකද සමාජයට කියන්න එක දෙයක් තියනවා අපිට. ඒ තමයි මේ සිස්ටම් එතේ තියන අවුල සහ ඒක ගැන විවේචනය. ඒක දශක ගාණක් තිස්සේ වෙනස් වුනේ නෑ. ඒ නිසා අපේ නාට්‍ය හරහා කෙරුණු අදහස් දැක්වීම් එකතුවක් සමාජයට පෙන්වන්න එතනදි බලාපොරොත්තු වෙනවා.

    ජුනි 15-16 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් එකේදි මේ නාට්‍ය එළියට ආවට පස්සේ එතනින් එහාට මතුවෙන කතාබහේදි අර පොදු නිර්මාණකරුවන්ගේ පිළිවෙත වෙන තමන් නිහඬතාවය දැරීමේ සහ රසිකයාට කතා කරන්නට දීමේ ප්‍රතිපත්තියට ඔබත් යනවද?

    අවශ්‍ය තැනදි අදහස් දැක්වීමට එකතු වෙන්න වෙනවා. නිර්මාණය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයාගේ තිබෙන විවේචනයට මම මැදිහත් වෙන්නේ නෑ, ඒත් නිර්මාණය සම්බන්ධයෙන් මතුකරන ප්‍රශ්නයකදි, ඒ කියන්නේ ඇයි මේ වගේ නිර්මාණයක් කලේ කියන කාරණය සම්බන්ධයෙන් හරි මගෙන් ප්‍රශ්න කලොත් ඒකට සක්‍රීයව මැදිහත් වෙනවා.

    උපුටා ගැනීම - www.her.lk