`ඔය සින්දුව ගැන හොඩ පැහදිලි කිරිමක් කිබුලා ගාව තියනවා. ...... කිබුල් සොයුරානනි... ඉඩක් ලද විගස මෙහි ඔබෙ අදහස අන්‍යන්ටත් දැන්ගනිම පිනිස සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි..
`ඔය සින්දුව ගැන හොඩ පැහදිලි කිරිමක් කිබුලා ගාව තියනවා. ...... කිබුල් සොයුරානනි... ඉඩක් ලද විගස මෙහි ඔබෙ අදහස අන්‍යන්ටත් දැන්ගනිම පිනිස සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි..
රෙද්ද පල්ලෙන් පෙරෙන සුචරිතයට ගැසූ අතුල් පහර..........
විනේ කටින උන්..........
විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කණේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
වනේ නැතුව උන්
වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???
ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කණේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
වනේ නැතුව උන්
වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???
දැලේ කිරට මුර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුනු කය වළදන්ට
විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කණේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
වනේ නැතුව උන්
වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???
ප්‍රදීපා ධර්මදාස අප හදුනන්නේ ඇය හිමි ඩලස් පත්තරකාරයෙක් ව ඉන්නා සමයේ, ඔවුන් ගේ පෙම් පුරාවත පවතින කළ සිටමය. සයිවර් කඩයකට වැදී සිය පත්තර සගයන් සමග වේලක් බුදීම ආනන්දය කරගත් මුන් දෙදෙනා ගේ ප්‍රේමය එකල යෞවනයේ සිටි අපහට ගෙනාවේ මහත් වූ ආශ්වාදයකි. ප්‍රදීපා ගායනා කල ගීත වලින් කුහක සුචරිතවාදීන් ගේ කණට ගසන මේ ගීතය, මා ඉතාමත් ප්‍රිය කරන එකකි. එය ලියා ඇති දරා ගත නොහෙන මට්ටමේ සරොස රැදි ආඛ්‍යයන රීතිය එයට හේතුව යයි සිතමි.
සැමියා මිය ගිය බිරිදක ගේ කුටුම්භ රක්ෂණය පිළිබද අර්බුදය මෙම ගීයේ තේමාවය. පතියා මිය ගිය කල්හි ඔහු ගේ සියළු ම ගුණ කද රැක ගෙන ඉන්නට අවවාද කරන සමාජය ම, ඇගේ දිළිදුකම අවිය කොට ගනිමින් ඇගේ ඇග මස වෙන්දේසි කරන හැටි මේ ගීතය අපට කියයි. මේ උවදෙස් දීම අර්බුදයේ මුව විට සිටින ඇගේ "කනේ කොහොඹ මිරිකීමකි" කොතරම් අපූරුද මේ උපමාව ම? කුටුම්භ රක්ෂණයේ අර්බුදය නොදන්නා උන් ගෙදර බත ඉදවීම සිට දරුවන් ගේ කුදු මහත් කාර්යයන් තනි ගැහැණියක ගේ කරපිට පැටවී ඇති "වණය" නොදකිති. ඉදින් -වණේ නැතුව උන්-දුක දන්නේ කොහොමද?
ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
සැමියා මිය පරලොව ගොස් තනිවන තරුණ මව්වරුන් සමග කොටු පනින්නට බලන් ඉන්නේ තරුණයන් නොවේ. "විසේ නැග්ග" නාකියන්ය. මුදලට ගත පුදනු පිණිස මේ ගැහැණිය පොළඹවන්නේ මේ ඊනියා සුචරිතය අපුල්ලන, එය ම වර්ණනා කරන වැඩිහිටි-මහළු පිරිමින්ය. අහෝ මෙහෙම ගැහිල්ලක් නම් මම අම්මා මුතුන් කාලයක ගීතයකින් අසා නැති. මේ පිරිමින් වුවද ඇගේ සිරුර මිළ දී ගන්නට අත පිරෙන්නට මුදල් දීමට සැරසුණ ද, එයද අර්බුදයක් ම වන්නේ ඊනියා සදාචාරය-සුචරිතමේනියාව නිසාය. මහල්ලන් කප් රුක පිදුවද ඇගේ "ඉනේ රෙද්ද' -" හරහට" සිටින්නේ එබැවිනි.
දැලේ කිරට මුර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුනු කය වළදන්ට
දරුවන් සමග ආර්ථික ආගාධයේ ගිලෙන තරුණ මව ගේ පැණය මෙයයි. තම දරුවන්ට වේලක් වත් කන්නට දෙන්නේ කවුද? සැමියා ගේ ගුණ රැකගෙන ඉන්නට බල කරන සමාජය ඇගේ ඒ පැණය ගැන බලන්නේ නැත. ඇයට සරණක් නැත. තම දරුවන් ගේ උදර පොහොණිය, ඊනියා සුචරිතවාදීන් බලන්නේ නැත. එනිසා ඇයට නිවසෙහි ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට නම්, මේ "මහතුන්" හට සිය කුණු කය වළදන්නට දීමට සිදුවේ.
කණට ගසන තරම් දරුණු වූ උත්ප්රාසයක් ජනනය කරමින් මේ ගීතය ලියා ඇති ගේය පද රචකයා රත්මලේ බන්දුල ගුණවර්ධනයන්ය. අපේ ඊනියා සදාචාරය, සුචරිතය ගැන බණ දෙසාබාන කුහක සමාජය මෙතරම් ගර්හාවටත්, නිගරුවටත් පත් කළ ගී පද රචනයක් වෙනත් තැන සොයා ගැනීම උගහටය.
යූ ටියුබ් රූපපෙළක් සොයා ගැනීමට නොහැකිවිය. අසනු කැමති සොයුරු සොයුරියන් මෙම දිගුව ඔස්සේ ගොස් බාගත කරගත මැනව.පිළිවන් නම් මේ ගියට රූප පෙළක් රචනා කොට ඒ යූ ටියුබය වෙත උඩු ගත කිරීම හෙල සුභාවිත ගීතයෙහි වෙර පිණිසම බව ද නොකියාම බැරිය.
විණේ කටින උන්-ප්‍රදීපා ධර්මදාස
