සහජීවනය සමඟ බැඳුණු සිංහල වාරීතාක්‍ෂණයේ ම

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සහජීවනය සමඟ බැඳුණු සිංහල වාරීතාක්‍ෂණයේ ම




    කලක පටන් රජරට පෙදෙස්‌හි වකුගඩු රෝගයක්‌ පැතිර යයි. එය මේ වන විට තව තවත් උග්‍ර අතට හැරෙමින් පවතී.
    මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කෙරී ඇති බටහිර වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන් හා මේ වකවානුව තුළ මේ පෙදෙස්‌වල උපන් (උපදින) මිනිසුන් ගේ සුවිශේෂී කර්මයක්‌ ද මේ රෝගය හට ගැනීමට බලපෑවේ ය යන්න මොහොතකට අමතක කරමු.
    මේ ලිපියේ අරමුණ වන්නේ මේ රෝගයට හේතු සහ එය නිවාරණය පිළිබඳව මේ ප්‍රදේශයේ පැවැති අපේ පැරැණි වාරි පද්ධතිය ඔස්‌සේ ඉතා සැකෙවින් විමසීම ය. දැනට මේ රෝගය පැතිර ඇත්තේ ප්‍රධාන වශයෙන් එම වාරි (ප්‍රධාන වශයෙන් කුඩා වැව් පද්ධති) පද්ධති පැවතුණු ප්‍රදේශයේ වන අතර රෝගය පැතිරීම පටන්ගෙන ඇත්තේ දළ වශයෙන් ගත් කල එම වැව් පද්ධති නූතන සංවර්ධන ව්‍යාපෘති (මහවැලි ආදි) මගින් වැනසී ගිය කාලයේ සිට ය.
    වර්තමානයේ මේ රෝගය පැතිර ඇති ප්‍රදේශවලින් ඉහළට එනම් උතුරු පෙදෙස්‌වල පැරැණි වාරි පද්ධති එතරම් වැනසී නැති අතර වකුගඩු රෝග ද මෙතරම් බරපතළ ව එහි නැත. සාමාන්‍යයෙන් රජරට සහ ඊට ඉහළ උතුරුකරයේ භූගත ජලය කිවුල සහිත ය. එනම් ඒවායේ ලවණ ගතිය වැඩි ය. මිනිස්‌ පරිහරණය සඳහා භාවිත වූ මේ ජලයේ එම ලවණ ගතිය අඩු වන පරිදි සැකසූ ක්‍රමවේද සහිත ව්‍යුහ රාශියක්‌ එම වාරි-ජල පද්ධතිය තුළ පැහැදිලිව දැකිය හැකි ය. කුඩා වැව් පද්ධති මේ පද්ධතියේ ප්‍රධානතම කොටස විය. භූමියේ පිහිටි ගල බේසමක ආකාරයට වක ගැසුණු ස්‌ථානවල වැව් පද්ධති එනම් එල්ලංගා සකස්‌ කෙරිණි. මේ වැව්වලට ඊට ඉහත්තාවේ ඇති ජලය එකතු වේ. මෙසේ එකතු වන්නේ එකවර ම නො වේ. ජලය පෝටා වැටි, කුළු වැව් ආදියේ මුලින් ම රැඳේ. අනතුරුව ජලයේ රොන් මඩ ආදිය ඒවායේ තැන්පත් වූ පසු ඒවායින් පිටාර යන ජලය වැව්වලට එකතු වේ. මෙපමණක්‌ නො ව භූගත ජලය ද (ඉහත්තාවේ) පහළ වැව්වලට එකතු වේ. වැවේ දී ද ජලයේ රොන්මඩ ආදිය තැන්පත් වන අතර මේ කුඩා වැව්වලින් බොහෝ විට ජලය කුඹුරුවලට පිට කෙරුණේ කැට සොරොව් මගිනි.
    කැට සොරොව්වෙන් පිට වන්නේ වැවේ ඉහළ මට්‌ටමේ ජලය ය. ඒ නිසා ද ඒවායේ රොන්මඩ ආදී ලවණ කාරක ද්‍රව්‍ය ඉතා අඩු ය. මීට අමතරව වැව් බැම්ම හරහා කාන්දු වන ජලය නැවත භූගත (පහළ) ජලයට එකතු වන්නේ කට්‌ටකාඩුව නමැති වැව් බැම්ම පහළ ඇති විශේෂ ව්‍යුහයක්‌ හරහා ය. තෙත ගතිය සහිත මේ කොටසේ ජලයේ ලවණ සක්‍රීය අවශෝෂණය මගින් උරා ගන්නා පැළෑටි වර්ග තිබී ඇත.
    අනුරාධපුර ප්‍රදේශයේ සිටි අයිවර් නමැති සුදු ජාතික ඒජන්තවරයා ගේ වාර්තාවලට අනුව (එක දාස්‌ අට සිය අවසාන කොටසේ) වැව් බැම්මෙන් පහළ කුඹුරු යායේ පහළ ප්‍රදේශයේ ද කට්‌ටකාඩු නමැති ව්‍යුහ තිබී ඇත. මේ අනුව සොරොව්වෙන් පිට වන ජලය කුඹුරුවලට ගොස්‌ අවසානයේ පහළ පිහිටි කට්‌ටකාඩුව හරහා ගොස්‌ භූගත ජලයට මුදාහැරෙනවා විය යුතු ය. වැව් බැම්මෙන් කාන්දු වන ජලය ඊට යාබදව ඇති කට්‌ටකාඩුව හරහා ගොස්‌ භූගත ජලයට එකතු වේ. දැනුදු හොරොව්වෙන් පිට වී කුඹුරු හරහා ගොස්‌ ජලය පිට වන ඇළට කියන්නේ කිවුල් ඇළ කියා ය. ඒ අනුව එහි ලවණතාව අධික බව පැහැදිලි ය. මේ අනුව වැවකින් පහළ භූගත ජලයේ ලවණ ගතිය අඩු විය යුතු ය.
    මේ කුඩා වැව් බැමි සාදා ඇත්තේ මුළුමනින් ම ජලවහනය නවතාලන අරමුණින් නම් නො වේ. ඒවා එක්‌තරා ආකාරයක ජල පෙරණයක්‌ ලෙස ද භාවිත වී ඇත් දැයි සිතේ. විශේෂයෙන් මේ බැමිවල හරස්‌කඩ ව්‍යුහය පිළිබඳව සැලකූ විට එහි වැලි ගතිය වැඩි සහ මැටි ගතිය වැඩි වශයෙන් පස්‌ ස්‌ථර දකිත හැකි ය. මෙමගින් බැම්ම තුළ ජල වහන රේඛා හැකි පමණ සිරස්‌ කරගෙන එමගින් බැම්මේ ශක්‌තිය වැඩි කර ගැනීම බලාපොරොත්තු වූවා සේ ම ජලය යම් ආකාරයක පෙරීමකට ද භාජන කෙරුණි ද යන්න ද සොයා බැලිය යුතු ය.
    ඉතින් මිනිසුන් (වැව් ගම්මානවල) භාවිත කරන්නේ බොහෝ විට වැව පහළ ඇති භූගත ජලය (ළිං ආදිය මගින්) නිසා ඔවුනට ලැබෙන්නේ ලවණ ගතිය අඩු ජලය ය. මේ අනුව පැරැණි වැව් පද්ධති යනු ප්‍රදේශයේ කිවුල් ජලය පිරිපහදුවක්‌ ද යන්න පිළිබඳව අප විමසිය යුතු ය. රජරට ප්‍රදේශයේ කුඩා වැව් දහස්‌ ගණනක්‌ පිහිටා ඇති ආකාරය දෙස බැලූ විට එය මනා ජල පෙරණයක්‌ වැනි ය.
    විශාල වැව්වලින් සොරොව් හරහා ජලය පිට කෙරුණේ බිසෝකොටු මගිනි. බිසෝ කොටුවක ප්‍රධාන කාර්යභාරය වන්නේ ගැඹුරු වැවේ ජලයේ පීඩනය නිසා ඇති වන සැඩ ගතිය (වේගය) බාල කොට බැම්ම හරහා පිට කෙරුම ය. බොහෝ විට මෙසේ පිට වන ජලය බැම්ම හරහා වන සොරොව්ව තුළ ගමන් ගන්නේ ගලා යන පරිදි ය. (එනම් පීඩනයක්‌ සහිත ව නො වේ). මෙසේ සොරොව්වෙන් වෑස්‌සෙන ජලය ඇළ මාර්ග ඔස්‌සේ සෙමින් ගලා යයි. අනතුරුව ඇතැම් විට කුඩා වැව් ද පෝෂණය කරයි. මේ සියලු අවස්‌ථාවල දී ජලයේ ගතිකත්වයකට වඩා ඇත්තේ ස්‌ථිතිකත්වයකි.
    යෝධ ඇළ යනු ද එක්‌තරා ආකාරයක දිගු වැවකි. එහි ඇත්තේ ද ප්‍රධාන වශයෙන් ස්‌ථිතික ජලය ය. මේ ස්‌ථිතික ජල පද්ධති සැම විට ම එහි ඇති රොන් මඩ ආදී දෑ තැන්පත් කර ගැනීමට උත්සාහ ගනී. නූතන ඉංජිනේරු සම්ප්‍රදායේ ඇත්තේ බොහෝ විට ගතික ජලය ය. එහි දී ජලය වේගයෙන් ඇළ මාර්ග ඔස්‌සේ ඒවා ද සෝදාගෙන ගලා යයි. ජලයේ ලවණ ගතිය තවත් වැඩි වේ. දැන් අරමුණ වන්නේ ජලය අදාළ භෝගය සහිත ප්‍රදේශයට (එම මූල පද්ධතියට) හැකි පමණ වේගයෙන් ලබා දීම ය. වෙන කිසිවක්‌ මෙහි දී සැලකෙන්නේ නැත.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යෝධ ඇළ (කලා වැව් ආශ්‍රිත) ආශ්‍රිතව නූතන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රම ඔස්‌සේ සිදු කර ඇති ඇළ මාර්ග නිර්මාණය කර ඇත්තේ මේ අරමුණින් ය. එහි දී කුඩා වැව් සිය ගණන් වනසා ඇත. අතීතයේ පැවතියේ ජලය ස්‌ථිතිකත්වය තුළ පතුරුවා ප්‍රදේශ පුරා පෝෂණය කිරීම ය. එහි දී ජල පිරිපහදුව ද කදිමට සිදු විය. නූතන ජය ගඟ යනු ඇත්තට ම වේගයෙන් ජලය ගලන ජල පහරකි. (වාරි මාර්ගයකි). එහි රොන්මඩ ආදිය කොපමණ ඇත් ද යන්න බැලු බැල්මට ම පෙනේ. අතීත යෝධ ඇළේ පිහිටි “දිය කලි” නමැති ව්‍යුහ මගින් ද එහි ගලන ජලයේ රොන්මඩ වැනි දෑ තැන්පත් කෙරුණා විය යුතු ය. එහි දී සිදු වන්නේ තේ රොඩු සහිත තේ කෝප්පයක ඇති ද්‍රවය කරකැවූ විට තේ රොඩු මැදට එකතු වීම වැනි දෙයකි.
    මෙසේ ම පැරැණි ක්‍රමයේ දී ජලය පාලනය කෙරුණේ යම් ව්‍යුහවලට ඉහළින් වෑස්‌සීමට ඉඩ හැරීම මගිනි. එවිට ජලය ඉහළින් වෑහෙන අතර එහි වූ රොන්මඩ ආදිය ව්‍යුහයේ ඉහත්තාවේ තැන්පත් වේ. එහෙත් නූතන උස්‌ පහත් කරන ගේට්‌ටු (lifting gates)වල දී ජලය ගමන් ගන්නේ ගේට්‌ටුවට පහළිනි. වේගයෙනි. එහි රොන්මඩ තැන්පත් වීමක්‌ නැත. බිසෝකොටු තුළ පවා එහි මැදින් හරස්‌ අතට ලෑලි දමා ජලය පාලනය කෙරුණි නම් රොන් මඩ තැන්පත් වීමක්‌ සිදු වේ. රිදීබැඳිල්ල ආදිය මගින් ජලය හැරවීමේ දී ද මේ තත්ත්වය මනාව දකිත හැකි ය. මේ අනුව අතීත ජල පද්ධතිය වූ කලී ප්‍රදේශයේ කිවුල් ජලය පිරිසිදු කරන කදිම අතිශය සොබාවික ජල පිරිපහදුවක්‌ ද යන්න පිළිබඳව අප දැන් ගැඹුරින් සොයා බැලිය යුතු ය. මෙහි දී ජලයේ ලවණතාව පමණක්‌ නො ව වෙනත් ඇල්ගී (හෝ වෙනත්) වැනි ජෛව පදාර්ථ ද ඉවත් කෙරුණා විය හැකි ය. එසේ ම ඒවා ඇති වීමට අවකාශ තිබුණා විය හැකි ය. මෙහි දී වැව්වල වැවුණු විවිධ පැළෑටි වර්ග ද සැලකිය යුතු ය. නූතනයේ කර ඇති විවිධ පර්යේෂණ මගින් එළිදැක්‌වී ඇති, වකුගඩු රෝගයට සම්බන්ධ යෑයි කියන විවිධ හේතූන් ඉහත දැක්‌වූ ජල පද්ධතිය වැනසීමත් සමග ඇති වූ ඒවා ද? (කෘෂි රසායන භාවිතයට එන්නේ ද මේ සමග ය. ඒවා “අවශ්‍ය” වන්නේ ද මේ සමග ම ය)
    ඇත්තට ම කුඩා වැව් පද්ධති සහිත පැරැණි ජල පද්ධතිය වූ කලි ප්‍රදේශයේ පැවැති ලවණ අධික භූගත සහ මතුපිට සේදී යන ජලය පිරිසිදු කොට නැවත මිනිසුන් වාසය කළ වැව් ගම්මාන ආශ්‍රිත භූගත ජලයට මුදා හළ පිරිපහදු පද්ධතියක්‌ ලෙස ද සැලකිය හැකි ය.
    මෙපමණක්‌ නො ව මේ ජල පද්ධතිය සමග දැඩි ලෙස බැඳුණු ආධ්‍යාත්මික වත් පිළිවෙත් පූජා විධි ආදි ක්‍රම වේද රාශියක්‌ ද තිබුණි. මේ වැව් පද්ධති සහ අදාළ ව්‍යුහ වැනසීමත් සමග මේ සියල්ල ද නැති විය. පිරිත් සඡ්ජාධායනය සමග ජලයේ අණුක ස්‌වරූපයේ වෙනස්‌කම් ඇති වන බැව් දැනට ජපානයේ කර ඇති පර්යේෂණ මගින් ද දැනගෙන ඇත. ඒ කෙසේ වෙතත් මේ ආධ්‍යාත්මික වත් පිළිවෙත් සමග ද ජලයේ ගුණ වෙනස්‌ වූවා විය හැකි ය. එසේ වෙනස්‌ වීම සිරුරට ගුණදායක වූවා විය හැකි ය. එහෙත් අද මේවා කෙරෙන්නේ නැත. දැනට අප දන්නා දෑ අනුව විවිධ වත් පිළිවෙත් ආදී දෑ නිසා ජලයේ සිදු වන වෙනස්‌කම් නිසා ඒවා සිරුර තුළ ක්‍රියාත්මක වීමේ දී සෑහෙන වෙනස්‌ ප්‍රතිඵල ඇති කළ හැකි නමුදු එවැනි ම වෙනස්‌කම් නිව්ටෝනීය යාන්ත්‍රිකය තුළ ඇති ප්‍රපංච තුළ සිදු නො වේ. ජපාන පර්යේෂණ කළ අණුක ස්‌වරූපය වෙනස්‌ කළ ජලය සිරුර තුළ වෙනස්‌ ලෙස හැසිරිය හැකි නමුදු ඒ නිසා බර්නුලි හෝ ඩාසී සමීකරණය වෙනස්‌ වේ යෑයි ඒ අයුරු ම සිතිය නොහැකි ය.
    දැන් රජරට කුඩා වැව් පද්ධති සහ වැව් ගම්මාන එලෙස ක්‍රියාත්මක නො වේ. මහවැලි ආදියෙන් වේගයෙන් ගලන ඇළ මාර්ග ඔස්‌සේ ගෙනෙන ජලයෙන් විශාල වැව් පිරෙන අතර ඒවායින් ජලය පයිප්ප මගින් හෝ නැවත වේගයෙන් ගලන ඇළ මගින් ජනතාවට සැපයේ. භූගත ජලය පිරිසිදු වීමක්‌ ද නැත. පැරැණි වැව් ගම්මාන සංස්‌කෘතිය ද නැත. ඉතින් මේ වකුගඩු රෝගයට විසඳුම බටහිර ජීව රසායන ආදී විද්‍යාවන් මගින් කෙරෙන විශ්ලේෂණ ඔස්‌සේ පමණක්‌ ලබා ගත හැකි යෑයි නම් සිතිය නොහැකි ය. එමගින් ගැටලුව සමස්‌තයක්‌ ලෙස නැතත් කොටස්‌ කොටස්‌ ඇතැම් විට විශ්ලේෂීව තේරුම් ගත හැකි වනවා ඇත. එහෙත් තවත් විශාල ගැටලු ඇති නො වන ලෙස, සමස්‌තයක්‌ ලෙස ගැටලුව විසඳීම නම් කළ නොහැකි වනු ඇත. මෙය සමස්‌තයක්‌ ලෙස විසඳීමට නම් පෙර පැවති වැව් ගම්මාන ක්‍රමවේදය පිළිබඳව මේ ගැටලුවට අදාළව අධ්‍යයන (ඇතැම් විට ධ්‍යාන වැඩීමෙන්) කළ යුතු වේ.
    මේ වකුගඩු රෝගයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඉපැරැණි තිරසාර වැව් පද්ධති ක්‍රමය වෙනුවට නූතන ඉංජිනේරු සංවර්ධන ආකෘතිය ආදේශ කිරීමට යැමේ ඛේදවාචකය ය යන්න අපේ හැඟීම ය. සොබාවික පරිසරයේ පැවැති ජල පිරිපහදුව වැනසුණු විට සිරුරේ වකුගඩු එම කාර්යභාරය භාර ගෙන දැන් ඒවා ද වැනසෙමින් තිබේ.
    කපිල පීරිස්‌ (ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය) – විදුසර


    වැදගත් නම් ඉදිරියට අරන් රෙප් දෙන්න :yes::yes::yes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කෝ මේ අදහස් දක්වන එළකිරි කොල්ලෝ ටික මේ ලියුම ‍එපා වෙලා වගේද :no: