මේ පොටෝ එක දැක්කම එක පාරම මතක් වුණ වචනය. අද වුණත් මාලනී නැති වුණාම හැමෝම කතා කරන්නේ විජය-මාලනී ප්‍රේම වෘතාන්තය ගැන. එයාලගේ කෙමෙස්ට්‍රි එක ගැන. ඒ යුගය ගැන. මං හිතන්නේ ඒ හැමෝම අමතක කරනවා විජය අන්තිමට බැන්දේ චන්ද්‍රිකාව බව. මේ ඇවිල්ලා විජය,මාලනී, චන්ද්‍රිකාගේ ජීවිතවලට විතරක් නෙවෙයි, සමස්ත රටකටම බලපාපු කාරණාවක්.
විජය, මාලනීව අතෑරලා ගීතාව වගේ බැන්දා නං, එතන පොඩි හරි කනෙක්ෂන් එකක් හදාගන්න තිබුණා. ඒත් විජය බැන්දේ චන්ද්‍රිකාව. ඒක මුළු රටටම ඒ කාලේ සප්‍රයිස් එකක්.
පහුගිය කාලේ රවීන්ද්‍ර රන්දෙනියගේ පොත කරද්දි, රවීන්ද්‍ර කෙලින්ම කියපු කතාවක් මේත් එක්කම මතක් වුණා. මේක රවී පත්තරවලටත් කියලා තියෙනවා, ඒක නිසා මෙහෙම ලියන එක අවුලක් නෑ මම හිතන්නේ.
රවීන්ද්‍ර ඒ කාලේ කුමක් හෝ චිත්‍රපටියකට අනුරාධපුර පැත්තේ කැලයක් අස්සේ මාසයක් විතර තිස්සේ ශූටින් එකක ඉඳලා තියෙන්නේ. පිටත ලෝකයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබිලා නෑ. ඔය අතරේ හෙන අමාරුවෙන් රවීව හොයාගෙන කෙනෙක් ඇවිත් පණිවිඩයක් දීලා තියෙනවා, 'විජය උඹව හොයාගෙන මේ පණිවිඩය කොහොම හරි දෙන්න කිව්වා. විජය මාලනීව බඳිනවා. උඹට තමයි දෙවෙනි මනමාලයා විදියට කතා කරලා තියෙන්නේ' කියලා.
විජය රවීන්ද්‍ර කියන්නෙ කොහොමත් එක වයස්වල දෙන්නෙක්. දෙන්නා එක්තරා කාලෙක එකම ඉස්කෝලෙට පවා ගිහින් තියෙනවා (මතක විදියට බෙනඩික්ට් එක, රවී සයන්ස්, විජය ආර්ට්ස්). සහ දෙන්නම ඉන්ඩස්ට්‍රිය ඇතුළේ හොඳම යාලුවෝ. ඉතින් රවීන්ද්‍රට තමයි විජයගේ දෙවෙනි මනමාලයා විදියට කතා කරලා තියෙන්නේ.
රවීන්ද්‍රත් තකහනියේ ශූටින් මැද්දෙම අර කැලෙන් ඇවිල්ලා, වෙඩින් එක කියපු දවසට විජයගෙ කොළඹ ගෙදරට ගිහින්. රවී යද්දී මාලනී මගුල් ඇඳුමත් ඇඳං වාඩි වෙලා අවුලෙන් ඉන්නවලු. ගෙදර මිනිස්සුත් පොඩ්ඩක් අප්සට් එකේ ඉඳලා තියෙන්නේ. කොටින්ම එතන මගුල් ගෙයක ස්වාභාවයක් කොහෙත්ම තිබිලා නෑ. රවීන්ද්‍රත් සැකේට වගේ විජයට ලං කරලා අහලා තියෙනවා, 'මොන මගුලක්ද කර ගත්තේ' කියලා. පස්සේ බලද්දී විජයගේ අයියා එදා උදේ නැති වෙලා. (ජීවන්ගේ තාත්තා. අසනීපෙන් ඉඳලා තියෙන්නෙ ඒ වෙද්දිත්. කලින් දවසෙත් හොස්පිටල් එකට ගිහින් දෙන්නම ආශිර්වාද අරං ඇවිත්)
පස්සේ වෙඩින් එක පැත්තක දාලා එයාලා ඒ අවමංගල්‍ය කටයුතු කරලා තියෙනවා.
ඕක තමා Almost එක. විජය මාලනී දෙන්නා almost කසාද බඳින්න ගියා. අර මරණය තව වරුවක් ප්‍රමාද වුණා නම් ඒ දෙන්නා බඳිනවා. එහෙම වුණා නම් ඒ දෙන්නගේ ජීවිතය විතරක් නෙවෙයි, සමස්ත ලංකා ඉතිහාසයම වෙනස් වෙනවා.
චන්ද්‍රිකා ජනාධිපති නොවෙන්න තිබ්බා (චන්ද්‍රිකා දිනන්න ලොකු හේතුවක් විජයගෙ වයිෆ් වීම සහ විජයගෙ මරණය).
සමහරවිට විජය දිගටම ජීවත් වෙන්න තිබ්බා. ෆිල්ම්වලින් එළියට නොයන්න තිබ්බා.
කවුද දන්නෙ, සමහරවිට විජය ජනාධිපති වෙන්නත් තිබ්බා!
ඒත් ඒ කිසි දෙයක් ඒ විදියට වුණේ නෑ. දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!
- Ruwishan Vimukthi
( උපුටා ගැනීමකි )
විජය රටේ ජනපති නොවුනු එක ගැන ඇත්තටම දැන් සතුටුයි..