ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන හැඟීමක් වුවත් විෂාදය යනු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.
විෂාදය හෙවත් 'ඩිප්රෙෂන්' (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.
එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.
විෂාදයෙන් පෙළෙන්නෙකු බොහෝ අවස්ථාවල 'ඇන්සයටි'(Anxiety) නැතහොත් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
"අපි හැමෝම ජීවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා ඒක සාමාන්‍යයයි. නමුත් විෂාදය නිසා යමෙක් මුළු දවසක් පුරා සති කීපයක්, මාසයක් වැනි දීර්ඝ කාලයක් දුකෙන් පසු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිදෙනා ජීවිතයට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තනිකම කාන්සිය ඇතිවෙන්නේ ඒ එක්කමයි."
විෂාදය හටගන්නේ ඇයි?
ඒ ප්‍රශ්නයට නිසැක පිළිතුරක් සොයාගැනීමට තවමත් විද්‍යාඥයන් සමත් වී නැත.යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය.
යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය.
විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි පැහැදිළි කළාය.
"විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උදාහරණයක් ලෙස එදිනෙදා ඔහු හෝ ඇය මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න එහෙමත් නැත්නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න. හිරිහැරවලට ලක්වීම වැනි හේතු නිසා තමන් ගැනම නිශේධනීය ආකල්ප ඇතිවෙන්න පුළුවන්."
එදිනෙදා ජීවිතයට විෂාදය බලපාන්නේ කොහොමද?
විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.
කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.
නිතර දැඩි මහන්සියක් දැනීම, නින්ද යාමේ අපහසුතා ඇති වීම සහ ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම වැනි රෝග ලක්ෂණ විෂාදයෙන් පෙළෙන්නකුගේ රෝග ලක්ෂණ විය හැකිය.
එමෙන්ම ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම හේතුවෙන් ඇතැම් විට ආහාර රුචිය අඩුවීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීමත් එහි රෝග ලක්ෂණ වියහැකිය.
දීර්ඝ කාලීනව විෂාදයෙන් පීඩා විඳින්නෙකුට සතුටින් කල්ගෙවීමේ අවස්ථාව අහිමිවීම මෙන්ම රෝගාතුර වීමට පෙර තමන් ආශා කළ විනෝදාංශ පවා අප්‍රිය වීමේ ස්වභාවයක් සහ ශරීර ශක්තිය හීන වී ඇතැයි හැඟීමක්ද පහළවිය හැකිය.
ආත්ම විශ්වාසය හීන වීම, යම් කටයුත්තක නිරත වීමට උනන්දුවක් නොමැති වීම එහි තවත් රෝග ලක්ෂණ වේ.
නිසි ප්‍රතිකාර
"කවුරු හරි 'ඇන්සයටි' තත්වයෙන් හෝ විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්," මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විස්තර කළාය."එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න."
විෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.
"ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි."
https://www.bbc.com/sinhala/world-39545268

