ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් විදෙස් රටක පරීක්ෂණයට භාජනය වීම ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැම ලැජ්ජා විය යුතු කාරණයකි. මෙවන් ජාත්‍යන්තර අල්ලස් ගැනීම් මගඩියක මැද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු සිටින පළමු අවස්ථාව මෙය වේ. මේ අතර, වත්මන් පාලනය පිළිබඳ කියවෙන "යහපාලනය" නැමැති සන්නාමය සහිත පසුබිමක මෙය සිදුවීම ද එම යහපාලනයට නායකත්වය දෙන පුද්ගලයා ආදාළ මගඩියේ මැදට ම හසුව තිබීම ද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු ය. මේ හරහා ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට, විදෙස් සබඳතාවලට මෙන් ම ආයෝජන වැනි ආර්ථික කාරණාවලට ද දැඩි බලපෑමක් එල්ල කරන කාරණයක් බව ද අමුතුවෙන් කියයුතු නොවේ.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ලෝකය තුළ ඔසවා තැබුවේ මිනීමරු ත්‍රස්තවාදය මුළුමනින් ම රටින් තුරන් කිරීමට හැකි කැපකිරීම් කළ හැකි වීර හා ප්රබුද්ධ වැසියන් සහිත දේශයක් ලෙස හා ඊනියා ජාත්‍යන්තරය ලෙස පෙනී සිටින බටහිර රටවල් දෙක තුනක පදයට නැටීමට සූදානම් නැති අභිමානවත් ජාතියක් ලෙස ය. එවන් පසුබිමක් තුළ අද ශ්‍රී ලංකාව අල්ලස් පාරාදීසයක් ලෙස ලෝක මාධ්‍ය ජාලවල ප්‍රචාරය වීම කොතරම් අභාග්‍යක් ද?