සජින් වාස් ගුණවර්ධන රහස් පොලිස් අත් අඩංගුවට: 20 දක්වා රිමාන්ඩ්: ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 22 ක් තමන්ගේ පුද්ගලික සමාගමක යොදවලා
(ලංකා ඊ නිව්ස් -2015.මැයි.11, ප.ව.3.30) රාජපක්ෂවරුන්ගේ අංක එකේ සට්ටැඹියෙකු වූ සජින් වාස් ගුණවර්ධන හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී වරයා මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22 ක් තමාට අයත් පුද්ගලික සමාගමක භාවිතාවයට ගැනීම ගැන වරද පිළිගැනීම අනුව ඔහු අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නමට එල්ඕඑල්සී ලීසිං සමාගමේ ලීසිං පහසුකම යටතේ වාහන 22 ක් ලබා ගෙන ඇති අතර ඒ සියළුම වාහන යොදවා තිබී ඇත්තේ සජින් වාස් ගුණවර්ධනය අයත් ගුවන් සේවා සමාගමක් වන කොස්මෝ නමැති සමාගම යටතේ ය. ලීසිං වාරික ගෙවා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. මෙම බරපතල පොදු දේපොල වංචාවට කට උත්තරයක් ලබා දීමට අද උදෑසන රහස් පොලිසියට පැමිණි සජින් වාස් ගුණවර්ධන එහිදී වරද පිලිගත් අතර ඉන්පසු ඔහු අත් අඩංගුවට ගත් අතර කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙලේය.
මේ අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමූපාකාර තොග වෙළඳ සංස්ථාවේ හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු දෙනො අද කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් යළි රිමාන්ඩ් බන්ධනාගාර කරන ලෙස නියෝග කොට ඇත.