වියට්නාමය ගැන ඔබ නොදත් දේ මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    වියට්නාමය - පිටකවරය හා පොත

    පිට කවරය දෙස බලලා පොත තේරුම් ගන්න යන්න එපා කියන එක පහුගිය දවස් වල තැන් තැන් වල දැකිය හැකි වූ කියමනක්. ඔය විදිහටම, රටක නම දිහා බලලා රට තේරුම් ගන්න යන්න එපා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.

    අපි කවුරුත් දන්නා පරිදි, 1978න් පසු ලංකාවේ නිල නාමය "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය". නම අනුව මේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. ඒ වගේම, ලෝකයේ තිබෙන එවැනි එකම රට!

    ලංකාවේ කාලයක් තිස්සේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. මෙය මැතිවරණ වලින් ආණ්ඩු බලය වෙනස් වන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක්. කලාපයේ වෙනත් ඇතැම් රට වල මෙන් විප්ලව, කැරළි හෝ හමුදා කුමන්ත්‍රණ වලින් ලංකාවේ රාජ්‍ය බලය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, අඩුපාඩු තිබුණත්, ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස හඳුන්වන එකේ වැරැද්දක් නැහැ.

    එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් අතරින් ලංකාව ඇතුළු රටවල් නවයක නිල නාම වල "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය තිබෙනවා. එහෙත්, "සමාජවාදී" යන වචනය තිබෙන්නේ තවත් එක් රටක නිල නාමයේ පමණයි. ඒ රටේ නිල නාමයේ "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය නැහැ. ඒ නිසා, අවශ්‍යනම්, නම අනුව යමින්, ඒ රට "ප්‍රජාතාන්ත්‍රික නොවන සමාජවාදී රටක්" ලෙස හඳුනා ගන්නත් පුළුවන්.

    මේ අනෙක් රට වියට්නාම් සමාජවාදී ජනරජය හෙවත් කෙටියෙන් සහ කවුරුත් එදිනෙදා භාවිතාවේදී කියන විදිහට වියට්නාමය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරී බලය යටතේ පාලනය වෙන වියට්නාමයේ ලංකාවේ මෙන් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ අතින් වියට්නාමය පැරණි හා දැනටත් ශේෂ වී තිබෙන අනෙකුත් සමාජවාදී රටවල් වලට සමානයි. ඒ අනුව බැලුවහම වියට්නාමයට එහි නිල නම ගැලපෙනවා.

    දේශපාලන ආකෘතිය මේ ආකාරයේ එකක් වුනත්, පසුගිය දශක කිහිපය තුළ වියට්නාම් ආර්ථිකය ගොඩක් වේගයෙන් වර්ධනය වූ බව කරුණක් ලෙස ඇත්තක්. 1990දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 8.03ක්ව තිබියදී වියට්නාමයේ දදේනිය ඩොලර් බිලියන 6.47ක් පමණයි. 2022 වන විට වියට්නාමයේ ආර්ථිකය ඩොලර් බිලියන 408.8ක් වෙලා, නමුත් ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 74.4ක් පමණයි.

    වියට්නාමය වර්ග කිලෝමීටර 331,212ක රටක්. ඒ කියන්නේ ලංකාව මෙන් පස් ගුණයකට වඩා ලොකු රටක්. ජනගහණය මිලියන 98ක් පමණ. ලංකාවේ ජනගහණය මෙන් හතර ගුණයකට වඩා වැඩියි. කෙටියෙන් කිවුවොත් වියට්නාමය කියන්නේ ලංකාව මෙන් හතර පස් ගුණයක් ලොකු රටක්.

    ඔය වගේ ලංකාව මෙන් කිහිප ගුණයක් ලොකු රටක දදේනිය ලංකාවේ දදේනිය එක්ක සංසන්දනය කරන එක නිවැරදි ක්‍රමයක් නෙමෙයි. එක පැත්තකින් වැඩි ඉඩම් ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේ අවස්ථාව තියෙද්දී, වැඩි ශ්‍රමිකයන් පිරිසක් නිෂ්පාදනයට දායක වෙද්දී දදේනිය කොහොමටත් ඉහළ යා යුතුයි. අනෙක් අතින් මේ විදිහට ඉහළ යන දදේනිය වැඩි පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, හරි සංසන්දනයක් කළ හැක්කේ ඒක පුද්ගල දදේනිය දිහා බැලීමෙන් පමණයි.

    පසුගිය (2022) වසරේදී වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ඇමරිකන් ඩොලර් 4,164ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක් පමණයි. කොහොම වුනත් ලංකාව මේ විදිහට වියට්නාමය හිටපු තැනින් පහළට වැටුණේ 2022 වසර තුළයි. ඒ දක්වා, ලංකාව හිටියේ වියට්නාමයට වඩා ඉදිරියෙන්. ආර්ථික අර්බුදයට පෙර, 2019දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 4,083ක් වෙද්දී වියට්නාමයේ එම අගය ඩොලර් 3,491ක් පමණයි. ඉන් පසු වසර වලදී වගේම 2019දී පවා වියට්නාමය ඉස්සරහට යද්දී ලංකාව පස්සට ගියා.

    වැදගත් කරුණ මේකයි. වියට්නාමයේ දදේනිය ලංකාවේ දදේනිය මෙන් හතර ගුණයක් වන තුරු ප්‍රසාරණය වී ඇතත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබිඹු කරන ඒක පුද්ගල දදේනිය දිහා බැලුවහම එවැනි ලොකු වෙනසක් නැහැ. වියට්නාමය කරලා තියෙන්නේ අවුරුදු 32ක් මහන්සි වෙලා අන්තිමට ලංකාව ඉන්න තැනට එන එක!

    මේකෙන් අදහස් වෙන්නේ වියට්නාමයෙන් ගන්න දෙයක් නැති බවද?

    නැහැ. වියට්නාමය ආ ගමනේ අවධානය යොමු කළ යුතු දේ තිබෙනවා. අන්තිමට වියට්නාමය ඇවිත් තියෙන්නේ ලංකාව ඉන්න තැනට වුනත්, වියට්නාමය මේ ගමන පටන් ගන්නේ ලංකාවට වඩා ගොඩක් පසුපස තැනක ඉඳලයි. 1990දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 467ක් වන විට වියට්නාමයේ එම අගය ඩොලර් 97ක් පමණයි. අවුරුදු 32ක් යද්දී ඔය පරතරය නැති වී වියට්නාමය ඉස්සරහට එනවා. ඔය කාලය ඇතුළත වියට්නාම් දදේනිය එක දිගටම ලංකාවට වඩා ඉහළ වර්ධන වේගයක් පවත්වා ගන්නවා. ඒක කළේ හෝ ඒක වුනේ කොහොමද?

    වියට්නාමය රටේ නම අනුව වගේම දේශපාලන ක්‍රමය අනුවත් සමාජවාදී රටක් බව ඇත්ත. ඔය ආකෘතියේ අනෙක් රටවල් වගේම වියට්නාමයත් කාලයක් තිස්සේ අනුගමනය කළේ මධ්‍යගත සැලසුමකට අනුව රටේ නිෂ්පාදනය හා බෙදා හැරීම සැලසුම් කරන එකයි. නමුත්, 1990 පමණ සිට වියට්නාමය ක්‍රමයෙන් ඔය ක්‍රමයෙන් විතැන් වෙමින් වෙළඳපොළට ඉඩ දෙන්න පටන් ගත්තා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ.

    අහන්න තිබෙන හරි ප්‍රශ්නය මේකයි. 1990 වන විටත් වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ලංකාවේ එම අගයෙන් හතරෙන් එකකටත් වඩා අඩු මට්ටමක තිබුණේ ඇයි? එවැනි දෙයක් වුනේ මොන විදිහේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දීද? ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් වී ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න හේතු වුනේ මොන විදිහේ ප්‍රතිපත්ති වෙනස්කම්ද?

    වියට්නාමය ඔය විදිහට ගැම්මේ දුවන්න පටන් ගනිද්දී එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 97ක් පමණක් වූ බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ ඒ වෙද්දී එහි ශ්‍රමය ගොඩක්ම ලාබයි. ශ්‍රමයේ මිල ඔය තරම් පහළ මට්ටමක තියෙද්දී කළ හැකි දේ ශ්‍රමයේ මිල ඉහළ ගියාට පස්සේ ඒ විදිහටම කරන්න බැහැ. ලංකාව ඔය මට්ටම පහු කළේ සෑහෙන කාලයකට කලින්.

    ඇත්තටම මෙහිදී වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමය නිසා එක තැන හිර වී තිබුණු වියට්නාමයේ ආර්ථිකය ක්‍රමයෙන් නිදහස් වෙද්දී එය තිබිය යුතු තැන දක්වා වේගයෙන් ගමන් කිරීම. ලංකාවේ ආර්ථිකයද නිදහස්ව නොතිබුණත් ඒ තරමටම හිර වී තිබුණේ නැහැ.
    උපුටා ගැනීම!
    #ඉකොනොමැට්ටා

    රටක ප්‍රතිපත්තිය නිවැරැදිව සකස් කිරීමත්, ඒ අනුව රාජ්‍ය ව්‍යුහය, පදනම නිවැරැදිව සකස් කර ගැනීමත් අපේ අනාගතයට නිවැරැදිව අඩිතාලම දමනු ඇත.

    මෙතෙක් දුර අඩුම තරමින් සරළ දේශපාලන නියමයන්වත් අනුගමනය නොකර අයාලේ ගිය රටක් යලි පීලි ගත කර ගැනීම ලේසි නැත.

    එහි ප්‍රධාන අභියෝගය නම් මෙතෙක් පැවති ක්‍රමයට අනුගතවී හුරුවී සිටින ජනතාව අලුත් ක්‍රමයකට රැගෙන යෑමය. නොදන්නා අලුත් දේකට මිනිසුන් අකමැතිය. බිය ය. එහෙත් දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන් මේ පරිවර්තනය තුල රැගෙන යෑම රටේ අනාගතය තීරණය කරනු ඇත.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,094
    6,344
    113
    අපෝ කියෙව්වටත් අපරාදේ බං. මෙලෝ වැඩක් නැති ලබ්බක්
     
    • Haha
    Reactions: lilman