@shadow134
ව්‍යාකරණ පොතක් කියවද්දි, තව ප්‍රශ්න ටිකක් ආව, මේ වාක්‍ය වැරදි වෙන්නෙ කොහොමද...
සමහරු දැනුම දියුණු කරගනී( ගනී කියන්නෙ ගනියි කියන එක හින්දද, බහු වචන වෙන්ඩ ඕනනෙ සමහරු වුනාම )
නියෝජිතයින් කොමසාරිස්තුමා හමු වේ
ආහාර සෑදීමට නොදත් අය සූපවේදීන් වන්නේ කෙසේද?
තරුණයා විසින් රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි
මම සිංහල භාෂාව විෂයක් විදිහට හැදැරුවේ වසර ගණනාවකට පෙර නිසා ඇතැම් ව්‍යාකරණ රීති මට මතක නෑ. ("අනභ්‍යාසේ විෂං විද්‍යා" කියනවා නොවැ). මේ සමහර වාක්‍ය ව්‍යාකූලය. ඔබ මේ වාක්‍යය උපුටා ගත්තු
මූලාශ්‍රය විශ්වාසනීය නම්, මෙහි ඇතැම් වාක්‍ය විවරණය කරන්න තරම් දැනුමක් මට නැතුව ඇති. දන්න දේ කියමි.
"සමහරු" යන පදය නිත්‍ය බහුවචනයක්. (අයෙක්,කෙනෙක්,සමහරෙක් වගේ) මෙවැනි පදයක් උක්ත වෙන කල්හි (කතෘ විදිහට යෙදෙන කොට) ආඛ්‍යාතය බහුවචන විය යුතුයි.
"කරගනී" යැයි කී කල්හි එක වචන වේ. බහු වචන ලෙස තබනවා නම් "කරගනිති" විය යුතුය.ඒ අනුව,
"
සමහරු දැනුම දියුණු කරගනිති." යැයි නිවැරදි විය යුතුය.
- නියෝජිතයින් කොමසාරිස්තුමා හමු වේ.
කතෘකාරක වාක්‍යක කතෘ උක්ත විය යුතුය. නමුත් මෙහි කතෘ පදය "නියෝජිතයින්" යැයි අනුක්ත ස්වරූපයෙන් තබා ඇත. "නියෝජිතයෝ" යැයි උක්ත ස්වරූපයෙන් තැබිය යුතුය.
මෙහි ආඛ්‍යාත පදය ද ව්‍යාකරණ විරෝධීය. (
හමුවේ > හමුවෙති)
"නියෝජිතයෝ" යැයි කතෘ උක්ත බහුවචනයක් වූ කල්හි ආඛ්‍යාතය "හමුවෙති" යැයි බහුවචන විය යුතුය.
එවිට නිවැරදි වාක්‍යය,
නියෝජිතයෝ කොමසාරිස්තුමා හමුවෙති.
- ආහාර සෑදීමට නොදත් අය සූපවේදීන් වන්නේ කෙසේද?
මම පළමුව කී කාරණාව මේ වාක්‍යට ආදාළය. මෙහි වරදක් මට හරි හැටි නොවැටහේ. මේ වාක්‍ය හා සම්බන්ධ වෙන ප්‍රධානතම රීතිය "ප්‍රශ්නවාචී පදයකින් අවසන් වෙන වාක්‍යයන්හි කතෘ අනුක්ත විය යුතු ය." යන්නයි. මෙහි කතෘ පද දෙකකි. කතෘ පද දෙකක් තිබූ පමණින් එම රීතිය වෙනස් වෙන බවක් ද මම අසා නැත.
"නොදත් අය" හා "සූපවේදීන්" යන පද දෙක මෙම වාක්‍යයේ කතෘ පද දෙකය. එයින් "සූපවේදීන්" යන පදය අනුක්ත බව පැහැදිලිය. එහි ගැටළුවක් නැත. මා දන්නා පමණින් "නොදත් අය" යන පදය අනුක්ත මෙන්ම උක්ත ස්වරූපයේ ද එක සේ යෙදේ. එම නිසා එහි ව්‍යාකරණ වරදක් ද නොදකිමි.
නමුත් "අය" යන පදය "අයවලුන්" ලෙස ද යෙදිය හැක. එම නිසා "අය" යන්නෙහි අනුක්තය "අයවලුන්"හෝ "අයෙකු" යැයි කෙනෙක් සිතිය හැක. එහි ද වරදක් නැත. (නමුත් "අය" යන්නෙහි අනුක්ත ස්වරූපය ලෙස "අය" යන්නම යෙදුවද වරදක් නැත.) වාක්‍යය මේ ලෙස ද ලිවිය හැක.
ආහාර සෑදීමට නොදත් අයවලුන් සූපවේදීන් වන්නේ කෙසේද?
ආහාර සෑදීමට නොදත් අයෙකු සූපවේදීන් වන්නේ කෙසේද?
- තරුණයා විසින් රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි.
මෙය කර්ම කාරක වාක්‍යක් ලෙස ලියන්නේ නම් "ඉදිකරන්නේ" යන පදය යෙදිය නොහැක. ඒ වෙනුවට "ලබ" ධාතුව යොදා "ඉදිකරනු ලබන්නේ" කියා හෝ නිරුත්සාහික ක්‍රියා යෝගයෙන් "ඉදිකෙරෙන්නේ" කියා තැබිය යුතුය. ඒ අනුව,
තරුණයා විසින් රඟහල ඉදිකරනු ලබන්නේ ලක්ෂ ගණනක වියදමිනි.
තරුණයා විසින් රඟහල ඉදිකෙරෙන්නේ ලක්ෂ ගණනක වියදමිනි.
මෙය ඔබට කතෘකාරක පදයක් ලෙස ලිවීමට අවශ්‍ය නම් "විසින්" යන පදය ඉවත් කිරීම ප්‍රමාණවත් වේ.
තරුණයා රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි.
මේ වාක්‍ය හරි වෙන්නෙ කොහොමද?..
මිනිස්සු සියල්ලෝම වැඩ කරන ලදි (ලදි කියන එකේ තේරුම, ලද්දේය'' ද, ලද්දෝය '' ද 2ටම යෙදෙනවද..)
- මිනිස්සු සියල්ලෝම වැඩ කරන ලදි.
මෙය නිවැරදි වාක්‍යක් ලෙස මම නොදකිමි. "වැඩ කරන ලදි." කී කල්හි වාක්‍යය කර්ම කාරක ස්වරූප ගනී. නමුත් "සියල්ලෝ" යන පදය උක්ත ස්වරුප යෙන් තබා ඇත. මෙය කර්ම කාරක වාක්‍යක් නම් "සියල්ලන් විසින්" යැයි තැබිය යුතුය.මෙය කර්මකාරක වාක්‍යයක් ලෙස ලිවීමට අවශ්‍ය නම්,
මිනිසුන් සියල්ලන් ම විසින් වැඩ කරන ලදි. ලෙස ලිවිය හැක.
නැතිනම් කතෘකාරක ලෙස,
මිනිස්සු සියල්ලෝම වැඩ කළහ. ලෙස ලිවිය හැක.
මෙහි දි කතෘ පදය අනුව ආඛ්‍යාතය "කළහ" ලෙස තැබුවා නම් නිවැරදිය.
* "ලදි" කියන පදය ලද්දේය හෝ ලද්දෝය කියන පද වල අර්ථ හා සමානයි. හැබැයි "ලදි" කියන තැනට "ලද්දේය" කියා හෝ "ලද්දෝය" කියා දැමිය නොහැක.