අම්මාට කවුරු හෝ කේලමක් කියා ඇත.සැකකරන්නට ඉන්නේ මදාරා පමණි .තම පෙම්වතිය ඉරේෂා බවත් නුවර ගිය මොහොතේ රෝගියෙක් බලන්නට ගිය වගත් දන්නේ මදාරා පමණි .එහෙත් නිශ්චිත සාක්ෂි නැතිව මදාරා ගෙන් ඒ ගැන විමසීමට නොහැකිය .එක්කෝ ඇත්තම කතාව අම්මාට පැවසිය යුතුය.කාර්යාල යට ගියත් කවීශ රාජකාරි කලේ සතුටින් නොව කරන්න ට උවමනාවටය.ඉරේෂා අක්කා හමුවීමට යොදාගත්තේ සතිඅන්තය කි.විනෝද චාරිකාවක් යනබව පවසා කටයුතු සූදානම් කරගත්තද මදාරා මෙන්ම අම්මාත් තමා දෙස බලන්නේ සැකයෙන් දැයි කවීශ සිතුවේය .මදාරා වරින් වර අම්මා සමඟ කතාබස් කරන බව දැන උන්නත් එය එපා යැයි කියා නවත්තනට සාධාරණ හේතුවක් නැත.ඕන මගුලක් කියා හිතට කීවේ එන දේකට මුහුණ දෙන්නට සූදානම් වීමටය.
ඉරේෂා අක්කා සමඟ ඇති සම්බන්දය ට විරුද්ධ වීමට ඕනෑතරම් කාරනා ඇතත් කැමති වීමට එකම හේතුවනම් තමාගේ කැමැත්ත එය වීම පමණි .අම්මාත් පෙම්වතියත් අතරින් එකක් තෝරාගන්නට කීම අසාධාරණ ය.අම්මාවරු පිරිමි පුතුන්ට ආදරේය ,ලෝබය ..බොහෝ ලේලිලා නැන්දම්මාවරු සමඟ දබල වන්නේ මේ ලෝබය සීමාව ඉක්මවූ විටය.
උදෑසනින් ම පිටත් වූයේ ඒ සුදු මූණ දැකීමේ නොතිත් ආසාවෙනි.ලක්සලින් මිලටගත් හෑන්ඩ්ලූම් සාරිය අම්මාට හොරෙන් කාරයට දමාගත්තේ ඈට තිලිණ කරන්නටය.පොඩි නංගීට චොකලට් එකක් සහ ගෙදරට අයිසින් කේක් එකක් ගත්තේ අතරමගිනි.
ඉරේෂා වෙනදාටත් කලින් අවදි වූයේ හිතේ බලාපොරොත්තු ගොන්නක්ද සමඟිනි .කෙසේ හෝ අම්මාව කවීශ මල්ලී ට කැමති වීම ලද ජයග්‍රහණය කි.ජීවිතේ සුන්දර පක්ෂය පිළිබඳව දලුලන බලාපොරොත්තුවක් ඇත.
“ගුඩ් මෝර්නිං පැටියෝ දැං කොහෙද ?”
“මේ මග ඉන්නෙ අක්කා ..අම්මල ගහල පන්නයිද දන් නෑ ආවම “
“අනෙ පිස්සු නොකිය ඉන්න..පාර මතකයි ද”
“පාරනම් මතක නෑ ගඳ ට ඉව අල්ලං ආවම හොයාගන්න පුලුවන් වෙයි”
“අනේ මේ අපි නාලා කරල සුවඳට ඉන්නෙ හරිද ?”
“ආවම බලන්නම් සුවඳද කියලා”
“ආ ඇත්තද..පිස්සු හොල්මන මගෙ පරිස්සමෙන් එන්න ළඟ ට ආවම කෝල් කරන්න වස්තු”
හිතේ අලුත් පෙම් පාටක් තැවරී ඇත.ගතේ ඇත්තේ නැවුම් උද්යෝගිමත් බවකි.තේ පිලියෙල කොට කෑම පිසීමට අවශ්‍ය කලමනාද සූදානම් කර තැබූ ඉරේෂා මිදුල ඇමදීමෙන් පසු අලුත්ම මල් මිටක් ගෙන සාලයේ මල්බඳුනට දැමුවාය.සුවඳකාරක ඉස නිවස හැඩ කලේ අමුත්තා පිළිගැනීමට ය.කාලය ඉක්මනට යන්නෙ නම් හොඳය.
රෝහලේදී නැන්දා කියූ තොරතුරු අනුව ඉන්දික ට කවීශ ගේ විස්තර සොයාගැනීම අපහසු වූයේ නැත.තමාට කල දෙයට පලි ගන්නා තුරු හිතට නිවනක් නැත.මත් බෝතල් හිස්වූ බොහෝ සැඳෑවන් වල හිතේ ඇඳුනේ ඒ රස පිරුණු රුවය.කෙතරම් ගෑණු ආශ්‍රය කොට තිබුණත් ඒ කවුරුත් ලොක්කී මෙන් හැඩ නැත.හැඩැති නිතඹ ත් පිරුණු ලැමත් මතක් වනවිට පපුව රාග ගින්නේ දැවේ.දින කීපයක් තිස්සේ ඉරේෂා නිවසින් පිටතට එතැයි බලා සිටියත් එය සිදුවූයෙ නැත.කවීශ මුලින්ම මේ කතාවෙන් ඉවත් කල යුතුය ඉන්පසු ලොක්කීගේ කැමැත්ත ගන්නා හැටි තමා දන්නේය.
“මචං එකෙක්ට ගේමක් දෙන්න තියෙනව හැබැයි බය කිරිල්ලක් විතරයි”
“අපෝ ඔය ගූ කේස් පොඩි එකෙක් ලව්වා කරගනින් “
“මේක මගෙ වැඩක් මං ලව් කරපු එකී එකෙක් උස්සන්න යනව ඌට ගේමක් දෙන්න ඕන අරකිට රිදෙන්න”
“සිම්පල් වැඩක්නෙ බං අල්ලගෙන අතක් පයක් කඩමු”
“ඉඳපංකො මම ප්ලෑනක් අඳින්න වැඩේට”
මිතුරු සාදයකදී ඉන්දික තම මිතුරන් හා ඉරේෂා ගේ පෙම් කතාව වෙනස් කිරීමට පිඹුරු පත් ඇන්දේය.
සීතල පිණි උරා බොමින් අලුත් හිරු රැස් පොලව මත වැටෙමින් ඇත.මීදුම් දුමාරය අතරින් ඈත කඳු පෙල යන්තමින් පෙනේ ඉරේෂා නිවසේ වැට මායිමට වී ඈත පාර බලා උන්නේ කවීශ මල්ලී එනතුරුය.කවීශ අසාගත් මග සලකුණු අනුව ඉරේෂා ගේ නිවස්න බලා එනවිට උදෑසන නවයට ආසන්නය.කාරය මිඳුලේ නවත්වන විටම ඔහු ව පිළිගන්නට ඈ පෙරමගට ආවාය.පුංචි මල් ඉහුණු ගවුමක් ඇඳ ඇස් වලින් පවා සිනාසෙමින් උන් ඉරේෂා දුටුවනම් ඈ තුරුලට ගෙන සිපගන්නට කවීශ ට සිතුනේය.
“පාර හොයාගන්න අමාරු වුණාද පුතා”
“එච්චර කරදරයක් උනේ නෑ අම්මා”
කවීශ පහත් වී අම්මාටත් අප්පච්චි ටත් වැන්දේය.
“ගෙට යමු පුතේ”
අප්පච්චි කීවේ සිනාවක් මුව පුරා දරාගෙනය.පිරිමි පුතෙකු වෙනුවෙන් බලාපොරොත්තුවක් තිබුණා මතකය.පුතේ කියා ආදරය කරන්නට නියම පිරිමි දරුවෙකු ලැබී ඇත.අම්මා සිටියේ හිතේ දැවටුනු ලැජ්ජාවත් කණස්සල්ල ත් සමඟිනි.පෙරදා කවීශ පුතාට කතා කලෙත් ප්‍රතිචාර දැක්වූවේත් වෙනස් විදියකටය.ඒවා ඔහුගේ හිතේ ඇතුවාට සැක නැත.හැමදේම කලේ ලොක්කී ට හොඳක් කිරීමටය.ඉන්දික ට වඩා කවීශ හැමාතින්ම වාගේ හොඳය එකම ගැටලුවනම් ඔහුගේ දෙමාපියන් මොනවා කියයිද යන්නය.
“කෝ නංගි නැද්ද “
කවීශ ඇසුවේ ඉරේෂා ගෙනි.
“උදේ ක්ලාස් එකක් එයාට දවල් වෙද්දි එයි තේ බොනව්ද කාලම ඉන්නවද”
“තේ එකක් ලෑස්ති කරන්න දරුවො “
අප්පච්චි කීවේ කවීශ යමක් කියන්නට පෙරාතුව ය.ඉරේෂා මුවින් ඉඟිකර හාදුවක් පුදා කුස්සියට ගියාය.
කවීශ අප්පච්චි සමඟ විවිධ මාතෘකා ඔස්සේ කතා කලේය.අප්පච්චි ට දැනුනේ වියතෙක් හා සංවාදයේ යෙදෙනවා වැනි හැඟීමකි.ඔවුනට කුලුපග වීමට වැඩි වේලා ගත වූයේ නැත.
තේ පානයෙන් අනතුරුව කවීශ ඉරේෂා සමඟ මිඳුලට ආවේ අවට සිරි නැරඹීමට ය.තවමත් මීදුම සම්පූර්ණයෙන් පහවගොස් නැත අවට පරිසරයේ ද ඇත්තේ සිසිල් බවකි.ඒ සිසිලස සමගින් සමට වැටෙන හිරු එලිය සනීපය.
“මාර ලස්සනයිනෙ අක්කා මේ පැත්ත”
“ලස්සන අය ඉන්නකොට ඉතිං ලස්සනයිනෙ කොහොමත් “
ඈ ඳගකාර ලෙස කීවාය .
“ලස්සන කියන එකේ ඩෙෆිනිෂන් වෙනස් වෙලාද?”
“හරි හරි අපි කැතයිනෙ”
“අනේ නෑ මගෙ හාවි කොච්චර හැඩයිද”
දෙදෙනා සිනාවෙමින් මිඳුල කෙලවර ගල්තලාවෙහි හිඳගත්තෝය.කවීශ ඇගේ අත මෘදුව අල්ලා ගත්තේ ආදරය යෙනි.
“මොන ප්‍රශ්නෙ ආවත් මාව දාල යන් නෑ නේද ?”
ඈ කවීශ ගේ උරමතට බර උනාය.
“මම කීවනෙ ඉතිං අන්තිම ගමන වෙනකල් ගමන් ඔක්කොම යන්නෙ ඔයා එක්ක විතරයි කියල”
“මේ කෙල්ල සතුටිං තියනවට ඔයාට පිං “
“මේ කොල්ල සතුටු වෙන්නෙ කෙල්ල සතුටින් හිටියොත් විතරයි..ඒක නෙවෙයි නෑව කීවට සුවඳක්නම් දැනුණෙ නෑ”
“ආ ඇත්තද ..කපටි කොල්ලා”
ඈ තම කොපුල කවීශ ට පෑවාය.කවීශ අදරින් සුදුමූණ සිපගත්තේය .දෙතොල් පැටලුනේ සීතල බිඳගෙනය.රාගයෙන් තොර ප්‍රේමය මුසාවකි.
අප්පච්චි මොනවා කීවද මදාරා නරක කෙල්ලෙකු නොවෙතැයි අම්මා සිතුවාය.අපි මැදපංතියේ කියමින් ඉන්නවාට වඩා ඉහළ පංතිය හා සම වීමට වෙර දැරිය යුතුය.ඉද්දමල්ගොඩ පරම්පරාව හා එකතු වීමට ලද අවස්තාව මගහැරයාම මෝඩ කමකි.ඒ නැතත් දැං අපි මුලින් උන්නාට වඩා තත්ත්වයක ඉන්නෙමු ලොකුපුතා පවුල පිටින්ම ඉන්නේ පිටරට ය,පොඩීට පිළිගත් වැදගත් රැකියාවක් නවීන පන්නයේ මෝටර් රතයක් ඇත.එහෙම බලනකොට ඉද්දමල්ගොඩ ලා සමඟ පෑහෙන්නට බැරිකමක් නැත.පළමු පංතියේ කියා කීවාට ඔවුනට ඇති ප්‍රශ්න අපේ පවුල් වල නැත.
“මේ ඒයි පොඩි පුතා ගැන ටිකක් හොයල බලන්න ඕන”
අම්මා කීවේ තේ කෝප්පය අප්පච්චි ට පිළිගන්වමිනි.
“අර මොකෝ යස අපූරුවට ඉන්නේ කොල්ල”
“එහෙම තමා ඉතිං පේන්නෙ අදත් ඔය ට්‍රිප් කියල කොහෙ ගියාද දන් නෑ කලින් අර පසිඳුවගෙන් හරි අහගන්න තිබ්බා ඒ කොල්ලත් රට ගිහිල්ලනෙ”
“දැං මොකද ඕව හදිස්සියේ ඇදිල ආවෙ”
“නෑ මට ආරංචියක් ආව මෙයා අර ඉරේෂා කියන කෙල්ල එක්ක යාලුයි කියල”
“කවුද කීවෙ ..ඉතිං ඒක එහෙමනම් සතුටු වෙන්න එපැයි අපි නැත්තං අපිම එපැයි ඕකත් හොයන්න”
“සතුටු වෙන්න තිබ්බා කෙල්ල බාල වෙල වඳ එකියක් නොවුනා නම්”
“අපෝ එහෙම කතා කරන්න එපා වයස කියන්නෙ ඉලක්කමක් විතරයි මොකක්ද වඳ කතාව”
“ඒ කෙල්ලගෙ සැට් එක පිටින්ම අයින් කලාලු මොනවද වෙලා දරුවෙක් ඉතිං ඇරං හදා ගත්තොත් තමා”
“ඉතිං ඒකට කමක් නෑනෙ ඒ කෙල්ල මොන්ව කරන්නද ,මොකක් හරි පවක් නිසා එහෙම උනා කියල ගැනුකෙනෙක්ව පීඩනයට ලක් කරන එක වැරදියි”
“අනේ මට ඔයාගෙ මහප්‍රාන තේරෙන් නෑ..මම දන්නෙ මෙච්චරයි එහෙම දෙයක් තියේනම් මම නම් උඩිනම විරුද්ධ යි”
“පුතාගෙ කැමැත්ත තමා බලන්න ඕන අපේ කැමැත්ත අංක දෙක අනික ගහල බැණල වෙනස් කරන වයසක්ද දැං..එයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න එයාට අයිතිය තියෙනව”
“ඕන උරචක්කර මාලයක් එල්ලං එනකල් බලං හිටියම හරියයි එහෙනං”
අම්ම නැගිට යන දෙස අප්පච්චි බලාසිටියේ මද සිනාවෙනි.
“මේ කෝප්පෙ අරන් යන්න”
දවස මේ තරම් ඉකමනින් ගෙවී ගියේ ඇයිදැයි කවීශ ත් ඉරේෂා ත් දෙදෙනාම සිතුවෝය.කාටත් අද සතුට පිරුණු දවසකි.කවීශ අම්මාට සහ අප්පච්චි ට වැඳ ඔවුනට සමුදුන් පසු පොඩ්ඩී කවීශ ට වැන්දේය.
“හොඳට ඉගන ගන්න ඕන පොඩ්ඩි තේරුනාද”
ඈ කවීශ ට සිනාසුනාය.
ඉරේෂා පහත් වී කවීශ ට වැන්දාය.ඈ ට කෙදිරි ගෑ වුනේ යටි බඩ රිදුන නිසාය.කවීශ වහාම පහත් වී ඈ වත්තම් කරගත්තේ ය.
“වඳින්න ඕනෙ නෑ ඔහොම ඉන්න”
“දුකයි යන්න දෙන්න”
“ආයෙ දවසක එන්නම් “
“බුදු සරණයි මල්ලි පැටියො ..පරිස්සමෙන් “
ඉරේෂා කීවේ තෙත් වූ දෙනෙත පිසලමිනි.කවීශ හිතෙ දුක දරාගෙන පිටව ආවේ දිගු දුරක් වාහනය පැදවීමට ඇති නිසාවෙනි .අයියාගේ විවාහ උත්සවය දව්සේ ඔවුන් දෙපසින් සිටි මොහොතේ පටන් මේ දක්වා ම රස මතක කවීශ ගේ මනස විනිවිද පැතිර තිබේ.මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ ..කවීශ දයාන් විතාරණයන්ගේ ගීය තාලයට මිමිනුවේය .
වංගු සහිත මාර්ගයේ ගමන එතරම් ලේසි පහසු නොවූයේ හුරු පුරුදු නැති නිසාවෙනි.කීපවරක්ම ඉස්සර කිරීමට උත්සාහ කලත් ඉදිරියෙන් යන ටිපර් රත රියදුරා ඊට ඉඩ දෙන්නෙ නැත.පසුපසින් එන වාහන කීපයක්ම නලා හඬවමින් කියන්නේ ඉදිරියට යන්නට කියාය.අද රටේ නීතිය ක්රියාත්මකවන්නේ නැත.මාර්ග නීති ඇත්තේ පොත් වලටය.එහෙන් මෙහෙන් වෙට්ටු දමා ත්‍රී රෝද රතයක් තමා පසු කරයනු කවීශ දුටුවේය.එහි ගියවුන් ඕනෑවට් වඩා උවමනාවෙන් තම රතය දෙස බලනු කවීශ දුටුවේය.වම් පසින් ඇත්තේ දල බෑවුමකි .පසුපසින් එන වෑන් රතයා නොනවත්වා නලාව හඬවමින් සිටි නිසා කවීශ තම වේගය බාල කර එයට ඉඩදුන්නත් ඔහු ඉස්සර කරන්නේද නැත.
“මොන ලබ්බක් කරනවද “
කවීශ වේගය වැඩිකලේ හිතේ කෝපයත් සමගිනි වංගුව පහුවෙත්ම ටිපර් රතය පසුකර යන්නට ඉදිරියට ගිය කවීශ ගේ රතය දෙසට ටිපර් රතය හැරවූ නිසා කවීශ ට දකුණට කපනවා හැර කරන්නට දෙයක් තිබුණේ නැත .වේගයෙන් ගොස් දකුණු ඉවුරේ ගලක වැදුනු මෝටර් රතය උඩුකුරුව පෙරැලී ගියේය.