සිරීපාදෙට ‘‘ලයිට් ” ආපු හැටි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    954
    737
    93
    වර්ෂ 1930 දි එක තරුණ යුවළක් තම අවුරුදු එකහමාරක් පමණ වයසැති පුංචි දියණියත් සමග ශ්‍රී පාද වන්දනාවේ යෙදෙනවා. මාතර නාදුගල නම්බිගෙවත්තේ පදිංචිව සිට පසුව වැල්ලවත්තේ මැනිං පෙදෙසෙහි පදිංචි වූ මේ තරුණයාගේ නම මාවරල විතාරණගේ එළියස් අප්පුහාමි.එතුමාගේ තරුණ බිරිඳ හේවා කිරින්දගේ පොඩි නෝනා( Photo 01). කෝඩු කාරයින් වුනු මේ දෙදෙනා තම මස්සිනා වූ වන්නකු ගුරුගේ සරනේලිස් (Photo 02) මහතාණන් තමන්ගෙ නඩේගුරා හැටියට යොදාගෙන තමන්ගේ එකම දරුවත් එක්ක සිරිපාදේ වඳින්න යනවා. මේ නඩේ දැන් යන්නේ හැටන් නල්ලතන්නි මාර්ගයෙන්. සීත ගඟුලෙන් මූන කට සෝදගෙන ආයෙත් කරුණාව පටන් ගන්න හදනකොටම පුංචි දියණියට උණ හටගෙන තිබෙනවා. මේකට කලබල වුන එළියස් අප්පුහාමි,
    ‘’මම දුවත් එක්ක මෙතන නවතින්නම්, ඕගොල්ලො වැඳපුදාගෙන එන්න’’ යයි නඩේ ගුරාට පවසනවා.
    ‘’මේක දේව අඩවිය ඒ නිසා නැවතීම සුදුසු නැහැ , මම දරුවාගේ උණ බස්වල දෙන්නම්‘’
    නඩේ ගුරා එලෙස පිළිතුරු පිළිතුරු දී සමන් දෙවියන් සිහිපත් කරමින් රිදී පඬුරක් දරුවාගේ අතේ ගැට ගැසීමෙන් පසු ඇයගේ උණ තත්ත්වය පහව ගොස් තිබෙනවා.නැවතත් එතනින් කරුණාව ආරම්භ කොට පැය කීපයක් ගතවී කළුවර වැටුනාට පසු මහන්සිය නිවාගන්න මේ එළියස් අප්පුහාමි ලග තිබුණු ගෝනි මිටියකට කකුල තියලා තමන්ගේ පුංචි දියණියව ඒ මත ඉන්දවා ගන්නවා.. තත්පරයක්වත් ගියේ නෑ ගෝනි මිටිය ඇතුලෙන් මනුස්සයෙක් නැගිටලා ‘’එන්න අයියා ‘’කියලා දෙමළ බසින් අහනවා. එතකොට තමයි දැනගත්තේ තමන් පය තියලා තියෙන්නේ අධික සීතල නිසා හිසේ ඉඳන් මුළු ශරීරයම ගෝනියකින් පොරවාගෙන බිම වකුටු වෙලා ඉන්න මනුස්සයෙක්ගේ ඇඟ උඩට කියලා. එළියස් අප්පුහාමි මේ මනුස්සයා ගෙන් සමාව ඉල්ලනවා. ‘’මේ වගේ උතුම් තැනක මිනිසකුගේ ශරීරය මතට වැරදීමකින් හරි පය තිබ්බේ මේ වටපිටාවේ තියන අඳුරු බව හින්දා’’. තනියම මෙහෙම කල්පනා කරපු එළියස් අප්පුහාමි පසුදින උදෑසන ඉර සේවයත් බලලා ආපිට කරුණා කරේ මේ උතුම් පින්බිමට කොහොමහරි එළියක් දෙනවා කියන ඒකායන අධිෂ්ඨානයකුත් එක්ක.
    සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපා කරුණාව අවසන් කරලා එළියස් අප්පුහාමි නැවතත් තමාගේ නඩේ එක්ක තමන්ගේ ගමට(වැල්ලවත්තට) එනවා..තමන්ට තිබුණු ඒකායන අධිෂ්ඨානය නිසාම තමන්ගෙ ගමේ හිතවතුන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන හරියටම 1933 මාර්තු26 වැනිදා වැල්ලවත්තේදී සමිතියක් පිහිටුවා ගන්නවා. මේකෙ නම ‘’ශ්‍රී සමන්ත කූට විදුලි පහන් ආලෝක සහෝදර සමිතිය’’. එවකට රාජ්‍ය නීතීඥවරයෙකුව සිටි හර්බට් සුනිල් නිශ්ශංක මහතා ( Photo 03) සභාපති ධුරයටත්, තමන්ගේ කෝඩු සිරිපා වන්දනාවේ නඩේගුරා වුන සරනේලිස් අප්පුහාමි ලේකම් ධුරයටත්, තමන්(එළියස් අප්පුහාමි) භාණ්ඩාගාරික තනතුරටත් පත් කරගන්නවා. සංගමයේ ඒකායන අරමුණ වුණේ සිරිපා වන්දනා කාලවලදී ශ්‍රී පාදස්ථානය හා මග දෙපස විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්න. මේ සමාරම්භක උත්සවය පැවැත්තුවේ වැල්ලවත්ත පීටර්සන් පටුමග කොනේම තියන පිට්ටනියක.මේ උත්සවය වෙනුවෙන් පීටර්සන් පටුමගේ ආරම්භක ස්ථානය, ඒ කියන්නේ ඩබ්ලිව්.ඒ සිල්වා පාරට සම්බන්ධ වන හංදියේ ලොකු තොරණක් ඉදි කෙරුණා. ඒ තොරණේ තිබුනේ මෙන්න මෙහෙම කවියක්,
    ‘’වරණ සමනල කුළු විදුලි යස පහන් එළි සොහොයුරු සමිතියෙන්
    සරණ මුනිසිරි පාද මළුවේ එකලි කරනට තැබුව වෙසෙසින්
    කරන අද දින විදුලි උළෙලට අපගේ ඇරයුම සුපිරි ගෙන එන
    වරණ රජ මැතිවරුන් හට ගරු කරම බැන්දෙමි අනගි මෙතොරණ.’’
    මේ සමිතිය පිහිටුවනවාත් එක්කම ඒ වෙලාවේ අතිශයින්ම විශ්මයජනක සිදුවීමක් සිද්ධ වෙනවා. සමිති ශාලාවට ඉහළ අහසේ සුදු පැහැති දිලිසෙන ආලෝකයත් ඉතා ශාන්ත ලීලාවෙන් එහාට මෙහාට ගමන් කරා. මේක දැක්කේ එළියස් අප්පුහාමි ගේ නෝනා. පුදුමයට පත් වුණු ඇය ‘’අන්න අන්න සමන් දෙවියොත් වැඩලා’’, පුදුමයට පත් වුණු ඇය හයියෙන් කෑගැහුවා.එතනට රැස් වෙලා හිටපු හැමදෙනාම එකහඬින් හයියෙන් සාදු නාද දෙන්න පටන් ගත්තා. ස්වල්ප වේලාවකින් ඒ ආලෝකය ඈත පොල් ගහකට මුවා වෙලා නොපෙනී ගියා.
    එදා දවසෙ ඉඳන් හැමදෙනාම ගොඩක් උනන්දුවෙන් සමිතියේ වැඩ පටන් ගත්තා. සංගමයේ සාමාජික ගාස්තුව උනේ රුපියල් 1 , රුපියල් 2 සහ සත 50 යි.සංගමය ගනුදෙනු කළේ එවකට තිබුණු ඉම්පීරියල් බැංකුවත් එක්ක (Photo 04).සමිතිය සතුව ව්‍යාවස්ථා මාලාවකුත් තිබුණා. මේ වෙද්දි කොළඹ ‘’Walker & Sons ’’ සමාගම විසින් අශ්ව බල 5 ක විදුලි උත්පාදක යන්ත්‍රයක් විකිණීමට තියෙනවා කියලා වෙළෙඳ දැන්වීමක් පත්තරේක පළ කරල තිබුණා. විදුලි උත්පාදක යන්ත්‍රය තමන්ගේ කර්තව්‍යයට සුදුසු බව පෙනුන නිසා රුපියල්1500 කට සමිතිය විසින් මේ යන්ත්‍රය මිලදී ගන්නවා. ඒ වෙද්දි මෙච්චර ලොකු ගානක් සමිතිය තුළ තිබුණෙ නැහැ. හැබැයි එළියස් අප්පුහාමි තම ජීවිකාව ගෙන යන්න තිබුණු එකම බස් රථයක් උකස් කරලා මේ වැඩේට මදි පාඩු පුරවනවා.
    දැන් කාලය ටික ටික ගෙවීගෙන යනවා. මිලදී ගත්ත මේ යන්ත්‍රයත් අනෙකුත් අවශ්‍ය අංගෝපාංගත් අරගෙන විදුලි උත්පාදක යන්ත්‍රත් කරත්තයක සවි කරලා පෙරහරින් කෑගල්ල දක්වා ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් නල්ලතන්නියට ගෙන යනවා. නල්ලතන්නියේ ඉඳන් සීත ගඟුල වෙනකන් යන්ත්‍රයේ flywheel එක අරන් යන්නෙ අලියෙකුගේ කරේ එල්ලලා. මේයන්ත්‍රය සවි කරපු එන්ජින් කාමරය අදටත් සිරිපා මළුවට තරමක් පහළින් දැක ගන්න පුලුවන් .මේ එන්ජිම සවිකිරීම, විදුලි කණු හිටවීම, විදුලි රැහැන් ඇදීම, වැනි යාන්ත්‍රික කටයුතු ප්‍රධාන වශයෙන්ම කරේ එළියස් අප්පුහාමි ගේ ප්‍රධානත්වයෙන්. සියලුම මුල් කටයුතු ටික හමාර කරාට පස්සේ වර්ෂ ‘’1934 පෙබරවාරි28 දිනට යෙදුණු නවම් මස පුර පසළොස්වක දින හවස 6 ට විතර’’ එවකට ශ්‍රී පාදස්ථානය භාරව සිටි ‘’සැමුවෙල් ඇලෙක්සැන්ඩර් ඉද්දමල්ගොඩ ඇලපාත රටේ මහතා’’ ( Photo 05 ) විසින් පැමිණ සිටි පිරිස නැගූ සාධුකාර නාදය මැද්දේ මහගිරි දඹේ ඉඳන් සිරිපා මලුව තෙක් විදුලි ආලෝකය සැපයීම වර්ෂ1934 පෙබරවාරි 28 වැනිදා ඉඳන් සෑම සිරිපා වන්දනා සමයකම වගේ සමිතියෙ සාමාජිකයින් කිහිප දෙනෙක් සිරිපාදේ ගිහින් විදුලිය සැපයුවා. ඉන්නට ස්ථානයක් නැති නිසා නිශ්ශංකමල්ල රජතුමා දිවා ගුහාව යැයි කියපු ජනශෘති වල භගවාලෙන ලෙස හඳුන්වන වර්තමානයේ අපි හැමෝම දන්න හැටන් පාරේ උඩ මළුවට පොඩ්ඩක් පහලින් තියෙන ගල්ලෙන සුද්ද පවිත්‍ර කර ගන්නවා. හැම වාරයකදීම වගේ මේ දේවල් වල නඩත්තුව ගැන වගකීම භාරගත්තේ එළියස් අප්පුහාමි. බොහෝ අවස්ථා වල ශ්‍රී පාද අඩවියේ හාස්කම් බොහොමයක අත්දැකීම් මේ තරුණයාට අත් විඳින්නත් සිද්ධ වෙනවා.
    වර්ෂ1933 මාර්තු 26 වැනිදා ආරම්භ කරපුශ්‍රි සමන්ත කූට විදුලි පහන් ආලෝක සහෝදර සමිතිය වර්ෂ1945 මැයි 24 වෙනිදා වෙනකන් පවත්වාගෙන ගියේ රජයේ ලියාපදිංචි කිරීමකින් තොරවයි. මෙවැනි භාරදූර කටයුතු කිරීම සම්බන්ධයෙන් රත්නපුර කච්චේරියේ එවකට වැඩ කළ ඉංග්‍රීසි ජාතික ආණ්ඩුවේ ඒජන්ත තැන විසින් මෙතරම් භයානක ස්ථානයක මේ අනතුරුදායක කටයුත්ත කළේ කුමන අවසරයක් පිට දැයි විමසමින් සමිතිය ට ලිපියක් එවනවා. දෙපාර්ශ්වය අතර සාකච්ඡා වලින් අනතුරුව‍ 1936 දී ශ්‍රී පාදස්ථානයේ සවිකරපු විදුලි උත්පාදක උපකරණ සියල්ලම ශ්‍රී පාදස්ථාන භාරකාරත්වයට පැවරීමට කැමැත්ත පල කරනවා.වර්ෂ 1945 දී ව්‍යවස්ථාවට අනුව සමිතියෙ නමට ‘’සීමාසහිත’’ වචනය යොදා ලියා පදිංචි කරනවා.වාද විවාද මේ හැම එකක්ම මැද්දෙ සමිතියෙ පරම අරමුණ වුණු ශ්‍රී පාදස්ථානයට ආලෝකය ලබා දීම දිගටම කරගෙන ගියා. හැබැයි වර්ෂ1939 -1942 වගේ වෙනකොට අඛණ්ඩව සෑම වාරයකදීම විදුලිය ලබා දෙන්න සමිතිය අසමත් වෙනවා. ඒකට හේතුව තමයි එවකට තිබුණු යුද වාතාවරණයත් විදුලි යන්ත්‍ර විටින් විට ක්‍රියාවිරහිත වීම වැනි දේවල්. සමිතියේ ඇතිවුණු මූල්‍යමය හිඟයක් නිසා ඔවුන්ගේ දෙවැනි අදියර වෙලා තිබුණු සීතගඟුලේ සිට උඩ මළුව දක්වා විදුලි ආලෝකය සැපයීම හිතුවට වඩා ගොඩක් ප්‍රමාද වුණා. ‍ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වයත් සමිතියත් අතර මතවාදී ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා.මෙවැනි ව්‍යාපෘතියක් පෞද්ගලික සමිතියකින් නොවරාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සිදු විය යුතු බව ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය තරයේ දන්වා සිටියා.
    මෙන්න මේ කාලයේදී රටේ තවත් විශේෂ සිදුවීමක් සිද්ද වෙනවා.ජල විදුලියේ පියා ලෙස සැලකෙන පරිනත විදුලි ඉංජිනේරුවකු වූ ‘’D. J විමලසුරේන්ද්‍ර’’( Photo 06) මහත්තයා මුළු රටටම විදුලිය දීමට ජල විදුලිය නිපදවන්න කෙහෙල්ගමු ඔය යි මස්කෙළිය ඔය යි ආශ්‍රිතව ජල විදුලි බලාගාර පද්ධතියක් හදන්නව්‍යාපෘතියක් 1923/1924 දී ආරම්භ කරනවා.නමුත් නොයෙක් විදිහේ බාධා නිසා1938 -1943 වගේ වෙද්දි මෙහි ඉදිකිරීම් කටයුතු හරියාකාරව කරගෙන යන්න බැරි වෙනවා. නායයෑම් වැනි ස්වභාවික විපත් හේතුවෙන් කම්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වීම, එවකට රටේ පැවැති යුදමය වාතාවරණය, මේවට හේතු වුණා. නමුත් විමලසුරේන්ද්‍ර මහත්තයාගේ අධිෂ්ඨානයේ කිසිම වෙනසක් වුණේ නැහැ. මේ කාලෙදි තමයි( 1946-1947 ) ‘’ගමනාගමනය හා ප්‍රසිද්ධ කර්මාන්තභාර ඇමති‘’ හැටියට ‘’සර් ජෝන් කොතලාවල’’ මහත්තයා පත්වෙන්නේ. එතුමාත් විමලසුරේන්ද්‍ර මහත්තයත් සාකච්ඡා කරලා මෙම ව්‍යාපෘතිය මීට පෙර කීප වතාවක්ම අසාර්ථක වූ නිසා මෙවර ඒ කාර්යය ආරම්භයේදීම ‘’වැඩපිළිවෙල සාර්ථක වුවහොත් මෙම නව විදුලි බලාගාරයෙන් ශ්‍රී පාදස්ථානයට හා එහි යන මග දෙපස පහන් ලක්ෂයක් දල්වා විදුලි ආලෝකය ලබාදෙන බවට’’ ශ්‍රී පාදස්ථානයට අධිපති සුමන සමන් දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේට 1947 නොවැම්බර් මස 02 දින නෝටන් බ්‍රිජ්හිශ්‍රී සද්ධර්මාරාම විහාරයෙදි භාරයක් වනු ලැබුවා. ( Photo 07 )
    ඒ අනුව සමිතිය විසින් ශ්‍රී පාදස්ථානයේ මෙතෙක් සවිකර තිබුණු විදුලි උත්පාදන යන්ත්‍ර සියල්ලම නව වැඩපිළිවෙළ සඳහා ඉවත් කළ යුතු වුණා. රජයේ විදුලි ඉංජිනේරුවා විසින් නව ව්‍යාපෘති යෝජනා පත්‍රය දශ්‍රී පාද භාරකාරත්වයට පිරිනැමුවා.
    සමන් දෙයි හාමුදුරුවන්ගෙන් ලැබුණු මහත්වූ ආශිර්වාදය නිසා විමලසුරේන්ද්‍ර මහතා විසින් යෝජිත බලාගාර සමූහයේ පලමු ජල විදුලි බලාගාරය සාර්ථකව නිමාවට පත්වෙනවා. සමන් දෙවියන්ට බාර වුණ විදිහටම මේ විදුලි බලාගාරය සිරීපාදෙ මගදෙපස පහන් ලක්ෂයක් ආලෝකමත් කරනවා. පහන් ලක්ෂයක් ආලෝකමත් කරපු මේ ජල විදුලි බලාගාරයට ‘’ලක්ෂ-පහන’’ ඉන්පසු ‘’ලක්ෂපාන’’ ලෙස නම් තබනවා. කෙහෙල්ගමු ඔයෙන් නල හරහා වතුර අරන් ගිහිල්ලා මස්කෙළිය ඔයට ආසන්නව ඉදිකරපු,වර්තමානයේ ‘’Old Laxapana Hydro Power Plant’’ නමින් හඳුන්වන මෙය ලංකාවේ ඉදිවුණු ‘’දෙවෙනි’’ ජල විදුලි බලාගාරය (පලවෙනි එක 1912 දීනුවරඑළියේ Gregory වැව ආශ්‍රිතව හදපු Black Pool ජල විදුලි බලාගාරය) බවටත් විමලසුරේන්ද්‍ර මහතා ආරම්භ කරපු ‘’Laxapana Hydro-Power Complex’’ ව්‍යාපෘතියේ පළමුවෙනි ජල විදුලි බලාගාරය බවටත් පත්වෙනවා ( Photo 08 ). ස්වභාව ධර්මය විසින් මේ ආසන්නයේම නිර්මාණය කරපු සුන්දර දිය ඇල්ල ලක්ෂපාන දිය ඇල්ල බවට පත්වෙනවා.
    වර්ෂ ‘’1950 මාර්තු 04 වැනි පුර පසළොස්වක දවසේ රෑ 9.00 ට ‘’ ශ්‍රී පාදස්ථානයට ලක්ෂපාන බලාගාරයෙන් විදුලිය සැපයීම ආරම්භ වෙනවත් එක්කම අවුරුදු 16 ක් පුරාවට සිරිපාදෙට එළිය දීපු ‘’සීමාසහිත ශ්‍රී සමන්තකූට විදුලි පහන් ආලෝක සහෝදර සමිතියෙ’’ සේවාව අනවශ්‍ය වුණා.ඉතිං, එදා ඉදං අද වෙනකන්ම සිරිපා වන්දනා සමය පටන් ගන්න කලින් Electricity Board එකෙන් ඇවිල්ල සිරීපාදෙට විදුලි ආලෝකය ලබා දෙනව. හැටන්-නල්ලතන්නි මාර්ගයෙන් වර්තමානයේ සිරිපා කරුණා කරන අපිට ගමන ආරම්භයේ දීම වගේ හමුවන මකර තොරණ, සර් ජෝන් කොතලාවල මහතා විසින් ඉදිකරනු ලබන්නේ මේ උතුම් පිංකමේ සිහිවටනයක් හැටියටයි ( Photo 09 ).ඇතිවූ මත ගැටුම් නිසාත් මූල්‍යමය හිඟයන් නිසාත් කරගැනීමට නොහැකි වූ, නමුත් එළියස් අප්පුහාමි ගේ සමිතිය විසින් ආරම්භ කරපු තවත් උතුම් සේවාවක් තමයි සිරිපා මළුවට හා ඒ අවට ප්‍රදේශයට පානීය ජලය නල මගින් සැපයීමට කටයුතු ආරම්භ කිරීම .සමිතියේ දැඩි ඉල්ලීම අනුව, ශ්‍රී පාද භාරකාරත්වයෙ අවසරය ඇතුව 1950 පෙබරවාරි4 වැනි දින ආඬියාමලතැන්න අසල සිට උඩ මළුවේ පිහිටි ටැංකියකට අධිබලැති එන්ජිමකින් වතුර පොම්ප කර ශ්‍රී පාදස්ථානයට හා ඒ අවට සැතපුම් එක හමාරක පමණ දුරකට නළ මඟින් පානීය ජලය සැපයීම සමිතිය විසින් ආරම්භ කරල, එහි ඉතුරු ටික කරගෙන යන්න ශ්‍රී පාද භාරකාරත්වයට පවරනවා.
    වර්ෂ 1952 අවසාන හරිය වෙනකොට සමිතියෙ හිටපු ගොඩක් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රෝගාතුර වෙලා එක්තැන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වාර්ෂික රැස්වීම් පවා පවත්වන්න ඔවුන්ට නොහැකි වෙනවා .’’1953 ජූලි19 වැනිදා’’ සමිතියෙ අවසන් රැස්වීම පවත්වනවා. ඊට පස්සේ සමිතිය සතුව තිබුණු සියලුම වත්කම් ශ්‍රී පාද භාරකාරත්වයට පවරනවා.
     

    Attachments

    • FB_IMG_1609907851797.jpg
      FB_IMG_1609907851797.jpg
      58.6 KB · Views: 81
    • FB_IMG_1609907854268.jpg
      FB_IMG_1609907854268.jpg
      57.1 KB · Views: 76
    • FB_IMG_1609907856572.jpg
      FB_IMG_1609907856572.jpg
      78.2 KB · Views: 66
    • FB_IMG_1609907858913.jpg
      FB_IMG_1609907858913.jpg
      63.6 KB · Views: 71
    • FB_IMG_1609907861614.jpg
      FB_IMG_1609907861614.jpg
      98.8 KB · Views: 72
    • FB_IMG_1609907864092.jpg
      FB_IMG_1609907864092.jpg
      47.1 KB · Views: 71
    • FB_IMG_1609907867512.jpg
      FB_IMG_1609907867512.jpg
      76.8 KB · Views: 69
    • FB_IMG_1609907878520.jpg
      FB_IMG_1609907878520.jpg
      106.1 KB · Views: 86

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,741
    1
    16,347
    113
    28
    Kalutara
    නමුත් නොයෙක් විදිහේ බාධා නිසා1938 -1943 වගේ වෙද්දි මෙහි ඉදිකිරීම් කටයුතු හරියාකාරව කරගෙන යන්න බැරි වෙනවා. නායයෑම් වැනි ස්වභාවික විපත් හේතුවෙන් කම්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වීම, එවකට රටේ පැවැති යුදමය වාතාවරණය, මේවට හේතු වුණා.
    1938-1343 දී රටේ තිබ්බ යුද්ධේ මොකක්ද බන්? ඒ කාලේ ලෝක යුද්ධේ නම් තිබ්බ. ඒක ලංකාවට බලපෑවේ නෑනේ.. 🤔