වෙනස්ම කථාවක් .දිග වැඩි උනත් මේකේ යමක් තියෙන නිසා දානවා.
ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය.
" මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටමකියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "
රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය. ඔහු මලානික හඬින් කථා කළේය.
"අනේ මහත්තයෝ මම ජීවත් උනේ මේසන් වැඩ කරලා. කලවේ විසප්පුවක් ආවා. ඒකට අත් ඛෙහෙත් කරලා සනීප වුන නැති නිසා තමයි මුදියන්සේ වෙදරාළ ලඟට ගියේ. උන්දෑ පත්තුවක් බැන්දා. මගෙ හිතේ පත්තුවේ සැරට කකුලේ හම පිච්චුනා..."
" මෝඩ හරක් ..." වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙස බලා පැවසීය.
අද වාට්ටු දිනය නිසා ඔහු කනිෂ්ඨ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිවරාගෙන වාට්ටුවේ සිටින රෝගීන් සියළු දෙනාම බලයි. ශල්‍යකර්මවලට ලක් කළ යුතු රෝගීන්ට ශල්‍යකර්ම සදහා දින නියම කිරීම ද ශල්‍යකර්ම වලින් පසු රෝගී තත්ත්වය අඩු රෝගීන්ගේ ටිකට් කැපීමද අද සිදු වේ. පිරිවර සමග ඇවිදින යුවරජෙකු සේ ඔහු වාට්ටුවේ සිටින සියළුම රෝගීන්ගේ රෝහල් ආයු කාලය පිළිබඳ තීරණයකට පැමිණෙයි.
වට්ටෝරු වෙදෙකු විසින් ප්‍රතිකාර කරන ලද රෝගියා කෙරෙහි ඔහුට ඇති වූයේ කෝපයකි. — මෝඩ මිනිස්සු..˜ ඔහු මනසින් ප්රතිරාව කළේය. —කකුලේ පොඩි ඇබ්සස් එකක් එන්න ඇති. මේ මෝඩයා වෙදා ලඟට ගියා. වෙදා රටේ නැති බේත් ජාති අඹරලා කකුලේ ගාලා තියෙනවා. ඒකට හම පිච්චිලා. දැන් ඉන්ෆෙක්ට්˜ වෙලා. වැඩේ වැරදුණාම අපි ලඟට එනවා.˜
"අයිසේ, ඔහු යළිත් වරක් රෝගියා ඇමතීය. කකුලේ ගෙඩියට ඉස්පි්‍රතාලෙට ආවා නම් ඉවරයිනේ. එතකොට ගෙඩිය පැළුවා. බේත් කළා. එැඩේ අහවරයි. දැන් වැඩේ කෙළවෙලා. මුළු කකුලම පැසවලා. කකුල කපන්න වෙයි."
රෝගියාගේ මුහුණේ ඇත්තේ තැතිගත් ස්වරූපයකි. ඔහු අසීරුවෙන් හිස එසවීය.
"අනේ මහත්තයෝ මගේ කකුල කපන්න වෙයිද?
"ඔව්˜ ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය ජයග්‍රාහී ලෙස කීවේය. තමුසගෙ ජීවිතය බේරගන්න කකුල කපන්න වෙයි."
රෝගියාට තමාගේ ලෝකය කඩා වැටුණු බව හැගුණි‚ කකුලක් නැතිව මේසන් වැඩ කරන්නේ කොහොමද? බිරිඳට හා ළමයින්ට කන්න අඳින්න දෙන්නේ කොහොමද? පලංචි වැඩවලට සිරිල් බාස් ගන්නේ හොඳට අතපය හයිය ඇති මිනිසුන්ය. කකුලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද? මහමඟ සිඟා කෑමට සිදුවීම අනිවාර්යයයි. රෝගියා ශල්‍ය වෛද්‍යවරයා දෙස බැවේ පිහිට අයදින බැල්මකිනි.
"අනේ මහත්තයෝ..., කකුල කපන්න එපා. මම දුප්පත් මිනිහෙක්, කකුළක් නැතිව මට මගේ රස්සාව කරගන්න බැහැ.˜ ඔහුට තව දුරටත් කථා කරගැනීමට නොහැකි විය. උගුරේ පටලයක් බැඳුනා සේ රෝගියාට දැනි‚. ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණි‚
මෙවර ශල්‍ය වෛද්‍යවරයාගේ සිතට දැණුනේ කෝපයකි. —අයිසේ˜ ඔහු රෝගියා දෙස එක එල්ලේ බැලීය. රොස් පරොස් වූ විට ඔහු රෝගීන් හෝ කාර්ය මණ්ඩලය අමතන්නේ අයිසේ යනුවෙනි. වෛද්‍ය වල්ගම්පායට තරහා ගියබව දැනගත් කණිෂ්ඨ වෛද්‍යවරු හා හෙදියෝ මදක් ඈත් වූහ.
"තමුසේ එක එක වෙද්දුගෙන් බේත් අරගෙන ලෙඩේ කුණු උනහම අපි ලඟට එනවා. මම දැන් තමුසෙට සුද්ද සිංහලෙන් කිව්වානේ, මුළු කකුළම පැසවලා. කකුළ කපනවා ඇරෙන්න වෙන ප්‍රතිකාරයක් නැහැ. නැත්තං ටිකට් කපාගෙන තමුසෙගෙ වෙදා ලඟට යනවා. " ඔහු රෝගියාගේ ඇඳ ඉහ පත පසෙකට විසිකොට දැමීය. හෙදියක් පහත් වී එය අසුලාගෙන ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සුදර්ශන් අතට දුන්නාය.
රෝගියා අසරණ වූ දෙනෙතින් වෛද්‍ය කාර්ය මණඩලය දෙස බැවේ අනුකම්පාව අයදින්නාක් මෙනි. ඉවත යන විශේෂඥ වෛද්‍යවරයා දෙසට හිස හැර වූ ඔහු දොහොත් මුදුන් දී වැන්දේ තමාව ගලවාගන්නා ලෙස බැගෑපත්ව අයදිමිනි. වෛද්‍ය වල්ගම්පාය එය දුටුවේ ද යන්න සැක සහිතය. ඔහු වෙනත් රෝගියෙකුගේ ඇඳ ඉහපත් වාර්තා පරික්ෂා කළේය.
"කෝ ලෙඩාගේ X-රේ එක..˜ ඔහු නේවාසික වෛද්‍යවරයා දෙස බැවේ ආධිපත්‍ය සහිත බැල්මකි‚.
"සර් X-රේ එක ගන්න ලෙඩා යැව්වේ උදේ, තාම රිපෝට්ස් වාට්ටුවට එවලා නැහැ.˜ නේවාසික වෛද්‍යවරයා බියපත් වූ හඬින් කීය.
"අයිසේ, රිපෝට් කකුල් දෙක ලඟට එනකන් ඉන්නේ නැතුව X-රේ එක වෙට් ප්ලේට් හරි ගේනවා. අද තියටර් ගන්න ඕනෑ. දැන්මම X-රේ එක ගේනවා.˜ ඔහු දුන්නේ දැඩි නියෝගයකි. නේවාසික වෛද්‍යවරයා කඩිනමින ් X- රේ අංශය වෙත දිව ගියේය.
රෝගියාගේ බඩේ නාභිය අසල මඳක් ඇඟිලි තුඩුවලින් තද කළ ඔහු —කැක්කුම˜ දැයි ඇසීය. රෝගියා හොඳට වැඩුණු අතපය ඇති ඉලන්දාරියෙකි . එහෙත් උදරයෙන් එන වේදනාව නිසා ඔහු —අම්මේ˜ යැයි කීය. "හරි දැන් ඔහු තියටර් යවන්න" ශල්‍ය වෛද්‍යවරයා නියෝගයක් දුන්නේය. හෙදියක් සේවකයෙකුට කථා කොට ට්‍රොලියක් ගෙන එන ලෙස කීවාය. යළිත් වරක් රෝගියාගේ ඇස් යට පරික්ෂා කළ වෛද්‍ය වල්ගම්පාය උදේ ඉඳන් මොකුත් කෑවේ බිවේ නෑ නේදැයි රෝගියාගෙන් විමසීය.
"ඩොක්ටර් ආප්ප දෙකකුයි කෝලිකුට්ටු ගෙඩියකුයි කෑවා.˜රෝගියා කීවේ වරදක් කළාදැයි දෙගිඩියාවෙනි.
යළිත් වරක් වෛද්‍ය වල්ගම්පාය කෝප විය. "අයිසේ මං කියලා තියෙනව නේද මං බලනකන් ලෙඩ්ඩුන්ව ෆාස්ටින් තියන්න කියලා..˜ මෙවර ඔහු හැරුනේ හෙද සොයුරිය දෙසටය.
"සිස්ට මේක හැමදාම කරන්න බැහැ. නර්ස්ලා කියන්න න ලෙඩ්ඩුන්ට කන්න එපා කියලා.˜ හෙද සොහොයුරිය වාට්ටුවේ හෙදිය දෙස බැළුවේ චෝදනාත්මක දෙනෙතිනි. වාට්ටු භාර හෙදිය තරුණය, ඇයට ඇත්තේ ප්‍රසන්න මුහුණකි.
"අපි ලෙඩ්ඩුන්ට කියනව සර්.....˜ ඇය බිම බලාගෙන කීවාය.
"ඇයි මිසී කියල තියෙද්දිත් ආප්ප කෑවේ˜ හෙද සොහොයුරිය රෝගියා ගෙන් තදින් ඇසුවාය.
රෝගියා මදක් නොසන්සුන් විය. "නැහැ මිසී මට කවුරුවත් කන්න එපා කිවුවේ නැහැ. මම කෑවේ ආප්ප දෙකක් විතරයි. ඉතුරු ආප්ප තුන මම ඔතනම තිබ්බා " රෝගියා ඇඳ අසල තිබූ කුඩා කබඩ් එක උඩ තිබූ පාර්සලයට ඇගිල්ල දික් කළේය.
වෛද්‍ය වල්ගම්පාය කිසිවක් නොකීවේය. ඔහු තුළ ඇතිවූයේ කෝපය මත සියල්ල එපා වූ ස්වභාවයකි. මෙම රෝගියා පෙරදින ඔහුගේ චැනල් සේවයට පැමිණියේ පියා සමගිනි. රෝගියාට ශල්‍යකර්මයක් අවශ්‍ය බව ඔහුට වැටහිණි . රෝගියා වාට්ටුවට ඇතුලත් කළේ අද දින උදේ වරුවේ ශල්‍යකර්මය කිරීම සදහාය. ශල්‍යකර්මයෙන් පසු ඔහු මහනුවර බලා යාමට සිටියේ කොළඹින් එන ඥාතීන් පිරිසක් පිළිගැනීමටය. දැන් වැඩ පිළිවෙල කඩාකප්පල් වී ඇත. යළි රෝගියාට ශල්‍යකර්මයක් කළ හැක්කේ සවස දෙකෙන් පසුවය. එය අවසන් වී මහනුවර යන විට බොහෝ සවස් වනු ඇත.
වෛද්‍ය වල්ගම්පාය ලෙඩුන් බැලීම නවත්වා ශල්‍යාගාරයට ගියේ සුළු සුළු ශල්‍යකර්ම නිම කොට දැමීමටය. විසප්පු ගෙඩි, අධෝමාර්ගයේ ගෙඩි, නහර ගැට ගැසුණු රෝගීන් ගේ නහර වලට එන්නත් කිරීම් වැනි කෙටි වේලාවක් ගතවන ශල්‍යකර්ම කිරීම ඔහු ඇරඹීය. අන් දිනවල මෙවැනි ශල්‍යකර්ම කරන්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් විසිනි. එහෙත් අද ඔහු සුළු වැඩවලට අත ගැසීය.
ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා රෝගීන් ගේ රෝග ඉතිහාසය විමසමින් ඔවුන්ව නිර්වින්දනය කළහ. විනාඩි දහයක් පමණ කාලයක් ගත වන මෙම ශල්‍යකර්ම වලට හිරිවැට්ටවීම පමණක් ප්රමාණවත්ය. සුදු ඇදුම ඇදගෙන පෙළ ගැසී සිටි රෝගීන් වරකට එක් අයකු බැගින් ශල්‍යාගාරයට ඇතුල් වූහ. සෑම රෝගියෙකුගෙන් ඔහුගේ නම විමසා රෝග ඉතිහාසය ලියා ඇති ලිපි ගොණුව පරික්ෂා කොට බලා කළයුතු ශල්‍යකර්මය කුමක්දැයි අවබෝධකරගත් ඔහු ශල්‍යාගාර හෙදියගෙන් අවශ්‍ය උපකරණ ඉල්ලා ගත්තේය. වෙනදා හෙදියන් සමඟ විහිළු තහළු කරගත් ඔහු අද නිහඞවම තම රාජකාරිය කළේය.
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් පැමිණ දෙවැනි ශල්‍යාගාරයේ වැඩ පටන් ගත් අතර රෝගීන්ගේ පෝලිම ක්‍රමයෙන් අඩු විය.
"සර් තේ ලෑස්තියි.˜ හෙදියක් වෛද්‍ය වල්ගම්පායට පැවසුවාය. තේ එකක අවශ්‍යතාව ඔහුට දැනී තිබු‚. ශල්‍යකර්මය අවසන් කළ ඔහු අත්වැසුම් ඉවත් කළේ තේ කෝප්පයක් පානය කිරීම සඳහාය.
"තේ සල්ලි මට මාස දෙකකින් දෙන්න බැරිවුනා.˜ ඔහු හෙදියට කීවේ යමක් අතපසු වූ විලාශයෙනි. —මම යන්න ඉස්සෙල්ලා සල්ලි ඉල්ලා ගන්න.˜
"කමක් නෑ සර් පස්සේ ගමු˜ හෙදිය තාලයට නැලවෙන ස්වරයෙන් කීවාය.
වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විවේකාගාරටය ගියේ යමෙකු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇතුම් දිනවල නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා තේ බිමට පැමිණෙයි. එවිට ඔවුහු රෝහලේ අඩුපාඩු ගැන කථා කරති. එහෙත් අද ඔහුගේ ක්ලිනික් දවස විය යුතුය. තේ පෝච්චියෙන් කිරිතේ එකක් වක්කර ගත් වෛද්‍ය වල්ගම්පාය හාන්සි පුටුවේ දිගඇදුනේ අද දිනයේ සිදු වූ අප්‍රසන්න සිදුවීම් යළි මතකයට ගනිමිනි.
යමෙකු දොර අසල සිටිනු දැක ඔහු දොර රෙද්ද මෑත් කළේය. ඇද ඉහපත් මිටියක් අතින් ගත් උපස්ථායකවරියක් දොර අසල සිටියාය.
"සර් ලෝකල් පර්චස් වගයකට අත්සන් ගන්න"
ඔහු උපස්ථායකවරියට ඇතුළට එන ලෙස කීවේය. ඇය ලේඛන මිටිය අසල මේසය උඩ තැබුවාය.
"ඉතින් ප්‍රේමා කොහොමද වාට්ටුවල තොරතුරු? වෛද්‍ය වල්ගම්පාය උපස්ථායකවරියගෙන් විමසුවේය.
මැදිවියේ පසුවන උපස්ථායකවරිය වන ප්‍රේමා දිගු කාලයක් පුරා ශල්‍ය වෛද්‍ය අංශයේ වැඩ කරන්නීය. වල්ගම්පාය වෛද්‍යවරයා සීමාවාසික වෛද්‍යවරයෙකුව සිටින කාලයේදී ද ප්‍රේමා කාන්තා වාට්ටුවේ සේවය කළාය. වාට්ටුවේ සිදුවන දෑ පිළිබඳ තොරතුරු ලබාගන්නේ ප්රේමාගෙන්ය. කේලම් කිමේ උපන් හපන් කමක් ඇති ඇය ගිරවියක සේ වාට්ටුවේ වන සිද්ධීන් ඔහු සමග පවසන්නීය.
"සර් දර්ශන මහත්තයා ඊයේ අවේ උදේ 10ත් පහුවෙලා. ලෙඩ්ඩු බලනකොට සර්ගේ චිට් එකක් තිබ්බ ලෙඩෙකුටත් කෑගැහුවා.˜
සීමාවාසික වෛද්‍යවරයෙකු වූ දර්ශන නාහෙට නාහන්නෙකි. ඔහු ඇතැම් විට වාට්ටුවට ප්‍රමාද වී පැමිණේ. තමා විසින් චැනල් මධ්‍යස්ථානයේ දී ලෙඩ බලා වාට්ටුටට ඇතුළු කරන ලෙඩ්ඩුන්ට විශේෂ සැළකිල්ලක් වෛද්‍ය දර්ශන නොදක්වන බව මීට පෙරත් ලෙඩුන් කීපදෙනෙකු කිවා මතකය. මොහු සම්බන්ධයෙන් යමක් කළයුතු බව වෛද්‍ය වල්ගම්පාය ඉටාගත්තේය.
"ඉතින් තව මොනවද˜ ඔහු ප්‍රේමා දෙස බැවේ තවත් තොරතුරු දැනගන්නා විලාසයෙනි. "
"දීපිකා මිස් පෙරේදා රෑ ආවේ නැහැ. ළමයට අසනීපයක් කියලා. හේවාපතිරණ මිස් තමයි තනියම රෑ ඩියුටි කළේ "
ප්‍රේමා ඔහුට පවුලේ සාමාජිකාවක් මෙනි. ඔහුගේ බිරිඳ ඔහුට මුලින්ම මුණගැසුණේ ශල්යාගාරයේදීය. එවකට ඇයද සීමාවාසික වෛද්‍ය වරියකි. ඔවුන් අතර ගොඩනැගුණු සම්බන්ධතාවයට ඇයගේ පවුලේ උදවිය කැමැත්තක් නොදැක්වූයේ කුල ප්‍රශ්ණයක් මතය. තම පෙම්වතියගේ ගෙදරින් ඇති තහංචි නිසා ඔහු එකළ සිටියේ දැඩි මානසික පීඩනයකිනි. ඔවුන් දෙදෙනා පිළිබඳව විමසිලිවත් වන ලෙස ඇගේ පියා රෝහල් දිස්ත්‍රික් වෛද්‍යවරයාට පවා කියා තිබුණි. ප්‍රදේශයේ ධනවතෙකු මෙන්ම බලවතෙකු වූ ඇයගේ පියා වල්ගම්පායට වරක් කුළ මල කියා අපහාස කරන ලදි. මේ කාලය අතර තුර ඔවුන්ගේ පණිවුඩ දෙදෙනා අතර ගෙන ගියේ ප්‍රේමාය. ඔහු විසින් ලියන ලද හසුන් පත් ප්‍රේමා ගෙන ගොස් ළමා වාට්ටුවේ වැඩකරන පෙම්වතියට දෙන්නේ රහසිනි.
කාලය ගත වූයේ කොපමණ ඉක්මනටද? ඇයගේ පියා හෘද්‍යාබාධයක් සෑදී මිය ගියේ අනපේක්ෂිකවය. ඒ වන විට ඇය කොළඹ ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිවරිය වූවාය. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වීමේ අභිලාෂයෙන් පෙළුන ඇය තම ඉලක්කය කරා ගියේ දැඩි ආත්ම විශ්වාසයකිනි. ගම්පහ රෝහලේ සේවය කරන සමයේ ඔහු ඇය බැලීමට කොළඹ රිජ්වේ රෝහලට නිබඳවම ගියේය. ඇයගේ පියාගේ මරණින් පසු ඔහුට තිබූ ප්‍රධාන බාධකය ඉවත් විය. ශල්‍ය වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඔහු තුළ උනන්දුව තිබුණද විශේෂඥ වෛද්‍ය විභාගය කිරීමට ඔහුව යොමු කළේ ඇයයි. දැන් ඔහු ශල්‍ය විශේෂඥවරයෙකි. ඇය ළමා රෝග විශේෂඥවරියකි. එහෙත් ප්‍රේමා තවම එකම තැනය.
ඔහු ප්‍රේමා විසින් ගෙන එන ලද ලිපි ගොනුවේ අත්සන් කළ යුතු තැන් වල තම කෙටි අත්සන තැබුවේ වාට්ටුව ගැන කල්පනා කරමිනි. ප්‍රේමා පිටත්ව යෑමත් සමග වෛද්‍ය සුදර්ශන් කාමරයට ඇතුළුවිය. කොළ පැහැති ශෛල්‍ය ඇඳුම ඇද සිටි ඔහු තම රෙදි හිස් වැස්ම ගැලවූයේ නළලින් වැගිරෙන දා ඩියද පිස ගනිමිණි.
"සර් ලිස්ට් එක ඉවරයි. අර ෆාස්ටින් නැති ලෙඩා තියටර් අරගෙන ඒක කරන්නද?˜
ඇත්ත වශයෙන්ම මෙය ඔහුට සහනයකි. දහවල් දෙකට සුදර්ශන්ට ශල්‍යකර්මයක් ආරම්භ කළ හැකිය. ඒ සමඟම ඔහුට නුවර බලා යාමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.
" ඉස් දෙයා එනි ප්‍රොබ්ලම් යූ කෝල් මයි ෆෝන්.˜ ඔහු කීවේ සැහැල්ලු සිතෙනි. සුදර්ශන්ගේ ශල්‍ය හැකියාවන් ඔහු විශ්වාස කළේය. ඔහුට මනා අත් ගුණයක් ඇත. එහෙත් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමට ඔහු තුළ කැමැත්තක් නැත. සුදර්ශන්ට අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරයෙකු වීමටය. දැනටමත් සුදර්ශන් ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ පළමු විභාගය සමත්ව තිබේ. ප්‍රජා වෛද්‍ය විද්‍යාවට ලොල් කරන වෛද්‍යවරයෙකු ශල්‍ය වෛද්‍ය වාට්ටුවක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී ලෙස පත් කිරීම ගැන ඔහුට තිබුණේ ගැටළුවකි. එහෙත් වෙනසකින් තොරව සුදර්ශන් වාට්ටුවේ වැඩ හොඳින් කරගෙන යයි.
"සර්, අර මෑන්ගේ කකුළ කපන්නේ නැතුව අපි ට්‍රයි එකක් දෙමුද?˜ සුදර්ශන් ඇසුවේ ශල්‍ය වෛද්‍යවරයාගේ තීරණය අභියෝගයට ලක් නොකරණ ස්වරයෙනි.
"කොයි මෑන්ගේද?˜ ශල්‍යවෛද්‍ය වල්ගම්පායට රෝගියා ගැන හරි හැටි නිච්චියක් නොවීය.
"සර් අර වෙදා ගෙන් බේත් කරලා කකුළ ඉන්ෆෙක්ට් කරගෙන ඉන්න මෑන්, අපි අද උදේ බැළුවේ"
"හරි... හරී...˜ වෛද්‍ය වල්ගම්පාය කීවේ නොරිස්සුම් හඩකිනි. "කකුල ගොඩක් ඉන්ෆෙක්ට් වෙලා. සෙප්ටිසීමියා වලට යන්න ඉස්සෙල්ලා කපන්න වෙයි. මෝඩයෙක්... තුවාලෙට පත්තු බැඳලා. අනෙක් මිනිස්සුන්ට පාඩමකටත් එක්ක මුගෙ කකුල කපන්න ඕන.˜ ඔහු කීවේ යුද්දේ දී අල්ලාගත් සිරකරුවෙකුට සමාව නොදිය යුතුය යන ආකල්පයේ සිටින හමුදා නිළධාරියෙකු මෙනි.
"අනිද්දා තියටර් ගමු..˜ ඔහු සියල්ල තීන්දු කළේය.