අපහසු, දුෂ්කර වැඩම කළ යුග පුරුෂයකු සෙංකඩගලදී අද (29) අවසන් ගමන් යෑමට නියමිතය. ඔහුගේ නිර්මාණත් පුද්ගලික ජීවිතයත් ගුරු දිවියත් එකකට එකක් නොදෙවෙනුව ඒ අපූරුව කියාපානු ඇත.
මවුපියන් සංගීත ගුරුන්මවන පවුලක උපන් ආනන්ද පෙරේරා මවුපිය අඩි පාරේ යමින් තෝරා ගත්තේ සංගීත චාරිකාවයි. ඒ එවකටත් මුදල් හදල් යහමින් හරිහම්බ කරන්නට වෙළෙඳ ව්‍යාපාර, වෙනත් රැකී රක්ෂා තිබියදීය.
එතැන් පටන් අනේකවිධ කම්කටුලු මැද මවුපියන්ගෙන්ම සංගීතය හැදෑරූ ඔහුට සංගීතය පූජනීය විය.
‘ගීතයක සංගීත රසය හා අර්ථ රසය ශ්‍රාවකයාගේ මනසට යන්න ඕනෑ. එතැනදී කරන්න යන දේ ගැන අවබෝධය ඉතා වැදගත්. සංගීත සංයෝජනය මෙතැනදී හුඟක් වැදගත්. ජනසංගීතයේ විවිධ ප්‍රභේද තියෙනවා. නිර්මාණයකදී සමහර විට වචන වෙනස් වෙන්න පුළුවන්. නමුත් තනුව වෙනස් කරන්නෙ නැහැ…’
‘හොඳ දේවල් රසිකයාට අහන්න සලස්වන්න ඕනෑ…’
‘සංගීතය එක පැත්තකින් භාවනාවක්. මිනිසුන් පමණක් නෙවෙයි තිරිසනුන්වත් මේකෙන් පාලනය කරන්න පුළුවන්….’
ආනන්ද ගමගේ නොයෙක් වර පුවත්පත් සාකච්ඡාවලදී එසේ කීය.
මේ අපූරු නිර්මාණකරුවා සොහොයුරාත් සමඟ ගැටවර වියේදීම කොළොම්තොටටට මවුපිය හවුහරණින් මිදී එන්නේ සිතකින් නොවේ. ඒ ද සංගීතය පිපාසාවෙනි. ආනන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි වාදක මඬුල්ලේ දොරගුළු හරවා ගත්තේ එතරම් දුෂ්කරතා මැදිනි.
‘මුලින්ම මං වර්ෂ 1973දී සුපර් ජේඩ්ස් සංගීත කණ්ඩායමට බැඳුණා. ඒකේ මගේ මල්ලිත් හිටියා. දවසින් දවස සංගීත දැනුම, පර්යේෂණ කරන්න පුදුමාකාර ආසාවක් මට තිබුණා. තාත්තාටත් හොරෙන් මායි මල්ලියි කොළඹ ඇවිත් 1983 අවුරුද්දේදි විතර ගුවන්විදුලි වාදක මණ්ඩලයට බැඳුණේ…’
ඔළුවට නොව දෙපයට දැනෙන, එලෝ මෙලෝ නැතිව නට නටා එකිනෙකා ගැටෙන ඝෝෂාකාරී ප්‍රසංග සංගීතයට සමාජයෙන්ම රැවිලි, ගෙරවිලි, මැසිවිලි ගැඟුණේ අද ඊයේ සිට නොවේ. ඒ පිළිබඳ පිළිකුලෙන් ඇතැම් ප්‍රවීණයන් තවදුරටත් ගී නොලියා, තනු නොහදා පසෙකට වුවත් එයින් සමාජයට හරිමඟ පෙන්වා දීමට නොහැකි බවත් නිශ්ශබ්දව සිටිනවාට වඩා හරවත් නව ප්‍රසංග කලාවක් බිහිකර ගැනීමට කටයුතු කළ බවත් ආනන්ද ඇදහීය.
‘කණ්ඩායම් සංගීතය අද තියෙන තැනින් මුදා ගන්න ඕනෑ… ’මේ, ආනන්ද පෙරේරා බොහෝ මාධ්‍ය සාකච්ඡාවලදී ගෙනහැර පෑවකි. කතාවට සීමා නොවී ඔහු උපරිමයෙන් ඒ වෙනුවෙන් වැඩ කළේය. අලුත් පරපුරට සංගීත දැනුම බෙදා දීමෙන් තවත් පරම්පරා ගණනාවකට ශාස්ත්‍රීය සංගීතයේ මහිමය උරුම කර දෙන්නට මියෙන තෙක්ම ඔහු ඇපකැප විය.
ජන නාද රටා බටහිර සංගීත ආභාසය මෙරට සංගීත කලාවට ඇතුළත් කර ගත හැකි බවට ඔහු ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේය. එහෙත් ඒ නිර්මාණ චාරිකාවේදී අපේ කතානායකයාට දෛවයෙන් එතරම් රුකුල් නොලැබිණි. විටින් විට අකාරුණික ඉරණම ආනන්දට බරපතළ වධ වේදනා ගෙන දුනි. ‘මට හදිසියේම අංශභාග රෝගය වැලඳුණා. එක පැත්තක් පණ නැතුව ගියා. ඒ වෙලාවේ මං ගොඩක් අසරණ වුණා… ’
‘මං තිදරු පියෙක්. මං ඒ අයව රැකබලා ගත්තේ සංගීත භාණ්ඩ වාදනය කරලා. මං රෝගී වුණාම ඇතිවූ බය ඒකයි. ’
‘මනෝහාරී’ වැනි සංගීත වැඩසටහන් ඔස්සේ ද ඔහු විඳි, දුක් සෝ සුසුම් වුවද ප්‍රතිභාව හරහා දෙනෝදාහක් සිත් සතන් සනසන නිර්මාණ බවට හැරවීය.
ආනන්ද පෙරේරා කණ්ඩායම් සංගීතයට නව අරුත් දුන් ශක්ති, සිහශක්ති කණ්ඩායම් හරහා මෙරට ප්‍රසංග කලාවට නව මාවත් විවර කර දුන්නෙකි. ‘අවුරුද්දක් පුරා පුහුණුවීම් කටයුතු කරලා දක්ෂයන් කිහිප දෙනකු සමඟයි 1988දී මං ‘ශක්ති’ පිහිටුවා ගත්තේ.
ඇන්තනී සුරේන්ද්‍ර, හේමපාල ගාල්ලගේ, අශෝක පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක වැන්නෝ එකට එකම වේදිකාවකට කැඳවා, එක්කර ගනිමින් එතරම් පෙළහරක් පෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. ඊට ආනන්ද පෙරේරා සතු ඉහළ නායකත්ව ගුණාංගය හේතු විය.
මේ මෙහෙවර මැද ගිලන් ඇඳකට වී එක්තැන් වන්නට වූ තවත් අවස්ථා ඔහුට විය.
මී උණට ගොදුරු වීමෙන් පසුව වකුගඩු අප්‍රාණික වීමකට ලක් වූවිට සහෝදර කලාකරුවන් ඇතුළු ජනතාව කළ උදවුපදවු පිළිබඳ ඔහු නිතර කෘතවේදීත්වය පළ කළේය.
‘මිනිහකුට විඳින්න පුළුවන් උපරිම වේදනා මම වින්ඳා… ’ මේ අව්‍යාජ මිනිසා පුවත්පත් සාකච්ඡාවලදී ඇතිතතු දෙවරක් නොසිතා, නොසඟවා හෙළි කළේය. ඒ අනුකම්පාව, ආධාර උපකාර අපේක්ෂාවෙන් නොවේ.
මැරෙන්න කලින් මගේ එක සින්දුවක් හරි ජාත්‍යන්තර තලයට ගෙනයන්න පුළුවන් වුණොත් මට ඇති…
මම සංගීත ශිල්පියකු විදියට කවදාවත් සල්ලි පස්සෙ දුවගෙන ගිහින්, කෑදර කමින් සල්ලි හම්බ කළේ නැහැ. මම මගේ වෘත්තිය කවදාවත් පාවා දීලාත් නෑ. මම හම්බ කළේ වෘත්තීය ගරුත්වය රැකෙන විදියට, සංගීතය උතුම් කොට සලකලා, ඒ මගේ හැටි…
ඉක්මණින් ජනප්‍රිය කරවිය හැකි හරසුන් කලාව වෙනුවට ආනන්ද පෙරේරා හරසුන් කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් දිවිය කැප කළේය. ඒ විශාරද ආනන්ද පෙරේරාගේ සැටිය.
‘වකුගඩු රෝගීන් බෙලහීන අය නොවේ… ’ මාධ්‍ය සාකච්ඡාවලදී එසේ පැවැසූ විශාරද ආනන්ද පෙරේරා ‘Life Plus’ ආදි ප්‍රසංග හරහා වකුගඩු බද්ධ කළ, රුධිර කාන්දුකරණ කළ පුද්ගලයන් සිය ගණනක් එක්කර ගනිමින් පැවැත්වූ ප්‍රසංග හරහා මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයට ඩයලයිසීස් යන්ත්‍ර ඇතුළු උපකරණ ප්‍රදානයට කටයුතු කළේය.
රෝග පීඩා විඳිමින් නොසැලී සිටියදී පුතුගේ වියෝවේ පීඩාවත් ආනන්ද පෙරේරාට විඳින්නට සිදු විය.
‘පුතාව බේරාගන්න කරන්න පුළුවන් හැමදේම කළා. භාරහාර වුණා. පුද පූජා තිබ්බා. ඒත් අන්තිමේදී එයා අපි හැමෝම දාලා එයාගේ ලෝකෙට ගියා… ’
ශාස්ත්‍රීය සංගීතයෙන්, බෝධිපූජා ආදි වතාවත් පුරමින් දිවියේ අනියත බව උපේක්ෂාවෙන් විඳගත් විශාරද ආනන්ද පෙරේරාගේ ජීවිතයෙන් උගත හැකි දේ තවත් බොහෝය. තවම ඒ පිළිබඳ ලියැවී නැත.
මේ වැසිබර සමයකි. අද මහනුවර මහයියාව නිවෙසේ සිට නාගරික සුසානය තෙක් දිවෙන මඟ දිගටත් සීතල පොද වැටෙනු ඇත. ඒ සිහින් සර මැදින් මඟතොට යනෙන දෙනෝදාහක් දෙනා අතුරෙන් ඇතමකු විශාරද ආනන්ද පෙරේරා හඳුනනු ඇත. ඒ අතර අලුත් පරපුරේ ඔහු හඳුනන සමහරු ද සිටිය හැකිය. එහෙත් ඒ කවුරුන් වුවද මේ දිවිය තුළ එක ඇසිල්ලකටවත් විශාරද ආනන්ද පෙරේරාගේ මියුරු තනු විඳි, ඉන් සැනසුණු අය වනු නියතය. එසේම තවත් පරම්පරා ගණනාවකට විඳින්නට විශාරද ආනන්ද පෙරේරා ඉතිරිකර ගිය නිර්මාණ, දැනුම ධන නිදානය අති විශාලය.
දිණමින