ගමේ ගොඩේ ගෙවුණ ළමා කාලයක් තියෙන අයට මේ සතා මග ඇරෙන්න නම් විදියක් නෑ.අපේ භාෂාවෙන් මූව හඳුන්වන්නේ බිංකුණ්ඩා කියලා.වැලි සහිත පොලොවක පතල් හාරන්න දස්සයෙක් මූ.බිංකුණ්ඩාගේ ඉංග්‍රීසි නම වෙන්න ඇන්ට්ලයන්.මේ සත්වයා වැඩිපුරම හම්බ වෙන්නේ නිවර්තන කලාපයේ රටවලින්.මුන්ගේ පතල් දකින්න ලැබෙන්නේ වැල්ලේ විතරක් නෙමෙයි.වියලි හාරන්න ලේසි ඕනම තැනක ඉන්නවා.හාරන්න ලේසි කිව්වේ වැලි වගේ ස්ඵටිකම ගතිය තියෙන මාධ්‍යයක්.ලී කුඩු,ගුල්ලෝ ගහල ලී වලින් හැලෙන කුඩු වගේ දේවල් වුනත් මේ වැඩේට හොඳයි.
මේ තියෙන්නෙ බිංකුණ්ඩෝ හාරපු පතල්.මේවා කූඹින්ට මර උගුල්.
බිංකුණ්ඩා ඇත්තම කෘමියෙක්.ඌ ඇවිල්ලා එක්තරා කෘමියෙක්ගේ කීට අවස්ථාවක්.සාමාන්‍යයෙන් සමනළයෙක්,මදුරුවෙක් වගේ සතෙක් උදාහරණයකට ගන්නකෝ.අපි උන්ගේ ජීවන චක්‍රයේ අවස්ථා දැකලා තියෙනවානේ.මදුරු කීටයෝ ඔය වතුර පිරුණු භාජනවල ඕන තරම් ඉන්නේ..කොළ කන දළඹුවෝ තමයි සමනළුන්ගේ කීට අවස්ථාව.
මේ ඉන්නේ බිංකුන්ඩා.මුගේ සුහුඹුල් සතා Myrmeleontidae කියන කෘමි පවුලේ කෘමියෙක්
බිංකුණ්ඩත් ඔය කිව්වා වගේ කෘමියෙක්ගේ කීට අවස්ථාවක්.සමහරු මේක පළවෙනි වතාවට වෙන්න ඇති අහන්නේ.බිංකුණ්ඩාගේ සුහුඹුල් සතා සමහර විට ඔයාලා දැකලත් ඇති.රෑට ගෙවල්වල බිත්ති වල හැපි හැපි පියාඹන කෘමියෙක් දැකලා තියෙනවා.පහල රූපයේ ඉන්නවා වගේ එකෙක්.මූ මේ බත් කූරෙක් නේ කියලා සමහරු කියයි.ඒත් ඔය සුහුඹුල් සතා ටිකක් ළඟින් බැලුවොත් පෙනෙයි බත් කූරෙකුට වඩා වෙනස් කියලා.
බිංකුන්ඩාගේ සුහුඹුලා
බත් කූරයි,බිංකුන්ඩාගේ සුහුඹුලයි පටලෝ ගන්න එපා.බත් කූරා එක්ක අහසෙදී හැරෙන්න වත් බෑ බිංකුන්ඩාගේ සුහුඹුලාට.ඇන්ටෙනා දිහා බලන්න.ඒවා හුගක් දිගයි,කෙළවර රවුම් .අනිත් වෙනස තියෙන්නේ පියාපත් වල.
බිංකුණ්ඩාගේ සුහුඹුලා අපිට සුලභව දකින්න ලැබෙන්නේ නැති නිසා ඌ එච්චර ප්‍රසිද්ධ නෑ.හේතුව තමයි ඌ නිශාචර සතෙක්.අනික ඌගේ ජීවිත කාලය හරි කෙටි එකක්.අපි ඌගේ කීට අවස්ථාව මේ තරම් දන්නේ ඌ දඩයම් කරන විදිය නිසා.
කීටයා හුගක් වෙලාවට කූඹි දඩයම් කරන නිසා තමයි ඌට ඇන්ට්ලයින් කියන නම වැටිලා තියෙන්නේ.
කීටයට කෑමක් නැතිව මාස ගානක් වුනත් ජීවත් වෙන්න පුලුවන්.මුන් කොච්චර කෑම කෑවත් මළපහ නම් කරන්නේ නෑ.
බිංකුණ්ඩා කියන්නේ රැක සිට පහර දෙන විලෝපිකයෙක්.මූට කකුල් හයක් තියෙනවා.ඔලුව පැතලියි.ඒක හේතුව උගේ උගුල,එහෙම නැත්නම් වළ හාරන්න පාවිච්චි කරන්නේ මේ සවලක් වගේ පැතලි හිස වීම.ඔලුවෙන් තමයි වලේ මැද ඉදලා එලියට වැලි විසි කරන්නේ.
මේ තියෙන්නේ බිංකුන්ඩාගේ ඔලුවේ ඉලෙට්‍රෝන පරිලෝකන අන්වීක්ෂ ඡායාරූපයක්
වල හාරන්න බිංකුණ්ඩා පාවිච්චි කරන්නේ උගේ පස්ස පැත්ත.පස්සෙන් පස්සට යමින් පස්සා පැත්ත නගුල් වගේ පාවිච්චි කරමින් තමයි වැල්ලේ ගැඹුරට ගමන් කරන්නේ.ඉන්පස්සේ තමයි සවලක් වගේ හිස පාවිච්චි කරලා වැලි එලියට විසි කරමින් පූනීලයක හැඩයක් තියෙන වල කැණීම පටන් ගන්නවා.
මේ පෝටෝ එකෙන් බලා ගන්න පුලුවන් බිංකුන්ඩාගේ සවල් හිස.
වලේ පුනීල හැඩය නිසා තමයි ඒකට වැටෙන සතෙකුට ලේසියෙන් එලියට එන්න බැරි වෙන්නේ.ඉවක් බවක් නැතුව හැමතැනම දුවන කූඹි තමයි හුගක් වෙලාවට මේ උගුල්වලට අහු වෙලා අවසන් ගමන් යන්නේ.
වල හාර ගත්තට පස්සේ බිංකුණ්ඩා ගැඹුරටම ගිහින් ඔලුව ඉහලට එන විදියට හරි බරි ගැහිලා ගොදුරක් එන තුරු බලා ඉන්නවා.වැලි යට ඉද්දී කොහොමද මූ සතෙක් වැටුණානොත් දැන ගන්නේ? මොකද වැලි යට ඉද්දී ඇස් පේන එකක් යැ.මේ වැඩේට හරියන භාණ්ඩයකුත් ඌ ගාව තියෙනවා.ඔලුවේ තියෙන ඇන්ටෙනාවලින් තමයි කම්පන/චලන ග්‍රහණය කර ගන්නේ.
ඇන්ටනා(1) ඇස්(2) හකු(3)
කූඹියෙක් වගේ සතෙක් වැටුණු ගමන් ඌ දැනගන්නවා ඉතින්.කූඹියා කොහොම හරි ගොඩ යන්න බලනවා.ඒත් පුනීල හැඩය නිසා වැලිත් එක්කම කූඹිය පහලටමයි රූටාගෙන එන්නේ.වලේ මුලටම ආවාම බිංකුණ්ඩා ක්‍රියාත්මක වෙනවා.ඌ කූඹියව අල්ල ගන්නේ හකුවලින්.
ඌ ඉන්නේ මේ විදියට වලේ පැත්තකට වෙන්න.
බිංකුණ්ඩට තියෙන්නේ දැකැති වගේ විශාල හකු දෙකක්.මේ හකු හිසට සම්බන්ධ වෙන්න කිට්ටුව ඒවායේ දත් වගේ කොටස් දකින්න ලැබෙනවා.ඒවා මගින් හකුවලට රළු ස්වභාවයක් ලැබෙනවා වගේම ගොදුරට ලේසියෙන් ගැලවී යෑමට නොහැකි විදියට ග්‍රහණය කර ගන්නත් හැකි වෙනවා.ගොදුරක් අහු වුනාම ඌ කරන්නේ හකුවලින් ග්‍රහණය කරගෙන,ඇගට විෂක් ඇතුල් කරන එක.මේ විෂෙන් ගොදුරු වෙන සතාගේ දැගලිල්ල අඩු කරනවා.
කොහොමද ඉතින් බිංකුණ්ඩා අල්ල ගන්න ගොදුර කන්නේ? බත් කූරෙක්,වන්දෙක් වගේ අහුවෙන සතා සම්පූර්ණයෙන්ම කා දමන්නේ නෑ.සතාගේ ඇගට විෂ එක්ක එන්සයිම් ඇතුල් කරලා ඇතුලේ තියෙන අවයව ආදිය දියරයක් එහෙම නැත්නම් සුප් එකක් බවට හරවගෙන උරා බොන එක මූ කරනවා කියන්නේ.
කෘමි සත්තු ගත්තම ඇගේ හැටියට නෙමෙයි නේ උන්ගේ වැඩ.කූඹියෙක් ගත්තත් ඌට පුලුවන් තමන් වගේ කිහිප ගුණයක් බර දෙයක් උස්සගෙන යන්න.බිංකුණ්ඩටත් මේ හැකියාව තියෙනවා.ඒ කියන්නේ ඌත් පුලුවන් ප්‍රමාණයෙන් විශාල ගොදුරක් අල්ල ගන්න.මේකට හරියන්න ඌට විශාල හකු වගේම ඇගේ තියෙන කෙදි වගේ රෝම උදව් වෙනවා.වැලි යට ඉද්දී මේ රෝම වැලි එක්ක ගැටිලා තියෙන හින්දා ඝර්ෂණය වැඩි කරනවා.ඒකෙන් ලොකු ගොදුරක් වුනත් ආන් බාන් කර ගන්න ලේසි වෙනවා.මොකද අර රෝම හරහා ඇති කරන ඝර්ෂණ බලයෙන් ගොදුරු වෙන සතා ගැලවිලා යන්න යොද ශක්තිය මැඩපැවැත්විය හැකි බලයක් ලබා දෙනවා.
පේනවානේ ඇග පුරාම තියෙන රෝම තොගය
කූඹියක් මේ වලට වැටිලා පත්ලට ලෙස්සලා ආවේ නැත්නම් මොකද වෙන්නේ.ඒකට බිංකුණ්ඩා ගාව උපක්‍රමයක් තියෙනවා.කූඹියෙක් මේ වලේ මුදුන ආසන්නයේ එලියට යන්න දගලද්දී සහ පෙරළිලා එන වැලි කැට නිසා ඇති වෙන කම්පන තරංග බිංකුණ්ඩාගේ ඇන්ටෙනා වලට දැනෙනවා.එතකොටම ඌ ක්‍රියාත්මක වෙනවා.ඌ සවලක් වගේ තියෙන හිස පාවිච්චි කරලා කුඹියා දිහාවට වැලි විදින්න පටන් ගන්නවා.වැලි කැට වැදිලි කූඹියා අන්දමන්ද වෙනවා.බිංකුණ්ඩගේ සවල් ප්‍රහාර කොච්චර ප්‍රබලද කියනවා නම්,කූඹියා වල ඇතුලේ පාපන්දුවක් බවට පත් වෙනවා.
වැලි විදිල්ල හින්දායි වලේ පුනීල හැඩය හින්දයි,වැලිත් එක්කම කූඹිය වල පතුලට රූටා යනවා.අන්තිම පත්ලේ ඉන්න බිංකුණ්ඩාගේ මාරක හකුවලට අහුවෙලා වැලි අතරේ නොපෙනී යනවා.
සාරය උරා බිව්වට පස්සේ බිංකුණ්ඩා මළ සිරුරුවලට මොකද කරන්නේ.මුන්ගේ වලවල් ලග ටිකක් විපරමින් කලොත් උත්තරය හොයාගන්න පුලුවන්.ඉතුරු වෙන රොඩ්ඩ වල ඇතුලේ තියාගත්තොත් බිංකුණ්ඩාට කරදරයි.ඉතින් ඌ කරන්නේ මළ සිරුරු වලෙන් එලියට විසි කරන එක.
මෙච්චර වෙලා කතා කරපු හුගක් දේවල් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුලුවන්.
අලි මිනිස්සුන්ව හොඩවැලට අරන් පොලොවේ ගහනවා දැකලා තියෙනවද? ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දුන්නොත් නොමැරී බේරෙනවා බොරු.සමහර වෙලාවට බිංකුණ්ඩත් මේ වගේ හැසිරෙනවා.ඔව්.ඌ කුඹියෙක් හකුවලට අහු වුනාම පොලොවේ ගහනවා.බීබීසී අර්ත් චැනල් එකේ මේ වගේ සිදුවීමක් අපූරුව පසුබිම් කථනයකුත් එක්ක ඉදිරිපත් කරලා තියෙනවා.ඔය තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප් එක.