ශිව, විශ්වාසය සහ වත් පිළිවෙත්

hpalpola

Well-known member
  • මෑත කාලයෙ සෑහෙන්න fb පෝස්ට් යනවා ධර්මය ගැන කතා කලාට පිළිපදින්නෙ නෑ කියන එක විස්තර කරන්න. ඔය තත්ත්වය අද විතරක් තිබ්බ එකක් නෙමෙයි, ඈත අතීතයෙත් තිබ්බ තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි බුද්ධ ධර්මයට විතරක් පොදු දෙයකුත් නෙමෙයි. ශිව දෙවියො සම්බන්ධ මේ කතාව ඊට නිදසුනක්.

    එක තව්සෙක් ඉඳියා වේද කියලා. මේ වේද තව්සා ශිව දෙවියන්ගෙ බැතිමතෙක්. එයා නැවතිලා ඉන්න තැනට ලඟින් ශිව ලිංගයක් තිබුනා වන්දනා කරන්න. වේද හැමදාම උදේට මේ ශිව ලිංගයට වන්දනා කරනවා, ඒ වගේම තමුන්ට ලැබෙන ආහාර පානත් පූජා කරනවා. ඔය ආසන්නයෙම ඉඳියා භිල්ලා කියලා දඩයම්කාරයෙක්. මේ දඩයම්කාරයත් දඩයමේ ගිහිල්ලා ලැබෙන්නෙ මොනවද ඒ දේ අර ශිව ලිංගයට පූජා කරනවා.

    භිල්ලා පූජා කරන්න කලින් ශිව ලිංගය ලඟ අස්පස් කරනවා. ඒ අස් කරද්දි වේද තව්සා පූජා කරලා තියෙන දේවල් පැත්තකට කරනවා. වේද තව්සාට දවස් ගාණක් මේක දකින්න ලැබුනා. තව්සා කල්පනා කරලා බැලුවා කව්ද මේක කරන්නෙ කියලා. දවසක් තව්සා උදේ පූජාව තියලා හැංගිලා බලා ඉඳියා කව්ද මේ දේ කරන්නෙ කියලා.

    ඔහොම හැංගිලා බලන් ඉද්දි දැක්කා අර භිල්ලා දඩයම්කාරයා දඩමසුත් අරන් ඇවිත් ශිව ලිංගය වන්දනා කරනවා. වේද තව්සාගෙ පුදුමයට හේතු වුනේ ශිව දෙවියොම ඒ පූජාව පිළිගන්න ඇවිත් ඉන්නවා දැක්කම.

    භිල්ලා යනකම් බලන් උන්න වේද තව්සා ශිව දෙවියො ලඟට ගිහින් තමුන්ගේ වේදනාව කිව්වා. “මම ඔබවහන්සේට හැමදාම භක්තියෙන් පූජා කරනවා, ඔබවහන්සේ නිකමට මට පෙනුනෙ නෑ. ඒත් අර අත්වල ලේ තැවරුණ දඩයම්කාරයා දඩ මස් පූජා කරනකම් බලා ඉඳලා හරි සන්තෝසෙන් ඒවා බාර ගන්නවා. මේක මහ අසාධාරණයක්. මට මේක ඉවසන්න බෑ. මේ ගලෙන් මන් මේ ශිව ලිංගය කුඩු කරලා දානවා.” හිනාවෙන් වේදට උත්තර දුන්න ශිව දෙවියො කිව්වෙ අද ඉවසලා, හෙටත් බලන්න කියලා විතරයි.

    ඊලඟ දවස උදා වුනා. වේද පුරුදු විදියටම ආවා පූජා කරන්න. ඒ එද්දි දැක්කා ශිව ලිංගය උඩ ලේ බිංදු කීපයක් තියෙනවා. වේද තව්සා ඒ ටික හෝදලා දාලා තමුන්ගෙ පූජාව කලා.

    ටික වෙලාවකින් භිල්ලාත් පූජා පවත්වන්න ආවා. ශිව ලිංගය උඩ තිබ්බ ලේ බිංදු දැක්ක භිල්ලා හිතුවෙ එයාගෙ වරදක් නිසා ශිව ලිංගය අපවිත්‍ර වෙලා කියලා. භිල්ලා සෑහෙන කම්පාවට පත් වුනා. තමුන්ගෙන් වුන වරදට දඬුවම විදියට භිල්ලා ඊතලයක් අරන් ඇඟ තුවාල කරගත්තා. මේ වෙලාවෙදි ශිව දෙවියො පෙනී ඉඳියා. “දැන් ඔබට තේරෙනවද වේද ඔබ සිදු කලේ වත් පිළිවෙත් පමණයි. නමුත් භිල්ලා එහෙම නෙමෙයි. ඔහුගේ වන්දනාව ඔහු කරන්නේ ආත්මයෙන්ම. ඔබට වැටහෙනවද සත්‍ය විශ්වාසයෙත් වත් පිළිවෙත් කිරීමෙත් වෙනස”. වේදට ශිව දෙවියො කරුණු පැහැදිලි කර දුන්නා.

    දෙවියො වුනත් බලන්නෙ හරියට ඒ කාර්යය කරන තැනැත්තා ගැන පමණයි. වත් පිළිවෙතුත් අපි කරන්න ඕන. ඒක වරදක් නෙමෙයි. නමුත් වත් පිළිවෙත්වලින් පමණක් අධ්‍යාත්මික සුවය විඳින්න බැහැ. ඔබ කුමන ආගමික විශ්වාසය දැරුවත් එයින් ප්‍රයෝජන ගන්න නම් තමුන් දරන ආගමික විශ්වාසය මුළු හදවතින් ම දරන්න ඕනා. එවිටයි නියම ප්‍රතිඵල ලබා ගත හැක්කේ. ඒත් ඔබ දන්නවා බහුතරයක් දෙනා නොකරන්නෙත් ඒක.