2025 වසර තුළ ශ්රී ලංකාවේ පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය පසු කරයි.
2015 සිට 2025 දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයේ සැලකිය යුතු වෙනස්කම් සහ වර්ධන ප්රවණතා දැකගත හැකිව තිබේ. 2015 වසරේදී ශ්රී ලංකාවෙන් ලැබුණු පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න වූ අතර, එය ඊළඟ වසරවලදී කාලික ලෙස අඩුවීම් හා නැවත ඉහළ යෑම් දක්නට ලැබුණි.
2018 සිට 2020 දක්වා කාලය තුළ පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 311 සිට 345 දක්වා පරාසයක පැවතුනි. 2024 වසරේදී ශ්රී ලංකාවේ පොල් අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 416ක් ලෙස වාර්තා වී තිබේ.
විශේෂයෙන්ම 2025 වසරේදී (ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ) පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියන 1 ඉක්මවා යාම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.
මෙම විශාල වර්ධනයට ප්රධාන වශයෙන් හේතු වී ඇත්තේ වර්ජින් පොල් තෙල්, පොල් කිරි, පොල් කුඩු, කොයර් සහ ඇක්ටිවේටඩ් කාබන් වැනි වටිනාකම වැඩි කළ නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම ප්රවණතාවය දිගටම පවත්වා ගත හැකි නම්, ඉදිරි වසරවලදී පොල් කර්මාන්තය ශ්රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්රධාන ක්ෂේත්රයක් ලෙස තවත් ශක්තිමත් වීමට හැකි බවයි.
මූලාශ්ර: ශ්රී ලංකා මහ බැංකුව (CBSL), Coconut Development Authority - Link
Last edited:
