සැපයට පසුබිම පිනයි

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
සැපයට පසුබිම පිනයි

අද අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් කරුණු කීපයක් කියලා දෙන්න.
අපි මේ මනුස්ස ලෝකයට කී වතාවක් එන්න ඇද්ද කියලා අපි දන්නේ නැහැ. අපි තිරිසන් ලෝකයේ කී වතාවක් උපදින්න ඇද්ද කියලත් අපි දන්නේ නැහැ. ඒ වගේම අපි පෙරේතයෝ වෙලා සසරේ කොච්චර ඉන්න ඇද්ද? කොච්චර නිරයේ ඉන්න ඇද්ද? අපි ඒ කිසිවක් දන්නේ නැහැ. මිනිස් ලෝකයට පැමිණි අපි සතර අපායට යළි වැටෙන ස්වභාවයෙන් යුක්ත බව අපි දැනසිටියේ නැහැ. අපට ඒ දැනුවත් වීම කළේ බුදුරජාණන් වහන්සේයි.

පෘථග්ජන ස්වභාවයේ අපි රැඳී සිටියොත්, ජීවිතාවබෝධය නොකළොත්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න බැරිවුණොත්, අපට හැම තිස්සේම අනතුරක් තියෙනවා, ඒ සතර අපා දුකට වැටෙන්නට සිදුවීමයි.

බුදුරජාණන් වහන්සේ ජිග්ගල කියලා සූත‍්‍රයක් දේශනා කළා. ඒ දේශනාවේ සඳහන් වෙනවා බැරි වෙලාවත් කෙනෙක් නිරයේ හෝ තිරිසන් අපායේ හෝ වැටුණොත් එයා එතැනින් මිදිලා මනුස්සයෙක් වෙනවාට වඩා කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලන එක ලේසියි කියලා.එහෙම නම් පින්වත්නි, මේ මිනිස් ලෝකයේ උපදින මිනිසුන්ට, දෙවියන්ට තියෙන අනතුර තමයි, ආයෙ ආයෙමත් සතර අපායට වැටෙන්න තියෙන ඉඩකඩ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ එක ඉලක්කයක් සත්වයා සතර අපා දුකින් නිදහස් කිරීම.

ඔන්න ඔබට දැන් ඒක මතක තියාගන්න පුළුවනි. මොකක්ද? බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය කියා දීමේ එක ඉලක්කයක් සත්වයා සතර අපා දුකින් නිදහස් කරදීම. ඊළඟ එක, මේ ලෝකයේ දෙවිවරු, මිනිස්සු හැමෝම සැපයට කැමතියි. සැප කැමැති වුණාට අපට සැපය තෝරබේරගන්න තේරෙන්නේ නැහැ. සැපය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුගතියේ ඉපදීම අපට සැප ලබාගන්න තියෙන එක අවස්ථාවක්. එතකොට සතර අපා දුකින් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික කාර්යය. ඊළඟ කාර්යය තමයි සුගතියේ සැප ලබාදීම.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දන්නවා, උන්වහන්සේ අවබෝධ කරගෙන හිටියා, අපේ ජීවිත පැවැත්ම තුළ තියෙන්නේ අපට ඕන ගමනක් යන පිළිවෙලක් නොවෙයි. උන්වහන්සේ දැක්කා අපව යම්කිසි දෙයකින් හසුරුවනවා කියලා. ඒ දේ තමයි අප විසින් හිතාමතා කරන දේ. කර්මය. මේකේ කෙළවරක් නෑ. බුදුරජාණන් වහන්සේට ඕන වුණේ අපි සසරේ කෙළවරක් නැතුව යන මේ ගමන කෙටි කරවන්නයි. ඒක උන්වහන්සේගේ දේශනාවල එක ඉලක්කයක්. හතරවන ඉලක්කය සසර දුක ඉවත් කරදීම. නිවන අවබෝධ කරවීම.

මේ ඉලක්ක හතරට තමයි සෑම බුද්ධ දේශනාවක්ම යොමුවෙලා තියෙන්නේ. එතැනින් බාහිර දෙයක් නෑ. හැබැයි මේක අවබෝධ කරන්න දක්ෂ වෙන්නේ බුද්ධිමත් කෙනා විතරයි. ඒකට හේතුව මේක තේරුම් ගැනීම පිණිස අපට යම්කිසි හිතන්න පුළුවන්කමක් අවශ්‍යයි. හැමතිස්සේම වෙන්නේ අපේ හිතන්න පුළුවන්කමට ඉඩක් ලැබෙන එක නොවෙයි. ඒකට වැට කඩුළු බැඳෙන එකයි. හැමතිස්සේම වෙන්නේ අපට මේක ගැඹුරින් හිතන්න පුළුවන්කම පෑදෙන එක නොවෙයි. වැහෙන එක.

මොකද ඒක වැහෙන්න වුවමනා දේවල් ගොඩාක් අපි ළඟ තියෙනවා. ආශාව, මාන්නය, කෙලෙස්, එකට එක කිරීම, හිතට ගැනීම, ලෝකයෙන් සත්කාර සම්මාන බලාපොරොත්තු වීම, ලෝකය තුළ අධිපති වෙන්න සිතීම, පළිගන්න සිතීම, වෛර කිරීම.

මේ වගේ දේවල් අපේ සිතට එකතුවුණාම බුද්ධිමත්ව කල්පනා කරන්න තිබෙන ස්වභාවය නැතිවෙලා යනවා. එතකොට බුද්ධ දේශනා ඇහුණා කියලා ඒ දේශනාවේ නියම ප‍්‍රයෝජනය ගන්න අපට අවස්ථාව ලැබෙන්නේ නෑ.

එහෙනම් පින්වත්නි, අපි ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව හිතාමතා උදාකරගත යුතුයි. ඒ අවස්ථාව අපට ඉබේ එන්නේ නෑ. ධර්මය තේරුම් ගැනීමේ අවස්ථාව ඉබේ පහළ වෙන්නේ නෑ. අපි කල්පනා කර කර ඒ අවස්ථාව උදා කරගත යුතුයි. ඒ සඳහා අපි හිතට ඇතිවෙන බාධා, ඒ කියෙන්නේ කෙලෙස් (එක්කෝ අපේ සිතේ සකස් වෙලා තියෙන අකුසල්, එක්කෝ අවිද්‍යාව ආදී බාධා) නුවණින් කල්පනා කරලා බැහැර කරගත යුතුයි.

අපි පාර විවෘත වෙනවා දන්නේ නැත්නම්, පාර වැහෙනවාත් දන්නේ නැත්නම්, අපට ධර්මය විවෘත වෙන අවස්ථාවන් ආයෙ ආයෙ වැහෙන්න පුළුවන්.

අපේ ජීවිතයේ ආපු ගමනේම අපි ආවේ අපට මොකුත් නැතුව. මනුස්සයෙක් කිරි දරුවෙක් වෙලා උපන්නට පස්සේ ළමයෙක් වෙන එක වළක්වන්න බෑ. එයා ළමයෙක් වෙනවාමයි. ළමයා වැඩිහිටි වෙන එක වළක්වන්න බෑ. වැඩිහිටි වෙනවාමයි. වැඩිහිටියා වයසට යන එක වළක්වන්න බෑ. එයා වයසට යනවාමයි. එයා ආච්චි හෝ සීයා වෙන එක වළක්වන්න බෑ. වෙනවාමයි. එයා මැරෙන එක වළක්වන්න බෑ. මැරෙනවාමයි.

ඒක සාමාන්‍ය ජීවිත රටාවේ තිබෙන පොදු දෙයක්. ඒ පොදු දෙයට සත්තු අයිතියි, අපි අයිතියි, දෙවියන්, බඹුන් අයිතියි. සියලූ දෙනා අයිතියි. සියලූ දෙනා ඉපදීමට, මේරීමට, මරණයට අයිතියි. හැබැයි පින්වත්නි, දැන් මිනිස් ලෝකයේ ජීවත් වෙන අපි මේ මනුස්ස ලෝකයට ආවේ උපදින්න තැන් ගොඩාක් තියෙද්දී.

ඒ කියන්නේ මනුස්සයෙක් මැරෙනවා කියලා මොකක්ද වෙන්නේ? ඔන්න මනුස්සයෙක් මැරුණා. මැරුණා කියන්නේ එයාගේ විඤ්ඤාණය චුත වුණා. විඤ්ඤාණය චුත වුණාම මැරුණා කියලා කියනවා. ඒ වගේම මනුස්සයෙක් පිළිසිඳ ගත්තා කියන්නේ විඤ්ඤාණයක් මව්කුසට ආවා කියන එක. එතකොට අපේ විඤ්ඤාණය සතෙකුගේ මව්කුසකට ගියේ නෑ. ඒ නිසා අපි සත්තු අතර උපන්නේ නෑ. අපේ විඤ්ඤාණය පේ‍්‍රත ලෝකයට ගියේ නෑ. ඒ නිසා පෙරේතයන් අතර උපන්නෙත් නෑ. අපේ විඤ්ඤාණය නිරයට ගියේ නෑ. ඒ නිසා නිරිසතෙක් වුණෙත් නෑ. අපේ විඤ්ඤාණය දෙවියන් අතරට ගියෙත් නෑ. අපි දෙවියෙක් වුණෙත් නෑ. එහෙනම් අපේ විඤ්ඤාණය කොහෙටද ගියේ?

අපි කලින් ජීවිතයේ කොහේ හරි ඉඳලා චුතවෙන කොට කොහේහරි අම්මලා තාත්තලා දෙන්නෙක් එකතුවෙලා. උපදින්න පරිසරයක් හැදිලා. විඤ්ඤාණයට තීරණ ගන්න බෑ. ඒක මෙහෙයවනවා. මෙහෙයවන්නේ කර්ම විපාකයෙන්. ඒ විදිහට කර්ම විපාකයෙන් මෙහෙයවලා මව්කුසට ඇතුළුවුණා.

ඊට පස්සේ ඒ මව්කුස ඇතුළේ තමයි අපට ඇස් දෙක ලැබුණේ. ඉපදිලා ඉවරවෙලා ඇස් දෙක ලැබුණා නොවෙයිනේ. මව්කුස ඇතුළේ අපට දෑස ලැබුණා. මව්කුසේදී අපට කණ් දෙක ලැබුණා. මව්කුසේදි අපට නාසය ලැබුණා. මව්කුසේදියි අපට දිව ලැබුණේ. මව්කුසේදියි අපට ශරීරය ලැබුණේ. මව්කුසේදියි හිත ලැබුණේ. විඤ්ඤාණය මව්කුසට ඇතුලූ වෙලා, මව්කුස ඇතුළේම කර්මානුරූපීව මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස සකස් වුණා.
එතකොට කොහේහරි ලෝකයක ඉඳලා අපි චුතවෙද්දී ඒ විඤ්ඤාණය තිරිසන් ලෝකයට ගියේ නෑ. පෙරේත ලෝකයට ගියේ නෑ. නිරයට ගියේ නෑ. මිනිස් මව්කුසකට ආවා. මිනිස් මව්කුසකට අපේ විඤ්ඤාණය තල්ලූ කළේ කර්මයයි. ඒක පුණ්‍ය කර්මයක්ද? පාප කර්මයක්ද? පුණ්‍ය කර්මයක්. පුණ්‍ය කර්මයකින් තමයි අපේ විඤ්ඤාණය මිනිස් මව්කුසට දැම්මේ. එහෙනම්,

මෙන්න අපට ලැබුණ දේවල්….

මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, අපට ඒක විඳින්න පුළුවන් ආකාරයේ ඇස් දෙකක් මව්කුසේදී හැදුණා.
මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, අපට ඒක විඳින්න පුළුවන් ආකාරයේ කණ් දෙකක් මව්කුසේදී හැදුණා.
මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ නාසයක් මව්කුසේදී හැදුණා.
මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ දිවක් මව්කුසේදී හැදුණා.
මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ කයක් මව්කුසේදී හැදුණා.
මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ මනසක් මව්කුසේදී හැදුණා.

ඔන්න අපි මව්කුසෙන් බිහිවුණා. ළමයෙක් වුණා. ඊට පස්සේ මනුස්සයෙක් හැටියට යම්කිසි පහසුකම් ඇද්ද ඒ දේවල් ලැබුණා. මේ යාන වාහන, ටෙලිෆෝන්, ලයිට්, ටීවී, රේඩියෝ, කෑම බීම, ඇඳුම් විලාසිතා මේ ඔක්කෝම මනුස්ස ලෝකයේ ඉපදුණ මිනිස්සු විසින් හදාගත්තු දේවල් නොවේද? මේ ඔක්කෝම මිනිසුන් වුණු අපි හදාගත් දේවල්.

එතකොට මේ ලෝකයේ මනුස්සයන් විසින් මනුස්සයන් වශයෙන් සැප සේ ඉන්න, මේ ලෝකය නිර්මාණය කරගත්තා. මේ නිර්මාණය කරගැනීම පිටිපස්සේ තියෙන්නේ පිනයි. පින තමයි මේකට වුවමනා කරන පරිසරයට අපව යොමුකරන්නේ.

මිනිස් ලෝකයේ අපි රේඩියෝ එක දාලා රේඩියෝ එක අහනවා. ටීවී බලනවා. අපට ඕන කරන කෑම බීම වගා කරගන්නවා. අපට කන්න ඕන දේවල් අපි හදාගන්නවා. අපට ඕන කරන ලස්සන ඇඳුම් මහගන්නවා. අපට ඕන යානවාහන හදාගන්නවා. හිතලා බලන්න, අපේ ගෙදර ඉන්නවා බල්ලෙක්. බල්ලට ලයිට්වලින් ප‍්‍රයෝජනයිද? නෑ. බල්ලට ටීවී එක ප‍්‍රයෝජනයිද? නෑ. බල්ලට ටෙලිෆෝන් එක වුවමනයිද? නෑ. බල්ලට ඇඳුම් ඕනද? නෑ. බල්ලට වෙනම වාහනයක් ඕනද? නෑ. බල්ලට ඕන කෑම ඉල්ලලා කන්න පුළුවන්ද? බෑ.

එහෙම නම් මනුස්සයෙක් හැටියට අපි විඳින එකක්වත් ඒසතාට විඳින්න බෑ. ඒ සතා අපිත් එක්ක හිටියට අපි ලයිට් එක දාගෙන පොත පත බලද්දී, බල්ලා නිදි. අපි කරන්ට් එක පාවිච්චි කරලා ටීවී බලන කොට බල්ලත් ඒ පුටුව අයිනෙම නිදි. ඌට ඒකෙ වින්දනයක් නෑ. අපි කන්නාඩිය ගාවට ගිහින් හැඩවැඩ බලන කොට බල්ලත් කාමරයට ඇවිල්ලා රවුමක් ගහලා යයි. නමුත් ඒ සතාට පින නෑ.

එතකොට අපි පින නිසා ඒක පාවිච්චි කරනවා. හැබැයි මේ පිටිපස්සෙන් පිනක් තියෙනවා කියලා අපි දන්නේ නෑ. මේ පින හඳුනාගන්න මනුස්සයා අසමත් වෙලා තියෙනවා. හැබැයි අපට මනුස්ස ලෝකයේදී ලැබෙන්නේ පින විතරක් නොවෙයි. මනුෂ්‍ය ලෝකයේ යම් සැපක් ඇද්ද, යම් දුකක් ඇද්ද, මේ දෙකම විඳින්න ලැබෙනවා. ඒ දෙකම විඳින ලෝකයක් තමයි මිනිස් ලෝකය කියන්නේ. අපි මේක නුවණින් කල්පනා කරන්න ඕන.

මේ මනුස්ස ලෝකයට අපව ගෙනාවේ පින විසින්. මනුස්ස ලෝකෙදි අපට සැප ලබන්න උනන්දු කරන්නේ පින විසින්. පින තියෙන කෙනාගේ ඒ පින පාවිච්චි වෙන විදිහ අපට හොයන්න බෑ.

මං උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා ඇති පසුගිය දවස්වල ලංකාවේ මූල්‍ය ආයතනයක විශාල වංචාවක් වුණානේ. මිනිස්සු දන්නේ නැතුව ලක්ෂ ගණන් ඒකෙ මුදල් තැන්පත් කළා. බලන්න දෙපාරක් හිතන්න එයාගේ පින තිබුණේ නෑ. ඇයි, තව කොච්චර ආයතන තියෙනවද? නිතර මිනිස්සුන්ව දැනුවත් කරනවනේ, මෙහෙම මූල්‍ය ආයතනවලට කල්පනා කරන්නේ නැතුව සල්ලි දාන්න එපා කියලා. එතකොට තමන් දුක් මහන්සි වෙලා හරි හම්බු කරන ධනය එකපාරටම සොරෙකුගේ අතට යනවානේ. ඒකට හේතුව වුණේ තමුන් කල්පනා නොකිරීමනේ.

සමහර විට දැන් පසුතැවෙන්න පුළුවන් ‘අනේ ඇයි මං හිතුවේ නැත්තේ? දෙපාරක් කල්පනා කළේ නැත්තේ?’ කියලා. ඒකෙන් අපට පේනවා තමන්ගේ වස්තුව සොර සතුරන් ඩැහැගැනීම නිසා යම් දුකක් විඳිනවාද, ඒක අපට විඳින්න වෙනවා. අපි දන්නේ නෑ මේකට නොපෙනෙන අතීතයේ පසුබිමක් හැදිලා තිබුණද කියලා. ඇයි ඒක හැමෝටම වෙන්නේ නෑනේ. සමහර අය කියනවා, ‘මම නම් කල්පනාකාරීව හිටියා. මම නම් ඕකට සල්ලි දැම්මේ නෑ. මං වෙන ආයතනයකට සල්ලි දැම්මා’ කියලා.

මේ වගේ අපේ ජීවිතවල අකුසලය විඳින්න වෙනකොට, අපි දන්නේ නැතුවම අකුසලයට වුවමනා විදිහට අපව මෙහෙයවනවා. සසරේ අපට දුක් විඳින්න අවස්ථාවක් එනවා නම්, ඒ දුක විඳින්න වුවමනා විදිහට අපව මෙහෙයවනවා. (මම කියන්නේ මේ සියල්ල කර්මයෙන් වෙනවා කියලා නොවෙයිඑ) නමුත් ඒකට වුවමනා කරන විදිහට පින උපදවාගෙන තිබුණා නම්, අපට ඒකෙන් බේරෙන්නත් තිබුණා.

මේ නිසා අපි මේකෙදී එකක් මතක තියාගන්න ඕන. ඒක තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ”දෙව්ලොව වේවා, මිනිස් ලොව වේවා යම්කිසි කෙනෙක් සැපයක් විඳිනවා නම්, ඒ සැපයට පසුබිම පිනයි” කියලා…

wadagathnam bump ho rep karanda:)
 

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    බුදුරජාණන් වහන්සේ ජිග්ගල කියලා සූත‍්‍රයක් දේශනා කළා. ඒ දේශනාවේ සඳහන් වෙනවා බැරි වෙලාවත් කෙනෙක් නිරයේ හෝ තිරිසන් අපායේ හෝ වැටුණොත් එයා එතැනින් මිදිලා මනුස්සයෙක් වෙනවාට වඩා කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලන එක ලේසියි කියලා... can some 1 please explain this
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුරජාණන් වහන්සේ ජිග්ගල කියලා සූත‍්‍රයක් දේශනා කළා. ඒ දේශනාවේ සඳහන් වෙනවා බැරි වෙලාවත් කෙනෙක් නිරයේ හෝ තිරිසන් අපායේ හෝ වැටුණොත් එයා එතැනින් මිදිලා මනුස්සයෙක් වෙනවාට වඩා කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලන එක ලේසියි කියලා... can some 1 please explain this

    You will live 10^100+ lives before born as a human again...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දාන ඒවා ගත්තේ කොහෙන්ද කියලා දාන්න :yes: නැත්තන් මේවා කියවලා මිනිස්සුන්ට ප්‍රශ්න ආපුවම මේවා කිවේ කවුද කොහෙදිද, මේ කාරනා ඇත්තද බොරුද කියල හොයාගන්න විදිහක් නෑ.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හෑල්ලක් නේ අයිසේ පස්සේ කියවන්නම්!
    11.gif