විකිණීමට-යන-ඔබේ-ඉඩම....

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    විකිණීමට යන ඔබේ ඉඩමට හිමි නියම වටිනාකම ලබාගන්න මේ උපදෙස් පිළිපදින්න....


    පසුගිය ලිපියකින් ඉඩමක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු අපි ඔබට ගෙන ආවා අපේ අනිවා හිතවතුන්ට මතක ඇති. අද අපි කියන්න යන්නේ ඉඩමක් විකිණීමේදී ඔබට වාසිදායක විය හැකි කරුණු කිහිපයක් ගැනයි.

    මුදල් අවශ්‍යතාවයකට හෝ වෙනයම් ආයෝජනයක් සඳහා මුදලක් යොදවන්න හෝ සමහර වෙලාවට අපිට අපේ ඉඩමක් විකුණන්න වෙන අවස්ථා උදාවෙනව. බහුතරයක් ඉඩම් ගන්න එන පුද්ගලයන් බලන්නෙ කොහොම හරි ඉඩමේ වටිනාකම හෑල්ලු කරල කුණුකොල්ලයට ඉඩම මිලදී ගන්නයි. ඒ අතරතුර සමහර ඉඩම් විකුණන ආයතන වල උප්පරවැට්ටි වලටත් ඔබව අහුවෙන්න ඉඩ තියනව.

    ඉතින් අපේ හිතවතුන්ට අපි මේ කියන්න යන්නෙ එහෙම කපටිකම් වලිනුත් ආරක්ෂා වෙලා තමන්ගෙ විකුණන්න යන ඉඩමට හොඳ වටිනාකමක් ලබාගන්න පොඩි උපදෙස් ටිකකුයි.



    1. විකුණන්නේ කාටද?

    SellingLand-01.jpg


    ඉඩමක් විකුණද්දී මිලදී ගන්න එන පුද්ගලයාට ඒකෙ වටිනාකම නියම ආකාරයට දැනෙන්න සලස්වන එක හරිම වටිනවා. ඒ සඳහා ඔබ තීරණය කරන්න ඕනෙ ඉඩම පිහිටලා තියන ප්‍රදේශය අනුව ඔබ ඉලක්ක කරගත යුතු ගැණුම්කරුවන් කවුද කියන එක. ඒක ඉඩම ගැන ප්‍රචාරණයෙදි ඉතා වටිනවා.

    ඉඩම නිස්කලංක පරිසරයක හරි ජනාකීර්ණ නගරයකට ආසන්න ස්ථානයක පිහිටලා තියනවනම් ඔබට පුලුවන් නිවසක් හදාගෙන පදිංචි වෙන්න හිතන අය ඉලක්ක කරගන්න. නිස්කලංක බව හෝ නාගරික පහසුකම් වලට කැමති අයට ඔබේ ඉඩමට හිත යාවි.
    නගරයට ආසන්න පාසැල්, කර්මාන්ත ශාලා, මහපාරක් හෝ ව්‍යාපාරික ස්ථාන වලට ආසන්න තැනක් නම් ඔබට පුලුවන් ව්‍යාපාරයක් සඳහා ඉඩමක් සොයන අයව ඉලක්ක කරගන්න.



    2. ඉඩමේ නීත්‍යානුකූල භාවය.

    SellingLand-02.jpg


    ඊළඟට කරන්න ඕනෙ දේ තමයි ඉඩමේ හිමිකාරීත්වය ගැන සාක්ෂි සපයන ලියකියවිලි සූදානම් කර ගැනීම. ඉඩමේ සැලසුම් ප්‍රාදේශීය සභාවේ සම්මත වී නැත්නම් ඒ කටයුතු සම්පූර්ණ කරගන්න. ඔප්පු තිරප්පු පිටපත් සහ පැරණි ලියකියවිලි සූදානම් කරගත යුතු වෙනවා. වීදි රේඛා සහතික සහ නොපවරාගැනීමේ සහතික ප්‍රාදේශීය සභාව මඟින් ලබාගැනීමත් කල යුතු වෙනවා. ඉඩමට අයත් හිඟ වරිපනම් ආදිය ගෙවන්නට තිබේනම් ඒවාත් ගෙවා දැමිය යුතුයි.


    3. ලියකියවිලි ආරක්ෂා කරගන්න, ඉඩම ආරක්ෂා කරගන්න.


    SellingLand-03.jpg


    අවශ්‍ය මොහොතේදී හැර අනෙකුත් අවස්ථාවලදී ඔබේ ඔප්පු තිරප්පු ආදී ලියකියවිලි අන්‍යයන් අතට පත් නොකරන්න වග බලාගන්න. විශේෂයෙන් බ්‍රෝකරුවරුන් ඔබෙන් ඔප්පු පිටපත් ඉල්ලාවි. එවිට ඒ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කර නියම ගැණුම්කරුවා මුණගැසීමට ඉල්ලා සිටින්න. වටිනා ලියකියවිලි අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීමෙන් ඉඩමේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකි බව සිහිතබාගතයුතුයි.

    ඉඩම විකුණන තුරු කේවියට් තහනමක් මගින් ඉඩමේ ආරක්ෂාව තර කරගැනීමට ඔබට පුලුවන්. එවිට කිසියම් වෙනත් පුද්ගලයෙක් ඔබේ ඉඩම සම්බන්ධ කර ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කලොත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය මගින් ඔබට දැනුම් දීමක් ලැබේවි.



    4. ඉඩමේ පෙනුම.

    SellingLand-04.jpg


    සමහරු කරන්නේ මුලු ඉඩමම බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මුඩු බිමක් බවට පත් කරන එක. අපිනම් එය එතරම් අනුමත කරන්නේ නෑ. අණතුරුදායක නොවන විශාල සෙවන ගස් සහිත ඉඩමක් නම් එවැනි ගස් ඉතුරු කර වල් පැළෑටි කටු පඳුරු ආදිය සුද්ධ කිරීම වඩාත් උචිතයි. ඉඩම බැලීමට පැමිණෙන අයට කැළෑරොදකට ඇතුලු වනවා වැනි හැඟීමක් ඇති නොකර ඉඩමේ ඉඩකඩ සහ මායිම් පැහැදිළිව බලාගත හැකි ආකාරයට ඉඩම සකස් කොට තිබීම වැදගත් වනවා. මායිම් කණු ආදිය කැඩී බිඳී ඇත්නම් ඒවා පිළිසකර කිරීමද කළ යුතුයි.


    5. ඉඩම ගැන ප්‍රචාරණය.

    SellingLand-05.jpg


    ප්‍රචාරණය කියන්නේ ඕනෑම දෙයක් විකිණීමට මූලිකවම ඉවහල් කරගතයුතු කාරණයක්. ඉඩමකට උනත් එය අදාලයි.
    පළමු කරුණ මඟින් අපි පැහැදිලි කල දේවල් අනුව සුදුසු ගැණුම්කරුවන් ඉලක්ක කරගෙන හොඳ ප්‍රචාරණයක් දියත් කළ යුතු වනවා. සති අන්ත පුවත් පත් සමඟ එන හිට් ඇඩ්ස්, ලහිපිට වගේ දැන්වීම් කොටස් වල ඔබට පහසුවෙන්ම තමන්ගේ දැන්වීම පල කරගන්න පුළුවන් වගේම Ikman, Lankapropertyweb, Lamudi, HitAd වැනි වෙබ් අඩවි මාර්ගයෙන්ද ඔබට ඉඩමේ දැන්වීමක් ප්‍රචාරණය කල හැකියි. ඔබේ දුරකථන අංකය යෙදූ දැන්වීමක් ඉඩමේ එල්ලන්නටද පුලුවන්.

    ඉඩම ගැන ප්‍රචාරණයෙන් පස්සෙ ඔබට තවත් අපූරු වෘත්තිකයින් පිරිසක් මුණ ගැසෙන්නට අවස්ථාව ලැබේවි. ඒ අය ගැන මීලඟ කරුණ යටතේ ඔබට කියවිය හැකියි.



    6. බ්‍රෝකර්වරු.

    SellingLand-06.jpg


    ඉඩමක් විකිණීමේදී ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් තමයි මේ. සමහර හොඳ බ්‍රෝකර්ලට පුලුවන් එයාලගෙ ගැනුම්කරුවන් මගින් ඔබේ ඉඩමට ඉතා වාසිදායක වටිනාකමක් ලබාදෙන්න. ඒ වගේම ඉඩමේ තියන වටිනාකමත් නැති කරල ඉඩම හෑල්ලුවට අපකීර්තියට ලක්කරන්න තරම් මේ අය භයානක වෙන අවස්ථාත් තිබෙනවා.

    බ්‍රෝකර්වරුන්ගේ සේවය අවශ්‍ය නැතැයි ඔබ සිතනවානම් දැන්වීම් යොදද්දී ඒ බව සඳහන් කිරීම වටිනවා. ඊට අමතරව ඉඩම ගැන විමසලා එන ඇමතුම් වලදී අමතන පුද්ගලයින් නියම ගැණුම්කරුද නැතිනම් බ්‍රෝකර්වරයෙක්ද යන්න විමසන්න මතක තබාගන්න.

    බ්‍රෝකර්වරයෙකුගේ සේවය ලබාගන්නවානම් ඔහුගේ කොමිස් මුදල සහ ඔබ විකිණීමට බලාපොරොත්තු වන මුදල ගැන පැහැදිලි ස්ථාවරයකට පැමිණීම වැදගත් වනවා. ඊට අමතරව ඔබ බ්‍රෝකර්වරයා ගැන සොයා බැලීම වැදගත්. ඔහු වෙන කෙනෙක් යටතේ සේවය කරනවාද? නැතිනම් යම් කිසි ආයතනයක් නියෝජනය කරනවාද? එසේ නම් ඔවුන් සමඟ කෙලින්ම කතා කිරීමට අවශ්‍ය බව පවසන්න.

    ඔවුන් අනවශ්‍ය ලියකිවිලි ඉල්ලනවා නම් වඩාත් සැලකිලිමත් වෙන්න. ඉඩමේ විකිණීමට කොහෙත්ම අදාල නොවන ඇතැම් වටිනා ලියවිලි ඔවුන් ඉල්ලා සිටින අවස්ථා බහුලයි.



    7. ලෑන්ඩ් සේල්.


    SellingLand-07.jpg


    රටපුරා දැන්නම් ලෑන්ඩ්සේල් වැහි වැහැලා. හතු පිපෙනවා වගේ මේ ආයතන මතුවෙනවා ආයෙ සැඟවී යනවා. ඉතාම ප්‍රවේසමෙන් ගණුදෙනු කලයුතු පිරිසක් තමයි මේ ඉඩම් විකිණීමේ ආයතන.

    බහුතරයක් ලෑන්ඩ් සේල් ආයතන මුලින් එන්නේ ඔබේ ඉඩමේ වටිනාකම ගැන ඒ අය එකඟය යැයි කියාගෙන. ඉතා ඉක්මනින් මේ ගණුදෙනුව සිදුවන බවටත් ඔවුන් පවසාවි. ඒත් ඔබ තරයේ සිහි තබාගතයුතු කරුණක් නම් මෙය බොහෝවිට ඔවුන්ගේ තවත් එක් වෙළඳ උපක්‍රමයක් විය හැකි බව.

    ඔබේ බලාපොරොත්තු දල්වලා ඔවුන්ගේ විවිධ ගිවිසුම් වලට ඔබේ අනුමැතිය ලබාගන්නට ඔවුන් උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන් සුලු මුදලක් මුලින් ගෙවා පසුව ඉතිරිය ගෙවීමට, එහෙමත් නැත්නම් මුලින් සුලු මුදලක් ගෙවා ඉඩම සංවර්ධනය කර විකුණා ඔබේ මුදල පියවීමට වැනි දේවලට.

    මේ වගේ උප්පරවැට්ටි වලට හසුවී අදටත් තමන්ගේ ඉඩමේ මුදල් නොලැබුණු අය බොහොමයක් සිටිනවා. ඒ නිසා හදිස්සිය නිසා අමාරුවේ නොවැටී මුලු මුදලම ගෙවන ලෙස ඉල්ලා සිටින්න. සරල විකුණුම් ගිවිසුමකට එහා ඔබට පැහැදිලි නැති යම් යම් කරුණු ගිවිසුමේ අඩංගු නම් ඒවාට එකඟ නොවී සරල විකිණුම් ගිවිසුමක් ඔබට විස්වාසවන්ත පලපුරුදු නීතීඥයෙකුගේ උපදෙස් ඇතුවසකසාගන්න.



    8. ඉඩමේ වටිනාකම තීරණය කිරීම.

    SellingLand-08.jpg


    ගණුදෙනු කතාකරගැනීමට පෙර ඉඩමේ වටිනාකම ගැන හරි තීරණයකට පැමිණීම වැදගත් කාරණයක්. සමහරු නියම වටිනාකමට වඩා ඉතා ඉහල පරතරයක් තියල වැඩි මිලක් ඉඩමේ වටිනාකම හැටියට යොදනව. අපේ අදහස නම් එය එතරම්ම සාර්ථක ක්‍රමයක් නොවන බවයි. සැබෑ ගැණුම්කරුවන්ගේ උනන්දුව නැති වෙන්න පුලුවන් ඉඩමට අසාධාරණ වටිනාකමක් යොදල තිබුණොත්.

    අහල පහල ඉඩම් වටිනාකම විමසීමෙන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ තක්සේරුකරුවෙක් මගින් ඔබට ඉඩමේ වටිනාකම පිළිබඳ අදහසකට එන්න පුලුවන් වේවි. එයට සුලු අගයක් වැඩි කරල ඉඩමේ විකුණුම් මිල හැටියට තීරණය කලාට වරදක් නැහැ.



    9. ගණුදෙනුකරුවන් හා කතාකිරීම.

    SellingLand-09.gif


    ඉඩමේ වාසිදායක දේවල් වගේම අවාසිදායක දේවල් ගැනත් දැනුවත්ව ඉන්න. ඉඩම මිලදී ගන්න එන පුද්ගලයින් ගණන් අඩුකරගැනීම පිණිස ඒ පිළිබඳ විමසුවොත් ඉඩමේ මිලගණන් තීරණය කලේ ඒ තත්ත්වයනුත් සලකා බලා බව පවසන්න.
    කොතරම් මුදල් අවශ්‍යතාවයක හෝ හදිස්සියකින් ඔබ හිටියත් ඒ බව අන්‍යයන්ට දැනගැනීමට ඉඩ හරින්න එපා. ඉඩම විකීණීමේ හදිස්සියක් නැති බවත් “ඉඩමේ වටිනාකමට සරිලන මුදලක් නොලැබුණොත් ඉඩම ඔහේ තිබෙන්න අරිනවා” වැනි අදහසක් ගණුදෙනුකරුවන්ට සන්නිවේදනය කරන්නට වග බලාගන්න. එසේ නැති වුවහොත් ඔබේ හදිසිය දැක ඔවුන් එය වාසියට හරවාගැනීමට ඉඩ තිබෙනවා.



    10. ඉවසීම.

    SellingLand-10.jpg


    අපේ ලැයිස්තුවේ අවසන් කාරණය ලෙසට සටහන් කලත් මෙය මුලින්ම එන්න ඕන කාරණයක් තරම් වැදගත් කමින් යුක්තයි.
    සමහරවිට ඔබ හිතන තරම් ඉක්මනට ඉඩම විකිණෙන්නේ නැති වෙන්න පුලුවන්. ගැණුම් කරුවන් ලෙස පැමිණෙන අය සහ බ්‍රෝකර් වරු ඉඩමේ අඩු ලුහුඩු කම් ගැන නිතර පවසා ඔබව අධෛර්යට පත් කරන්නත් බොහෝ ඉඩ තිබෙනවා. නමුත් මේ කාරණා නිසා ඔබ නියම කර තිබෙන වටිනාකම විශාල ලෙස අඩු කරමින් ඉඩම විකුණා ගන්න උත්සාහ ගන්න යන්න එපා. ඔබ විශ්වාසවන්තයැයි සිතෙන ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් ඉඩමේ මිල අඩු කලත් ඒ ආරංචිය අනිත් පාර්ශ්ව වලට දැනගන්න වැඩි කල් ගතවෙන්නේ නැහැ. ඉඩම් සම්බන්ධයෙන් ආරංචි පැතිරෙන ජාලාවන් ඒ තරම් ප්‍රබලයි. ඒ නිසා පරිස්සම් වන්න.

    සමහරු ඔබට කියාවි අඩු ගාණට විකුණලා බැංකුවේ තැන්පත් කලවිට ඔබ සිතන මුදල වසරකින් දෙකකින් ලැබේවි කියා. එවැනි කතාවලටත් රැවටෙන්නත් එපා.

    ඔබ නියම කර ඇත්තේ සාධාරණ මිලක් නම් ඉවසීම මඟින් කිසිදා ඔබට පාඩුවක් වෙන එකක් නෑ.


    Source: http://www.aniwa.lk/2016/04/02/10-tips-on-selling-your-land-at-the-perfect-price/


    දැන් ඉදන් ගහන්නේ +9 වලින්....

    good post Rep +
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,012
    113
    එල එල වටිනවා මචන්.අපෙත් ඉඩමක් ලඟදි විකුණන්න දාන්ඩ කියලා ඉන්නේ...තෑන්ක්ස්...
    You have given out too much
    Reputation in the last 24 hours,
    try again later.
     
    Last edited: