ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ රටේ සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම සහ සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.
උන්වහන්සේලා එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ, රටක සංස්කෘතිය, අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා, පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පාලනය කිරීමට උත්සාහ දරන්නේ නම්, එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජයම බිඳ වැටීමට හේතුවන්නක් වන බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරිරික දඬුවම් කිරීමේ වරද නමින් වත්මන් රජය මගින් යෝජිත සංශෝධනය මෙන්ම, සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබා දීම, බරපතළ සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව මහානායක හිමිවරුන් පෙන්වාදෙනවා.
බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ වැදගත්කම සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳව නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර, මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද උන්වහන්සේලා සිය ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.