සාහිත්‍ය ප්‍රශ්න පත්තරය - මහාචාර්ය සරත් ව&#353

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
Prof sarath wijesuriya

ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘ගෝරා'. මනුෂ්‍යත්වය පිළිබඳ න්‍යාය ධර්මයන් හෘදයාංගම ලෙස විවර කළ මේ කෘතියෙන්, අදටත් වර්ගවාදය මනුෂ්‍යයනට කරන අහිතකර බලපෑම මැනවින් විග්‍රහ කෙරෙනවා.
මෙහි මානව ධර්මය පිළිබඳ පරමාදර්ශී විවරණයක් තිබෙන බවයි මගේ හැඟීම.

ප්‍රබන්ධ නොවන කෘතිය...
චචිලි ඇලෙක්සැන්ඩ්‍රොවිව් සුකොම් ලින්ස්කිගේ ‘To children I give my heart’ කෘතියෙන් ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කළ දරුවන්ට දෙමි මගේ හදවත.’ මෙහි රචකයා අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක්. අපේ රටේ අධ්‍යාපනය කුමන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය විය යුතු දැයි ඔහු අපූරුවට ඉදිරිපත් කරනවා. මෙහි ඉදිරිපත් කර ඇති ආකාරයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා පිළිබඳ හෘදයාංගම සබඳතාවක් මින් පෙර මා කියවා නැහැ.

මේ දිනවල ඔබ කියවන්නේ...
පොත් කිහිපයක් කියවනවා. ඒ අතරින් මගේ අවධානය වැඩිපුර දිනාගත් කෘතිය තමයි, කුමාරි ජයවර්ධන ලේඛිකාවගේ ‘සොක්කන් ලොක්කන් ව‍ූ වගයි...’ ලංකාවේ යටත් විජිත ධනේෂ්වරයේ නැඟීම හෙවත් පන්ති වාදයයි මෙහි තේමාව වී තිබෙන්නේ. එය දේශපාලනික පොතක්.
කෙනෙකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...
රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ගෝරා මානව ප්‍රේමය පිළිබඳ කතා කරන සහ ධර්මතාවලින් සුපුෂ්පිත කරන කෘතියක් ලෙසයි මා එය දකින්නේ.
ඊළඟට, නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව, ‘නිදහස සොයා ගිය ගමන'.
එතුමාගේ ජීවිත කතාවෙන් හැම කෙනකුටම ගත හැකි යමක් තිබෙනවා. එය මානව වටිනාකම් පිළිබඳ පරමාදර්ශයක් වූ පොතක්. එසේ ම පටු දෘෂ්ටිවාදවලින් වියුක්තව මනුෂ්‍යත්වයට පෙම් බඳින්න මං හසර පෙන්වන පොතක් ලෙසයි මා එය දකින්නේ.
‘දරුවන්ට දෙමි මගේ හදවත’ ත් කෙනකු කියැවිය යුතුම පොතක්. එය, දරුවන්ට අධ්‍යාපනයෙන් දිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සහ දරුවා සමඟ ඇති කරගත යුතු සබැඳියාව පිළිබඳ ඉතා හොඳින් විග්‍රහ කෙරෙන කෘතියක්.

පොතක ඔබ වඩා වැදගත් කොට සලකන්නේ රචනා ශෛලිය ද... අන්තර්ගතය ද නැතිනම් අවසානය ද...

අන්තර්ගතය පාඨකයා පොතක් කියවන්න යම් කිසි කාලයක් සහ ශ්‍රමයක් වැය කරනවා. ඒ වෙනුවෙන් පාඨකයාට යමක් පෙරළා ලැබිය යුතුයි. ජීවිතයට ඒ ලැබිය යුතු දේ ලැබෙන්නේ අන්තර්ගතයෙන් පමණයි.

ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘උපන්දා සිට'. එවිට මා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ හයේ පන්තියේ සිසුවෙක්. ගුරුවරයෙක් තමයි මේ පොත කියැවීමේ ආසාව අප තුළ ඇති කළේ. ජීවිතය ගොඩ නැඟීමට අවශ්‍ය යම් ආකාරයක මං පෙත් විවර කරන පොතක් ලෙසයි එය මා හඳුන්වන්නේ.

ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක පොත් තිබෙනවාද...
ඔව්. මනෝවිද්‍යාව පිළිබඳ පොත්. මනුෂ්‍ය ජීවිතය පිළිබඳ කරන විවරණවලදී සහ චරිත නිරූපණයේදී නිර්මාණකරුවකු විදියට ඉන් මට විශාල ආලෝකයක් ලැබෙනවා. අනෙක මං ඒ විෂයට හුඟක් කැමැතියි.

මෙතෙක් කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ...
මගේ ජීවිතයට යම් ආකාරයක ආත්ම විශ්වාසයක් අධිෂ්ඨානයක් සහ කැපවීමෙන් වැඩ කිරීමට ශක්තිය ඇතුළු බොහෝ දේත් ලැබුණේ පොත්වලින්.
ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...
විභූති භූෂණ බන්ධෝපාද්‍යයන්ගේ අපූර් සංසාරේ කෘතියෙන් සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ ‘අපූර් සංසාරේ'.

ඔබ ඉහළින් ම අගයන කතුවරයා...
මාර්ටින් වික්‍රමසිංහයන්. පුංචි කාලේ පටන් ඔහුගේ පොත් කියැවීමෙන්, නිර්මාණකරුවෙක් වෙන්න ඔහු මට නිහඬ ගුරුවරයෙක් වුණා. මඟ පෙන්වන්නෙක් වුණා. නමුත් කවදාවත් මා එතුමා හැබැහින් දැක නැහැ.

ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...
සද්ධර්ම රත්නාවලිය. එය බෞද්ධ සාහිත්‍යයට අයත් කෘතියක් වුණාට, අතිවිශිෂ්ට සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණයක් ඇතුළත් සහ නිර්මාණකරුවකුගේ සකල විධ ගුණ සමුදාය මැනවින් දකින්නට පුළුවන් විශිෂ්ට කෘතියක් ලෙසයි මා දකින්නේ.

ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...

සිරිල් සී. පෙරේරා පරිවර්තනය කළ එමා බෝවාරි. කොයිතරම් වාරයක් කියැව්වත් එහි, ස්ත්‍රී පුරුෂ විෂයෙහිලා ඉගෙන ගන්න දේ ඉවර වෙන්නෙ නැහැ. ඉන්, ස්ත්‍රී, පුරුෂ සම්බන්ධතාව පිළිබඳ ලැබිය හැකි ඥානය අතිවිශාලයි.

sinhala13.jpg


ඉනෝකා පෙරේරා බණ්ඩාර
සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය 25 01 2015​
 
Last edited: