ලෝකයේ අන් රටවල් හා සසඳා බලන කල ශ්‍රී ලංකාව දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති රටකි.ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන් අතින්ද ලියැවුණු ලංකා ඉතිහාසය පිලිබඳ තොරතුරු ඇතුලත් ග්‍රන්ථයන් බොහෝය.ලංකාවට ඉතා සමීප ලෝකයේ විශාලම ජනගහනයක් ඇති ප්‍රබල රටක් වන ඉන්දියාවේ සංස්කෘතික ආභාෂයන් ශ්‍රී ලංකාවේ බහුතර ජන කොට්ඨාසය වන සිංහලයන්ගේ සංස්කෘතිය පෝෂණය වීමටද විශාල වශයෙන් බලපා ඇත.මූලිකව බෞද්ධ දර්ශණයට අමතරව නොයෙකුත් සංස්කෘතික බලපෑම් භාරතයෙන් ලංකාවට ලැබී ඇති අතර මනුෂ්‍යයින් අතර උසස් හෝ පහත් කමක් දනවන්න්නේ යැයිද තමන් සහ පරපුර යම් විශේෂිත ජනකොටසට අයත් යැයිද සමහර මනුෂ්‍යයින් විසින් විශ්වාස කරන කුලයද මින් එක් සාධකයකි.සිංහල ශබ්දකෝෂය කුලය යන වදනට දී ඇති අරුත් වන්නේ 1. කෙනෙකුට උපතින් ලැබෙන වංශය,ගෝත්‍රය,පරම්පරාව, 2.පවුල, කුටුම්භය, ගෙදර, 3.සමූහය, කණ්ඩායම,ගණය, පංතිය, 3.(ජාතිය හෝ ගෝත්‍රය මුල් කරගෙන කරන) අපහාසය, නින්දාව, 4.ආචාර්ය පරම්පරාව, ගුරු පිරිස, ගුරුකුලය යන්නයි.
ලංකාවට බුදු සමය ලැබීමට පෙරද යක්ෂ,නාග,දේව,රාක්ෂ යනුවෙන් කුල සතරක් පැවති බැව් මහාවංශ ටීකාවේ සඳහන් වේ.මේවා එකම සමාජයක අන්නෝන්‍ය සංස්කෘතික අනන්‍යතාවන් පිලිඹිඹුවෙන් වැඩෙන කුලයන්ට වඩා ගෝත්‍ර හෝ ජනවර්ග ලෙස හැඳින්වූව හොත් වඩා උචිතය.මන්දයත් ඒ ඒ ගෝත්‍ර අතර පැහැදිලි බෙදීම් තිබුණු බවට මහවැලි ගං තීරයෙහි " මහානාගවන" නම් වූ නාග ගෝත්‍රිකයින්ට අයත් උද්‍යානයක් යක්ෂ ගෝත්‍රිකයන් විසින් ආක්‍රමණය කිරීම නිසා ඇතිවූ ගැටුමක් සංසිඳවීමට බුදුන් වහන්සේ මහියංගණයට පැමිණීම මහාවංශයේ සඳහන් වීම උදාහරණයකි.බුදුන් දවස භාරතයේ බ්‍රාහ්මණ,ක්ෂත්‍රීය,වෛශ්‍ය,ශුද්‍ර යනුවෙන් කුල බෙදීමක් පැවති අතර උසස්ම කුලය බ්‍රාහ්මණයන් හෙවත් බමුණන් විසින් ආගමික කටයුතුද ක්ෂත්‍රීය කුලිකයින් රාජ්‍ය පාළනයද,වෛශ්‍ය කුලිකයින් වෙලඳාමද, ශුද්‍රයින් විසින් කම්කරු ශ්‍රේණියේ කටයුතුද සිදුකරන ලදී.බ්‍රාහ්මණයන්
යනු උත්තම කුලයක් බවට ඔවුන් විසින්ම දෙසූ අතර
බ්‍රාහ්මණ ධර්මයට අනුව මිනිසා මහා බ්‍රහ්මයාගේ නිර්මාණයකි. ඒ අනුව බ්‍රාහ්මණ වංශය බ්‍රහ්මයාගේ මුඛයෙන්ද ක්ෂත්‍රියයා බාහුවෙන් ද ,වෛශ්‍යයා නාභියෙන්ද, ශුද්‍රයා පාදයෙන් ද බිහිවූයේ වෙයි. බ්‍රාහ්මණයා සෑම අතින්ම පාරිශුද්ධ වූ අතර අනෙක් අය ඊට පහත්ය. ශුද්‍රයන් යනුවෙන් හැඳීන්වූ කොටස කෙතරම් පහත් තත්වයක ලා සැලකුවේ ද යත් නිදහසේ ආගම ඇදහීම වැනි මානව අයිතිවාසිකම් පවා අහිමි කර තිබිණි.මෙම කුල බෙදීම් වලට කිසිසේත් නොබිඳිය හැකි තර්කයක් ඉදිරිපත් කලේ ගෞතම බුදු රජාණන් වහන්සේය.උන්වහන්සේගේ තර්කය වූයේ
"නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණෝ" යන්නයි.මෙහි අර්ථයට අනුව කෙනෙකු උපතින් වසළයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවේ.කෙනෙක් වසළයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නෙ ඔහුගේ ක්‍රියාව අනුව පමණි.
මෙය බමුණු ඉගැන්වීම් වලට මරු පහරක් වූ අතර බුද්ධිමතුන්ට පිළිගත යුත්තක්ම විය.තවදුරටත් මේ සම්බන්ධව මත පලකල උන්වහන්සේ මජ්ජිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයෙහිදී
"යථා එතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුථු
එවං නත්ථි මනුස්සෙසු ලිංගං ජාති මයං පුථු”
යනුවෙන් දෙසූහ.මෙයින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීව විද්‍යාත්මක සත්‍යතාවයකි. ජීව විද්‍යාවට අනුව විවිධ සත්ව හා ශාක කොට්ඨාශයන්හි ලක්ෂණ විශේලේෂණය කරන විට සතුන් මෙන් මිනිසා ගේ විවිධ ජාතීන් දැක්විය නොහැක. මිනිසා කෙබඳු ස්වරුපයන්ගෙන් යුක්ත වූවත් එකම ජීව විශේෂයකි. එම නිසා මිනිසුන් අතර ජාති භේදවාදයක් පවතින්නේ නම් ජීව විද්‍යාත්මක පදනමක් මත උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කලහ.තවද ආචාර විද්‍යාත්මකව සලකන විට මිනිසුන් අතර ඔවුන්ගේ උප්පත්තියට අනුව ජාති, වර්ග, වශයෙන් ප්‍රභේදයක් ඇති කළ නොහැකි බව ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ බව වාසෙට්ඨ සූත්‍රයේ හි දක්වා ඇත්තේ මෙසේය.
“සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං
සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”
සහ ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.
ශ්‍රීමත් ආනන්ද කුමාරස්වාමි විසින් මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ දහනවවන සහ විසිවන සියවස් මාරුව ආසන්න සමයෙහි පැවතියේ යැයි අනුමාන කල හැකි කුල 27ක් දක්වා ඇත. ගොවි,සලාගම,කඹුරු,වඩු,හන්නාලි,රදා,ඇම්බැට්‍ට,සොම්මාර,දුරාව,කුම්බකාර,බඩහැල,කරාව,වැදි,බෙරවා,හකුරු,හුණු,පන්න,යමන්නෝ,වෙල්වඩු,ගහල,පදු,මාලාකාර,කින්නර,රොඩී,ඔලී,ඉන්ද්‍රජාල සහ චන්ඩාල යනු එම කුලයන් ය.නිදහස් අධ්‍යාපන පනත,ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වීම,වර්ෂ 1956 දේශපාලන පෙරළිය සහ විවෘත ආර්ථික සම්ප්‍රදාය ආදී සාධක කීපයක ඇවෑමෙන් වර්තමානයේ කුල කිහිපයක් පමණක් තිරය පිටුපස සහ පුවත්පත් හා අන්තර්ජාල මංගල යෝජනා තීරයන්හී හඳුනාගත හැකිය.
ගොවි කුලය(රදල සහ පට්ටිකාර)
කරාවේ කුලය
සලාගම කුලය
දුරාව කුලය
දේව කුලය
රදා කුලය
විශ්ව කුලය
නැකති කුලය
කුඹල් කුලය
පණික්කි කුලය
හුණු කුලය
රන්කරු කුලය
මේ විවිධවූ කුලයන් බිහිවීමේ මූලය ලෙස ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී අශෝක රජුගේ අනුග්‍රහයෙන් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලක්දිවට වැඩමවීම සමග බොධියේ අභිවෘද්ධිය පිණිස සංඝමිත්තා තෙරණිය සමග කුඹුරු, ලෝකුරු, ස්වර්ණකාර,වඩු,සිත්තර ආදී කුලයන්ගෙන් සමන්විත අටලොස් කුලයක පිරිසක් පැමිණීම සැලකිය හැකිය.මෙම කුලයන් යනු විවිධ ක්ෂේත්‍රයන්හී නිපුනවූ දුරයන් හෙවත් සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍ය කාර්මික ශ්‍රේණීන් ය. එසේම මින් බොහොමයක් බ්‍රාහ්මණ වංශිකයන්ය.මෙම පිරිසෙහි පාරම්පරික විකාශනය තුලින් විවිධ වූ කුලයන් ලංකාවේ ඇතිවීම සිදුවූ බැව් අනුමාන කල හැකිය.බෞද්ධ දර්ශණය මත පදනම්ව මේ පැමිණි පිරිස තුල කුල භේදයක් නොතිබුනත් පසුකාලීනව ඔවුන්ගේ පාරම්පරික විකාශනය තුල බෞද්ධ දර්ශණයේ බලපෑම අවම වීමෙන් සහ පසුකාලීනව ඇතිවූ භාරතීය සංස්කෘතික බලපෑම් හේතුවෙන් කුල බෙදීම් තීව්ර වූවා වියහැකිය.
එසේම මේ සියළු කුලයන් අතරින් ගොවි කුලය උසස් බව සිංහල සමාජ සම්මතයයි.ශ්‍රීමත් ටිකිරි බණ්ඩා පානබොක්කේ අදිකාරම්ගේ නීති නිගණ්ඩුව ග්‍රන්ථයට අනුව ගොවි වංශය යනු විවිධවූ ස්‍ථර එකොලහකින් සෑදුනකි.එනම්.
බණ්ඩාරවරු
පට්ටිකාර
වීරමේස්ත්‍රිකාර
පොරෝකාර
කූණම්කාර
ඇත්වල පණික්කියෝ
මල්කාර
කුට්ටන්වල ඇත්තෝ
බලිගත් ගමයෝ
ගත්කරු
තිඹිල්ලෝ
යනුවෙනි.ගොවි කුලය තුලද බණ්ඩාරවරු හෙවත් රජුගේ බදු අයකිරීමේ බලයැති රදලයන් උසස් කොට සැලකූ අතර සෙසු උප කුල නවයම පට්ටිකාර මූලික කුලයට අයත් විය.බණ්ඩාරවරු ලෙස හැඳින්වූ රදලයන් භාරතයෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවැත එන්නන් වන අතර සංස්කෘත භාෂාවෙන් බිහිවූ බණ්ඩාර යන නාමය භාවිතා කලේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන්නන් උදෙසා බව අධිනීතිඥ ඊ.ඩබ්ලිව් පෙරේරාගේ "අලකේෂ්වර" නැමති ශාස්ත්‍රීය ලිපියේ සඳහන්ව ඇත.ද්‍රවිඩ ජාතික බණ්ඩාරවරුන්ගේ නාමය වන්නේ "පණ්ඩාරම්" හෝ "පන්ටාරම්" යන්නය.ගොවි කුලය බමුණු ,ක්ෂත්‍රීය,වෛශ්‍ය යන කුලිකයන් ලංකාවේ ගොවි කුලයට උකහාගැනීමෙන් පෝෂණය වුවකි.මේ මූලාශ්‍රය තීව්ර කරන යෝග රත්නාකරයේ සඳහන් කවියකි මේ.
රජ බමුණු වෙලඳ ය
උපන් කුල මෙලෙස ය
ගොවි වංශ මේ සතර ය
එයින් වියබැව් උපත තියුණු ය
උඩරට රාජධානිය ප්‍රමුඛ කොටගත් සිංහල රදල කුලයේ වංශාධිපතීන් බොහොමයක් භාරතයෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණ වංශිකයන්ගෙන් පැවත එන්නන් වේ.සංඝමිත්තා තෙරණිය සමග පැමිණි පිරිසෙන් සෝලංගිරි බ්‍රාහ්මණ පරපුරෙන් කන්ද උඩරට හුලංගමුව පරපුරද , ශ්‍රී විෂ්ණු බ්‍රාහ්මණ පරපුරෙන් රත්වත්තේ පරපුරද, ශ්‍රී රාම බ්‍රාහ්මණ පරපුරෙන් අළුවිහාරේ පරපුරද ආරම්භ වී ඇත.ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" පර්‍යේෂණ ග්‍රන්ථයේ උඩරට බ්‍රාහ්මණ පරම්පරා 58ක් ගැන සඳහන් කොට ඇති අතර සිංහල බෞද්ධයන් ලෙස ප්‍රකට පරම්පරාවන් කීපයක නම් පමණක් මෙහි දක්වා ඇත.
Last edited:
