ඒ අවු අස්සේ ඩෙංගු මදුරුවාට වින කටින්නට අලුත් හාදයෙක් ලංකාවට ඇවිත් ය.උන්දෑ නමින් වොල්බැකියා ය.
නෑ.ඩෙංගු හැදෙන්න වයිරසයකින්.
ලෝකේ මේ ඩෙංගු හදන වෛරස ජාති හතරක් තියෙනවා.
එතකොට ඇයි අපි මේ මදුරුවෙක් අල්ලං දඟලන්නෙ?
මේ මදුරුවා හරහා තමයි ඩෙංගු වෛරසය අපේ ඇඟට ඇතුල් වෙන්නෙ.
වැඩි හරියක්ම ඔය ඩෙංගු වෛරස් අපේ ඇඟේ ගෙනත් ගහන්නේ ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු නෝනා.ඩෙංගු විතරක් නෙවෙයි ලෝකේටම මහා කරදර වෙච්චි කහ උණ, චිකුන් ගුන්යා අලුතෙන්ම හොයාගත්තු සිකා වගේ වෛරස් උණත් බෝ කරන්නෙ මේ ඇත්තිම තමයි.
ඩෙංගු මදුරුවාට බිත්තර දාන්න අපේ මේ කොන්ක්‍රීට් වනාන්තර අස්සෙ පොඩි ඉඩක් හොඳටෝම ඇති.ඒ වගේ ම උන්දැලා ගොදුරු හොයන් යන්නෙ දවල් කාලෙ.ඉතින් රෑට නෙට් එකක් යට උන්නට උන්දැගෙන බේරෙන්න බෑ.ඒ වගේම දවසට කීපවතාවක් එයා ගොදුරු හොයනවා.ඉතින් එක ඩෙංගු මදුරුවෙක්ට දවස් ගානක් ඇතුලත පවුල් ගානක් ලෙඩ කරන්න බැරි කමක් නෑ.ඕං ඔහොමයි මදුරුවගෙ කතන්දරේ
මේක ගැන ඕනැතරම් කතා කරලා තියෙනවා.ඒත් ටිකක් කියමු.ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ කියන්නෙ ඩෙංගු උණේ අවස්ථා දෙකක්.සාමාන්‍ය ඩෙංගු උණ සමහර වෙලාවට අපි දන්නෙම නැතුව හැදිලා සනීප වෙලා ගිහින් වෙන්නත් පුළුවන්.ඒක අනිත් වෛරස් උණ වගේමයි.
නමුත් ගැටලුව තියෙන්නෙ ඩෙංගු රක්තපාත උණේ.එතනත් කට්ටිය හිතනවා රුධිර පට්ටිකා අඩු වෙන එක තමයි එකම අවුල කියලා.එහෙම හිතලා පට්ටිකා වැඩි වෙන්න කියලා එක එක පෙති ගන්නත් පටන් අරන්.
සාමාන්‍යයෙන් ඇඟේ ලේ තියෙන්නෙ රුධිර වාහිනී ඇතුලේ.ඒවා පිටට ලීක් වෙන්නෙ නෑ.ඒත් ඩෙංගු රක්තපාත තත්වයේදී මේ රුධිරවාහීනීවලින් තරලය ඇඟ ඇතුලට ලීක් වෙන්න පුළුවන්.
මේ ලීක් වෙන අනතුරුදායක කාල සීමාව සාමාන්‍යයෙන් දිනක් වගේ.
ඉතින් ඩෙංගු රක්තපාත තත්වයේදී අපි කරන්නෙ අවදානම් ලක්ෂණ තියෙන රෝගීන්ගේ රුධිර පට්ටිකා හා වෙනත් දර්ශක, රුධිර පීඩනය ආදී දේවල් දිහා බලාගෙන ලෙඩාගේ ජීවිතයට හානියක් වෙන්න තියෙන ඉඩ අඩු කරන එක.
එහෙම නැතිව උණ බැස්සුවා කියලා ඩෙංගු සනීප වෙන්නෙ නෑ ඉතින්.
ඉස්සෙල්ලා මං කිව්වනෙ ඩෙංගු වෛරස ජාති හතරක් ඉන්නවා කියලා.පළවෙනි වර්ගෙ වෛරසයක් නිසා කෙනෙක්ට ඩෙංගු හැදුනා හිතන්නකො.එතකොට එයාගෙ ඇඟෙන් ඒ වර්ගයේ ඩෙංගු වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තියක් ඇති වෙනවා.එතකොට පළවෙනි වර්ගෙ ඩෙංගු වෛරස්වලට එයා ආයෙත් අසනීප වෙන්නෙ නෑ.
ඒත් වැඩේ කියන්නෙ ඒ ලෙඩා ඉතුරු වර්ග තුනෙන් එකක ඩෙංගු වෛරසයකට මූණ දෙද්දි.අර කලින් වර්ගෙට ඇති වෙච්ච ප්‍රතිශක්තිය මේ අනිත් වර්ගෙ වෛරසයට ලෙඩාට ඩෙංගු හදන්න ලේසි කරනවා වගේම මෙදා පාර ලෙඩේ බරපතළ කමත් වැඩි කරනවා.
අහ් ඔව් නේන්නම්.
මේ ඩෙංගු එක්ක ලෝකේ මිනිස්සු ඔට්ටු වුනේ අද ඊයෙ නෙවෙයි නෙ.ඒත් ඉතින් මේක ලේසි වැඩක් ම නෙවෙයි.
ලෝක මදුරු මර්දන ව්‍යාපාරේ ඇත්තන්ට වොල්බැකියා මුණ ගැහෙන්නෙ ඒ අස්සෙ.
?වොල්බැකියා කියන්නෙ බැක්‍ටීරියාවක්.සාමාන්‍යයෙන් අපේ වටපිටාවේ ඉන්න හුඟක් කුරුමිණි සත්තුන්ගෙ ඇඟේ මේ වොල්බැකියා ස්වාභාවිකව ම ඉන්නවා.ඒත් වැඩේ කියන්නෙ අපේ ඩෙංගු මදුරුවාගෙ ඇඟේ මේ කියන වොල්බැකියා නෑ.
ඉතින් ඔය කියන වොල්බැකියා ඩෙංගු මදුරුවගේ ඇඟේ හිටියම මොකද වෙන්නෙ?
අන්න එතනයි ලස්සන වැඩේ තියෙන්නෙ.වොල්බැකියා ඇඟේ ඉන්න ඩෙංගු මදුරු නෝනලා ඩෙංගු වෛරස් එක මිනිස්සුන්ට බෝ කරන්න බෑ.ඒ කිව්වෙ ඒ විදියෙ මදුරුවෙක් කෑවට ඩෙංගු හැදෙන්නෙ නෑ.
ලෝක මදුරු මර්දන ව්‍යාපාරේ ඇත්තෝ ඒකට මෙහෙම වැඩක් කරනවා.
මුලින්ම එයාලා ඩෙංගු මදුරු නෝනලා ඇති කරනවා.ඒ ඩෙංගු නෝනලා ගේ මදුරු බිත්තරවලට වොල්බැකියා මුණ ගස්සනවා.දැන් වොල්බැකියා එක්කහු වෙච්ච මදුරු පරම්පරාවක් හැදිලා.
ඒකත් මෙහෙමයි.එක මදුරු නෝනෙක්ගෙ ඇඟට රිංගපු වොල්බැකියා ඒ නෝනා බිත්තර දමද්දි බිත්තර හරහා ඊළග පරම්පරාවටත් ඇතුල් වෙනවා.එතකොට වොල්බැකියා උන්නැහේ ලා ඇඟේ ඉන්න මොඩිෆයි කරපු මදුරු බිත්තරවලින් එන මදුරු නෝනලාගේ ඉදිරි පරම්පරා ඔක්කොගේම වොල්බැකියාවා ඉන්නවා.එතකොට මොඩිෆයි වෙච්ච මදුරු මහත්තුරු අපේ නෝර්මල් මදුරු නෝනෙක් එක්ක එකතු වුනා කියමුකො.එතකොට මොකද වෙන්නෙ.එතනදී හැදෙන්න සරු නැති මදුරු බිත්තර.
ඉන්දුනීසියාවෙ පටන් ගත්තු වොල්බැකියා නැටුම දැන් ඩෙංගු බහුල ගොඩක් රටවල්වල අත් හදා බලනවා.
මෙච්චර කල් අපි කළේ ඩෙංගු මදුරුවෝ හැදෙන තැන් වනසන්න බලපු එක නේ. වොල්බැකියා ව්‍යාපෘතියේ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
වොල්බැකියා එක්කහු කරපු මොඩිෆයි මදුරු බිත්තර රක්කවලා මොඩිෆයි ඩෙංගු මදුරුවෝ පරිසරයට මුදා හරින එක තමයි මෙතනදි කරන්නෙ.
වොල්බැකියා මදුරු ගහණය ටික ටික වැඩි වෙලා අපිට ඩෙංගු බෝ කරන පරණ ඩෙංගු මදුරුවෝ නැති වෙයි කියන එක තමයි මේකෙ පදනම.
ටිකක් අමුතුයිත් වගේ නේද?
ඩෙංගු බහුලම රටක් හැටියට අපේ ලංකාවටත් මේ වෙද්දි වොල්බැකියා මදුරු නැටුම හඳුන්වලා දීලා තියෙනවා.
ඒත් ඉතින් වොල්බැකියාටම ඔක්කොම කරන්න දීලා බලන් ඉන්න බෑ.මොකද මේක තාම පර්‍යේශන මට්ටමේ වැඩක් නෙ.
ඉතින් ලියමන අහවර කරන්නං සුපුරුදු මන්තරෙන්.
ඩෙංගු මදුරුවට බෝවෙන්න තියෙන නවාතැන් විනාස කරන්න.අපේ ගෙදර විතරක් පිරිසිදු වෙලා හරියන්නෙ නෑ.මදුරු නෝනලා විදින්නෙ ගෙවල්වල ඇඩ්‍රස් බලබල නෙවෙයිනෙ.වටපිටාවෙ ඔක්කොම තැන් ගැන අවධානෙන් ඉන්න.
උණ හැදුනොත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගන්න.රුධිර පරීක්ෂා කරගන්න.විවේකෙන් ඉන්න.උණ මට්ටු කරන්න පැරසිටමෝල් විතරක් ගන්න.
මදුරුවා ඩෙංගු වෛරසේ එක්කහු කරගන්නෙ ඩෙංගු හැදිච්ච මනුස්සයෙක්ගෙන්මනෙ.
ඩෙංගු උණ හැදුනානම් නැතිනම් සැකයක් තියෙනවනම් දෙයියනේ කියලා මදුරු දැලක් ඇතුලට වෙලා ඉන්න.
ඔය ඇති නෙව.
වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා
(චායාරූප අන්තර්ජාලයෙනි.)




