සිංහනාදයෙන්_අගතනතුරු_ලැබූ_රහතන්_වහන්සේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහනාදයෙන්_අගතනතුරු_ලැබූ_රහතන්_වහන්සේ

    මේපිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ සම්පිණ්ඩනයකි.

    පදුමුත්තර නම් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ පිණ්ඩෝල භාරද්වාජ මහ රහරතන් වහන්සේ සිංහයකු ව ඉපිද සිටියහ. දිනක් පුදුමුත්තර බුදු රජාණන් වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදි කල්හි පින් ඇති මෙම සිංහයා දුටු සේක. එහෙයින් උදේ කාලයෙහි පිඬු සිඟා වැඩම කර දන් වළඳා සිංහයා ගොදුරු පිණිස ගුහාවෙන් නික්ම යනු බලා එම ගුහාවට වැඩම කර අහසේ පලක් බැඳ නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ උන්හ.

    ගොදුරු සොයා ගිය සිංහයා සවස් කාලයේ ගුහාවට අවුත් දොර ළඟ දී ම තම ගුහාවේ වැඩ හුන් බුදු රජාණන් වහන්සේ දුටුවේ ය. ‘මාගේ ගුහාවට ඇතුළු වීමට දක්ෂයෙක් මෙලොව නැත. දිලිසෙන විහිදෙන රශ්මි ඇති මෙතුමා මහා උත්තමයෙකි, යි සිතා දිය ගොඩ දෙතැන ම පිපි විවිධ මල් ගෙනවුත් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මල් අසුනක් සකස් කරදී සමවතට සමවැදී වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට පසුදා පහන් වන තුරු වැඳගෙන සිටියේ ය.

    නිරෝධ සමාපත්තියට සමවැදි උතුමෙක් සත් දිනක් ම එක ම ඉරියව්වෙන් සිටී. දෙවන දින මල් ඉවත් කර නැවත මල් ගෙනවුත් මල් ආසනයක් සැකසනු ලැබිණි. මෙලෙස දින සතක් මල් අසුන් පැනවී ය. අවසාන දිනයේ හටගත් සතුට හේතුවෙන් සිංහයා ලෙන් දොර මුර කරමින් සිටියේ ය. බුදු රජාණන් වහන්සේ සත් වන දින සමාපත්තියෙන් නැඟී සිටි කල්හි සිංහයා තෙවරක් උන් වහන්සේ ප්‍රදක්ෂිණා කළේ ය. මොහුට මෙම පුණ්‍ය කර්මය ප්‍රමාණවත් යැ යි සිතා බුදු රජාණන් වහන්සේ අහසට පැනනැඟී විහාරයට වැඩි සේත.

    සිංහයා එතැන් සිට බුදු රජාණන් වහන්සේ නොදැක වියෝ දුක දරාගත නොහැකි ව මියගොස්, බුදු රජාණන් වහන්සේ වැඩ සිටි හංසවතී නගරයේ මහා සම්පත් ඇති කුලයක මිනිසකු ව උපන්නේ ය. ඔහු වැඩිවිය පැමිණ බණ ඇසීමට යන පිරිස් දැක ඔවුන් සමඟ ගොස් බණ ඇසී ය. එහි දී බුදු රජාණන් වහන්සේ එක් භික්ෂුවක සිංහනාද කරන භික්ෂූන් අතර අග්‍රස්ථානයෙහි පිහිටුවා වදාළ සේක. ඒ දුටු ඔහු ‘මම ද මතු දිනයෙක මෙම තනතුර පතමි’ යි සිතා පසු දින බුද්ධ ප්‍රමුඛ මහ සඟනට දානයට ඇරියුම් කර තම නිවෙසේ දී ම සත් දිනක් දානය දී තම අදහස බුදු රජාණන් වහන්සේට දැනුම් දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ අනාගතය දක්නා ඥානයෙන් අනාගතයේ ගෞතම නම් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන කල්හි මෙම ප්‍රාර්ථනය සමෘද්ධ වන බව දැක ඔහුට විවරණ දෙවා වදාළහ.

    ඔහු ද බොහෝ පින් දහම් සිදු කර මියගොස් දෙව්-මිනිසුන් අතර ඉපදෙමින් සසර සැරි සරා අවුත් අප බුදු රජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර මහාසාර බමුණු කුලයක ඉපදී නමින් ‘භාරද්වාජ’ විය. ක්‍රමයෙන් වැඩුණු ඔහු උගත යුතු දේ උගෙන 500ක් මාණවකයන්ට ගුරුවරයෙක් විය. එනමුදු ඔහු ආහාරයක් සඳහා ගිය විට කැඳ කොහි ද? බත් කොහි ද? ව්‍යඤ්ජන කොහි ද? කැවිලි කොහි ද? ආදි වශයෙන් ආහාර පිළිබඳ විමසා බලන නිසා ම ‘පිණ්ඩෝල’ යන නාමය ද නමට එකතු ව ‘පිණ්ඩෝල භාරද්වාජ’ නම් විය.

    දිනක් ඔහු බුදු රජාණන් වහන්සේ රජගහ නුවරට වැඩි දිනෙක බණ අසා පැවිදි ව නොබෝ කලකින් විදසුන් වඩා රහත් විය. විහාරයක් පාසා යමින් “යමෙකුට සෝවාන් ආදි මාර්ග ඵලයක යම් සැකයක් ඇති වී නම් මගෙන් අහන්න” යනුවෙන් සිංහනාද කරමින් වඩිති; බුදු රජාණන් වහන්සේ ඉදිරියෙහි ද “ස්වාමීනි, මේ සසුනෙහි ලද යුතු සියලු පල මා විසින් ලබන ලදි” යැ යි සිංහනාද කළ සේක.

    මේ කාලයේ රජගහ නුවර සිටුවරයා මහජනයාගේ ආරක්ෂාවටත් ගිලිහී යන ආභරණයන්ගේ ආරක්ෂාවටත් ගඟෙහි දැලක් බඳවා පිරිස සමඟ ජල ක්‍රීඩා කළේ ය. දිනක් ගඟෙහි ඉහළ ප්‍රදේශයේ මුල් සේදී ගිය සඳුන් ගසක් ජලයට කඩාවැටිණි. එය ජල ප්‍රවාහයට හසු ව කැඩී ගොස් කුඩා කැබැලි දියේ පා වෙමින් තිබිණි. එක් ලී කැබැල්ලක් මෙම දැලෙහි රැඳීණි. ජල ක්‍රීඩාව හමාර කළ පුරුෂයෝ එක් ව එම දැල ගොඩට ඇද්දෝ ය. එහි වූ ලී කැබැල්ල දැක එය වටිනා සඳුන් කැබැල්ලක් බව සිටුවරයාට දැන්වූ හ. මට බොහෝ සඳුන් ඇතැ යි සිතූ සිටුවරයා මේ ලෝකයේ නිගණ්ඨ, ජටිල, බ්‍රාහ්මණ ආදි බොහෝ දෙන තම-තමන් රහත් යැ යි කියන බැවින් මෙම සඳුන් කොටයෙන් පාත්‍රයක් තනා උස උණ ගසක් මත එය තබා ‘ලොව රහත්හු ඇත් නම් අහසින් අවුත් ගනිත්වා’ යි සිතී ය.

    එකල ශාස්තෘවරයකු ලෙස පෙනී සිටි නිගණ්ඨනාථ පුත්ත තෙමේ තම අතවැසියන්ට මෙසේ කීවේ ය: “නුඹලා එහි ගොස් එම සිටුවරයාට මෙසේ කියව්: සිටුතුමනි, මේ පාත්‍රය අපගේ ශාස්තෲන්ට ම සුදුසු ය. එසේ ම මෙවැනි ලී පාත්‍රයක් සඳහා සැඟවුණ ඒ උසස් රහත් ගුණ මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කරවීම ද නුසුදුසු ය. එබැවින් එය අපගේ ශාස්තෲන් වහන්සේට ම දෙවයි කියව්,” යනුවෙනි. පසු ව අනුගාමිකයෝත් සිටුවරයා වෙත ගොස් එසේ ම කී හ. ‘එසේ නම් අහසින් අවුත් ගනු මැනව’ යි සිටුවරයා කී ය. අනුගාමිකයෝ එය ද නාථපුත්තයන් වෙත ගොස් දැන්වූහ.

    එය ඇසූ නාථපුත්ත තෙමේ “එසේ නම් මම නුඹලා සමඟ ම එහි යමි. එහි දී මම පාත්‍රය ගැනීම සඳහා උණගස ළඟට ගොස් එක අතක් සහ එක් පයක් ඔසවා අහසට නඟින්නට සූදානම් වෙමි. එවිට නුඹලා වහා මා වෙත අවුත්: ආචාර්යයන් වහන්ස, මේ ලී පාත්‍රයක් සඳහා සැඟවුණු උතුම් රහත් ගුණ ප්‍රසිද්්ධියේ හෙළි නොකළ මැනව, එය නුසුදුසු යැ යි කියා වහා මා අල්ලා බිම හෙළව්” යැ යි කී ය. එසේ අනුගාමිකයන්ට උපදෙස් දී නාථපුත්තයන්, සිටුවරයා වෙත ගොස් “මෙය අපට ම සුදුසු පාත්‍රයකි. එබැවින් එය අපට දෙව” යි කී ය. “ එසේ නම් අහසින් අවුත් එය ගනු මැනවැ” යි සිටුවරයා කී විට “මෙවැනි සුළු කරුණක් නිසා මාගේ උතුම් රහත් ගුණ හෙළි කිරීම නුසුදුසු යැ” යි කීව ද සිටුවරයා ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ හෙයින් නාථපුත්ත තෙමේ අහසට නඟින්නට සූදානම් විය. පෙර කතිකා කරගත් පරිදි ම සියල්ල සිදු විය. එවිට නාථපුත්ත තෙමේ සිටුවරයා වෙත ගොස් “සිටුතුමනි, මාගේ අතවැසියෝ මට අහසට නඟින්නට ඉඩ නො දෙති. එබැවින් මේ පාත්‍රය මට ම දෙව” යි කීව ද ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මෙසේ දින හයක් ම වෙහෙසුණ මුත් පාත්‍රය ගත නොහැකි වූ තැන නාථපුත්ත තෙමේ අනුගාමිකයන් සමඟ හිස් අතින් ම ආපසු ගියේ ය.

    සත්වන දිනයේ මුගලන් මහ රහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ සමඟ පිඬු පිණිස හැසිරීම සඳහා සූදානම් ව රජගහ නුවර ගල්තලාවක සිට සිවුරු පෙරැවූ සේක. එවිට පිරිසක් මෙසේ ඔවුනොවුන් සාකච්ඡා කළහ: “මෙලොව රහත්හු යැ යි අපි යම් යම් අයට සැලකුවෙමු; එසේ ම රහත්හු මෙලොව ඇතැ යි විශ්වාස කළෙමු. දැනට සදවසක් ඉක්ම ගිය ද අහසින් විත් පාත්‍රය ගැනීමට සමත් රහතුන් කෙනෙක් නො වී ය. අහෝ! බලව්: අපගේ රැවටීමක මහත! මෙතැන් පටන් අප ලොව රහත්හු ඇතැ යි විශ්වාස නොකරමු” යි යනුවෙනි.

    මෙය අසා සිටි මුගලන් මහ රහතන් වහන්සේ පිණ්ඩෝල මහ රහතන් වහන්සේ අමතා, “මොවුන් අපට නිගා කරන්නවුන් මෙන් මෙසේ කතා කරන බැවින් ඔබ ද මහත් ඍද්ධි ඇත්තකු හෙයින් අහසින් ගොස් එම පාත්‍රය ගන්නැ” යි කී සේක. ඉක්බිති පිණ්ඩෝල මහ රහතන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැඟී සිට තමන් වැඩසිටි ගල් තලාවත් එලෙසින් ම ගෙන රජගහ නුවර අහසේ සත් වරක් සැරි සැරූ හ. එම ගල්තලාව නගරය වසා සිටි වියනක් මෙන් දිස් විය. එම ගල් තලාව තමන්ගේ හිස මත වැටේ යැ යි බියට පත් ඇතැමෙක් කුළු ආදියෙන් හිස වසාගත්හ; ඇතැමෙක් සැඟවුණා හ; ඇතැමෙක් හඬා වැලපුණා හ.

    එසේ සත් වරක් අහසේ සැරි සැරූ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ තමා මහජනයාට පෙනෙන සේ සැලැස්වූ හ. එවිට මහ රහතන් වහන්සේ අමතා මිනිසුන් ප්‍රකාශ කළේ ගල්තලාව පතිත වුවොත් ඔවුන් නැසෙන හෙයින් එය ඉවත් කරන ලෙස යි. උන් වහන්සේ පා අගින් ගල් තලාව තල්ලු කර පෙර තිබූ තැනට ම යවා සිටු මැඳුරේ වහල මත වැඩ සිටිනු දුටු සිටු තෙම “ස්වාමීනී, බසිනු මැනැවැ” යි වැඳ වැටී කෑගැසී ය; ඉන් පසු බිමට වැඩි තෙරුන් වහන්සේට උණ ගස මත තැබූ සඳුන් පාත්‍රය ගෙන්වා එහි චතුමධුර පුරවා පිළිගැන්වී ය. උන් වහන්සේ පාත්‍රය රැගෙන විහාරයට වැඩි සේක. ආනන්ද තෙරුන් වහන්සේගෙන් සියලු තොරතුරු අසා දැන ගත් බුදු රජාණන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ කැඳවා එම තොරතුරු සැබෑ දැ යි විමසූ විට එසේ යැ යි පිළිතුරු ලැබිණ. මෙතැන් පටන් ගිහියන්ට උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රාතිහාර්යන් නො පෑ යුතු බවත් යම් භික්ෂුවක් එසේ කරයි නම් දුකුළා ඇවැත් සිදු වන බවත් වදාරා ශික්ෂා පදයක් ද පැනවූ හ.

    පසු කාලයේ දී බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා, “ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං සීහනාදිකානං යදිදං පිණ්ඩෝල භාරද්වාජේ” “මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරන භික්ෂූන් ගෙන් මේ පිණ්ඩෝල භාරද්වාජ තෙමේ අග්‍ර වන්නේ යැ” යි වදාළ සේක.


    - See more at: http://www.namaskara.lk/?sid=article&dt=2014/01&id=2014/01/npg79_0#sthash.cs6igPMC.dpuf
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කරවූ ඔබට මහත් පිං සිදු වේවා ...