සසර දුක

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,747
    11,255
    113
    Colombo
    ඔබ මෙතෙක් ජීවිතයේ නැරඹූ ත්‍රාසජනකම චිත්‍රපටිය මතකයට නඟා ගන්න. එදින ඔබ සිතට දැනුණ බිය සිහි කරන්න. එවැනි වූ ත්‍රාසජනක චිත්‍රපටියක් කිසිවකුත් නොමැතිව තනිවම ඔබට නැරඹිය හැකිද? බොහෝ දෙනෙක් එය ප්‍රතික්ෂේප කරනු ඇත..
    මේ සසර තුළ අපායන්හි ගත කරමින් ඔබ මේතාක් විඳි දුක ඔබට චිත්‍රපටියක් ලෙස පෙන්විය හැකි නම්...එය ඔබ මෙතෙක් ජීවිත්යේ නැරඹූ ත්‍රාසජනකම, භියකරුම චිත්‍රපටය වනු නො අනුමානය..
    නමුත් එය එසේ , කිසිදින චිත්‍රපටයකට නඟා හෝ පෙන්විය නොහැක. පෙන්වූවද එය සත්‍ය ස්වභාවයෙන් ලක්ෂයෙන් එකක්වත් නොවනු ඇත. මන්ද යත් සර්වඥතා ඥාණයෙන්, මහා සෘධි ප්‍රාතිහාර්යයෙන් අග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහනසේ පවා දේශනා කළේ,
    "මහණෙනි මේ සතර අපායන්ට වැටී සත්වයා විඳින අප්‍රමාණ වූ දුක්, මට උපමාවකින්වත් විස්තර කළ නොහැක" ලෙසයි..
    එක් රෝම කූපයකින් මහා ගිනි ජාලාවක් පිට කරද්දී අනෙක් රෝම කූපයෙන් මහා ජලස්කන්ධයක් පිට කළ හැකි ලෙසින් යමාමහ පෙළහැර දක්වන්නට සමත් වූ බුදු කෙනෙකුත් එසේ පවසයි නම්...!
    වරද ඇත්තේ අප තුළයි...ඒ අතිශය බියකරු බාවයත්, එයින් ගැලවී සිටීම සඳහා අවශ්‍ය මාර්ගයත් අඩුවක් නැතිව අපට දේශනා කොට අප ඉදිරියේ දිස්වෙයි නම් වරද ඇත්තේ කොතනද?
    අතට කටුවක් ඇණුන විට ඔබ ඒ වේදනාව පවා ප්‍රතික්ෂේප කරමින් කෑ ගසයි නම්..ඒ වේදනාවට පවා බිය වෙයි නම්...කොලෙස්ටරෝල් , අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ආදී රෝගයන්ට අපමණ බියක් දක්වමින් ඒවායින් පරෙස්සම් වීමට කැපවන්නේ නම්...
    වරද කොතනද...!
    ඔබ තුළ ඇති මෝඩකමයි...
    ඇසට නොපෙනෙන හෙයින්...ඔබට එය නොදැනේ...
    නමුත් බුදු රජාණන් වහන්සේ මේවා දේශනා කළේ සාමාන්‍ය ඇසකින් දැක නොව...බුදු ඇසින් දකිමින්ය.. බුදුරජාණන් වහන්සේ පමණක් නොව...සෘධියෙන් අග තැන්පත් රහතන් වහන්සේලා පවා එලෙසින්ම දේශනා කළ සේක.
    අඩුපාඩුව ඇත්තේ ශ්‍රද්ධාව තුළය..ප්‍රඥාව තුළය.. මලක් පහනක් පූජා කළ පමණින් එය ශ්‍රද්ධාව යැයිම වරදවා නොපිළිගත යුතුය. එයද ශ්‍රද්ධාවකි.. නමුත් ප්‍රඥාව මිශ්‍ර නොවූ, ශ්‍රද්ධාවකි. එය ඉතා පහසුවෙන් ගිලිහී යන ශ්‍රද්ධාවකි. සැබෑ ලෙසම ශ්‍රද්ධාව යනු විශ්වාසය සහිත වූ ශ්‍රද්ධාවකි. එය ඔබට හිතුවාට, ඇතැම් විට නොවැටහෙනු ඇත.
    වෛද්‍යවරයකු රූපවාහිනියට පැමිණ ඔබට ලෙඩක් පිළිබඳව උපදෙස් දෙයි..ගත යුතු ආහාර, ව්‍යායාම පිළිබඳව උපදෙස් දෙයි.. ඔබ ඒවා බොරු යැයි සිතන්නේද...? නැත..
    ඔබ ඒවා හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ක්‍රියා කරන්නට වෙහෙසෙයි. අන් අයටත් කියා දෙයි. රූපලාවන්‍ය ශිල්පීන් පැමිණ දෙන උපදෙස් ඔබ පිළිපඳින්නේ කෙසේද..
    නමුත් ඔබ ශ්‍රද්ධාවයි කියා සිතා සිටින බුදු පියාණන් පුන පුනා කියා සිටින දේ ඔබ එසේ බැරෑරුම් ලෙසින් පිළිගන්නවාද ? පිළිකාවකින් වැළකීමේ සිටීමේ ක්‍රියා පටිපාටිය නිරතුරු සිහිවන ඔබට, සතර අපායෙන් වැළකී සිටීමේ ක්‍රියාව සිහිවනවාද ?ආහාරයක් ගන්න විටම, සීනී, තෙල්, පිළිකාකාරක යැයි සිහිවන ඔබට, ඒ තරමින් දහයෙන් එකක් හෝ සතර අපාය පිළිබඳව බියක් ඇතිවනවාද ?
    නැත..එසේ වීමට මූලිකම හේතුව ශ්‍රද්ධාවේ අඩුපාඩුවයි .. දෙවෙනි කරුණ නම් ප්‍රඥාවේ අඩුවයි.. බොහෝ අය ක්‍රියා කරන්නේ ඇසට පෙනෙන, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල් මත පිහිටා පමණි. ප්‍රඥාවක් ඇති කෙනෙක් පමණක් ඉන් ඔබ්බට මනායතනයද භාවිතා කරමින් ක්‍රියා කරයි. ඇසට , කනට, මේ මොහොතේ නොපෙනෙන නොදැනෙන දේවල් ඔවුන් ප්‍රඥාව මෙහෙයවා අවබෝධ කරගයි.
    ප්‍රඥාව, ශ්‍රද්ධාව නොවැඩෙන හේතුව සිත තුළ පවතින අධික තෘෂ්ණාවයි.. සියළු කෙලෙස් වලට ප්‍රධානම හේතුව මමත්වය හා තණ්හාවයි. තණ්හාව මූලික වූ සිතක් අපිරිසිදු වී ඇත. එවිට ප්‍රඥාව වැඩෙන්නේ නැත. අනෙක් අතට ප්‍රඥාව වැඩෙන සිතක තණ්හාවද නැතිවී යයි.
    එකිනෙකට ඇමිණූ මාලයක ඇට සේ මේ සියල්ල එකිනෙක හා බැඳී පවතී. එක් දෙයක් පමණක් කළ පමණින් නිවන් අවබෝධ නොවන්නේ එබැවිනි. ජීවීත කාලයම සිල් සමාදන් වූ අයද , මහා දානයන් ජීවීත කාලය පුරාම දුන් අයද ඇතැම් විට අපායගාමී වන්නේ එබැවිනි.
    එකක් පමණක් කළ සෑහීමකට පත්විය නොහැක්කේ එබැවිනි.
    සිත කය වචනය යන තුනම එක ,ලෙසින් හික්මවා ගත යුතුය. සිත හික්මවා ගත් තැන නිරායාසයෙන් අනෙක් ඒවාද හික්මෙයි. හිත හික්මවනවා යනු, කෙලෙස් වලින් සිත හික්මවා ගැනීමයි. කයින් කොතෙක් සංවර මුත් සිතින් අසංවර අය බහුලය.
    සිත අසංවර වන්නේ කය අසංවර වන ලෙසට නොවේ. සිත අසංවර වන්නේ කෙලෙස් වලිනි. ලෝබය , තරහව, ඊර්ෂ්‍යාව, මාන්නය, උඩඟු බව, මෝඩකම, ආදී කෙලෙස් ගණනාවක්ම ඇත. මේවා පැන නැඟිය විට සිත අසංවර වේ. ඒවාට ඕනෑ පරිදි සිත නටයි. සිත ඇතුලෙන් කෙලෙස් මතුවී බුබුළු දමන මුත් කය නිසලව තබා ගැනීමට සමත් අය බහුලය. එහිදී කය සංවරය.. වචනය සංවරය.. නමුත් සිත අසංවරය..
    මෙසේ සිතද හික්මවා ගැනීමට නම් ඒ පිළිබඳව මනා සේ සිහියක් පැවතිය යුතුමය. කය හික්මවා ගැනීමට සිහිය පවතින ඔබට, සිත හික්මවා ගැනීමට සිහිය නොපවතින්නේ මන්ද කියා ඔබ සිතුවාද ?
    බොහෝ අය රාගය ආ පමණින් වැරදි නොකරයි.. තරහා ආ පමණින් රණ්ඩු සරුවල් කොට අපරාධ නොකරයි. ඊර්ෂ්‍යාව ආ පමණින් එය ප්‍රදර්ශනය නොකරයි.. ඒ මන්ද.. එය සඟවා ගැනීමට සතිය, සිහිය අවශ්‍ය ඔවුන් තුළ පවතින හෙයිනි. ඒවා නරක දේවල් ලෙසින් හඳුනාගන්නා ප්‍රඥාවද ඔවුන් තුළ පවතී. එසේ නම් සිත පාලනය කිරීමට අවශ්‍ය සිහිය නොඑළබෙන්නේ ඇයි කියා සිතුවාද? එය බොහෝ විට සතිය මඳ කමම පමණක් නොවේ. එය දකින සිතන ආකාරයයි.
    සිතට ක්ලේශයක් ආ විට එය පිටට නොපෙනේ. ඊර්ෂ්‍යාවෙන් කොතෙක් දැවුණද, ද්වේශයෙන් කොතෙක් දැවුණද එය පිටතට නොපෙනේ. එය ලෝකයා දැනගන්නේ එය වචනයෙන් ක්‍රියාවෙන් ප්‍රදර්ශනය වූවිට පමණි. එවිට ලජ්ජාවට පත්වීමට, නින්දාවට පත්වීමට සිදුවේ. එය ඔබගේ සමාජ තත්වයට හානියකි. ඔබ ඊර්ෂ්‍යාවෙන් දැවෙන බව ලෝකයා දැනගතහොත් ඔබට කෙතරම් ලැජ්ජාවක් වේද..අන් අය ඔබව අප්‍රිය කරන බව ඔබ සිත දනී. එසේ හෙයින් සමාජයේ අන් අයට ප්‍රියව සිටීමට ඇති ආශාව හේතුවෙන් එම කෙලෙස් සිත තුළම සඟවා සිටීමට ඔබට හැකියාව ඇත. එය නරක දෙයක් ලෙස කියනවා නොව.. එය සිදු කළ යුතුදෙයකි. සිතට එන එන කෙලෙස් පිට කරන්නට ගියා නම් තිරිසන් සත්වයන්ගෙන් වෙනසක් නැත.
    නමුත් නිවන සොයා යන ඔබ ඉන් අඩියක් ඉදිරියට පැමිණිය යුතුය. ඔබ සෑම විටම සිතන්න, ඔබේ සිත සියළුදෙනාටම පෙනෙනවා ලෙසින්.. එය ඉතාමත්ම වටිනා කමටහනක් බව ඔබ එය ක්‍රියාවට නැංවු විට අවබෝධ වනු ඇත. ඔබ කොතෙක් ලස්සනට හැඩ වී ලෝකයා ඉදිරියට යැමට කැමති වූවද, ඔබේ සිත එලෙසින් ලෝකයා දකිනවාට ඔබ කැමතිද.. නැත..කිසිවකුත් කැමති නොවේ. මන්ද යත් ඒ තුළ ඇති කුණු දන්නේ ඔබම පමණක් බැවිනි.
    ඔබේ නිවස හැඩිවී ඇති විටක ඔබ අමුත්තන් ගෙදරට පැමිණ ඇතුළ බලනවාට අකැමැති සේම, ඔබේ සිත අන් අය දකිනවාට කැමති නැත. එයට මූලික වන හේතුව නම් ඔබේ සිත තුළ අන් අයගේ පිළිගැනීම්වලට ලක් වීමේ ආශාවයි. එය මාන්නය මූලික වූ දෙයකි. නමුත් එය ඔබේ සුබ සිද්ධිය සඳහා යොදා ගන්නට දක්ෂ වන්න. කෙලෙස් තුළින්ම කෙලෙස් කපාහරින්න.
    සතිය නැතැයි සිතා කෙලෙස් වලට පැන නැඟීමට සමාවක් නොදෙන්න. සතිය තිබෙන බව දකින්න. තැනකට ගොස් පිළිවෙලට සිටින්නට , කතා බස් කිරීමට සුදුසු නුසුදුසු දෑ තෝරා බේරා ගැනීමට ඔබට සතිය සිහිය තිබෙනු නො අනුමානය. ඔබ ජීවීතයේ ඔබට වැරදුණු තැන් , සැඟවිය යුතු තැන්, ඔබට අවාසි සහගත දේ , නොපවසා - සඟවා සිටීමට අවශ්‍ය සිහිය, කල්පනාව ඔබට ඇත්නම් සිතට එන කෙලෙස් නොදැක සිටින්නට සතිය නැතිවා වන්නටම නොහැක. එය සිත පුහුණු කර ඇති ආකාරය පමණි. බරපතලකම සිතට දක්වා ඇති ආකාරය පමණි.
    "මගේ සිත තුළ ඕනෑ දෙයක් තිබුණාට කමක් නැත, නමුත් පිට අය එය දැකීම කිසි විටෙකත් සිදු නොවිය යුතුයි" යන දැක්ම මෙයට මූලිකම හේතුවයි.
    නමුත් එය ඔබ මේසේ වෙනස් කරගතහොත්....
    පිට අය දැක්කත් නොදැක්කත් සිතට, ක්ලේශයක් පැන නැඟීමයි වඩා භයානක ලෙසින් සිතන්නට පුරුදු වුවහොත්...!
    සැබවින්ම සත්‍ය එයයි. පිට අයට ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැත. නමුත් ඔබේ සසරේ වගකීම ඔබේ සිතයි. ඔබේ ජීවීතය, සසර වෙනස් කරන එකම නිර්ණායකය ඔබේම සිතයි. ඔබ ඔබේ රාජකාරියේ උසස් නිළධාරියාට බියක් දක්වන්නේ කෙසේද, පොලිස් නිළධාරියකුට හොරෙන් වරදක් කරන්නට ඇති බිය කෙසේද...ඊට වඩා දස දහස් ගුණයක බියක් ඔබේ සිතටම ඇති කරගන්න. අන් අය ඔබට දඩුවම් දෙන්නේ කෙටි කාලයකටය. නමුත් ඔබේ සිතින් ඔබට දෙන දඩුවම කල්ප ගණනකටය. ඔබ සැඟවී සිටිය යුත්තේ ඔබේම සිතටය.
    ඔබ කෙලෙස් උපදවන වාරයක් වාරයක් පාසා මුළු ලෝකයම නොදැක්කත් සිත එය හොඳින් දකී. ඒ සෑම දෙයක්ම සිත හඳුනා ගනී. එකක්වත් අත නොහැරම ඔබට දඩුවම් ලබා දෙයි. අනුකම්පාවට සමාවක් එයින් ඔබට බලාපොරොත්තු විය නොහැකියි.
    මේවා හොඳින් අවබෝධ කරගන්න. පැණි රස කෑම,තෙල් කෑම කන විටම විපාකය නොලැබේ. ලෙඩ හැදෙන්නට පටන් ගත්විට ඒවාගෙන් ගැලවීමක් නැත. එලෙසින්ම සුදුසු කාලය එලැඹ සිටිය කල්හි කර්මයන්ද විපාක දෙන්නට පටන් ගනී. ලෙඩක් හැදුණු විට ඔබට පිහිටවන්නට දොස්තර සිටී. නමුත් කර්ම විපාක දෙන විට ඔබට පිහිට වන්නට කිසිවෙකුටත් නොහැකිය.
    බොහෝ අපායන්හි, ප්‍රේත ලෝකයන්හි දැවෙනා සත්වයන්, " අනේ අපට පිහිටවන්න" යැයි විලාප තබයි. ඒවා අපට නො ඇසේ. අපද මේ අනන්ත සසර පුරා වැඩියෙන්ම කළ ඇත්තේ එසේ විළාප තැබීමයි. බුදු පියාණන්ට අපායේ සිටිනා සත්වයන්ගේ විලාපය ඇසේ. ඒ දුක් පෙනේ. ඒ දුක් දැනේ.
    " මහණෙනි අතීත සංසාරය පුරා නුඹලා විඳින ලද දුක් ප්‍රමාණය දන්නේ නම් හිස ගිණි ගත්තද ඒ ගින්න නොනිවා අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නට වෙහෙසෙනු ඇත" ලෙසින් උන් වහන්සේ පවසන්නේ එහෙයිනි.
    නමුත් අවාසනාවකට අපට ඒවා නොපෙනේ. නො ඇසේ. ඔබේම විලාපය ඔබට ඇසෙන සේ පටිගත කොට දක්වන්නට හැකි නම්... ඔබම විඳි දුක්, චිත්‍රපටයකට නඟා පෙන්විය හැකි නම්... ..! අප එවිට බුදු පියාණන් පැවසූ පරිදිම ක්‍රියා කරනු ඇත. අවාසනාවකට තාක්ෂණය එසේ දියුණු නැත.
    මේ සසර ගොඩනැගී ඇත්තේද එලෙසිනි.. මිනිස් දිවියක් ලබා ගෙන, ඒ දුකෙන් මිදීම සඳහා යමක් කළ හැකි විට, අපට දුක් විඳි අයුරු නොපෙනේ. නමුත් කිසිවක් කළ නොහැකි ප්‍රේත වැනි ආත්මයන් ලැබූ විට බොහෝ විට ඒ හැකියාව ලැබේ. බොහෝ අමනුෂ්‍යන් තමන්ට ඒ උපත ලැබීමට , ඒ දුක් විඳීමට හේතු වූ කර්මය දකී. එයින් මිදීම සඳහා කළ යුතු දේද දනියි. නමුත් කර ගත නොහැක. යළි කර්මය කල්ප ගාණකින් ගෙවා මිනිස් දිවියක් ලැබෙන තෙක් සිටිය යුතුය. නමුත් මිනිස් දිවියක් ලැබුණු විට යළි කිසිවක් මතක නැත. මේ සංසාරය චක්‍රයක් ලෙසින් හඳුන්වන්නේ එබැවිනි. එය චක්‍රයක් සේ සිඳුවන බැවිනි. නැවත නැවත එකම උඟුලේ හසුවන බැවිනි.
    අද මින් පෙර කවදාවත් නොවිඳි ලෙසින් දේවල් කෙරෙහි තණ්හාවෙන් බැඳී සිටියද, අප මේවා සසර තුළ විඳි වාර ගණන අසංඛ්‍යද ඉක්මවයි. අනන්තය. තණ්හාවේ ස්වභාවය එලෙසිනි.. සෑහීමකට පත් නොවෙයි. එකම ගැළවුම තණ්හාව නැති කිරීම පමණි. අබුද්ධෝතෝද කාලයක නම් උවමනා වුවද තණ්හාව නැති කරන්නේ කෙසේද කියා සත්වයා නොදනි..
    නමුත් අපට එසේ නොවේ. බන්දේසියේ තබා පිරිනමා ඇත.
    අම්මා බත් කවන්නට එන විට එය මඟ හැර නොකා සිටින්නට බලා සිටින මෝඩ ළමයා නොවන්න. ඔහු එසේ කළේ නොදන්න කම නිසාය. මේ දුකින් එතෙර වන මාර්ගයට නොබැස තවත් ලෞකික ලෝකයේ දේවල් කෙරෙහිම ආශාවෙන් ලෝභයෙන් රැස් කරන්නේද නොදන්නා කම නිසාය..
    මෝඩකම කෙතෙක්ද තණ්හාව, මාන්නය එතාක්ය..
    නමුත් ප්‍රඥාව ක්‍රමයෙන් වඩවාගෙන වහ වහා මේ ලැබී ඇති ක්ෂණය අපතේ නොයවන්නට අප සිතාගත යුතුය. ඉදිරියට මොහොතක් පාසා අප ළඟා වන්නේ මේ ධර්මය සීග්‍රයෙන් වැළලී යන කාලයකටය. " බුද්ධ" යන නාමයවත් නො ඇසෙන යුගයකටය.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,240
    347
    83
    1615451436959.png
     
    • Like
    Reactions: asliyanage and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,390
    13,192
    113
    'මම' කියල දෙයක් නැහැ කියල කියන එක කවුරුහරි පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,747
    11,255
    113
    Colombo
    “පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ.”
    මානය යනු මැනීමයි. පුහුදුන් පුද්ගලයා නිරතුරුව තමා නම් අනුන් හා සසඳා මැන බලයි. එමඟින් තමා අන්‍යයන්ට වඩා උසස් යැයි සතුටු වෙයි. තමා අන්‍යයන්ට සමාන නම් මැදහත් වෙයි. තමා අන්‍යයන්ට වඩා පහත් මට්ටමක නම් පසුතැවිල්ලට පත්වේ. මෙසේ මැන බැලීමේ දී ධනය, උගත්කම, රූපශෝභාව හා විවිධ හැකියාවන් මිනුම්දඬු වශයෙන් යොදා ගනී.

    මානය ප්‍රබල සංයෝජනයකි. සත්වයාගේ සසර ගමනට හේතුවන සංයෝජන දහයකි. “සංයෝජන” යනු සසර යෙදවීමයි. නැතහොත් සසර රැඳවීමයි. මෙයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගඥානයෙන්ද කාමරාග රූප අරූප රාග, සකෘදාගාමි අනාගාමී මාර්ගයන්ගෙන්ද මාන උද්ධච්ච අවිජ්ජා අර්හත් මාර්ගයෙන්ද ප්‍රහීණ වේ. මේ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ මානය නමැති ක්ලේශ ධර්මය රහත්වන තුරුම ප්‍රහීණ නොවන බවයි.

    පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ. තමා කළ පින්කම ගැන ඇගයීමක් පැසසුමක් නොලැබුනොත් සිත් වේදනාවට කළකිරීමට පත්වීම බොහෝදෙනාගේ සිරිතය. මෙය පිරිසුදු කුසල චේතනාවට ඉඳුරා පටහැනිය. සෑම කුසල හෝ අකුසල කර්මයකටම අනුරූප විපාක ලැබේ. එහෙත් තම සසර ජීවිතයට ප්‍රයෝජනයක් නැති පරිදි ලැබෙන ධන ධාන්‍ය භව භෝග සම්පත්වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපුත්තක සිටාණන් වැනි චරිත බෞද්ධ සාහිත්‍යය පුරා අපට දැක ගත හැකිය.

    බමුණෝ සමාජයේ සියල්ලන්ටම වඩා උසස් පිරිසක් සේ සිතා මානයෙන් උදම් ව සිටියහ. එසේම සෙසු වර්ණයන් ට අයත් සියල්ලන් තමන්ට වඩා පහත් කොට සැලකූහ. බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණි බමුණෙකුට පෙන්වා දුන්නේ අස්මි මානය දුරුකළ තැනැත්තා නියම බමුණෙකු බවයි.

    සුඛො විවේකෝ තුට්ඨස්ස
    සුත ධම්මස්ස පස්සතෝ
    අස්මි මානස්ස යෝ විනයෝ
    ඒතං වේ පරමං සුඛං

    ඒ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ හැම විටම සෙස්සන් හා තමා සසඳා බලා තමා තුළ මානය ඇති කරගන්නා බවයි.

    තමා ක්ෂත්‍රිය වංශයට අයත් කෙනෙකු බවත් සිදුහත් බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කෙළේද තමන් සමඟ බව සිතා මානයෙන් උදම්ව සිටි ඡන්න තෙරණුවන් මානයෙන් උදම්ව සිටිනු දුටු බුදුපියාණන් වහන්සේ ඔහුගේ මානය බිඳලීම සඳහා බ්‍රහ්ම දණ්ඩනය පැනවූ බව ප්‍රකට කරුණකි. තමන් වහන්සේ කිඹුල්වත් පුර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින විට සුදොවුන් පිය රජතුමා කීවේ ගෙයක් ගානේ සිඟමන් යැදීමෙන් තම වංශයට නින්දා නොකරන ලෙසය. එවිට බුදුපියාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ වංශය බුද්ධ වංශය බවත් සියලු බුදුවරුන් පිඬුසිඟා වැඩි බවත් ය. මේ ආදී නොයෙක් සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ නිහතමානී බව සසර දුක නිවීමට අත්‍යවශ්‍ය බවය.

    ආනන්ද, භගු, කිම්බිල, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන පිරිස පැවිදිවීමට බුදුපියාණන් වහන්සේ වෙත පැමිණියේ එකම කණ්ඩායමක් වශයෙනි. මෙයින් උපාලි රජ මැදුරේ සිටි කරණවෑමියෙකි. බුදුපියාණන් වහන්සේ මොවුන්ගෙන් පළමු කොට පැවිදි කෙළේ උපාලි කපුවාය. එසේ කෙළේ සෙසු ශාක්‍යවංශික කුමරුවන්ගේ මානය බිඳීම සඳහාය. මේ නිසා උපාලි ගිහි කාලයේ පහත් කොට සලකනු ලැබුවත් පැවිද්දෙන් වැඩිමහලු නිසා ඔහුට ගරු බුහුමන් දැක්වීමෙන් හුනස්නෙන් නැගිටීමෙන් ආදී වශයෙන් ශාක්‍යවංශික කුමාරයින්ගේ මානය බිඳීම සඳහාය.

    භික්ෂු සමාජය තුළ ජ්‍යෙෂ්ඨත්වය සැලකෙන්නේ පැවිදි උපසම්පදා ලැබීම අනුව මිස වයස අනුව හෝ ගිහිකල පැවැති ආදී උස් මිටි භේද අනුව නොවේ. ගංගා, යමුනා, සරභු, මහී, අචිරවතී යන පංච මහා ගංගාවන්ගේ ජලය මුහුදට වත් කළ එකම මුහුදු ජලය සේ සැලකෙන්නාක් මෙන් බුදු සසුනෙහි පැවිදි වූ සියල්ලන් හැඳින්වෙන්නේ සමණා සක්‍යපුත්තියා යන පොදු නාමයෙනි
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    'මම' කියල දෙයක් නැහැ කියල කියන එක කවුරුහරි පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
    මේක බලන්න

    තව කිරුලපන ධම්මවිජය හිමිගෙ බණ අහන්න

    බොහො වටිනා ලිපියකි.අපි මේ දේවල් අයිතිකරගන්න ලබා ගන්න ජීවිතේ පුරා ගෙන යන සටන උත්සහය තනිකරම මුලාවක්.
    අප කල යුතු එකම දේ ආර්ය අශ්ඨාංගික මාර්ගය දියුණු කිරීමයි
    ------ Post added on Oct 18, 2021 at 9:38 AM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,390
    13,192
    113
    මේක බලන්න

    තව කිරුලපන ධම්මවිජය හිමිගෙ බණ අහන්න

    බොහො වටිනා ලිපියකි.අපි මේ දේවල් අයිතිකරගන්න ලබා ගන්න ජීවිතේ පුරා ගෙන යන සටන උත්සහය තනිකරම මුලාවක්.
    අප කල යුතු එකම දේ ආර්ය අශ්ඨාංගික මාර්ගය දියුණු කිරීමයි
    ------ Post added on Oct 18, 2021 at 9:38 AM


    ස්තූතියි, ඔබට පිං
     
    • Like
    Reactions: Deadlock