දාහත් වන පරිච්ඡේදය
අම්පාර දිස්ත්‍රික්කයෙ පාසලකට මදාරාට ස්තානමාරුවක් ලැබී තිබුණි .සේවාකාලය වසර පහකට ආසන්නය.ඉගැන්වීම් කලේ කැපවීමෙන් යුතුව රටට ණය නැතිව ගෙවූ වැටුපට සාධාරණ ලෙසිනි.ශ්‍රීලංකාවේ ඕනෑම තැනක සේවයට බැඳී ඉන්නා නිසා කොහෙද කියන තැන අනුව නැ බෑ කියන්නට බැරිය.හිතට ඇති ගැටලුව නම් මේ හදිස්සියේ තමා මාරු කර යවන්නෙ ඇයිද කියායි.
“ඒත් මැඩම් මගෙ ඇනුවල් එකටත් තව කල් තියෙනවනෙ ඇයි දන්නෙ නෑ”
“මටත් ඒක තේරෙන්නෙ නෑ ඉරේෂා මම කලාපෙටත් කතා කලා ඩිරෙක්ටර් කියනව මිනිස්ට්‍රි එකේ අලුත් වැඩසටහනක් නිසා මෙහෙම කරනවලු..අනේ මන්ද දරුවො”
ඉරේෂා සිනාසී එතැනින් පිටව ආවාය.එක් අතකට මේ සියලු දේ වලින් දුරස් වන්නට මෙය වෙස්වලාගත් ආශිර්වාදය කි.හැමදේම වන්නේ හොඳටය.
කවීශ දින කීපයකට පසුව රෝහලින් නිදහස් කෙරුන අතර ඒ වන විට බොහෝ දුරට සුව අතට හැරී සිටියේය.මදාරා ට රහසින් ලක්ෂ එක හමාරක් වූ රෝහල් බිල ගෙවා දැම්මේ අම්මාට දෙස් දෙමිනි.ඉරේෂා අක්කා ගැන කිසිම තොරතුරක් නැත.ඇගේ දුරකථන අංකය විසන්ධි වී ඇත.ඈව සොයා යෑමට අවශ්‍ය වුවත් රෝද පුටුවේ යනෙන දෛනික අවශ්‍යතාව න් තනිව කරගත නොහැකි තමාට ඊට ඉඩක් නැති වග කවීශ තේරුම් ගත්තේය .මෙලෙසින් අසරණ භාවයට පත්වූ කාලයක් මතක නැත.ජීවිතය පටන් ගන්නට සිතුවා විතරය.ඒ සුන්දර සිනාවත් කතාකරන තරු දෑසත් නොමැතිව මට ගෙවන්නට පුලුවන් ජීවිතයක් නැත.කාගේ හෝ බලපෑමකට ඈ නිහඬව ඉන්නවා වන්නට පිලිවන .ගෙදර කෙනෙකුගේවත් දුරකථන අංකයක් නොමැති ව ඈ සොයාගැනීම දුෂ්කර කාරනාව කි.කවීශ පෙර පුරුදු වැඩේ කලේය.
“හෙලෝ මට ඩාන්සිං ටීච ඉරේෂා මිස් ට කතා කරන්න පුලුවන් ද”
“එයා ට්‍රාන්සර් ගියානෙ මහත්තයා සති දෙකක් විතර”
“කොහෙටද ගියෙ”
“ඒකනම් කියන්න බෑ මහත්තයො කියන්න එපා කියලයි ගියෙ”
මගෙන් දුරස් වෙන්නට සිතුවේ කොහොමද .
අම්පාර බලා නික්ම යන්නට පෙරාතුව කවීශ මල්ලි ගැන තොරතුරක් දැනගැනීමේ දැඩි ආශාවෙන් ඈ පීඩා වින්දාය.රොහලේ වාට්ටුවට කතා කලේ අම්මාය.
“එයා එයාලගෙ ගෙදරින් ඩිස්චාජ් කරගෙන ගියා ප්‍රියිවට් යනව කියල”
“කොහෙටද ගියේ”
“ඒකනම් අපි දන් නෑ “
ඉරේෂා තවත් අසරණ වූයේ ඒ ආරංචි ය නිසාවෙනි.හිත හදාගෙන දුරස් වන්නට තිබුණා නම් .ඉරේෂා සමාධි ව ඇමතුවේ ගැහෙන සිතිනි.ඈ අත්තේ මම ගැන තරහින් .
“හෙලෝ සමාධි “
“ඉරේෂ නේද කතාකරනකල් හිටියෙ මම..ලැජ්ජාවක් නැද්ද බං උඹ ට මම හිතුවෙ නෑ උඹ අපේ මල්ලිව අල්ල ගනී කියල..අන්තිමේ ඒ කොල්ල අබ්බගාතයෙක් උනා..”
“අනේ සමාධි මට සමාවෙන්න ..මම මල්ලිව අමතක කරන්නම් ඒත් අන්තිම වතාවට එයාට කොහොමද කියල විතරක් කියන්න මගෙ හිත හදාගන්න”
“එයාට හොඳයි ඔයා කලබල වෙන්න ඕනි නෑ..අපේ යාලුකමත් මෙතනින් ඉවරයි කියල හිතාගන්න”
කාගෙන් දොස් ඇසුවත් දැන් කමක් නැත .කවීශ මල්ලීගේ තත්ත්වය නරක නම් සමාධි බොරු වට හොඳයි කියන්නෙ නැත.බුදු සරණයි මගෙ මල්ලි පැටියො හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට.
ඉරේෂා පත්වීම ලබා තිබුණේ දුෂ්කර ගමක වූ කනිටු පාසලකටය.පංති තිබුණේ තුනක් පමනක් වූ අතර එක පංතියක සිසුන් සිටියේ තිහකට නොඅඩු සංඛ්‍යාවකි.නිළ නිවාස නොවූ නිසා නවාතැන් සපයා ගන්නට සිදුවූයේ පිටතිනි.කාර්යාල ට ගොස් විදුහල් පති තුමා හමුවූ ඉරේෂා තම පංතිය සොයා පිටත්ව ආවාය.හුරුපුරුදු මුහුණක් දුටුවේ අහම්බෙන් ය.
“ආනේ ඉරේෂා කොහෙද මෙහෙ”
විද්‍යාපීඨයේ යෙහෙලිය ඉරේෂා ගේ දෑතින් අල්ලා ගත්තාය.
“අද සිටන් නැටුම් ගුරුතුමී මෙහෙ “
“අයියෝ හරි ශෝක් මගෙත් තනියට කවුරුත් නැතුව හිටියෙ”
පංචලී කීවේ කලකින් හමුවූ තම මිතුරිය මුණගැසීමේ අව්‍යාජ සතුටෙනි.පංචලී හමුවූ නිසා නවාතැන් ප්‍රශ්නයද විසඳී ගියේ ඈ තම නිවසේ නවතින ලෙස ඉරේෂා ට ආරාධනා කල නිසාවෙනි .දින සති වලට හැරෙද්දී මිතුදම වැඩී ගිය අතර ඉරේෂා පංචලීට සහෝදරියක තරම් සමීප වූවාය.
“මම අහන්න හිටියෙ ඉරේෂා උඹ මොනවා හරි ප්‍රශ්නයක් හිතේ තියං ඉන්නව නේද මට නොකියා”
“අනේ එහෙම දෙයක් නෑ කෙල්ලෙ ප්‍රශ්න නම් නැතුව නෙවෙයි ඒ අතීතෙට මට යන්න ඕන නෑ”
“බොරු නොකිය ඉන්න ..කොයි වෙලෙත් ඉන්නෙ බර කල්පනාවක ..හිනාවෙලා ඉන්නෙ නැති තරම් ඇයි ගෙදර මතක් වෙනවද?”
“මම හැමදේම කියන්නම්කො ..”
ඉරේෂා නිවසට යන අතරමගදී තම කතාව සැකෙවින් කීවාය .
“මට කවීශ මල්ලි ව මතක් වෙන කොට දුකයි පංචලී “
“අනේ උඹ ටත් පිස්සුනෙ කෙල්ලෙ අඩුම තරමෙ ඒ කොල්ලට අරහෙම කෙනෙක් තර්ජනය කලා කියලවත් කියන්න තිබුණේ ..දැන් ඒ කොල්ල එහෙ දුක් විඳිනව උඹ මෙතන හූල්ල හූල්ල ඉන්නව”
“එහෙම දෙයක් කරන්න ගිහින් කවීශ මල්ලිගෙ ජීවිතේ ට අනතුරක් උනොත් මට ලබන ආත්මෙක වත් හිත හදාගන්න බැරි වෙයි”
“ඉතිං අර ඉන්දික කියන එකාට විරුද්ධව ඇන්ට්‍රි එකක් හරි දාන්න තිබුණේ ..ඔයා බය කරපු එකට නෙවේ කවීශ හප්පපු එකට..ගෑණු අපි නිහඬව ඉන්න තරමට අසරණ වෙන එක විතරයි වෙන්නෙ”
පංචලී පීඨ කාලයේ පටන්ම අසාධාරණයක් දුටු විට කතා කලා මතකය.ඒ කෙසේ වෙතත් කාටවත් දඩුවම් පමුණුවන්නට ගොස් කවීශ මල්ලී අනතුරේ හෙලිය යුතු නැත.
“මම ඒ කොල්ලට දුන්න ගින්දර ඇති”
“කවීශ උඹව මතක් වෙද්දි නම් පිච්චෙනව ඇති තමා ..ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයිනෙ”
“අනේ මගේ කොල්ල එහෙම නෑ හරිද “
හිතට හිනා ආවේ ඒ දඟකාරකම් මතක් වීමෙනි.තොල් පතක රස බෙදාගත් උණුසුම් හමුවීම් ආදරණීය ය.
මදාරා කවීශ සොයාගියේ හිතේ තරහිනි ඔය තරම් ආඩම්බර වන්නට කාරනාවක් නැත.රෝහලේ බිල ගෙවන්නට ඇත්තේ තමාට රිදවන්නටය.මේ තරම් දේවල් කලේ තියෙන ආදරය නිසාවෙනි.එය නොතේරෙනවා සේ හිඳින්නේ මොන හිතකින්ද.
“ඇයි කවීශ හොස්පිටල් බිල් එක ගෙව්වෙ ..මමයි හැමදේම ඇරේන්ජ් කරල ඔයාව අරන් ආවෙ ..මගෙ සල්ලි වලින් බේත් ගන්න එක මදිකමක්ද”
කවීශ සිටියේ මිදුලේ මහ අඹ ගහ යට පැනවූ අසුනකය.ඔහු ඈත බලා සිටියා විනා කිසිත් කීවේ නැත.ඉරේෂා අක්කා තමාගෙන් ඈත් කරනට මදාරා කුමන්ත්‍රණ කළ බවට සැකයක් නැත.
“ප්ලීස් කවීශ ඩෝන්ට් ට්‍රීට් මී ලයික් දිස් ඉට්ස් ඕල් ඔවර් නව් ලෙට්ස් ස්ටාර්ට් අ නිව් ලයිෆ්..ආ යූ ස්ටිල් මෑඩ් ඇට් මී”
මදාරා කවීශ ගේ මුහුණ ට එබුනේ පිළිතුරු බලාපොරොත්තුවෙනි.ඉවසා සිටිය නොහැක්කේ ඔහු කිසිත් නොකියා හිඳීමය.මදාරා කියන විදියට අලුතින් පටන් ගන්නට තමාට ජීවිතය ක් නැත.ඉරේෂා අක්කාගෙන් මිඳුනු ජීවිතයක් ගැන සිහිනයක් තිබුණේ නැත.
“මට කරදර කරන්න එපා ..මම පරණ කවීශ ම තමයි..මම ආදරේ ඉරේෂා අක්කට විතරයි ..අයි ඩෝන්ට් හෑව් අ නිව් ලයිෆ් ටු බිගින් විත්..ඊවන් ඉෆ් අයි හැඩ් ඉට් වෝනොට් බී විත් යූ”
මදාරා ට කේන්ති ගියේ කවීශ ගේ කතාවට ය.මේ තරම් පින්සේන්ඩු වූවේ හිතේ තියෙන ආදරය නිසාවෙනි.ඒ ගැනවත් හැඟීමක් නැතිව කතා කරන හැටි.
“ඔයාගෙ මහලොකු අක්ක තමයි හැමදේම කලේ”
“අයිසෙ මදාරා ඉරේෂා අක්කට වචනයක් කියන්න එපා තේරුනාද..එයාගෙ නම කියන්නවත් ඔහේට අයිතියක් නෑ ..හැමෝම එකතු වෙලා කරපු දේවල් දන් නෑ කියල හිතන්න එපා ..මම ආයේ තමුසෙ ගාවට එන්නෙ නෑ මම රිසයින් වෙනව”
කවිශ හිතේ කේන්තිය වචන වලට පෙරලුවේ ආවේගාත්මකවය.
අම්මා මිඳුලට ආවේ කවීශ කෑගාන හඬ ඇසීමෙනි.මදාරා කදුලු පිරි නෙතින් අසුනින් නැගිට්ටාය.
“පොඩී මොකද මේ කෑ ගහන්නෙ වට පිටේ මිනිස්සු බලයි මොකද කියල”
“බලපුවාවෙ ඕන එකෙක්..මම කියන්නෙ ඇත්ත මට මගෙ ඉරේෂා අක්කව නැති කලේ ඔහෙලා”
“අනේ අම්මා මේ බලන්නකො මෙයා කියන කතාව”
මදාරා අම්මාගේ උරසින් අල්ලා ගත්තේ කවීශ ගේ හැසිරීමෙන් බියට පත් නිසාය.
“අම්මත් ගෑනියෙක් නේද ..දරුවෙක් නොලැබුන හැම ගෑනීම වඳ මූසල පව්කාර එවුන් ද ..මේක උනේ මගෙ වරදින් ඉරේෂා අක්කගෙ පව් මගුලකට නෙවේ ඒ කෙල්ලට කරපු වෙනස් කම් වලට විඳවන්න වෙයි තමුසෙලට”
“පුතා කතාකරන්න ඉගෙන ගන්න මේ දරුවත් ඉන්නව අපි හැදුවෙ නරකක් කරන්න නෙවෙයි මිනිස්සු උනාම තමන්ට ගැලපෙන දේවල් කරන්න ඕන”
“අරයගෙ මායම් වලට අහුවෙලා අම්මා මෙයා”
කවීශ තම අතවූ තේ කෝප්පය පොලවේ ගසා අසුනින් නැගිට්ටේ ක්ෂනයකිනි..අත් වාරුවට බරවී හිටගත් ඔහු දෑත් එක්කොට් කෝපයෙන් වෙව්ලමින් කතා කලේය.
“මේ ඕයි තමුසෙ මගෙන් මායම් ගැන අහගන්න හදන්න එපා ...කරපු හැමදේමකටම පිං මෙන්න වැන්දා ..පව් නොදී යනවා..”
අප්පච්චි දිව ආවේ මේ කාලගෝට්ටිය කන වැකීමෙනි කවීශ කවරදාකවත් මෙලෙසින් ආවේගශීලීව සිටිනු අප්පච්චි දැක නැත.අප්පච්චි වහාම කවීශ වත්තම් කරගත්තේ ඔහු වැටෙන්නට ගිය නිසාවෙනි.
“ඔයාල යන්න මෙතනින්”
අප්පච්චි කීවේ අම්මා දෙසට හැරෙමිනි.
“අරයට යන්න කියන්න..යන්න කියන්න අප්පච්චි “
“හරි පොඩී කලබල කරන්න එපා කෝ වාඩි වෙන්න වාඩි වෙන්න”
මදාරා කිසිත් නොකියා කඳුළු පිරි නෙතින් මෝටර් රතයේ නැගී යන්නට ගියාය.කවීශ ඊළඟ මොහොතේ ඉකි ගසා හැඬුවේය.
“හරි කොල්ලො හරි ..හැමදේම විසඳගම්මු අපි”
අප්පච්චි ඔහුගේ හිස අතගෑවේය .
කවීශ ව මානසික වෛද්‍යවරුන් වෙත යොමු කෙරුනේ ඔහු විශාදය රෝග ලක්ෂණ පෙන්නුම් කල නිසාවෙනි .
“මෙහෙමයි තාත්තා පුතා එයාගෙ පිසිකල් කන්ඩිෂන් එකත් එක්ක ගොඩාක් මානසිකව වැටිලයි ඉන්නෙ ..කලින් හොඳ ට හිටපු කොල්ලෙක්ට අන්තිමේ තමංගෙ වැඩ ටිකවත් කරගන්න බැරි වෙනකොට කවුද මානසිකව නොවැටෙන්නෙ..එහෙම් කෙනෙක් මේ වගේ හැසිරීම අසාමාන්‍ය නෑ..අපි එයාට ඒ පරණ ජීවිතේ ට එන්න උදව් කරන්න ඕන..අනවශ්‍ය ප්‍රශ්න එයාගෙ ඔලුවට දාන්න එපා..පුලුවන් නම් යාලුවෙක් එක්ක කතා කරන්න අවස්ථාව හදල දෙන්න ..අපි බේත් ටිකකුත් පටන් ගම්මු”
මානසික වෛද්‍යවරයා අප්පච්චි ට කරුණු පැහැදිලි කර දුන්නේය.
පසිදු විදේශ යේ සිට ගෙන්වා ගත්තේ ඒ අඹ යාලු කමවත් මේ සියල්ලට විසඳුම් ගෙනේ යැයි සිතු නිසාවෙනි.
“අඩේ කවියා..”
කවීශ ගේ අනතුර සිදුවූ දා සිට දිනපතා කවීශ ගැන සොයා බැලුවද පසිදු ට ඔහුව බලන්න එන්නට ලැබුණේ නැත.පෙරදා තමා හා දුව පැන නැටූ මිතුරා එකතැන්ව අසරණ ව සිටිනු බලන්නට දුකය.
“මට එකම එක උදව්වක් කරපං රත්තරං ..මට මගෙ ඉරේෂා අක්කව හොයල දීපන්”
කවීශ පසිදු සමඟ බොහෝ වේලා දොඩමලුව හිඳ අවසානයේ ඉල්ලා සිටියේය.
හිත හදා ගන්නට පුලුවන් කීවාට ඉරේෂා සැමවිටම ඉන්නේ කවීශ ගැන සිතමින් බව පංචලී දැන උන්නාය .අයියාගේ මංගල දිනයේ දෙවන මනාල යුවලේ ලැමිනේට් කල කොපියක් සෑමදා ලඟ තබාගෙන උන්නාය.කවීශ කලින් එවූ කෙටි පණිවුඩ ගොන්න ඒ මේ අතට කියවන්නේ පිස්සියක මෙනි.තම මිතුරියට උදව් කරන්නට උවමනා වුවත් ඊට මගක් පෙනෙන්නේ නැත.පංචලී සූදානම් ව ආවත් ඉරේෂා පාසල් යන්නට අවදි නොවූ නිසා ඈ ඉරේෂා සොයා ආවාය.උදරයේ දැනුණ වේදනාව නිසා ඉරේෂා ඇඳට වී සිටියාය ක්ලිනික් යන්නට තිබූ වාර දෙකක්ම මග හැරී ගොසිනි.මට මොනවා උනත් හඬන්නට කෙනෙක් නැත.
“මොකෝ කෙල්ලෙ සනීප නැද්ද “
“බඩ ටිකක් රිදෙනවා පංචි”
“අපි බේත් ටිකක් ගමු ..ඉන්න මම තේ එක අරන් එන්නම්”
“ඕනෙ නෑ මේක ඇරිල යයි ..”
“අනේ උඹ පඬියා නොවී ඉදපං මගෙ ගෙදර ඉන්නව නම් මම කියන විදියට හිටු”
මේ වදයෙන් නම් ගැලවීමක් නැතිවග ඉරේෂා සිතුවාය.ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා කීවේ හැකි ඉක්මනින් නැවත් නාරි සායනයට් ගියානම් හොඳ වගය.එන මග අතර තුරට ඉරේෂා කන් පිරෙන්නට පංචලී ගෙන් බැණුම් ඇසුවේ වගකීමක් නැතිව වැඩ කරනවා කියා ය.
පසිදු විවිධ මං ඔස්සේ ඉරේෂා සොයන්නට වෑයම් කලත් ඊට ඉඩක් ලැබුණේ නැත.බැරිම තැන ඉරේෂා ගේ නිවස සොයා ගියත් ඔවුන් තොරතුරු දීමට අදි මදි කල නිසා ආපසු හැරී ආවේ බලාපොරොත්තු බිඳගෙන ය.කවීශ කෙමෙන් සුව අතට හැරුනේ තම මිතුරා කෙරේ බැඳි විශ්වාස ය ඔහුව දිරිමත් කල නිසාවෙනි.
පංචලී ගේ දැඩි උවමනාවට මීළඟ සායනයට යෑමට ඉරේෂා කැමති උනාය.පංචලී තම මෙහෙයුම දිගටම කරගෙන ගිය අතර කවීශ ගේ ෆේස් බුක් මිතුරන් සියල්ලන් ට මිතුරු ඉල්ලුම් යැව්වේ ඔහු ගැන විස්තරයක් සොයාගන්නටය.
සායන දිනය දා උදෑසනින් පිටත් ව ආ නිසා මුල් පෙලේ අංකයක් ලැබූ අතර කල වරදට නොසෑහෙන්න දොස් අසාගන්නට සිදුවිය.ඉවත් කල කොටස් පටක වාර්තා අනුව පිළිකා තත්ත්වයක් නොවන වග දැනගන්නට ලැබුන නිසා හිතට ඉස්පාසුවක් දැනුණි .
“මේ දැං කරන්න දේකුත් නෑනෙ මොකෝ කරන්නෙ “
පංචලී ඇසුවේ රෝහලෙන් පිටව එමිනි.
“අනෙ මන්දා..”
“කැම්පස් එකේ මල් පිපිල අපි බලන්න යමු එතනින්ම ගෙදර ගිහින් අනිද්ද ට අම්පාරෙ යමු”
“අපිට යන්න දෙනවද එහෙම”
“උඹ යමන්කො මගෙ යාලුවෙක් ඉන්නව”
පේරාදෙණිය සරසවියෙ ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයේ ඇති විසල් වෘක්ෂයන් වසරේ එක කාලයකට කහපාට පැළඳ ගන්නේ නෙතට රසඳුනක් මවමිනි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්වවිද්‍යාලයක් වූ පේරාදෙණිය ට මේ මල් හේඩාවන් ආභරණයක් වැනිය.
මහකන්ද බසයේ ගොස් විජේවර්ධන නේවාසිකාගාරය අසලින් බැස ගත් ඉරේෂා සහ පංචලී අවට සිරි නරඹමින් ශාස්ත්‍ර පීඨ ය දෙසට පිඅය මැන්නෝය.කොල පාට තණ පලස මත කහ රෙද්දක් එලූ ලෙස මල් බිම වැටී ඇත .විසල් තුරු පතර සිට බිමට එල්ලෙන මල් වැල් කහම කහ පාටය වෙනස්ම ලොවකට ගියා සේ හඟීමක් හිතට දැනේ.බිම වැටී ඇති ගල් පඩිය මත ඉරේෂා අසුන් ගත්තාය.
තමාට පසුපස හරවා වාඩි වී සිටින ඉරේෂා අක්කා හඳුනාගැනීම කවීශ ට අපහසු වූයෙ නැත.හිතේ සතුට වචන වෙනුවට ඇස් වලින් පිටාර යන්නේය.අත් වාරුවෙන් ශබ්ද නොනැගෙන්නට කවීශ ඈට ළං වූවේය.
“ජීවිත ගමන යන්න මේ අබ්බගාතයට උදව් කරන්න පුලුවන් ද”
ඒ හඬින් ඉරේෂා ගැස්සී ගියාය.මේ ගෙවෙන්නේ සිහිනයක් නෙවෙයි නේද..මගෙ පණ ටික කවීශ මල්ලියා..ඈ නැගිට්ටවුනේ ඉබේටමය ..කඳුළු වලකාලන්නට උවමනාවක් නැත..
“ඔව් ..අන්තිම ගමන යනකල් ම උදව් කරනව..”
කවීශ ඉරේෂා අක්කාව අදරින් වැළඳ ඒ උණුසුම් දෙතොල ඈ නලළත තැබුවේය .
පංචලී මුල් වරට හමුවූ තම ෆේස්බුක් පෙම්වතා පසිදු ගේ සුරතින් අල්ලා ගත්තේ ඒ ආදරණීය හමුවේ නියමුවන් ලෙස හද උපන් සතුටිනි.
පවුල් දෙකේම ආශිර්වාද සමගින් කවීශ ඉරේෂා සමඟ විවාපත් අතර කවීශ වෙනත් ආයතනයක රැකියාවට ගියේ සම්පූර්ණ සුවය ලද පසුවය.කවීශ ගේ අම්මා සිතා සිටියාට වඩා දහස් ගුණයකින් හොඳ වූ ඉරේෂා පවුලේ දුවනිය බවට පත්වූවාය.මදාරා ව්‍යාපාරිකයකු සමග විවාහ වූ අතර ඇරයුම් පත් ලද නමුත් කවීශ සහ ඉරේෂා ඊට සහබාගී වූයේ නැත.කවීශ ගේ අනතුර පිළිබඳව පුලුල් පරීක්ෂණ දියත් වූ අතර ඉරේෂා ට තර්ජනය කොට ඉන්දික කල ප්‍රකාශය ඉරේෂා පටිගත කර තිබු නිසා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ වරදට ඔහුට විරුද්ධව නඩු පැවරී නීතිය ක්‍රියාත්මක කෙරිණි .
කාලය දින සති මාස වලින් ගෙවී යදදී තම විවාහයේ දෙවන සංවස්තරයට ඉරේෂා කවීශ යුවල එළඹ සිටියහ.හැමෝගෙම ආයාචනය නිසා ඔවුන් සිතා සිටියේ දරුවකු අරන් හදා ගැනීමටය.
කවීශ ට දුරකථන ඇමතුමක් ලැබුණේ නාඳුනන අංකයකිනි.
“හෙලෝ කවීශ “
“ඔව් කතා කරනවා”
නිස්චය නැතත් කුමක්දෝ හුරු ගතියක් ඒ හඬේ ඇත.
“මම මදාරා ..ප්ලීස් ෆෝන් එක තියන්නෙ නැතුව අහන්න”
ඉරේෂා අක්කාවත් කැඳවාගෙන කවීශ ඈට සවන් දුන්නේය .මදාරා සිටියේ මහරගම පිළිකා රෝහලේය ශරීරය පුරා ඔඩු දුවා ඇති දරුනු පිළිකා තත්ත්වයක් ඇගේ ජීවිතය බිලිගනිමින් ඇත.කවීශ ත් ඉරේෂා ත් පසුවදාම ඈ බලන්නට ගියහ.
“අනෙ තෑන්ක්ස් ආවට”
ඉතා දුර්වලව සිටි ඈ බොහෝ සේ කෙට්ටු වී රෝගී පෙනුමක් පැළද සිටියාය.දුබල සිනාවක් පෑවේ ඔවුන් පිළිගන්නට ය.
මදාරා සිටි තත්ත්වය දුටු ඉරේෂා ගේ පපුව පත්තු වී ගියේ ය.ගැහැනියක ගේ දුක දන්නේ ගැහැනියක පමණි.ඈ මදාරා ගේ අතින් අල්ලා ගත්තේ අනුකම්පාවෙනි.
“අයි වෝස් රෝන්ග් ..යූ ආර් අ මැචිං කපල්..මට ඉරේෂා ව බලන්නයි ඕන උනේ ..මෙයාගෙ සැර බලන්න නෙවේ “
මදාරා යලි සිනා සුනේ ආයාසයෙනි.
“මට සමාවෙන්න ඉරේෂා ..මම ඔයාට ගොඩක් කරදර කරා..”
“ඒව අතීතෙට අයිති දේවල් මදාරා මම තරහ නෑ”
“මට මගෙ හිත නිදහස් කරගන්න ඕන..ඔයාට විරුද්ධව කවීශ ගෙ අම්මලට කේලම් කිව්වෙ මම..ඩැඩීට කියල මැරයො දම්මල බය කරෙත් මම ..ඔයා ට්‍රාන්සර් කලෙත් මගෙ උවමනාවට..මේ මොනව කරලවත් මට කවීශ දිනා ගන්න බැරි උනා එයා ඇත්තටම ආදරේ ඔයාට..ඔයා පව්කාරියක් නෙවෙ වාසනාවන්තියක්..”
ඒ ඇස්වල කඳුළු ය.
“දැං ඒව අමතක කරන්න මැඩම් අපේ කාගෙවත් හිත්වල ඒව නෑ “
කවීශ කීවේ ඒ දෑස් දෙස බලමිනි.
“තෑන්ක්ස් කවීශ ..මට රෙයාර් ලං කැන්සර් එකක් හැදිල තියෙන්නෙ ..බබා ඩිලිව කරන්න ගියාම තමා අහු උනේ..හස්බන්ඩ් වෙන කෙනෙක් එක්ක අබ්‍රෝඩ් ගියා..මේක දැනගත්තම..ජීවිතේ හැටි ඉරේෂා මට දැනුයි ඒව තේරෙන්නෙ තව සති දෙක තුනකට වඩා මට නැහැ..මම හිත හදා ගෙනයි ඉන්නෙ..එක කාරනාවක් හින්ද මට නිදහසේ ඇස් පියාගන්න බෑ..මගෙ පුංචි සුරංගනාවී..අවුරුද්දක් ලබනව ලබන මාසෙට..ඔයාලට පුලුවන්නම් ඒ අහිංසකීට ජීවිතේ දෙන්න ගොඩක් පිං”
ඈ දෑත් එක්කොට වැන්දාය.ඉරේෂා ඇඳේ වාඩිවී ඈ පපුව ට තුරුල් කරගත්තාය .මදාරා ඉරේෂා වැළඳ බොහෝ වේලා හඬා වැටුනාය.ඊට සති දෙකකට පසු මදාරා මෙලොව හැර ගියේ සැමගේ නෙතට කඳුලක් එක් කරමිනි.
මදාරා ගේ දූ සිඟිතිය ඉරේෂා ව අම්මෙක් කලාය..කවීශ වගකීම් බර අප්පච්චි කෙනෙකු කලාය...
**********නිමි**********