අනුරාධපුරයේ සැඩ හිරු රැස් විහිදෙන දහවල් කාලයක අභයගිරි ස්තූප මළුවේ ඇවිද යන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන එක් සුවිශේෂී වස්තුවක් තිබේ. ඒ, මළුවේ පැත්තකට වන්නට වැතිරී සිටින දැවැන්ත, අෂ්ටාස්‍ර හැඩැති කළු ගල් කුළුණයි. බැලූ බැල්මට සාමාන්‍ය ගල් ටැඹක් සේ පෙනුණද, මෙහි ඇති ඉතිහාසය අපව වසර දෙදහසකට එපිට අතීතයකට රැගෙන යයි.
මෙය අප අද දකින ස්තූප මුදුනේ ඇති කොත් කැරැල්ලට පෙර, ඒ වෙනුවට භාවිත වූ "යූප ස්තම්භයයි". එදා අහස සිපගත් අභයගිරි මහා සෑයේ මුදුනේම තිබෙන්නට ඇත්තේ මේ යෝධ ගල් ටැඹයි. අෂ්ටාස්‍ර හැඩයෙන් නිමවා ඇති මෙයින් බෞද්ධ දර්ශනයේ එන අරි අටැංගි මඟ සංකේතවත් කෙරෙන බව ඉතිහාසඥයන් පවසති.
එහිදී මගේ සිතට නැගුණු ලොකුම පැනය වූයේ, "අද අප දකින හැම ස්තූපයකම රන් ආලේපිත කොතක් තිබියදී, එදා ඇයි මෙවැනි ගල් කුළුණක් භාවිතා කළේ?" යන්නයි. මෙයට හේතු කිහිපයක් තිබිය හැකිය.
අනුරාධපුර මුල් යුගයේ ස්තූප නිමවූයේ ඉන්දියාවේ සාංචි වැනි ස්තූප ආකෘතියටයි. එහි මුදුනේ තිබුණේ හතරැස් කොටුවක් සහ ඒ මැදින් විහිදුණු යූප ස්තම්භයක් සහිත ඡත්‍ර (කුඩ) කිහිපයකි. කාලයත් සමඟ තාක්ෂණය දියුණු වී, විශාල බරක් දරාගත හැකි "කොත් කැරැල්ල" සහ "කොත" නිර්මාණය වීමත් සමඟ මෙම ගල් ටැඹේ අවශ්‍යතාවය නැති වී ගියේය.එසේම ස්තූපයක ඉතා උස මුදුනක මෙවැනි බරැති ගල් කුළුණක් ස්ථාවරව තබා ගැනීම අසීරු වන්නට ඇත. අකුණු ගැසීම් හෝ ස්වභාවික විපත් නිසා මේවා කඩා වැටීමේ අවදානමක් තිබුණි. තවද පසුකාලීන රජවරුන් ස්තූප වලට වඩාත් තේජාන්විත පෙනුමක් ලබා දීම සඳහා රන් ආලේපිත කොත් සහ මැණික් එබ්බවූ චූඩා මාණික්‍යයන් හඳුන්වා දීම නිසා, මෙම සරල ගල් ටැඹ ඉතිහාසයට එක් විය.
අද මෙම යූප ස්තම්භය මළුවේ තැන්පත්ව තිබෙන්නේ අභයගිරිය සතුව තිබූ මහා ප්‍රෞඪත්වය නිහඬව කියාපාමිනි. ස්තූපය ප්‍රතිසංස්කරණය කිරීමේදී එය ඉහළට එසවීම වෙනුවට, මහජනයාට දැකගත හැකි පරිදි මෙසේ ප්‍රදර්ශනය කර තිබීම ඉතා වැදගත්ය.
මේ වැතිරී සිටින දැවැන්ත ගල් කුළුණ දෙස බලා සිටින විට මගේ සිතට නැගුණු ප්‍රබලම හැඟීම වූයේ, අතීත හෙළයන් සතුව තිබූ ඒ අසමසම කාය ශක්තිය සහ ඉංජිනේරු ඥානයයි. අද මෙන් නවීන දොඹකර (Cranes) හෝ යන්ත්‍ර සූත්‍ර නොතිබූ යුගයක, ටොන් ගණනාවක් බරැති මෙවැනි තනි කළු ගල් කණුවක් අඩි දෙසීයකටත් වඩා උස අහසට ඔසවා තැබුවේ කෙසේද?
එය සැබවින්ම මහා ශ්‍රම දායකත්වයක සහ කැපවීමක ප්‍රතිඵලයකි. මුලින්ම ගල් පර්වතයකින් මෙවැනි දිගු කුළුණක් පළුදු නොවන්නට කඩාගෙන, අෂ්ටාස්‍ර හැඩයට ඔප දැමීමට වසර ගණනාවක් ශිල්පීන් දහඩිය හෙළන්නට ඇත.තවද මෙම යෝධ කුළුණ පර්වතයේ සිට ස්තූපය අසලට රැගෙන ඒම සඳහා ( මට හිතෙන හැටියට ) ඇතුන් සිය ගණනක් සහ ලී රෝද යෙදූ දැවැන්ත කරත්ත හෝ ලිස්සා යන පුවරු භාවිතා කරන්නට ඇත. මෙය ස්තූපය මුදුනටම ඔසවා තැබීමට ඔවුන් ස්තූපය වටා ඉතා දිගු වැලි බෑවුම් නිර්මාණය කළ බව ඉතිහාසඥයන් පවසති. දහස් සංඛ්‍යාත මිනිස් බලය සහ සත්ව බලය යොදා ගනිමින්, අඟලෙන් අඟල ඉහළට තල්ලු කරමින්, අවසානයේ ස්තූපයේ මුදුනේ ඇති ඒ කුඩා සිදුර තුළට මෙය සිරස්ව ඇතුළු කළ මොහොත කෙතරම් විස්මයජනක වන්නට ඇත්ද?
අද අපට මෙය හුදෙක් ගල් කණුවක් පමණක් වුවත්, එය එදා අපේ මුතුන් මිත්තන්ගේ "නොහැකිය" යන්න අභියෝගයට ලක් කළ අසිරිමත් නිර්මාණයකි. ඔවුන්ගේ ඒ දහඩිය සුවඳ අදටත් මේ නිහඬ ගල් කුළුණෙන් වහනය වනවාක් මෙන් මට දැනේ.
ඔබත් අනුරාධපුරයට ගියහොත්, අභයගිරි සෑය වඳින අතරතුර මළුවේ තබා ඇති මේ "පැරණි කොත" අසල මොහොතක් නතර වන්න. එය අපේ අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වයේත්, වාස්තු විද්‍යාත්මක පරිණාමයේත් නොමැකෙන සලකුණකි.
සටහන: ජගත් ප්‍රසන්න කුරුගම.