සත්ත්ව මාංශ අවශ්‍යමද?

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    සත්ත්ව මාංශ අවශ්‍යමද?

    සත්ත්ව මාංශ අවශ්‍යමද?



    මිනිස්‌ ආහාර සඳහා දිනපතා මරනු ලබන සතුන්ගේ සංඛ්‍යාව අති විශාලය. සත්ත්ව ආහාර මිනිසුන්ගේ ආහාරයක්‌ නොවුව ද ඒ සඳහා සතුන් ඝාතනය කරනු ලබන්නේ ඉතා අමානුෂික අයුරිනි. මංගල උත්සව, සත්ත්ව බිලි පූජා, වෙනත් උත්සව, මාංශ ලෝලිත්වය වැනි කරුණු උදෙසා සතුන් ඝාතනය කරන අතර එම ඝාතන සඳහා ද විවිධ උපක්‍රමයන් අනුගමනය කරති. ගෙල සිඳීමෙන්, වෙඩි තැබීමෙන්, පහර දීමෙන්, උගුල් වලට හසු කිරීමෙන්, විදුලි සැර වැද්ද වීමෙන්, බිලි කටු, දැල් ආදිය දැමීමෙන් විවිධ වධ හිංසා පැමිණ වීමෙන් සතුන් ඝාතනය කරති. මෙලෙස සතුන් ඝාතනය කරනු ලබන්නේ සත්ත්ව මාංශ ලෝලිත්වය නිසාමය. තමන් විසින් ඝාතනය කර, එසේ නැතහොත් වෙනත් අය යොදා, එසේත් නැතහොත් මස්‌ කඩවලින් මිලදී ගෙන මාංශ භක්‍ෂණය කරති.

    අප සතුන් මරන්නේ නැත. විකිණීමට ඇති තැනකින් මස්‌ ගෙනවිත් අනුභව කරන්නෙමු. එබැවින් අපට පාපයක්‌ සිදු නොවේ ආදී වශයෙන් පවසමින් ඇතැම් දෙනා මස්‌ අනුභවය නීත්‍යනුකූල බවටත්, ආගම දහමට එකඟ බවටත් සාධක දැක්‌වීමට උත්සාහ කරති. ඇතැමුන් පවසන්නේ බුදුරජාණන් වහන්සේ ද මාංශ ආහාර වැළ» බවයි. බුදු හිමියන්ට අවසන් දානය පිළිගැන්වූ 'චුන්ද' නම් තැනැත්තා උන් වහන්සේට ඌරු මස්‌ පිළිගැන්වූ බවත්, එම ආහාරය වැළ» උන් වහන්සේට අතීසාරය වැළඳීමෙන් රෝගාතුර වූ බවත් ප්‍රකාශ කරමින් තමන්ගේ මාංස ලෝලිත්වය සාධාරණීකරණය කිරීමට යත්න දරති. 'සූකර මද්දව' ආහාරය ඌරු මාංශ වශයෙන් වරදවා තේරුම් ගැනීම මෙහිදී සිදුව ඇති බව පෙනෙයි. සූකර මද්දවය යනු ඌරන්ගේ මස්‌ වශයෙන් පිළි ගැනීමට ඉක්‌මන් විය යුතු නැත. සූකර මද්දව පිළිබඳ කාලාන්තරයක්‌ තිස්‌සේ විවාද කරමින් සිටින්නෙමු. මස්‌ බුදීමට ලොල් බව දක්‌වන බොහෝ දෙනා පවසන්නේ සූකර මද්දව යනු ඌරු මස්‌ බවයි.

    සූකර මද්දව යනු ඌරු මස්‌ බව පවසන සියලු දෙනාම තම තමන්ගේ මාංශ ලෝලිත්වය බුදු හිමියන් පවා අනුමත කර ඇති බව පවසමින් සෑහීමට පත්වෙති. ඒ අනුව මෙම මතය මාංශ ලෝලීන් සහ නිර්මාංශ ලෝලීන් අතර පවතින මතවාදයක්‌ බවට පත්ව ඇති බව පෙනෙයි. සූකර මද්දව යනු ඌරු බිම්මල් නොහොත් ඌරු හතු විශේෂයකි. මෙම ඌරු බිම්මල් නොහොත් ඌරු හතු එදා මෙන්ම අදත් ආසියාතික රටවල ඉතා ජනප්‍රිය ආහාරයකි. විශේෂයෙන් ඉන්දියාව, මියන්මාරය, චීනය, තායිලන්තය වැනි රටවල සංචාරය කිරීමෙන් ලැබූ අත්දැකීම් අනුව එකරුණ ස්‌ථිරවම පැවැසිය හැකිය. එම රටවල මිනිසුන්ගේ ආහාරය සඳහා බිම්මල් නොහොත් හතු අනිවාර්ය බවට පත්ව ඇත. අද මෙන්ම එදත් එය එසේම විය. චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පූජා කළේ ඌරු මස්‌ වශයෙන් වරදවා තේරුම් ගෙන ඇති බව පෙනෙයි. බිම්මල් වර්ග ඇතැම් දෙනාට අපත්‍ය වන බව කව්රුත් දන්නා කරුණකි. ඒ අනුව බුදු හිමියන්ට ද සූකර මද්දවය අපත්‍යය වූවාට සැකයක්‌ නැත. එය කෙසේ වුවද බුදු හිමියන් සත්ත්ව මාංශ අනුභවය පිළිබඳ භික්‍ෂුන් වහන්සේලාට පනවා තිබෙන විනය නීති පිළිබඳ සලකා බැලීම මගින් නිශ්චිත තීරණයකට එළඹිය හැකිය.

    න භික්‌ඛවේ ජනං උද්දිස්‌සකතං මංසං පරිභූඤ්ජිතබ්බං යෝ පරිභූඤ්ජෙය්‍ය

    ආපත්ති දුක්‌කටස්‌ස. අනුජානාමි භික්‌ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ඡමංස අදිට්‌ඨං -

    අසුතං අපරිසංකිතං (මහාවග්ගය) මහණෙනි, තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතුය. යමෙක්‌ වැළඳුවේ නම් දුකුලා ඇවැත් සිදු වේ. භික්‍ෂූන් උදෙසා මරනු නොදුටු, භික්‍ෂුන් උදෙසා මරන ලදැ'යි නොඇසූ, භික්‍ෂූන් උදෙසා මරන ලදැ'යි සැකයක්‌ නැත්තාවූ 'ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ' අනුදනිමි' යනු ඉහත සඳහන් පාඨයෙහි අර්ථය යයි.

    මෙයින් පැහැදිලි වන්නේ බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ සඳහා ත්‍රිකෝටික පරිශුද්ධ මාංශ පමණක්‌ අනුදැන වදාළ බවයි. එයින් පැවසෙන අදහස නම්, කරුණු තුනකින් පිරිසිදු වූ මාංශයයි. එම කරුණු තුන නම් නොදැකීම, නොඇසීම, සැකයක්‌ පහළ නොවීම යන කරුණු තුනයි. නොදැකීම යන්නෙන් අදහස්‌ කරන්නේ මිනිසුන් විසින් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වීම සඳහා සතුන් ඝාතනය කිරීම නොදැකීමයි. නොඇසීම නම් භික්‍ෂූන් උදෙසා සතුන් මරන ලදැ'යි නොඇසීමයි. සැක පහළ වීම විවිධ ආකාරයෙන් සිදු වේ. මිනිසුන් විසින් සතුන් මරනු සඳහා වුවමනා කරන අවි ආයුධ ආදිය ගෙන යනු දුටුවේ නම්, එසේම එම ප්‍රදේශයට වැඩම කළ පසු මාංශ ආහාරය දානය සඳහා ලැබුනේ නම් ආයුධ රැගෙන ගියේ සතුන් මැරීම සඳහාය'යි සැකයක්‌ ඇති වෙයි. එසේ සතුන් මරා පිළියෙල කළ ආහාරයක්‌ බවට සැකයක්‌ ඇති වුණි නම් එම මාංශ ආහාර පිළිගැනීම අකැපය.

    විවිධ සමාගම් මගින් මාංශ විකිණීම සඳහා සතුන් මරති. එම මාංශ සීත ගබඩාවල තබා රට පුරා අලෙවි කරති. එවැනි මාංශ ආහාරයට ගැනීමෙහි වරදක්‌ නොවන බව ඇතැම්හු පවසති. තර්ක කරති. කිසියම් සමාගමක්‌ හෝ ව්‍යාපාරිකයෙක්‌ සත්ත්ව මාංශ නිෂ්පාදන අලෙවි කරන්නේ රටෙහි තෝරා ගත් පිරිසක්‌ ඉලක්‌ක කරගෙන නොවේ. සියලු පුරවැසියන් ඉලක්‌ක කර ගෙනය. සියලු දෙනා උදෙසාය. භික්‍ෂූන් වහන්සේ ද රටෙහි පුරවැසියෝ වෙති. එබැවින් එම තර්කයට අනුව අලෙවියට තබා ඇති කිසිම මාංශ වර්ගයක්‌ පිළිගැනීම, වැළඳීම, කැප නොවන බව පැහැදිලිය.

    කිසියම් දායකයකු මාංශ ආහාර පිළිගන්වන්නේ නම් ඒවා නොපිළිගැනීම වඩාත් සුදුසු වෙයි. එසේ පිළි නොගැනීමට හේතු විමසුවහොත්, එම කාරණය පැහැදිලි කර දිය යුතුය. පෙර දිනයේ මිනිසුන් විසින් සත්ත්ව ඝාතනය සිදුකරන ලද ගමකට පිණ්‌ඩපාතයේ වැඩිය පසුව, දානය සඳහා මාංශය ලැබුණේ නම් ඒවා තමන් උදෙසා මරන ලද සත්ත්වයන්ගේ මස්‌ය' යි සැකයක්‌ ඇති වෙයි. එසේ සැකයක්‌ ඇති වන නිසා එම මාංශ ආහාර වැළඳීම අකැප ය. එබැවින් ඒවා නොපිළිගත යුතුය. සතුන් මරන, මරවන පුද්ගලයකු මාංශ සහිත දානයක්‌ පිළිගැන්වුවහොත් සැකයක්‌ ඇති විය හැකිය. ඇතැම් විට එම සත්ත්ව ඝාතනය සිදුකර ඇත්තේ දානය දීම සඳහාම විය හැකිය. එවැනි සැකයකින් ඒවා පිළි නොගත යුතුය. දායකයාගේ සිත රිදේය'යි සිතා පිළිගත්තද ඒවා නොවැළඳිය යුතුය.

    පංචසුහි සහ ධම්මිකේසු යස්‌සවා තස්‌සවා අර්ථාය උද්දිස්‌සතං සබ්බේසං න කප්පති භික්‍ෂු භික්‍ෂුණී සාමණේරී සාමණේර ශික්‍ෂමානා' යනුවෙන් සඳහන් පරිදි භික්‍ෂු භික්‍ෂුණී සාමණේරී සාමණේර ශික්‍ෂමාණවක යන පස්‌ දෙනා අතුරෙන් කවරකු හෝ උදෙසා මරන ලද මාංශ සියලු දෙනාටම කැප නොවේ. එක්‌ විහාරයක භික්‍ෂූන් උදෙසා මරන ලද සතුන්ගේ මාංශ වෙනත් විහාරයකට දුන්න ද එම විහාරයේ භික්‍ෂූන්ට ද ඒවා කැප නොවේ.

    මිනී මස්‌ වැළඳුවහොත් ථුලැසි ඇවිත් සිදුවේ. මිනිස්‌, ඇත්, අස්‌, ගව, සුනඛ, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්‌, තරස්‌ යන මස්‌ වර්ග අකැප ය. ලෝකයේ ඇතැම් රට වල එම මස්‌ වර්ග අනුභව කරතත් ලංකාවේ ඒවා ආහාරයට නොගන්නා බැවින් ගැටලුවක්‌ නොවනු ඇත. කුමන මස්‌ ද කියා විමසිය යුතුය. එසේ නොවිචාරා වැළඳුවහොත් දුක්‌ඛටාපත්ති සිදුවේ. අකැප මාංශයක්‌ නම් ඒවා ඉවත් කළ යුතුය. මිනිස්‌ තෙල් හැර අනෙක්‌ මාංශ අකැප සතුන්ගේ තෙල් අකැප නොවේ. මස්‌ අකැප සත්ත්වයන්ගේ ලේ, සම්, ඇට, ලොම් ආදිය ද අකැප බැවින් බෙහෙතකට වුව ද ඒවා වැළඳීම කැප නැත.

    මාංශ ආහාර ගැනීම පිළිබඳ බුද්ධ ප්‍රඥප්තිය ඉතා ලුහුඬින් දක්‌වන ලදී. මාංශ භක්‍ෂණය භික්‍ෂූන්ට හෝ බෞද්ධ පිංවතුන්ට කොතෙක්‌ දුරට සුදුසුද කියා විමසීමද වටියි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ මෛත්‍රී සංකල්පයට හසු නොවන කිසියම් ප්‍රාණියකු මෙම සක්‌වල තුළ හෝ පිටසක්‌වල සිටිය නොහැක. අප නිතර කියන, නිතර අසන 'කරණීය මෙත්ත' සූත්‍රය ගෙන බැලීමේ දී ඒ බව මැනවින් පසක්‌ වෙයි. එවන් මෛත්‍රී චින්තනයක්‌ ඉදිරිපත් කළ බුදු රජාණන් වහන්සේ මාංශ ලෝලීන් පිළිබඳව ද අනුකම්පා සහගතව සිතුවා විය හැකිය. එසේම විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බුදුරදුන් මාංශ භක්‍ෂණය අනුමත කර තිබෙන බව පෙන්වීමට උත්සාහ කරනවාට වඩා, උන්වහන්සේ ඉගැන්වූ මෛත්‍රී චින්තනය ගැන හිත යොමු කිරීම වඩාත් සුදුසු ය. සියලු සත්ත්වයන්ට මෛත්‍රීය කළ යුතු බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ, තෝරා ගත් සතුන් කිහිප වර්ගයකට පමණක්‌ හැර, අන් සතුන්ගේ මස්‌ අනුභව කිරීම සුදුසු බව දේශනා කරන්නේ නැත. මෛත්‍රිය වැඩීමෙන් ලැබිය හැකි ආනිසංස එකොළහක්‌ 'තේතානිසංස්‌ සූත්‍රයේ පෙන්වා ඇත.

    යම් කිසි පුද්ගලයකු තුන් වේල බත් සැලි සියයක්‌ දෙනවාට වඩා ගව දෙනකගේ තනපුඩුවකින් කිරි බිඳක්‌ දොවන කාලයක්‌ වුව ද මෛත්‍රී වැඩීමෙන් ලැබෙන ආනිසංස වැඩි බව දේශනා කළහ. (සංයුක්‌ත නිකාය) යම් භික්‍ෂුවක්‌ අසුරු සැණක්‌ වුව ද මෛත්‍රී භාවනා කරයි නම් හෙතෙම දායකයන්ගේ සිව්පසයට ණය කරුවකු නොවේ. (අංගුත්තර නිකාය ප්‍රභාෂ්වර වග්ගය) මත්තෙහි සැප විපාක ලබා දෙන පිංකම් මෛත්‍රී චිත්ත විමුක්‌තියෙන් සොළොස්‌වන කලාවකුදු නොවටියි. (ඛුද්දක නිකාය - ෙච්තෝවිමුක්‌ති සූත්‍රය) මෙසේ මෛත්‍රී චින්තනයේ ආනිසංස දේශනා කළ බුදු රජාණන් වහන්සේ සත්ත්ව මාංශ අනුභවය සුදුසුය'යි දේශනා කරන්නේ නැත. එහෙත් පුදුමය නම් ඇතැම් ආචාර්ය මහාචාර්ය භික්‍ෂූන් වහන්සේලා පවා බුදු හිමියන් මාංශ භක්‍ෂණය අනුමත කළ බවට කෙස්‌ පැලෙන තර්ක ඉදිරිපත් කිරීමයි. එසේ නම් මෛත්‍රිය කිරීමෙහි අදහස කුමක්‌ ද කියා ඔවුහු නොපවසති.
    භික්‍ෂූන්ට හෝ බෞද්ධ වූ කිසිවකුට සත්ත්ව මාංශ අනුභව කිරීමට නොහැකි බව ඉහත කරුණු ගැන සිතන විට පෙනෙයි. මස්‌ අනුභවය සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. පාරිභෝගික අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කිරීම ආර්ථික න්‍යායයි. පාරිභෝගිකයන් වැඩියෙන් ඉල්ලන විට වැඩියෙන් සත්ත්ව ඝාතනය කරන්නේ අවශ්‍ය ප්‍රමාණය සපිරීම සඳහාය. ඇතැම් ගිහි පැවිදි උදවිය තමන් මාංශ අනුභව නොකරන බවට පුරසාරම් කියති.

    සත්ත්ව මාංශ...එසේ වුව ද තම පන්සලේ නිවසේ ඇති කරන සුරතල් සතුන් සඳහා මාංශ ලබා ගනිති. ඉහත න්‍යාය අනුව එසේ කිරීම ද සුදුසු නොවන බව පෙනෙයි. තමන් උදෙසා හෝ අනුන් උදෙසා සත්ත්ව මාංශ ලබා ගැනීමට කරුණා ශාසනය තුළ ඉඩ ප්‍රස්‌ථාවක්‌ නැත.

    සත්ත්ව මාංශ අනුභව කිරීම පිළිබඳ නූතන වෛද්‍ය මතය ද විමසා බැලීම සුදුසු වෙයි. අද ලොව තුළ බියකරු අන්දමින් පැතිර පවත්නා පිළිකා රෝගය වැළඳීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ මස්‌ පරිභෝජනයයි. ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනය ඒ බව පෙන්වා ඇත. ඇමරිකාවේ පිළිකා රෝගයෙන් මිය යන අයගෙන් සියයට හතළිහක්‌ මාංශ අනුභව කරන්නන් බව සොයාගෙන ඇත. එසේම පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ යුරෝපාකරයේ කාන්තාවෝ වෙති. ආසියාතික කාන්තාවෝ එයට ගොදුරු වීමේ අඩු ප්‍රවනතාවක්‌ දක්‌වති. එයට හේතු කිහිපයක්‌ ඇත. එනම්,

    1. නිර්මාංශ ආහාර ගන්නා කාන්තාවන්ගේ සිරුර තුළ පිළිකා ජනක 'ඊස්‌ටජන්' අඩුවෙන් පවතියි.

    2. මාංශ ආහාර ගන්නා කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ කාල පරාසය කෙටි වේ. එය පිළිකා සෑදීමට හේතු කාරක විය හැකිය.

    3. සෝයා වැනි ආහාර 'ඊස්‌ටජන්' ක්‍රියාකාරීත්වය අවහිර කරයි. එවැනි ආහාර වල පිළිකා මර්දනය කරන 'අයිසොප්ලේවොන්ස්‌' නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි.

    ආසියාතික කාන්තාවන් වැඩි වශයෙන් නිර්මාංශ ආහාර ගනිති. ඉහත දැක්‌වූ කරුණු අනුව ඔවුන් පිළිකා උවදුරට ගොදුරු නොවීමේ ප්‍රවනතාවක්‌ දක්‌වන බව වෛද්‍ය ඩී. පී. අතුකෝරාල මහතා පවසයි. ඉන්දියාවේ 'හරියානා' ප්‍රාන්තයේ දී කරන ලද පරීක්‍ෂණයකට අනුව, 'කැරොටීන්', විටමින් සී, කැල්සියම්, කෙඳි සහිත එළවළු, පළා වර්ග, ගැනීමෙන් පිළිකා වැළඳීම වළක්‌වන බව සොයාගෙන ඇත. ඒ අනුව මාංශ ආහාර සහ පියයුරු පිළිකා අතර දැඩි සබඳතාවක්‌ තිබෙන බව පෙනෙයි.

    අන්ත්‍ර වල පිළිකාවලට ගොදුරුවන්නන් අතර, මාංශ අනුභව කරන අය වැඩියෙන් සිටින බව සොයාගෙන ඇත. නිර්මාංශ ගන්නා අයගේ අන්ත්‍රවල ශෛල ක්‍රියාකාරිත්වය මන්දගාමී බවක්‌ පෙන්වයි. මාංශ ආහාර ගන්නා අයගේ අන්ත්‍රවල ශෛල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිළිකා සෑදීමේ අවදානම ද වැඩි වෙයි. මාංශ ආහාර ගන්නා අයගේ ද්වීතියික පිත්ත අම්ලය ද වැඩිවෙයි. අහිතකර නොවන පිත්ත අම්ලය පිළිකා ජනක බවට පත්කරන බැක්‌ටීරියා ප්‍රමාණය නිර්මාංශ ආහාරවල බෙහෙවින් අඩුය. එසේම නිර්මාංශ ආහාර වල තිබෙන 'පොලිතෝල්ස්‌' නම් ද්‍රව්‍යය ආහාර මාර්ගයේ සහ ආමාශයේ පිළිකා වළක්‌වයි. මස්‌වල පිළිකාජනක 'තයිට්‍රොසැමයින්ස්‌' අඩංගු වේ. ඇමරිකාවේ 'සෙවන්ඩේ ඇඩ්වෙන්ට්‌ස්‌' නම් ක්‍රිස්‌තියානි නිකායේ අය පිළිකා රෝගයට ගොදුරු වීම අඩුවී ඇත්තේ ඔවුන් නිර්මාංශ ආහාර ගන්නා නිසා බව සොයාගෙන ඇත. ජපානයේ කරන ලද පරීක්‍ෂණයකට අනුව, මාංශ ආහාර ගනිමින් දුම්පානය කරන උදවිය පෙනහලු පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන බව සොයාගෙන ඇත. මේදය අධික සත්ත්ව මාංශ ආහාරයට ගන්නා උදවිය අණ්‌ඩකෝෂයේ පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වෙති. එළවළු, පලතුරු, පළා වර්ග, ධාන්‍ය ආහාරයට ගන්නා අය අග්න්‍යාශයේ පිළිකාවලට ගොදුරු නොවන බව සොයාගෙන ඇත. මෙම කරුණු ගැන අවධානය කරන යුරෝපයේ සහ ඔස්‌ටේ්‍රලියාවේ ජනතාව 'ග්‍රීන්බුද්ධා' වැනි නිර්මාංශභෝජී සංවිධාන පිහිටුවා ගෙන මස්‌ මාංශවලින් වැළකී ආහාර රටාව සකස්‌ කර ගන්නා අයුරු දැකිය හැක. මාංශ ආහාර ගන්නා මිනිසුන්ගේ සිරුරෙන් දැඩි දුර්ගන්ධයක්‌ හමන බව බොහෝ දෙනා පවසති.

    සත්ත්ව ලෝකයේ මාංශ ආහාර ගන්නේ දරුණු ගණයේ සත්ත්වයන් ය. ඒ අනුව වැඩි වශයෙන් මාංශ ආහාර ගන්නා මිනිසුන් ද දරුණු බවට පත් වෙති. ඔවුනොවුන් ඇන කොටා ගනිමින් විවිධ කල කෝලාහලවලට යොමුවී සිටින්නේ මාංශ භක්‍ෂණය කරන මිනිසුන් බව පෙනෙයි. එය අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිදු වන්නකි. ප්‍රොaටීන් ලැබෙන්නේ සත්ත්ව මාංශවලින් පමණක්‌ නොවේ. අපේ පැරණි මුතුන් මිත්තන් මේ බව මැනවින් වටහාගෙන සිටි නිසා ඔවුන්ගේ ආහාර වේලට වැඩි වශයෙන් ධාන්‍ය, එළවළු, පළා වර්ග, අල වර්ග, පලතුරු එක්‌ කර ගත්හ. පෝෂණ ගුණ සපිරි සමබල ආහාර වේලක්‌ නීරෝගි ශක්‌ති සම්පන්න ජීවිතයක්‌ පවත්වා ගැනීමට අවශ්‍ය වේ. අතීත සිංහලයා විවිධ දස්‌කම් විස්‌කම් කළේ එවැනි නිවැරැදි ආහාර රටාවක්‌ අනුගමනය කිරීමෙන් මිස මාංශ භක්‍ෂණය කිරීමෙන් නොවේ. ඔලිම්පික්‌ පදක්‌කම් ලාභී 'සුසන්තිකා ජයසිංහ' මහත්මිය මෑතකදී රූපවාහිනි වැඩ සටහනකදී කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවට එවැනි කීර්තියක්‌ ලබා දුන්නත් කිසි දිනෙක මාංශ ආහාරයට නොගන්නා බවයි.

    අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොaල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි. මාංශ අනුභව නොකිරීම අපේ ආගම දහමට එකඟ වන අතර, ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යැමට ද එය හේතු කාරක වෙයි. එම නිසා සිතට කයට පමණක්‌ නොව, පිරිවැයට ද සරිලන නිර්මාංශ ආහාර පමණක්‌ ගැනීම ගිහි පැවිදි අප කාටත් සුදුසු


    මිසුන්ගේ වැඩ හිංසා නිසා දුක් විදින අහිංසක සතුන් බේරා ගැනීමට මිනිසුන් වන ඔබ අපගේ facebook පිටුවට like එකක් දමා අප හා එක් වෙන්න මෙය share කර ඔබගේ මිතුරන්වද දැනුවත් කරන්න

    https://www.facebook.com/InnocentAnimalProtectionUnit/timeline
    https://www.facebook.com/InnocentAnimalProtectionUnit/timeline
    https://www.facebook.com/InnocentAnimalProtectionUnit/timeline
    12311310_928846477184020_2680846968224766747_n.jpg


    https://www.facebook.com/InnocentAnimalProtectionUnit/timeline
     
    Last edited:
    • Like
    Reactions: ryandok