සිතේ පුහුණුව..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mind-power.jpg


    අපේ හිත නිශ්චල නම් එය තිබෙන්නේ යථා තත්ත්වයේය. එය චලනය වූ වහාම සිතිවිලි ගොඩනැඟීම සිදු වෙනවා. සැප හා දුක සිත චලනය වීමේ අංගයකි. සිතුවිලි ගොඩනැගීම ද එසේය. සිතේ ඔබ මොබ යෑම හා නොසන්සුන් බව ද සිතේ චලනය පිළිබිඹු කරයි. ඔබට මේ සිතේ ඔබ මොබ දිවීම නොතේරේ නම් සිතෙන් මැවෙන සිතිවිලි ඔබ ලුහුබැඳ ඒවායේ බලයට යටත් වෙනවා.

    එම නිසාය, බුදුරදුන් අපට ඉගැන්වූයේ, සිතේ චලනය පිළිබඳ ව අපි හොඳ සිහියෙන් සිටිය යුතු බව. සිත සැලෙනවා දැක, එම සිතෙහි මූලික ගුණාංග අපි දකිමු. කෙළවරක් නැතිව සිතිවිලි ගලා යෑම, අසහනය හා හිස් බව, ඔබ මේවා දැනගෙන එම දැනීම මුල් කරගෙන මනසේ ස්වභාවය පරීක්ෂා කළ යුතුයි. මේ අන්දමින් ඔබට පටිච්ච සමුප්පාද ධර්මය උගත හැකිය. බුදු රදුන් අපට ඉගැන්වූවා මෙලොව සියලු ධර්මතාවන් ඇති වීමට හේතුව අවිද්‍යාවය කියා. අපේ ක්‍රියාවන් ද අවිද්‍යාව මුල් කරගෙනයි ඇති වන්නේ. එම ක්‍රියාවන් විඤ්ඤාණය උත්පාද කොට එම විඤ්ඤාණය නාම රූප බිහි කරයි. මෙය තමයි පටිච්ච සමුප්පාද ධර්මය.


    මෙහිදී කිව යුත්තක් නම්, පොතපතෙහි දැක්වෙන පටිච්ච සමුප්පාද ධර්මයේ ලුහුඬු විස්තරය නිවැරදිය. එහෙත් එහි අත්දැකීම පොතෙන් උගත නොහැකිය. පොත ඔබට අවිද්‍යාව මෙය ලෙස එහි බිහිවීම් – අත්දැකීමේදී පෙන්වා දෙනු නොලැබේ. මෙයයි අපේ අවිද්‍යාවෙන් උත්පාද වන ක්‍රියාවලියේ අත්දැකීම. මෙයයි ඊට අදාළ විඤ්ඤාණය. මෙයයි නාම රූප ධර්මයන්ගේ විවිධ හැඟීම් වනුයේ. මේ අන්දමින් මොහොතින් මොහොතෙට ඔබේ අත්දැකීම් පොතපතින් පෙන්වා දිය නොහැකිය. ඔබ ගසක අත්තක් අත්හැරී එහි සිට මහ පොළොවට පතිත වන විට කොපමණ අඩි හා අඟල් ගණනක් බිමට වැටුණේ දැයි විස්තර කරන්නේ නැත. ඔබ බිමට වැටී එහි වේදනාව පමණක් විඳී. ඒ ගසෙන් වැටීමේ අත්දැකීම කුමන පොත පතකින් වුව ද විස්තර කළ නොහැකි ය.


    සැලැස්මක් අනුව දහම් ඉගෙනීම ක්‍රමානුකූලයි. එහෙත් සොබාදහම එම න්‍යායයන් අකුරට අනුගමනය නොකරයි. එම නිසාය සිදුවීම් පිළිබඳව අපේම ගැඹුරු ප්‍රඥාවෙන් අපිම අවබෝධ කරගත යුත්තේ. අපම ඒවාට සාක්ෂි දැරිය යුතුයි. අපේ ගුප්ත නුවණැස තුළ බලා අපේ හදවත / මනස අපේ ආත්මය නොවන බව අප දකිනු ඇත. එය ‘මම’ නොවේ; ‘මාගේ’ නොවේ. එහි මමෙක් නැත. අපේ සිත හා එහි බිහි වන චෛතසිකයන් අප වෙන් වෙන් වශයෙන් නම් කළ මුත් බුදුරදුන් අපට ඒ නම්වලට නොැඅලෙන්නටය වදාරා ඇත්තේ. උන් වහන්සේ ඒවා සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය වශයෙන් දැකීමට අපට ඉගැන්වූහ. ඒවා අත්දකින අපි ඒවාට යන්නට ඉඩහැරිය යුතුයි. ඒවා ඇතිවීමේදී ඇති වූ බව පමණක් දැනගන්න. මෙය කළ හැකි මනසය, පුහුණු වූ සිත යැයි සැලකිය හැක්කේ. සිත සැලුණු විට එහි නොයෙකුත් සිතිවිලි හටගනී; නොයෙක් සිතුවිලි ගොඩනැගේ. ඒවායෙන් මිනිස් සිත කම්පාවට පත් වී විවිධ සිතිවිලි පරම්පරාවල් ගලායන ගඟක් මෙන් බිහි වේ. එහෙත් මේ සිතුවිලි හොඳ හෝ නරක වුවත් ඒවා ඔබ නුවණැසින් දකිමින් ඒවාට යන්නට ඉඩ හරින්න. බුදුරදුන් හුදෙක් අපට කීවේ “ඒවා අතහරින්න” යනුවෙනි. එහෙත් අපි අපේ සිත වටහාගත යුතුයි. එවිටය එහි ඇති වන සිතුවිලි අත්හැරිය හැක්කේ.

    මනසේ සිතුවිලි අප කල්පනාවට ගත හොත් ඒවා ගලා බසින්නේ යම්කිසි ස්වභාවයකටය. සිතිවිලි මේ අන්දමට, විඤ්ඤාණය මේ අන්දමට ඇති වී නැති වී යයි යන ආකාරයෙනි. අපේ පුහුණුවේදී අපට සතිය හා යහපත් අවබෝධය ඇත්තේ නම් එවිට හරි සිතුවිලි, යහපත් වචන, යහපත් ක්‍රියාව හා යහපත් ජීවිකාව නිරායාසයෙන් ඇති වනු ඇත. විවිධ සිතුවිලි එවිට ඇති වන්නේ ප්‍රඥාව මුල් කරගෙනය. ප්‍රඥාව පහනක් මෙනි. අවබෝධය හරි නම් සිතුවිලි හා අනෙකුත් සියලු දෑ ද යහපත් ය. පහනෙන් පිට වන ආලෝකධාරාවන් මෙනි. හොඳ සිහියෙන් අප පරීක්ෂා කරන විට යහපත් අවබෝධය වැඩෙනු ඇත.

    ඔබට සිතේ එකඟ බව එහි ශාන්තිය හා ප්‍රඥාව වෙන් වෙන් වශයෙන් දැකිය නොහැකිය. එය හරියට අඹ ගෙඩියක් වගේ. මුලදී එය කොළ පැහැයෙන් හා ඇඹුල් රසයෙන් යුක්තය. පසුව එය කහ පැහැයෙන් හා මිහිරි රසයෙන් යුක්තය. එහෙත් එය ගෙඩි දෙකක් නොවේ. මුල අවස්ථාව නොමැතිව ඉදුණු අඹයක් නොමැත. ඉැගන්වීමේදී අපි සම්මුතිය ආධාර කරගනිමු. එහෙත් භාෂාවෙන් අපි මුළා විය යුතු නැත. නියම සත්‍යය අපි ලබාගන්නේ අපේ මනස තුළ ඒ දැකීමෙනි. කෙළවරක් දැකිය හැක්කේත් සත්‍ය ඵල නෙළිය හැක්කේත් මෙවැනි ඉගැනීමෙන්ය.

    මුල් අවධියේ සිත ශාන්ත වනුයේ සිතේ ඒකාග්‍රතාව ඇති කරගැනීමෙනි. එහෙත් අප ලබාගත් ශාන්තිය අපෙන් ඈත් වූ විට එයට අපේ ඇති ඇලීම නිසා අප තුළ අසහනය ඇති වේ. බුදුරදුන්ගේ ඉැගන්වීම අනුව සිතේ ශාන්තිය පුහුණුවේ කෙළවර වන්නේ නැත. භවය හා දුක අප තුළ තවමත් රෑඳී පවතියි.

    ඒ නිසා බුදුරදහු එකඟතාව හා සිතේ ශාන්තිය තවත් ඔබ්බට ගෙන ගියහ. උන් වහන්සේ ඒ පිළිබඳව සත්‍ය සොයාගෙන ශාන්තියට ඇති ඇලීම ද අබිබවා ගියහ. ශාන්තිය ද සිතේ පහළ වන නොයෙකුත් තත්ත්වයන්ගෙන් එකක් වන අතර, දහම් මග ගමන් කරන්නාට මුණගැසෙන එක් අංගයක් පමණි. එයට ඔබ ඇලුණේ නම් එයින් ඇති වන සතුට නිසා ඔබ තව දුරටත් භවයට උත්පත්තියට ගොදුරු වේ. ශාන්තිය සිතෙන් ඉවත් වූ විට සිතේ චලනය බිහි වී ඔබේ ශාන්තියට ඇති කැමැත්ත තවත් උත්සන්න වේ.

    භවය හා ජාතිය ඇති වන්නේ කෙසේ දැයි බුදුරදහු ඉන් පසු සොයා බැලූහ. සිත ශාන්ත වූවත් නොවූවත් තමන් වහන්සේගේ විනිවිද පෙනෙන නුවණින් පරීක්ෂා කිරීමේදී උන් වහන්සේට වැටහුණා, සත්ත්වයාගේ මනස හා කය එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යනුවෙන් නම් කරන මුළු පංචස්කන්ධය ම ගිනිගෙන දිලිසෙන යකඩ බෝලයක් ලෙස. එම යකඩ බෝලය ගිනිගෙන දිලිසෙන්නේ නම් එහි කොයින් ද කෙනෙකුට ඇල්ලීමට සිසිල ගෙන දෙන තැනක් ඇත්තේ? ස්කන්ධ පංචකයම මේ අන්දමින් හැම වෙලේම ගින්නෙන් දැවේ. කොතන ඇල්ලුවත් පිලිස්සීමෙන් වේදනාව ඇති කෙරේ. එම නිසා ඔබේ සිතේ ඇති වන ශාන්තියට හෝ ඒකාග්‍රතාවට ද ආශා කළ යුතු නැත. ඔබ ‘මම’ ය, ‘මාගේ’ යැයි සිතේ ශාන්තිය හෝ ඒකාග්‍රතාව සැලකිය යුතු නැත. එසේ කිරීමෙන් මමත්වය නමැති වේදනා ගෙන දෙන මායාවක් බිහි කෙරේ. එය ද අවිද්‍යාව හා තණ්හාව නොහොත් තව තවත් ගිනිගෙන දිලිසෙන යකඩ බෝලයක් පහළ කරයි.

    බුදුරදුන් මනස බිහි කරන සියල්ලම අනිත්‍යය ලෙස, හේතූන් නිසා ඇති වන, හිස් දෑ ලෙස දුටහ. මේ නුවණ පහළ වූ විට උන් වහන්සේ ඒවා ඉවත් කළහ. එසේ කිරීමෙන් දුක කෙළවර වන බව උන්වහන්සේ සොයාගත්හ. ඔබ ද මේ කරුණු සත්‍ය අනුව වටහාගත යුතුයි. මෙසේ ඔබ දැනගත්තා ම මනසේ ඇති වන දෑ මුළාවක් යැයි වටහාගන්නවා. මනස හිස්, කවදාවත් ඇති නොවන උත්පත්තියක් නැති, කිසිවෙකුගේ මියයෑමෙන් නොමියන බව කියන බුදු රදුන්ගේ ඉගැන්වීම එවිට ඔබට පෙනේවි. එය සියලු බැදීම්වලින් තොර, දීප්තිමත්, ප්‍රභාශ්වර, කිසිවක නොඇලෙන්නකි. හේතූන් නිසා ඇති වන දෑ නිසා මුළාවට පත් සිත ‘මම’ ය, ‘මාගේය’ යන මිථ්‍යා හැඟීම් මුල් කරගෙනය, යම් යම් දෑ ලුහුබඳීන්නේ.


    ඒ නිසාය බුදුරදුන් දේශනා කළේ, අපේ සිත් දිහා අපට බලන්ටය කියා. මුලින් එහි තියන්නේ කුමක්ද? ඇත්තෙන්ම එහි කිසිවක් නැත. මේ ශූන්‍යතාව ඒ ඒ දෑ ඇති වන විට ඒ සමග ඇති වන්නේ නැත. ඒවා නැති වන විට ඒ සමඟ නැති වන්නේ ද නැත. හොඳ යමක් එහි ගැටුණ විට එය හොඳ වන්නේ නැත. අසුභ යමක එහි ගැටීමෙන් එය නරක් වන්නේ ද නැත. නිර්මල මනස මේ සියලු දෑ හොඳින් දනී. දකී. ඒවායේ හිස් බව යථා අන්දමින් දකිනු ඇත.

    භාවනානුයෝගියා මේ අන්දමින් සිටින විට ඔහුගේ සිතේ සැක නොමැත. භවයක් තිබේද? උත්පත්තියක් කොයින්ද? අපි කිසිවකුගෙන් අසන්නට වුවමනා නැත. සිතේ ඇති වන සියලු දෑ උන් වහන්සේ පරීක්ෂා කොට, ඒවා සියල්ලට යන්නට ඉඩ හැරියහ. උන් වහන්සේ ඒවා ගැන ‘දන්නා අය’ පමණක් වූහ. නොසෙල්වෙන සිතින් ඒවා දුටහ. උත්පත්තියට හේතු වන කිසිවක් උන් වහන්සේගේ සිතේ පහළ වූයේ නැහැ. මේ පූර්ණ දැනීම මත උන් වහන්සේ සියල්ල අනිත්‍ය, දුක් ඇති කරන, අයිතිකරුවෙකු නැති දේ ලෙස ප්‍රකාශ කළහ. මෙය නියම ශාන්තියයි. ඉපදීමෙන්, ජරාවට යෑමෙන්, ගිලන් වීමෙන් හා මරණයෙන් බැහැර ව ලබාගන්නා, ඒ ශාන්තිය සැප හා දුක, හොඳ හා නරක අබිබවා ඇති වන්නකි. එය වචනයෙන් විස්තර කළ නොහැකි ය. එහි පැවැත්ම හේතූන් නිසා ඇති වන්නක් නො වේ.

    ඒ නිසා සමාධිය වඩන්න. ප්‍රඥාව හා සිතේ නොසෙල්වෙන බව ඇති කරන්න. ඒවා ඔබගේ මනසේ ඇති කරගෙන දහම පුහුණුවට යොදන්න. එසේ නොකළේ නම් බුදු රදුන්ගේ වචන පමණක් දන්නා අයෙක් වෙනවා. ඔබගේ අරමුණු කොපමණ හොද වුවත් ඔබ කරන්නේ යම් යම් දෙයෙහි පැවැත්මට හේතු විස්තර කිරීමක් පමණි. ඔබ දක්ෂයෙක් විය හැකියි. එහෙත් ඔබේ හිතේ අරමුණු ඇති වූවාම ඔබ ඒවා ලුහුබඳිනවා ද? ඔබ කැමති දෙයක් ඉන්ද්‍රියයන් ඔස්සේ ඔබේ හිතට ඇතුළු වුව හොත් එයට ඔබ ඇලෙනවා ද? ඔබට එය අත්හළ හැකි ද? ප්‍රිය නොවන අත්දැකීම් ඔබට ඇති වූ විට, “දන්නා අය” ඒ අත්දැකීම් හිතේ චලනය ඇති කරනවා ද? එසේ නැත්නම් ඒවා ‘මම’ නොවේ. ‘මාගේ නොවේ’ යැයි ඉවතලනවා ද? ඔබ දකින්නේ නම් ඔබ අකමැති දෑ එවිට ඔබ ඒවා ඩැහැගෙන ඒවා හෙළාදකී නම් ඔබ නැවත ඔබේ සිත පිළිබඳව විමසිලිමත් විය යුතුයි. තවමත් ඔබේ පුහුණුව හරි නැත. එය පූර්ණ වී නැත. මේ අන්දමින් ඔබගේ සිත දෙස ඔබ බලන්නේ නම් ඔබටම ඔබේ සිත පිළිබඳව දැනගත හැකියි.

    පොත්වල යොදා ඇති වචන හෝ වගන්ති උපයෝගී කරගෙන නොවේ මා මගේ පුහුණුව කරගෙන ගියේ; “දන්නා අය” ගේ ආධාරය ලබාගැනීමෙනි. “දන්නා අය” කෙනෙකුට අකමැති නම් ඒ ඇයි කියා ඔබ ප්‍රශ්න කළ යුතුයි. එය “දන්නා අය” කෙනෙකුට ප්‍රිය කරයි නම් ඒ ඇයි යනුවෙන් ප්‍රශ්න කළ යුතුයි. මේ අන්දමින් හිතේ ඇති වන කැමති හා අකමැති දෑ පරීක්ෂා කිරීමෙන් ඔබට හැකිවෙනවා කැමති අකමැති, ගැටලුව විසඳා ඒවා ඔබේ සිතින් පහ කරන්නට. සියල්ලම දන්නා අයගෙන් ඇති වී එහිම කෙළවර වෙනවා. නොකඩවා කරන පුහුණුව මීට අත්‍යවශ්‍යයි.

    අජාන් චා හිමි

     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    බොහෝම පිං මචං මේක දැම්මාට. මම මෙ හාමුදුරුවන්ගෙ E-Book හොය හොයා හිටියෙ. ගොඩාක් සරලව ඔහොම දේවල් පැහැදිලි කරපු පොත් තියනවා, මෙ හාමුදුරුවන්ගෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහෝම පිං මචං මේක දැම්මාට. මම මෙ හාමුදුරුවන්ගෙ E-Book හොය හොයා හිටියෙ. ගොඩාක් සරලව ඔහොම දේවල් පැහැදිලි කරපු පොත් තියනවා, මෙ හාමුදුරුවන්ගෙ.


    Bohoma pin Rep+++

    Bump




    Ela.........Good Post.......

    බොහොම පිං ............

    ela Good work machan. thx 4 sharing :yes:


    rep added...
    ooops ... You must spread some Reputation around before giving it to crazybuddy again.

    බොහොම ස්තුතියි ප්‍රතිචාරවලට..